ස්මාර්ට් ෂර්ට් කම්කරුවන් සාකච්ඡා වටවංගුවල සිරකොට ඔවුනගේ රැකියා සටන දිය කිරීමට වෘත්තීය සමිති යත්න දරයි

රැකියා අහිමිවීමේ අවදානමට ලක්ව සිටින, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ ස්මාර්ට් ෂර්ට් ඇඟලුම් කම්හල් ජාලයේ කම්කරුවන් කන්ඩායමක් මීගමුව කම්කරු කාර්යාලයෙන් කල කැඳවුමක් මත, තම රැකියා පිලිබඳ සාකච්ඡාවකට ජුනි 12 වනදා එහි ගියහ. 

කොරෝනා වසංගතය මධ්‍යයේ ආර්ථීකය යලි ඇරැඹීමේදී හාම්පුතුන් ක්‍රියාවට දමා ඇති රැකියා කප්පාදුවේ කොටසක් ලෙස මෙම ජාලයේ කම්හල් කිහිපයකම කම්කරුවෝ රැකියා අහිමිවීමේ සහ වැටුප් කප්පාදුවේ තර්ජනයට මුහුන පා සිටිති. ඇනවුම් නොමැති නිසා යලි වැඩ පටන් ගන්නා තෙක් මූලික වැටුපෙන් අඩක් පමනක් ගෙවීමට තීරනය කර ඇති බව පාලකයන් කම්කරුවන්ට දන්වා ඇත. සේවාකාලය මාස තුනට අඩු සහ වයස්ගත කම්කරුවන් දහසකට ආසන්න ප්‍රමානයක් දැනටමත් රැකියාවලින් පිටමන් කෙරී ඇත.

ජූනි 03 දා සමාගමේ පරිපාලනය සමග කල සාකච්ඡාවකදී තම රැකියා සුරක්ෂිත කරදෙන ලෙස කම්කරුවන් කල ඉල්ලීම පරිපාලනය  විසින් ප්‍රතික්ෂේප කෙරුනි. නොසන්සුන්වූ කම්කරුවන් මධ්‍යයට පැමිනි මීගමුව කම්කරු කාර්යාල නිලධාරියකු ඉහත සාකච්ඡාව සඳහා කම්කරුවන් කැඳවා ඇත. 

මෙම සාකච්ඡාව සඳහා ජනතා විමුක්ති පෙරමුනට (ජවිපෙ) අනුබද්ධිත අන්තර් සමාගම් සේවක සංගමයේ (අසසේස) වෘත්තීය සමිති නිලධාරීන් දෙදෙනෙකු, කම්කරුවන් අතරින් තෝරා ගැනුනු නියෝජිතයින් දෙදෙනෙකු සහ කම්හල වෙනුවෙන් නීතිඥයින් දෙදෙනෙකු සහභාගි වී ඇත.

සාකච්ඡා හමාර වීමෙන් පසු කම්කරුවන් අතරට පැමිනි සමිති නිලධාරීන් දෙදෙනා,  රාජපක්ෂ  ආන්ඩුව, ධනපති හාම්පුතුන් හා වෘත්තීය සමිති අතර ඇතිකරගෙන තිබෙන ත්‍රෛපාර්ශ්වික එකඟතා ගිවිසුම යටතේ රැකියා ආරක්ෂා කරගතහැකි බවට ශපථ වී ඇත. ත්‍රෛපාර්ශ්වික එකඟතා ගිවිසුම වනාහි, කොරෝනා වසංගතයෙන් තීව්‍ර වී ඇති අර්බුදයේ බර කම්කරුවන් මත පටවා ධනපති සමාගම් වල ලාබ  සුරක්ෂිත කිරීමේ සම්මුතියකි. 

සමාගම් වල අභිමතයට අනුව  කම්කරුවන් කොටස් වශයෙන් සේවයට කැඳවීමට සහ සියයට 50 කින් වැටුප් කප්පාදු කිරීමට මෙම ගිවිසුම යටතේ සමිති නායකයන් එකඟ වූ අතර ස්මාර්ට් ෂර්ට් කම්හලේ කම්කරුවන්ට එල්ල වී ඇති ප්‍රහාරයට ඔවුන් සෘජුවම වගකිව යුතුය.  

එම කප්පාදු කල වැටුප ස්මාර්ට් කම්කරුවන්ට ජුනි 25 වනදා ගෙවියයුතු බවත්, “ඇමතිතුමා හමු වුන ගමන් අනිවාර්යයයෙන් ඒ මුදල් ගෙවන මෙන්” ඉල්ලා සිටින බවත් කියමින් කම්කරුවන් හරවා යැවීමට ජවිපෙ සමිති නියෝජිතයන් දෙදෙනා උත්සාහ දැරූහ. 

තම රැකියා ආරක්ෂා කරගැනීම සඳහා කම්කරුවන්, සමාගමටත්, ආන්ඩුවටත් එරෙහි විරෝධතා තියුනු කරනු ඇතැයි බියවූ සමිති නායකයෝ, “ඔයාල කාගෙවත් රැකියාවන් අහිමි කරන්න සමාගමේ සූදානමක් නැහැ” යනුවෙන් කම්කරුවන් ඉදිරියේ බේගල් ඇදබෑහ. 

ආන්ඩුව සහ සමාගම පිලිබඳ කම්කරුවන් අතර විශ්වාසයක් ගොඩනැංවීමට සමිති නායකයන් උත්සාහ කලත් ආන්ඩුව සහ හාම්පුතුන් ඒකාබද්ධව දියත්කර ඇති ප්‍රහාරය ගැන අවබෝධයෙන් යුතු කම්කරුවෙකු මෙසේ විමසීය:  “ස්මාර්ට් සමාගම එක්ක සම්බන්ධයි කියල හුඟාක් කතා තියෙන මේ කම්කරු කාර්යාලය විශ්වාස කරන්න පුලුවන් වෙයිද? ” 

තමන්ට පරිපාලනය විසින් ලබා දී  ඇති පනිවුඩවල හැටියට ඉක්මනින් කම්හල පටන් නොගන්නා බව තමන්ට පැහැදිලි බවත්,  “මෙයාල (ආයතනය) අපිව තම්බන්න හදන”බවත් එහි සිටි තවත් කම්කරුවෙක් පැවසීය.

කම්කරුවන් ඉදිරීයේ කුමක් පැවසුවත් හාම්පුතුන් සමඟ සාකච්ඡාවේදී කම්කරුවන්ගේ අරගල යටපත් කරදීමට සමිති නායකයන් පොරොන්දු වී තිබෙන බවට සැක නැත. කම්කරුවන්ගේ විරෝධතා ඉස්මතුවීම පිලිබඳ හාම්පුතුන්ගේ මෙන්ම වෘත්තීය සමිතිවලද භීතිය ප්‍රදර්ශනය කල ජවිපෙ සමිති නායකයෝ  “ඒගොල්ල(ආයතනය) බයකුත් ඇති සේවකයෝ ආයතනය ඉස්සරහට ගිහින් 'කචල්' දමයි කියල” යනුවෙන් පැවසූහ. 

කම්හලේ පාලකයින්ගේ උවමනාව කම්කරුවන් වෙත සන්නිවේදනය කරමින් සමිති නායකයින් පැවසුවේ, “අවුලක් හදන්න එපා, සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගමු” යනුවෙන් සමාගමේ නියෝජිතයන් තමන්ගෙන් ඉල්ලා සිටි බවයි. 

කම්කරුවන් අරගලවලට නොයායුතු බව සමිති නායකයින් මෙසේ සෘජුවම පවසද්දී, එයට විරුද්ධව කම්කරුවෙක් මෙසේ පැවසීය: “ඒගොල්ල (ආයතනය) සහනයක් දෙන්නේ නැත්තම් අපිට උද්ඝෝෂන කරන්න වෙනවා.”

සමාගමට එරෙහිව කම්කරුවන් අතර වැඩෙන කෝපය සමහන් කිරීමට සමිති නිලධරය උත්සාහ කරද්දී  වසර ගනනක් මුලුල්ලේ මුහුන දුන් දුෂ්කර රැකියා කොන්දේසි සහ රැකියා සහ වැටුප් කප්පාදුව පිලිබඳව කම්කරුවෝ කෝපයෙන් කතා කලහ. 

ස්මාර්ට් ෂර්ට් හි වසර විස්සකට අධික කාලයක් සේවයේ නියුතු කාන්තා කම්කරුවෙකු පැවසුවේ “අපි ඉල්ලන්නෙ වැඩ.  දැන් අපිට වැඩ දෙන්න බැහැ කියනවා. ලැබෙන පඩියෙන් සියයට 30ත් 50ත් අතර ප්‍රමානයක් කපනවා. අවුරුදු ගානක් තිස්සේ පඩි වැඩිවීමක් නැහැ. දීමනා නැහැ. වැඩ තිබුනු දවස්වල අමතරව දිනකට රුපියල් 400ක දීමනාවක් දුන්නා. කෑම වලට සහ ප්‍රවාහන සඳහා ඒකෙනුත් රුපියල් 200ක් කපා ගත්තා” යනුවෙනි. 

මෙම කොන්දේසි වලට එරෙහිව හඬනැගූ  කම්කරුවන් පරිපාලනය විසින් දඩයමට ලක්කල ආකාරය ඇය පැහැදිලි කලාය. “ඇතුලේ තියෙන ප්‍රශ්න ගැන කතාකරන්න ඉදිරිපත් වෙන්න බයයි. එහෙම කලොත් [දුරබහැර] කොටදෙනියාව, හුන්නස්ගිරිය වගේ ෆැක්ටරිවලට මාරු කරනවා. ඔවුන්ට [ෆැක්ටරියේ ඉන්න] එපාම කරල, ගෙදර යන තත්වෙට වැඩ කරනවා. ඒ නිසා කිසිවෙකු විවෘතව ඉදිරිපත් වීමට බියක් ඇති” බව ඇය පැවසුවාය.

කම්කරුවන්ගෙන් දැවැන්ත ලාභයක් කොල්ලකාගත් හාම්පුතුන්, සොච්චම් වන්දි යටතේ හෝ ඇතැම් විට වන්දි නොගෙවාම ස්මාර්ට් ෂර්ට් ඇතුලු කම්හල් ගනනාවක කම්කරුවන් දොට්ට දමමින් සිටින්නේ වෘත්තිය සමිති වල මෙම සහයෝගය උපයෝගී කරගනිමිනි. තම රැකියා අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට ඉදිරියට එන කම්කරුවන්ට විවිධ වටවංගුවල රස්තියාදු කරමින් කම්කරුවන්ගේ වෛරය වාෂ්ප කිරීම සඳහා වෘත්තීය සමිති නිරන්තරව වැඩ කරති.

හම්බන්තොට, මිරිජ්ජවිල අපනයන සංවර්ධන කලාපයේ පිහිටි, කේන් ඇපරල් කම්හලේ කම්කරුවන් 400 ක් දොට්ට දැමීමට පරිපාලනය විසින් කටයුතු කරමින් යද්දී කම්කරුවන්ට සාධාරනය ඉටු කර දෙන මෙන්  ඉල්ලා සිටින ලිපියක් කම්කරු කාර්යාලයට භාර දීම සඳහා අසසේස කම්කරුවන් පොලඹවනු ලැබූවේය. 

කවර හෝ සහනයක් සැලසීමට “හැකියාවක් නොමැති” බව පැවසූ සමාගම් පරිපාලනය කම්කරුවන්ගේ හිඟ වැටුප් සහ කිසිදු වන්දියක් ගෙවීමකින් තොරව ඔවුන්ව රැකියා වලින් දොට්ට දැමීය.

දැනටමත් රැකියාවලින් නෙරපනු ලැබූ දහස් ගනනක් කම්කරුවන් හැරුනු කොට ලක්ෂ පහක් වන ඇඟලුම් කම්කරුවන්ගෙන් ලක්ෂ හතරකගේ රැකියා අනතුරේ පවතියි. 

ත්‍රෛපාර්ශ්වික සම්මුතියට සම්බන්ධ තවත් වෘත්තීය සමිතියක් වන නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමයේ (නිවෙකපොසේස) ලේකම් ඇන්ටන් මාකස්, තමන්ගේ සමිති ශාඛා පවතින කර්මාන්ත ශාලාවල කම්කරුවන් මෙවැනිම ප්‍රහාරයන්ගේ ගොදුරු බවට පත්වීමට ඉඩ හැර ඇත. “ලක්ෂ පහක් වන ඇඟලුම් කම්කරුවන්ගෙන් ලක්ෂ තුනක් අයින් කරන්න ඕන කියද්දි, අපනයන කර්මාන්තවල කම්කරුවන්ගෙන් සියයට හැටක් අස් කරන්න ඕන කියද්දි ඒක වලක්ව ගන්න තමන්ට හැකි වුන” බවට මාකස් පූච්චානම් දෙඩුවත් එම ප්‍රකාශ පුස්සක් බවට පෙරලමින් නිවෙකපොසේස යේ ශාඛාවක් පවතින යක්කල එවර්බෙස්ට් කම්හලේ කම්කරුවන් 1,200න් සොච්චම් වන්දි වලට යටත් කරනු ලැබ කම්කරුවන් 600 ක් ඉවත්කෙරී ඇත.

කොරෝනා වසංගතයෙන්  ලංකාවේ අනෙකුත් ක්ෂේත්‍රවල ‌මෙන්ම, ඇඟලුම් කර්මාන්තයේ ද අර්බුදය වඩා ගැඹුරු කර ඇත. 

නිසි සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් නොමැතිව කම්කරුවන් වැඩට තල්ලු කර ඇතුවාක් මෙන්ම ඔවුන්ගේ රැකියා, වැටුප්, සේවා කොන්දේසි රුදුරු ලෙස කප්පාදු කොට ලාභ පොදිගසා ගැනීමට ධනපති කර්මාන්ත හිමියෝ සැරසී සිටිති. ලංකාවේ මෙන්ම ඇඟලුම් නිෂ්පාදනයේ ප්‍රමුඛ රටවල් වන බංගලාදේශය, මියන්මාරය සහ කාම්බෝජය යන රටවල ද, පසුගිය මාස තුන තුල රැකියා කැපීම සමගම වැටුප් ගෙවීමකින් තොරව හෝ සුලු වැටුප් ගෙවීමක් සහිතව ඇඟලුම් කම්හල් දහස් ගනනක් වසා දමා  ඇත. 

ධනපති නිෂ්පාදකයන් මුහුනදී සිටින අර්බුදයට කම්කරුවන් බිලිවිය යුතු නැත. ඇඟලුම් කම්කරුවන් විවිධ විරෝධතා මගින් පෙන්නුම් කරන්නේ වෙනත් ක්ෂේත්‍රවල කම්කරුවන් මෙන්ම ඔවුන්ද එම ප්‍රහාරයන්ට  එකහෙලා විරුද්ධ වන බවයි. එහෙත් වෘත්තීය සමිති වඩා විවෘතව ඇඟලුම් කර්මාන්තකරුවන්ගේ හා ආන්ඩුවේ  ඍජු ඒජන්තයන් ලෙස ක්‍රියා කරමින් සිටිති.  සිය අයිතීන් වෙනුවෙන් කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීමට ඔවුහු මුලුමුනින් සතුරුය. 

තමන්ගේ අයිතීන් සඳහා සටන් කිරීමට කම්කරුවන්ට නව සංවිධානයක් අවශ්‍ය වන්නේ එහෙයිනි. වෘත්තීය සමිති වලින්  ස්වාධීනව සෑම ක්ෂේත්‍රයකම කම්කරු ක්‍රියාකාරී පිහිටුවා ගැනීම හදිසි අවශ්‍යතාවයක් ලෙස මතුවී ඇත. සමාජවාදී සමානතා පක්ෂය විසින් දියත් කරනු ලබන ඇඟලුම් කම්කරුවන්ට සසප පනිවිඩ පුවත්හසුන ඒ සඳහා කම්කරුවන්ට මගපෙන්වනු ඇත. ඊට දායක වන ලෙසත්, එයට ඔබේ අදහස් හා පුවත් යොමු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.   

Loading