අවුරුදු 75 කට පෙර: දෙවන ලෝක යුද්ධයෙන් ජපානය පරාජයවීමේ අද්දරට පැමිනේ

මෙම ලිපිය ජූනි 15 දින ඉංග්‍රීසියෙන් පලවින.

හිරෝහිතෝ අධිරාජ්‍යයා

 

1945 ජුනි මාසයේ මේ සතියේ දී ජපාන අධිරාජ්‍ය ආන්ඩුව සහ එහි අධිරාජ්‍යයා, තමන් දෙවන ලෝක යුද්ධයෙන් පරාජයට පත් වූ බව පිලිගත්හ. අග්නිදිග ආසියාව පුරා මිලිටරි බිඳවැටීම්, ඉතාලියේ හා ජර්මනියේ ෆැසිස්ට් සහචරයින්ගේ බිඳවැටීම, සෝවියට් රතු හමුදාව පැසිෆික් යුද්ධයට අවතීර්න වීමේ නොවැලැක්විය හැකිකම සහ ආසියාව පුරා විප්ලවයන්ගේ  වර්ධනය හමුවේ ඔවුහු, පලමු වරට යටත් වීමේ ක්‍රියාවලියට පිවිසුනහ.

හැකි ඉක්මනින් මිත්‍ර පාක්ෂිකයන් සමග සාමය සඳහා පියවර ගැනීමට හිරෝහිතෝ අධිරාජ්‍යයා අදහස් කරන බව අගමැති කන්තාරෝ සුසුකි විසින් ජුනි 18 දා ජපාන උත්තරීතර සභාවට දැනුම් දුන්නේය. දින කිහිපයකට පසු එනම්  ජුනි 22 වන දින, හිරෝහිතෝගේ ඉල්ලීම එක්සත් ජනපද ආන්ඩුවට දැනුම් දුන්නේ මෙසේ ය: “පවත්නා ප්‍රතිපත්ති කඩ නොවන අයුරින් යුද්ධය අවසන් කිරීමේ ස්ථිරසාර සැලසුම් කඩිනමින් අධ්‍යයනය කොට ක්‍රියාත්මක කිරීමට මම කැමැත්තෙමි.”

පසුගිය මාස තුන පුරා පෙර නොවූ විරූ ලෙස එක්සත් ජනපද ගුවන් ප්‍රහාර මගින් ජපන් නගර බිමට සමතලා වෙමින් පැවතුනි. ටෝකියෝ, නගෝයා සහ අනෙකුත් ප්‍රධාන නගර වලට හෙලූ බෝම්බ වලින් ජපාන ජනාවාස වලින් හතෙන් එකක් විනාශ වී ඇති බවට ඇස්තමේන්තු කර තිබේ. ගිනි කුනාටු මෙන් ඇවිලී යන ආකාරයට පිපිරවිය හැකි ආයුධ (combustible munitions) පාවිච්චි කොට එල්ල කල ප්‍රහාර මගින් ජනාකීර්න ප්‍රදේශවල ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් මිය ගියේය. කාර්මික ශක්තිය අතුගා දමා, වරායන්  විනාශ කර ඇති තතු මධ්‍යයේ තම ගුවන් හමුදාවට තව දුරටත් සටන් කිරීමට නොහැකි බව පිලිගැනීමට ජපාන ආන්ඩුවට සිදුවිය.

කලාපය පුරා, ජයගැනීමේ ජපන් අධිරාජ්‍යය සැලසුම් ව්‍යාකූල වී තිබින. පසුගිය මාස කිහිපය තුල එක්සත් ජනපද හමුදා, පිලිපීනය තුල මීට පෙර  ඇමරිකානු අධිරාජ්‍යවාදී යටත් විජිත සමයේ පැවති තත්වය නැවත අත් කර ගත්හ. සතියකට පෙර එක්සත් ජනපද සොල්දාදුවන්,  ජපානයේ දක්ෂින දූපත වන මින්දනාඕ හි අගනුවර වන දාවාවෝ තුල ඉතිරිවී සිටි ජපන් හමුදා පහසුවෙන් නෙරපා හැරි අතර, මූලෝපායිකව වැදගත් ජපානයේ දකුනු අර්ධයේ දූපත් සමූහය මත එක්සත් ජනපදයේ ආධිපත්‍යය සහතික කර ගත්තේය. තවද ජපාන භට පිරිස් පැසිෆික් කලාපයේදී ඕස්ට්‍රේලියානු හමුදාව අතින් පසුබෑමට ලක් වූ අතර උතුරු කලාපයේ සිදු වූ පරාජයන් නිසා තව දුරටත් සැපයුම් හා උදව් ලැබීම් ද නතරවිය.

ජුනි 22 වන දින එක්සත් ජනපද හමුදාව ඔකිනාවා සටනේදී ජයග්‍රහනය ප්‍රකාශයට පත් කලේය. එමඟින් තායිවානයේ ගුවන් කඳවුරු පිහිටුවාගැනීමට අමතරව පැසිෆික් කලාපයේ අති දියුනු නාවික ප්‍රහාරක යාත්‍රා සහ ගුවන් යානා ගෙන යන නැව් හිමිකරගත්තේ, ජපානයේ අනෙක් ප්‍රදේශවලටත් පහර දීමට සුදානම් වන බවට සැක ඇති කරවමිනි.

එක්සත් ජනපද පාලක ප්‍රභූවේ ප්‍රමුඛ කොටස්, මංමුලා සහගත කැමිකාසේ ප්‍රහාර (kamikaze attacks*) සහ ප්‍රතිරෝධය පෑමේ** උත්සාහයන් තිබියේවී නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු පැහැදිලිවම බොඳවී තිබුනු ජපානය සමඟ සාමකාමී සාකච්ඡා සඳහා උනන්දුවක් නොදැක්වූහ. පශ්චාත් යුද සමය තුල සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීම ඇමරිකානු ධනපති පන්තියේ අදහස වූ අතර, ආසියාව සහ ජාත්‍යන්තරය පුරා තම  අතිමහත් මිලිටරි බලය විදහා දක්වමින් ජනතාව බිය ගැන්වීම එහි එල්ලය විය. ඒ ඉලක්කය ඇතිව පැසිෆික් කලාපයේ ගැටුම අගෝස්තු මාසයේදී අවසන් කලේ, පෙර නොවූ විරූ ආකාරයේ යුද අපරාධයක් සටහන් කරමින් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි හිරෝෂිමා සහ නාගසාකි වෙත හෙලීමත් සමඟ ය.

* කැමිකාසේ (kamikaze): දෙවන ලෝක සංග්‍රාමයේ පැසිෆික් ආක්‍රමන මාලාවේ අවසන් අදියරේදී, මිත්‍ර හමුදා නාවික යාත්‍රාවලට එරෙහිව ජපාන අධිරාජ්‍යය වෙනුවෙන් මරාගෙන මැරෙන ප්‍රහාර දියත් කල ගුවන් යානා වල ගමන් කල විශේෂ ප්‍රහාරක ජපාන හමුදා ඒකකය කමිකාසේ නමින් හැඳින්වේ. යුද්ධයේදී කමිකාසේ නියමුවන් 3,800 ක් මිය ගිය අතර කමිකාසේ ප්‍රහාරවලින් 7,000 කට අධික මිත්‍ර හමුදා නාවික භට පිරිසක් මිය ගියහ. 

** ප්‍රතිරෝධී ව්‍යාපාරය (resistance movement): මෙය දෙවන ලෝක යුද සමයේදී බිහි වූ යුද විරෝධී ව්‍යාපාරයකි. මොවුන් සැඟවී රහසිගත ලෙස සංවිධානය වූ අතර නාසි පාලනයට එරෙහිව යුරෝපය තුලත් ජපාන අධිරාජ්‍ය පාලනයට එරෙහිව ජපානය සහ පැසිෆික් කලාපය තුලත් විවිධ ක්‍රම උපයෝගී කරගනිමින් ක්‍රියාකාරී විය.

Loading