වොෂින්ටනය, රුසියාවට සහ චීනයට තර්ජනය කරමින් මූලෝපායික බෝම්බ හෙලන ගුවන්යානා මෙහෙයුම් වැඩි කරයි

මෙම ලිපිය ජූනි 12 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

කොවිඩ්-19 වසංගතයෙන් එක්සත් ජනපදය විනාශයට පත්ව තිබුන ද වොෂින්ටනය, රුසියාවට හා චීනයට තර්ජනය කරමින් ඩ්‍රෝන් යානා සහ න්‍යෂ්ටික හැකියාව සහිත මූලෝපායික බෝම්බ හෙලන ගුවන් යානා මෙහෙයුම් වැඩි කරයි.

එක්සත් ජනපද ගුවන් හමුදාවේ බී 1 මූලෝපායික බෝම්බ යානා, පැසිෆික් දූපතක් වන ගුවාම් සිටත්, ග්ලෝබල් හෝක් ඔත්තු ඩ්‍රෝන් යානා ජපානයේ යොකොටා ගුවන් කඳවුරේ සිටත් දකුනු චීන මුහුද හරහා පියාසර කරවා ඇති බවට බදාදා වාර්තා විය. ඇමරිකාවේ ඩයිස් ගුවන් හමුදා කඳවුරේ සිට ගුවාම්හි ඇන්ඩර්සන් ගුවන් කඳවුර දක්වා, බී -1 බෝම්බ යානා හතරක්  සහ ගුවන් භටයින් 200 ක් යොදවා ඇත. චීනයේ වෙරල තීරය දිගේ චීන නැව් අඛන්ඩව නිරීක්ෂනය කිරීමට ඔත්තු බලන ඩ්‍රෝන් යානා යොදවා ඇත.

 රුසියාවේ යුරෝපා දේශසීමාව අසල එක්සත් ජනපද බෝම්බ යානාවල ප්‍රකෝපකාරී ගුවන් ගමන් ගැන රුසියානු නිලධාරීන් පැමිනිලි කිරීමෙන් පසු එදිනම, ඇලස්කන් වෙරල අසලදී ඇමරිකාවට අයත් එෆ් -22 ප්‍රහාරක ජෙට් යානා විසින් රුසියානු ටියූ -95 මූලෝපායික බෝම්බ හෙලන ගුවන් යානා දෙකක් අභිමුඛ කෙරින. කලු මුහුද සහ බෝල්ටික් මුහුදේ මැයි 29 වන දින, බී -1 බෝම්බ හෙලන ප්‍රහාරක යානාවල ගුවන් ගමන් ද, ආක්ටික් සාගරයට ඉහලින් ජුනි 3 දින බී -52 බෝම්බ යානාවක් පියාසර කිරීම ද මෙයට ඇතුලත් වේ.

9 වන කාර්යසාධන බෝම්බ බල ගනය B-1B ලාන්සර් 2020 මැයි 6 වන දින නැගෙනහිර චීන මුහුද ඉහලින් පියාසර කරයි. (එක්සත් ජනපද ගුවන් හමුදාව / රිවර් බෘෘස්)

 මෙම සිදුවීම්, අධිරාජ්‍යවාදය කිසි විටෙකත් නිදා ගන්නේ නැති බවට සිදු කල අනතුරු ඇඟවීමකි.මැයි 25 දින පොලිසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීමට එරෙහිව ඇති වූ මහජන විරෝධතා මැඩපැවැත්වීම සඳහා ඇමරිකානු ජනතාවට එරෙහිව ඇමරිකානු හමුදාව යෙදවිය යුතු බවට ට්‍රම්ප් කල ඉල්ලීම් කෙරෙහි ලෝකයේම අවධානය යොමු වී ඇති අතරතුර වොෂිංටනය සහ එහි යුරෝපීය සහචරයෝ, යුද සැලසුම් වේගවත් කරමින් සිටිති. විශාල න්‍යෂ්ටික අවි සහිත ප්‍රධාන බලවතුන් ඔවුන්ගේ ප්‍රධාන ඉලක්ක වුවද, ඔවුහු ආක්‍රමනශීලීව ඉදිරියට යති.

පොලිස් කෘෘරත්වය සහ කොවිඩ් 19 වසංගතය පිලිබඳ ධනපති පන්තියේ සාපරාධී නොසැලකිල්ල කෙරෙහි වැඩෙන සමාජ කෝපය මධ්‍යයේ, පන්ති ගැටුම් මැඩපැවැත්වීම සදහා පාලක පන්තිය  බාහිර යුද්ධ ඇවිලවීමට උත්සාහ කිරීමේ අන්තරාය වැඩි වෙමින් පවතී.

බී -1 යානා කිහිපයක් දකුනු චීන මුහුදට යවා ඇති බව වොෂිංටනය පසුගිය මාසයේ නිවේදනය කලේය. ඉන්දු-පැසිෆික් කලාපයේ බී -1බී ලාන්සර් යානා හතරක් ස්ථානගත කිරීමට අවශ්‍ය බව අන දෙන නිලධාරියා පැවසූ විට එහි අර්ථය, “වසංගතයක් මධ්‍ය යේ පවා ඒවා එහි රැඳී සිටී ය” යන්න බව එක්සත් ජනපද ගුවන් හමුදා කර්නල් ජෝස් සුමන්ගිල් පැවසුවේය. “අපි කෙටි දැනුම්දීමකින් සිදු කලේ එයයි. අපගේ මෙහෙයුමේ හැකියාවන් සාර්ථක කර ගන්නා අතර, කෝවිඩ්-19 සම්ප්‍රේෂනය වීමේ අවදානම අවම කිරීම සඳහා ඩයිස් කන්ඩායම සමස්තයක් ලෙස ගත් උත්සාහය නිසා අපට මෙය සිදු කිරීමට හැකි විය. ”

B-1B යනු මඟ පෙන්වන මිසයිල සහ බෝම්බ මෙන්ම B61 සහ B83 තාපෂ්ටික බෝම්බ ඇතුලු පුලුල් පරාසයක අවි ප්‍රවාහනය කල හැකි සුපර්සොනික් මූලෝපායික බැර බෝම්බ යානාවකි. වොෂින්ටනය 1945 අගෝස්තු 6 වන දින හිරෝෂිමා වෙත හෙලූ බෝම්බයට වඩා, 80 ගුනයකින් වැඩි, ටීඑන්ටී මෙගා ටොන් 1.2 ක බලයක් බී 83 බෝම්බයට ඇත .

”ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ” ඝාතනයට එරෙහි විරෝධතා ඇමරිකාව පුරා පුපුරා යද්දී මැයි 29 වන දින රුසියානු ආරක්ෂක අමාත්‍යංශය මෙසේ වාර්තා කලේය: “බටහිර හා දකුනු හමුදා බල ප්‍රදේශවල ගුවන් ආරක්ෂක හමුදාව, කලු මුහුද සහ බෝල්ටික් මුහුදේ විවෘත ජල  ප්‍රදේශ වලදී එක්සත් ජනපද ගුවන් හමුදාවේ බී -1 බී මූලෝපායික බෝම්බ යානා සොයා ගත්තේය... ඒවා ඉවත් කිරීම සඳහා රුසියානු ප්‍රහාරක යානා යොදවා තිබුනි…  දුර ප්‍රමානයන් ආරක්ෂා කරමින් රුසියානු ප්‍රහාරක කාර්ය මන්ඩලය ගුවන් ඉලක්ක වෙත ලඟා වී ඒවා B-1B බෝම්බ යානා ලෙස හඳුනා ගත් අතර, ඇමරිකානු බෝම්බ යානා, පසුව රුසියානු සමූහාන්ඩුවේ දේශසීමාවෙන් ඉවතට ගමන් කරමින් ගමන් මග වෙනස් කලේය. ”

බෝම්බ යානා දකුනු ඩැකෝටා හි එල්ස්වර්ත් ගුවන් හමුදා කඳවුරෙන්  නොනවත්වා යුරෝපයට පියාසර කිරීම සඳහා පිටත්ව ගොස් ඇත. B-1 යානා, පෝලන්ත, රුමේනියානු සහ යුක්‍රේන ප්‍රහාරක ජෙට් යානාවල රැකවල් යටතේ ගොස්, තුර්කි යුද ටැංකියකින් ඉන්ධන පුරවාගෙන, කලු මුහුදට ඉහලින් පියාසර කර යුක්‍රේන  ගුවන් කලාපයට ඇතුලු විය. ක්‍රිමියාවේ සෙවාස්ටොපොල් ඇතුලු ප්‍රධාන රුසියානු නාවික කඳවුරු කලු මුහුදේ පිහිටා ඇත. නේටෝව අනුබලය දුන් එරටේ ඇතිවූ කුමන්ත්‍රනයෙන් පසුව 2014 දී, මීට පෙර යුක්‍රේනයට අයිතිව තිබූ, රුසියානු බස කතා කරන ජනතාව බහුතරයක් වෙසෙන මෙම කලාපය රුසියාවට පවරා ගත්තේය.

ගුවන් හමුදාවේ ලුතිනන් කර්නල් තිමෝති ඇල්බ්‍රෙක්ට් දන්වා සිටියේ, මෙම ගුවන් ගමන්, කලු මුහුදේ බලමුලු ගන්වා 

ඇති රුසියානු  නාවික බල ඇනිය   නාශක දිගු දුර  මිසයිල (එල්ආර්එස්එම්) යොදාගෙන විනාශ කිරීමේ සැලසුම් සඳහා වූ අභ්‍යාසයක් බවයි. “දිගු දුරක සිට ඉලක්ක අතර උපාමාරු දැමීමේ හැකියාව වැඩි දියුනු කිරීම හේතුවෙන්, විවෘත සාගර හා සමුද්‍ර ආශ්‍රිත ඇමරිකානු නාවික ප්‍රවේශය ක්‍රියාත්මක කිරීම සහතිීම සඳහා  එල්ආර්එස්එම් තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරයි.” යයි ඔහු ප්‍රකාශ කලේය.

ට්‍රම්ප්, ප්‍රධාන නගර වලට ඇමරිකානු හමුදා යෙදවීමෙන් දින දෙකකට පසු එනම් ජුනි 3 වන දින, රුසියානු දේශසීමා ආසන්නයේ ස්කැන්ඩිනේවියානු ප්‍ර‍දේශ අසලදී නෝර්වීජියානු ප්‍රහාරක ජෙට් යානා විසින් හුදකලා බී -52 යානයකට ආරක්ෂාව සලසන ලදී. “මෙම ගුවන් ගමනට ආක්ටික් සාගරය සහ ලැප්ටෙව් මුහුද හරහා මෙහෙයුම් ඇතුලත්ව තුබුනු අතර යානය ලුෆ්ට්ෆෝර්ස්වරෙට් එෆ් -16 සහ එෆ් -35 යානා සමඟ පුහුනුවීම් සිදු කලේය” යනුවෙන් නේටෝ මිත්‍ර ගුවන් බලඇනිය ෆේස්බුක් හි නිවේදනය කෙල්ය.

රුසියාවට හා චීනයට එරෙහිව තීව්‍ර වන තර්ජනයන්ට වොෂිංටනයේ යුරෝපීය නේටෝ සහචරයින්ගේ අනුග්‍රහය මින් අවධාරනය කෙරෙයි. නේටෝ මහලේකම් සහ හිටපු නෝර්වීජියානු අගමැති ජෙන්ස් ස්ටොල්ටන්බර්ග් බීබීසීයට කියා සිටියේ, මෙම පියවරයන්  “ලොව පුරා නේටෝව කරන  ප්‍රවේශය ගැන ය, මන්ද චීනය අපට සමීප වෙමින් සිටින බැවිනි. ඔවුන් යුරෝපයේ ඉතා වැදගත් යටිතල පහසුකම් සඳහා විශාල වශයෙන් ආයෝජනය කරන බව අපට පෙනෙන අතර, ඇත්ත වශයෙන්ම චීනය සයිබර් අවකාශයේ ක්‍රියාත්මක වන බව අපට පෙනේ. ” යනුවෙනි.

ඇමරිකාවේ සී -40 ඒ මිලිටරි ප්‍රවාහන ගුවන් යානයක් තායිවානයට ඉහලින් පියාසර කිරීම “ප්‍රකෝපකාරී” යැයි ඊයේ බීජිනය විසින් හෙලා දකිනු ලැබූ අතර, එක්සත් චීනයක් සඳහා වොෂින්ටනයේ කැපවීම සම්බන්ධයෙන්  විවේචනාත්මකව ප්‍රශ්න කලේය. බීජිං හි තායිවාන් කටයුතු සම්බන්ධ කාර්යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, මෙම ගුවන් ගමන “අපගේ ස්වෛරීභාවයට, ආරක්ෂාවට හා සංවර්ධන අවශ්‍යතාවන්ට හානි කරන අතර ජාත්‍යන්තර නීතියේ සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික මූලධර්ම උල්ලංඝනය කරන” බවයි.

ඇමරිකාවේ එල්ලය වෙත යොමුකිරීමේ මිසයිල් නාශක යූඑස්එස් රසල් මේ වන විටත්, එනම් ජුනි 5 වන දින, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කර ඇති අතර, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රධාන ප්‍රකාශක ජෙන් ෂුවාං “තායිවාන් සමුද්‍ර සන්ධිය පිලිබඳ ප්‍රශ්න වලින් චීන-ඇමරිකා සබඳතා, සාමය හා ස්ථාවරත්වයට හානියක් නොවන බවට වගබලාගන්නා” මෙන් වොෂිංටනයෙන් ඉල්ලා සිටියේය.

වොෂින්ටනය, ඇමරිකානු කම්කරුවන්ට එරෙහි මිලිටරි-පොලිස් මර්දනය උත්සන්න කිරීම, විදේශයන්හි සිය ආක්‍රමන සඳහා ඇති සියලු බාධා ඉවත් කිරීමේ දීර්ඝකාලීන ප්‍රතිපත්තියත් සමඟ අත්වැල් බැඳගනී.

ඔබාමා පරිපාලනය, 2014-2024 දී ඩොලර් ට්‍රිලියන 1 ක් න්‍යෂ්ටික අවි ගබඩා සඳහා වෙන් කිරීමේ අරමුන, ඉතිරිව ඇති අවි ගිවිසුම් අහෝසි කිරීමයි. සතුරු මිසයිල ඉලක්ක කර ගනිමින් “ස්ටාර් වෝර්ස්” පද්ධති සැකසීම සඳහා, වොෂිංටනය 2001 දී බැලිස්ටික් මිසයිල විරෝධී ගිවිසුම (ඒබීඑම්) ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව ට්‍රම්ප්, 1987 අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා (අයිඑන්එෆ්) ගිවිසුම අවලංගු කෙල්ය. දැන් වොෂිංටනයේ  අරමුන,1991 දී අත්සන් කල නව මූලෝපායික අවි සීමා කිරීමේ ගිවිසුම (NEW START) අහෝසි කිරීමයි. 

ගිවිසුම වසර පහක් දක්වා දීර්ඝ කිරීමට රුසියාව ඉදිරිපත් වී ඇති නමුත්, චීනය සාකච්ඡාවලට සම්බන්ධ වී සිය න්‍යෂ්ටික අවි තොග සීමා කිරීම පිලිබඳ ගිවිසුම් වලට නොඑලඹෙන්නේ නම්, සාකච්ඡාවට සම්බන්ධ වීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත් බීජිනය එම අදහස ප්‍රතික්ෂේප කර තිබේ.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක හුආ චුනින්ග් පැවසුවේ, “සියල්ලන්ම දන්නා පරිදි, චීනයේ න්‍යෂ්ටික බලය ඇමරිකාවේ සහ රුසියාවේ විශාලත්වයට සමාන නොවේ… ත්‍රෛපාක්ෂික සාකච්ඡාවලට සහභාගී නොවීම යන්නෙන්, චීනය න්‍යෂ්ටික නිරායුධකරනය පිලිබඳ ගෝලීය වශයෙන් ගනු ලබන උත්සාහයන් වලට සහයෝගය ලබා නොදෙන බවක් අදහස් වන්නේ නැත. එම උත්සාහයන්ට බාධා කරමින්, වැරදි මාවතේ තවදුරටත් ගමන් කරන්නේ එක්සත් ජනපදයයි. ඉවත්ව යන්නා ඇමරිකාවයි ” ආයුධ පාලන ගිවිසුම් අහෝසි කරමින් ඒවා පිලිබඳ “වගකීම අන් අය මත තැබීමට” වොෂින්ටනය උත්සාහ කරන බව හුආ පැවසීය.

ඇත්ත වශයෙන්ම ඇමරිකාවට රුසියාව සහ චීනය සමඟ ඇති විවිධ ගැටුම් සමඟ, වඩ වඩාත් න්‍යෂ්ටික අවි යොදා ගනිමින් වොෂින්ටනය ඔවුන්ට පහර දීමෙන් වලක්වාලීමට මොස්කව් සහ බීජිං තන්ත්‍රයන් ගෙන ඇති පියවර  වඩ වඩාත් බැඳී ඇත. එසේම ප්‍රන්ස විදේශ සබඳතා ආයතනය (අයිඑෆ්ආර්අයි) පෙන්වා දෙන්නේ, චීනය හයිනන් දූපතේ ප්‍රධාන න්‍යෂ්ටික මිසයිල සබ්මැරීන් කඳවුරක් පන ගන්වා තිබීම, දකුනු චීන මුහුද පිලිබඳ ගැටුමට හේතුව වන බවයි. අභ්‍යන්තර ඔකොට්ස්ක් මුහුදේ සබ්මැරීන  සඟවමින්, වොෂින්ටනය සිය රටට න්‍යෂ්ටික අවිවලින් පහර එල්ල කලහොත් ඇමරිකාවට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කල සෝවියට් සංගමයේ සීතල යුද්ධ ප්‍රතිපත්තිය, චීනයේ ප්‍රතිපත්තිය හා සැසඳිය හැකිය.

අයිඑෆ්ආර්අයි මෙසේ ලියයි, “සබ්මැරීන් විරෝධී යුද බලඇනි වලට ගොදුරු නොවෙමින් පිටත ආරක්ෂිත ජාලයේ මුර සංචාර පැවැත්වීම සඳහා, සෝවියට් න්‍යෂ්ටික මිසයිල සබ්මැරීන දැඩි ලෙස ආරක්ෂිත ඕකොට්ස්ක් මුහුදට පමනක් සීමා කරගත් අතර, ඔවුන්ගේ බැලස්ටික් මිසයිල වල පවතින න්‍යෂ්ටික ප්‍රතිරෝධකයක් ඇති කිරීමේ හැකියාව පිලිබඳ විශාල ලෙස විශ්වාසය තැබීය. ඒ හා සමානව, දකුනු චීන මුහුදේ විවිධ මතභේදාත්මක දූපත් වල මිලිටරි මුරපොලවල් සහ ගුවන් තොටුපලවල් ඉදිකිරීම, චීන න්‍යෂ්ටික මිසයිල සබ්මැරීනවලට ආරක්ෂිතව මුර සංචාරයේ යෙදීම සඳහා ආරක්ෂිත වලල්ලක් ගොඩනැගීමේ විශාල උත්සාහයක කොටසක් විය හැකිය. ”

මෙම උග්‍රවන ගැටුම් හා න්‍යෂ්ටික යුද තර්ජන, ඇමරිකානු සහ ජාත්‍යන්තර කම්කරුවන්ට අනතුරු ඇඟවීමකි. සමාජ අසමානතාවයට හා පොලිස් මර්දනයට එරෙහිව කම්කරු පන්තිය තුල විරෝධය වැඩි වන තරමට, මනුෂ්‍යත්වයට කෙතරම් විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දුන්නද අධිරාජ්‍යවාදී පාලක පන්තිය යුද්ධය දෙසට හැරේ.

Loading