සසප, විදේශයන්හි රැකියාවේ නිරත කම්කරුවන් සඳහා ලෝසවෙඅ තුල පුවත්හසුනක් දියත් කරයි

සමාජවාදී සමානතා පක්ෂය (සසප), විදේශයන් හි රැකියාවේ නිරතව සිටින, ශ්‍රී ලංකාවේ සහ කලාපයේ අවශේෂ රටවල කම්කරුවන් සඳහා, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) තුල අන්තර්ජාල පුවත්හසුනක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව ඉතා සතුටෙන් දැනුම් දෙමු. සතිපතා  පලකිරීමට නියමිත මෙහි ඇතැම් කලාපයන් හි මුද්‍රිත පිටපත් ද නිකුත් කිරීමට නියමිත ය. 

විදේශයන්හි රැකියාවල නියුතු කම්කරුවන්ට සසප පනිවිඩ නම් වූ මෙම පුවත්හසුනට සමගාමීව, සෞඛ්‍ය, අධ්‍යාපන සහ ඇඟලුම් කම්කරුවන් සඳහා පලකෙරෙන තවත් පුවත්හසුන් තුනක් ද දියත් කෙරේ.  

එය ඉහත දැක්වූ සංක්‍රමන කම්කරුවන්ගේ අරගල නිරන්තරව ආවරනය කරමින්, කම්හල් හා වැඩබිම් තුල ඔවුන් මුහුන දෙන රැකියා, වැටුප්, සේවා හා ජීවන කොන්දේසි සහ ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රිය අයිතීන් පිලිබඳව ගැටලු සාකච්චා කරනු ඇත. 

ආසියාව, යුරෝපය, මැදපෙරදිග සහ ඇමරිකාව මෙන්ම ලොව සෙසු කලාපවල පිහිටි රටවල සංක්‍රමන කම්කරුවන් ගේ  හා අවශේෂ කම්කරුවන්ගේ පන්ති අරගල  හා ලෝක ආර්ථික- දේශපාලන වර්ධනයන් සම්බන්ධව ලෝසවෙඅ හි පලවන විශ්ලේෂනාත්මක ලිපි ද එහි  පල කෙරේ.

දශක හතරක පමන කාලයක් තුල, ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, නේපාලය, මියන්මාරය, පිලිපීනය වැනි දකුනු ආසියාවේ රටවලින් මැදපෙරදිගට සහ නැගෙනහිර යුරෝපයට සංක්‍රමනය වූ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ දරුනු සේවා කොන්දේසි සහ කුරිරු මර්දනය යටතේ රැකියාවේ නිරතව සිටිති. 

සවුදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර්, බහරේන් ඇතුලු එම කලාපයේ ධනවත්ම රටවල් හයක මිලියන 54 ක ජනගහනයෙන් හරි අඩක් පමනම සංක්‍රමනික කම්කරුවෝ වෙති. මෙම රටවල සුපිරි ධනවත් රාජකීය මාලිගාවල සේප්පු පුරවනු ලැබෙන්නේ මෙම කම්කරුවන්ගේ ශ්‍රමය නූතන වහල් ක්‍රම අනුව දරුනු ලෙස සූරා ගැනීමෙනි.

කොවිඩ්-19 වසංගතය ඩැහැ ගනිමින් ලොව පුරා කම්හල් හිමියන් හා ජාත්‍යන්තර සංගත මෙම කම්කරුවන් අන්ත අසරනභාවයට ඇද දමා ඇත. කම්කරුවන්ගේ පඩිපත කපා දමා බුරුතු පිටින් රැකියා අහෝසි කෙරෙමින් පවතී. දැවැන්ත පරිමානයෙන්  වැටුප් කප්පාදු කරමින්, වසංගතය මධ්‍යයේම වැඩට කැඳවා ඇති කම්කරුවන්ගේ අතිකාල දීමනා ඇතුලු සියලු දිරි දීමනා අහෝසිකර ඇති අතර, රෝගී තත්වයන් මධ්‍යයේ පවා, වැඩි පැය ගනනක් ශ්‍රම සූරා කෑමට ලක් කර තිබේ. 

රැකියා හා වාසස්ථාන අහිමි කෙරුනු බොහෝ කම්කරුවන්ට කිසිදු සෞඛ්‍ය පහසුකමක් හෝ ආහාර ද නොමැතිව තම රටට යාගත නොහැකිව මහමග අතරමං කෙරිනි. ඔවුනට අවම කම්කරු ආරක්ෂනයන් පවා ලබා දෙන නීති අහෝසි කරමින් ධනපති සංගතවල ලාභ ආරක්ෂා කරදීමට එම රටවල පාලකයෝ කැපවී සිටිති.  

මෙම දරුනු කොන්දේසි යටතේ වසංගතයට ගොදුරු වෙමින් සිටින දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික කම්කරුවන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව සාපරාධී ලෙස අත්හැර දමා තිබේ. මිලියන තුනක් පමන වන මැදපෙරදිගට සංක්‍රමනය වූ ඉන්දියානු කම්කරුවන් සම්බන්ධව ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි ආන්ඩුවේ ප්‍රතිචාරය ද මී⁣ට සමාන ය. 

මැද පෙරදිග පාලකයන් වසංගතය ආසාදිතවූවන් ද ඇතුලු දහස් සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවන් පිටුවහල් කරමින් සිටින්නේ සියලු ජාත්‍යන්තර නීති ද උල්ලංඝනය කරමිනි.

සංක්‍රමනික කම්කරුවන්ට එරෙහි මෙම ප්‍රහාරයන් පැවතියදීම, ධනේශ්වර නිශ්පාදනයේ ගෝලීයකරන සන්තතිය යටතේ කම්කරු පන්තියේ පෙරනොවූවිරූ ජාත්‍යන්තර ඒකාග්‍රවීම ඔවුහු එදිනෙදා ජීවිතයේ ගැඹුරින්ම අත් විඳිති. කලාපයේ විවිධ රටවල ඈත ගම් දනව් වලින් පැමිනි විවිධ ජාතීන්ට අයත් කම්කරුවෝ,  මැදපෙරදිග එකට කඔුරති. තම රටේදීත්, විදේශීය වැඩබිමේදීත්  එකිනෙකා මුහුනදෙන සෑම ප්‍රශ්නයක්ම සමාන බව ඔවුහු හඟිති. 

විදේශයන්හි රැකියාවේ නියුතු කම්කරුවන්ට සසප පනිවිඩ , එම කම්කරුවන්ගේ සේවා හා ජීවන කොන්දේසි පිලිබඳව ලොව පුරා ⁣අවශේෂ කම්කරුවන් දැනුවත් කරමින් සහ එම රුදුරු කොන්දේසිවල මූලය වන ලාභ පිපාසිත ජාත්‍යන්තර ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ  ජාත්‍යන්තර එකමුතුවේ ශක්තිය බලමුලු ගන්වන ප්‍රධානම වාහකයක් බවට පත්වනු ඇත.

සංක්‍රමනික කම්කරුවන් ට තම අයිතීන් වෙනුවෙන් සටන් කිරීමට අත්‍යවශ්‍යම සංවිධානයන් ලෙස වැඩපල සහ නිවස්නා ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීමටත් එම කමිටු ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් කර ගැනීමටත් මෙම පුවත්හසුන මගපෙන්වනු ඇත.

ඔබගේ විද්‍යුත් ලිපිනය ලියාපදිංචි කරමින්, විදේශයන්හි රැකියාවේ නියුතු කම්කරුවන්ට සසප පනිවිඩ නිතිපතා ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, ඔබගේ කම්හලේ, වැඩබිමේ සේවා කොන්දේසි හා කම්කරු ක්‍රියාකාරී කමිටු වල තොරතුරු පුවත්හසුනට ලබා දෙමින් ඔබ හා ඔබගේ සහෝදර කම්කරුවන් අතර එය බෙදාහදා ගන්නා ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

Loading