තැපැල් වෘත්තීය සමිති වැටුප් කප්පාදුවට එකඟවෙයි

තැපැල් සේවකයන් ජුනි 8 වෙනිදා සිට ගෙන ගිය අකුරට වැඩකිරීමේ විරෝධතා ව්‍යාපාරය, එය කැඳවූ තැපැල් වෘත්තීය සමිති විසින් ජුනි 12 වෙනිදා නතරකර දැමුවේ, තැපැල්පති රන්ජිත් ආරියරත්න සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුමකින්,  වැටුප් කප්පාදුවකට එකඟතාව පල කරමිනි.

අවබෝධතා ගිවිසුමට අනුව ජුනි 12 වෙනිදා සිට බල පැවැත්වෙන පරිදි මාස තුනක කාලයක් සඳහා තැපැල් කාර්යාවල සෙනසුරාදා දිනවල වැඩ කිරීම වෙනුවෙන් ගෙවන දීමනාවෙන් සෑම සේවකයකුගෙන් ම සියයට 20 ක් රඳවා ගැනෙන අතර තැපැල් කාර්ය මන්ඩලවල සියලුම ආකාරයේ අතිකාල දීමනාවල එකතුවෙන් සියයට 20 ක් ඔවුන් රජයට “පරිත්‍යාග” කලයුතුය. 

එමෙන් ම,  මෙම තීරනයන් ක්‍රියාත්මක කිරීමේ දී තැපැල් සේවය සක්‍රිය  කිරීම සඳහා සිය සාමාජිකත්වය දැනුවත් කරන බවට වෘත්තීය සමිති එකඟවී තිබේ. එනම්, සෙනසුරාදා දිනවල උප තැපැල් කාර්යාල වසා තැබීමට සහ අතිකාල දීමනා කප්පාදුවට එරෙහිව ගෙන ගිය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය නතර කරන බවට සහ මෙම වැටුප් කප්පාදුවට එරෙහිව  සේවකයන්ගෙන් කිසිදු විරෝධතාවයක් හෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ඇති නොවන බවට, සමිති නිලධරය පාලකයන්ට සහතිකවී ඇත. මෙම දීමනා කප්පාදුව තුලින් සේවකයන්ට මාසයකට රුපියල් කිහිප දහසක් අහිමිව යයි.

තැපැල් සමිති පෙරමුනට (තැසපෙ) අයත් තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (තැවීනිස) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට (ශ්‍රීලනිප)  සම්බන්ධ ශ්‍රී ලංකා තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය (ශ්‍රීලතැවිනිස), සමස්ත ලංකා තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය (සලතැවීනිස),  එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් පාලනය කරනු ලබන ජාතික තැපැල් සේවක සංගමය (ජාතැසේස) යන සමිති ගිවිසුමට අත්සන් තබා ඇත.

වෘත්තීය සමිති, ආන්ඩුව සහ තැපැල් බලධාරීන් සමග ඉහත  එකඟතාවයට එලඹි ඇත්තේ සාමාජිකයන්ගෙන් ඒ සම්බන්ධව කිසිදු  අදහස් විමසීමකින් තොරව අතිශයින් ම ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙසය. සාමාජිකයන්ගෙන් අදහස් විමසීමක් කලේ නම් ඔවුන් එයට නිසැකවම විරුද්ධ වන බව  සහ එයින් ආන්ඩුවත් සමග ඇතිකර ගත් සම්මුතිය බිඳ  වැටෙන බව සමිති නිලධරය හොඳින්ම දනී. 

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා දැමීමටත්, වැඩ දිනය පැය 8 ට සීමා කොට අතිකාල කප්පාදු කිරීමටත් ආන්ඩුව ගෙන තිබු  තීරනය කෙරෙහි  තැපැල් සේවකයන්ගෙන් බරපතල විරෝධයක් මතු විය. තැසපෙ ට ජුනි 8 වෙනිදා අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් කැඳවුම් කිරීමට බල කෙරුනේ එම තතු තුලය. තැපැල් දෙපාර්තුවේ 26,000 ක් පමන වන සියලු සේවකයෝ එයට සහභාගී වුහ.

සේවකයන්ගේ එම සහභාගිත්වය පෙන්නුම්කලේ, වැටුප්  කප්පාදුව, සියලු කනිෂ්ට ශ්‍රේනි තනි  ශ්‍රේනියකට කැටි කිරීම තුලින් වැටුප් සහ උසස්වීම් කප්පාදු කිරීම, දිගුකාලයක් පවතින 1,500 ක් පමන වන පුරප්පාඩු නොපිරවීම සහ එමගින් මුහුන දෙන දුෂ්කර සේවා කොන්දේසි වලට එරෙහිව ඔවුන් තුල කැකෑරෙන විරුද්ධත්වයි.  

තැපැල් සේවකයන් දීර්ගකාලීනව මුහුන දෙන මෙම ගැටළු අරභයා පැවති සෑම අරගලයක් ම වෘත්තීය සමිති විසින් යලියලිත් පාවාදෙනු ලැබීය. තැපැල් සේවකයන්ගේ මෑත කාලීන දීර්ගතම අරගලය වුයේ  2018 ජුනි 11 ආරම්භ කර දින 16 ක් පුරා පැවති අඛන්ඩ වැඩ වර්ජනයයි. සියලු තැපැල් සේවකයන් ඊට සහභාගී වූ අතර සේවයෙන් පහකරන  බවට සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කල තර්ජනය ඔවුහු නොතකා හලහ.

2018 ජුනි 20 වෙනිදා කොලඹ දී පැවති විරෝධතා පෙලපාලියට 4000 වැඩි පිරිසක්  සහභාගී වූ අතර ජුනි 25 වෙනිදා රටපුරා ප්‍රධාන නගර වල වර්ජකයෝ පිකට් උද්ඝෝෂන වල යෙදුනාහ.

තම ඉල්ලීම් දිනා ගැනීම සම්බන්ධයෙන් තැපැල් සේවකයන් එවන් අධිෂ්ටානයක් සහ සටන්කාමිත්වයක් පෙන්නුම් කල නමුත් තැපැල් ඇමතිගේ ව්‍යාජ පොරොන්දු වලට යටත් කොට කිසිදු ඉල්ලීමක් දිනා නොගෙනම හා සාමාජිකයන්ගේ අනුමැතියකින් තොරව වෘත්තීය සමිති වර්ජනය නතර කර අරගලය පාවා දුන්හ. පසු අරගල ද ඒ අයුරින් ම  පාවා දෙනු ලැබීය. 

මෙවර ද සමිති නායකයන්ගේ  අරමුන වුයේ  ආන්ඩුවේ ප්‍රහාරයට විරුද්ධව තැපැල් සේවකයන්ගේ අව්‍යාජ අරගලයක් සංවිධානය කිරීම නොවේ; කල් ඇතිවම ඇබ ගසා එවැන්නක් වර්ධනයවීම වැලැක්වීමය. එසේ කිරීමෙන් ඉක්බිතිව, ආන්ඩුව සහ තැපැල් බලධාරීන් සමග කුමන්ත්‍රනයකින් ආන්ඩුවේ සැලැස්ම තැපැල් සේවකයන්  මත පටවා තිබේ. 

එවන් එකඟතාවයකට එලඹීමට හේතු වෘත්තීය සමිති නිලවශයෙන් ප්‍රකාශ කර නැතත් ඒ ගැන විමසු තැපැල් සේවකයන්ට පවසා ඇත්තේ “පවතින තත්වය” තුල තැපැල් දෙපාර්තමේන්තුව රැකගැනීමට එසේ කල බවය. “පවතින තත්වය” යනු කොරෝනා වසංගතය තුලින් තවදුරටත් ගැඹුරු කෙරී ඇති රාජපක්ෂ ආන්ඩුවේ ආර්ථික හා මුල්‍ය අර්බුදයයි.

අර්බුදයේ බර කම්කරුවන් මත පැටවීම සඳහා රාජ්‍ය අංශයේ සියලු ආයතන තුල රැකියා සහ වැටුප් කප්පාදුවක් ආන්ඩුව විසින්  ක්‍රියාවට දමා ඇත. කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමේ ක්‍රමවේදයක් බව පවසමින් ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව අඩුකර ඇති අතර අතිකාල සහ සෙසු දීමනා කප්පාදු කර තිබේ. 

රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය ඇතිව පුද්ගලික අංශය තුල ද පුළුල් පරිමානව මෙම ප්‍රහාරයන් ක්‍රියාවට දමා ඇත. මෙම රැකියා සහ වැටුප් කප්පාදුව ධනපති පාලක පන්තීන් විසින් සෑම රටකම කම්කරු පන්තියට එරෙහිව මුදා හැර ඇති ගෝලීය ප්‍රහාරයක කොටසකි.

එය සිදු කෙරෙන්නේ තැපැල් වෘත්තීය සමිති මෙන් ම රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සියලු වෘත්තීය සමිතිවල ඍජු සහයෝගය ඇතිවය.

කතුවරයා විසින් නිර්දේශ කරන වෙනත් ලිපි: කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ රැකියා රැක ගැනීම සඳහා ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට සසප කැඳවුම් කරයි (2020 ජුනි 2)

Loading