ඉන්දු-චීන ගැටුම රුසියානු විදේශ ප්‍රතිපත්තියට වල කැපීමේ තර්ජනය මතුකරයි

මෙම ලිපිය ජූනි 23 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ඉන්දියාව සහ චීනය අතර ජුනි 15 දින හටගත් දේශසීමා ගැටුමෙන් චීන හා ඉන්දීය හමුදා භටයන් දුසිම් ගනනක් මිය ගිය අතර එය ජාත්‍යන්තර ආතතීන් සැලකිය යුතු තරමින් ඉහල නංවා තිබේ. ඉන්දියාවේ පැත්තෙන් එක්සත් ජනපදය  ආක්‍රමනශීලීව මැදිහත් වෙද්දී, ගැටුම සිය භූ-මූලෝපායට ප්‍රධාන අභියෝගයක් ලෙස දකින රුසියාව,  ගැටුමට සාකච්ඡාමය විසඳුමක් සෙවීමට දැඩි උනන්දුවක් දක්වයි. 

 ගැටුම හටගෙන යන්තම් දින දෙකකට පසුව ජූනි 17 දින, රුසියාවේ ඉන්දීය තානාපති, ඩී බාලා වෙන්කතේශ් ෂර්මා, දේශ සීමා ආරවුල ගැන රුසියාවේ නියෝජ්ය විදේශ ඇමති ඊගෝර් මෝගුලොව් සමඟ දුරකථනයෙන් කථා කලේය.   රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ මාධ්‍ය ප්රකාශක දිමිත්රි පෙස්කොව් පසුගිය බදාදා සඳහන් කලේ, " චීන-ඉන්දීය දේශසීමාවේ  සිදුවන දේ පිලිබඳව අපි විශාල අවධානයකින් සිටින අතර,  වර්ධනයන් ඉතා තැතිගන්වන“ සුලු බවය.

රුසියාව-ඉන්දියාව-චීනය යන ත්‍රෛපාර්ශ්වික කන්ඬායම් (RIC) වල කොටසක් ලෙස රුසියාව අද මොස්කව්හි චීන හා ඉන්දීය විදේශ ඇමතිවරුන් සමඟ රැස්වීමක් පවත්වයි. මාධ්ය වාර්තා වලට අනුව, දේශසීමා ආරවුල ගැන සාකච්ඡා නොකිරීමට සියලු පාර්ශවයන් එකඟ වී ඇති අතර, ඒ වෙනුවට තනිකරම කොවිඩ්-19 වසංගතය කෙරෙහි අවධානය යොමු කරයි. දෙවන ලෝක සංග්‍රාමයේ අවසානය සැමරීම සඳහා මොස්කව්හි පැවැත්වූ ජයග්‍රාහී දින පෙලපාලියක් බදාදා චීන හා ඉන්දීය විදේශ ඇමතිවරු නැරඹූහ. පෙලපාලිය කලින් පැවැත්වීමට නියමිතව තිබුනේ මැයි 9 වනදා ය. කොරොනා වයිරස් වසංගතය හේතුවෙන් එය ප්‍රමාද විය. ප්‍රමාදවී හෝ එය පැවැත්වුනේ, දැන් ආසාදන හා මරන ඉහල ගොස් තිබියදීත් රුසියානු ආර්ථිකය සම්පූර්නයෙන්ම විවෘත කර ඇති කොන්දේසි යටතේය. 

2020 ජුනි 17 වන බදාදා ඉන්දියාවේ ශ්‍රීනගර් හි ඊසාන දෙසින් ගගන්ගීර් හි පිහිටි ශ්‍රීනගර් - ලඩාක් අධිවේගී මාර්ගයේ ඉන්දියානු හමුදා කන්ඩායමක් ගමන් කරන විට කාශ්මීර බකර්වාල් නාමිකයෝ ගමන් කරති. (ඒපී ඡායාරූපය / මුක්තාර් ඛාන්)

ඉන්දියාව හා චීනය අතර ගැටුම් ආසියාවේ රුසියානු විදෙස් පිලිවෙතට පමනක් නොව, වඩා පුලුල් ලෙස ලෝක වේදිකාවේම එහි කාර්යභාරයට මූලික අභියෝගයක්ව ඇත. ඓතිහාසිකව රුසියාව  ඉන්දියාව සමඟ සමීප සබඳතා පවත්වා ගෙන යයි. ද්විපාර්ශවික වෙලඳාම සාපේක්ෂව අඩු වුවද රුසියාව ඉන්දියාවේ  විශාලතම අවි සැපයුම්කරුය.

කෙසේ වෙතත්, එක්සත් ජනපද  සහ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් විසින් වට කරන ලද රුසියාව, පසුගිය දශකය තුල  චීනය සමඟ  වඩාත් සමීප සන්ධානයකට තල්ලු වී ඇති අතර චීනය, ඉන්දියාව සමඟ දිගුකාලීන ගැටුම්වලට පැටලී ඇත. මොස්කව් සහ බීජිං අතර සමීප මිලිටරි සහයෝගීතා වර්ධනය වී ඇති අතර, රුසියාව ප්‍රධාන ආර්ථික ව්‍යාපෘති කිහිපයක් සඳහා විශේෂයෙන් සයිබීරියා බලශක්ති නල මාර්ගය සඳහා, බලපෑම් කරයි.

විශේෂයෙන්ම බලශක්ති සහයෝගීතාව රුසියාව බලාපොරොත්තු වන තරම් දුරගොස් නැත. රුසියානු ආර්ථිකය තෙල් හා ගෑස් අපනයන මත බෙහෙවින් රඳා පවතින අතර මොස්කෝව ඉල්ලන  මිල ගෙවීමට චීනය අකමැති ය. මොස්කෝවේ ආර්ථික හා භූදේශපාලන මූලෝපායේ කේන්ද්රීය සංරචකය බවට පත් වී තිබෙන්නේ එයයි.

ඊට සපුරා වෙනස් ලෙස ඉන්දියාව, විශේෂයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි යටතේ, චීනයට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ගෙනයනු ලබන යුද මෙහෙයුමට මුළුමනින්ම ඒකාබද්ධ වී තිබේ.

ලෝක වේදිකාවේ හුදෙකලාව  වර්ධනය වීමේ තතු යටතේ රුසියාව, ඉන්දියාව සහ චීනය සමඟ  සබඳතා හොඳ අතට හරවා ගැනීමේ උත්සාහයක නිරත වේ. බලවතුන් තිදෙනාම සම්බන්ධ ෂැංහයි සහයෝගිතා සංවිධානය, ආර්ථික හා ආරක්ෂක සන්ධානය සහ ආර්අයිසී ඇතුලු සංවිධාන ගනනාවකටම මොස්කෝව බලපෑම් කරමින් සිටී. කලින් සෝවියට් සංගමයට අයත් මධ්‍යම ආසියාවේ රටවල් සමඟ ඇති රුසියාවේ ආර්ථික අවශ්‍යතා, බොහෝ විට බීජිනය සමඟ ගැටේ. චීනයේ වර්ධනය වන බලපෑම සමතුලිත කිරීම සඳහා රුසියාව විශේෂයෙන් ඉන්දියාව භාවිතා කිරීමට උත්සාහ කර තිබේ. වඩාත් පොදුවේ ගත් කල,  දේශපාලන හා ආර්ථික මට්ටමින් රුසියාව, චීනය මත වැඩිපුර යැපී සිටීම ගැන ද කනස්සලුවේ.

ඒ අතරම, යුක්රේන ගැටුම සහ සිරියානු යුද්ධය මුල්කරගෙන මෑත වසරවල දී උත්සන්න වූ එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ රුසියානු විරෝධී උද්ඝෝෂනයට සම්බන්ධ වීමෙන් ඉන්දීය ආන්ඩුව වැලකී සිටී.

ප්‍රමුඛ පෙලේ රුසියානු විදේශ ප්‍රතිපත්ති පන්ඩිතයින් සහ නිලධාරීන්ගේ වාර්ෂික රැස්වීම වන 2020 වැල්ඩයි ක්ලබ්හිදී රුසියාවේ ප්‍රමුඛ විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂක ෆියෝඩර් ලුකියානොව් මැයි මාසයේ දී අවධාරනය කලේ, “අපි සෑම අතින්ම එක්සත් ජනපද-චීන ගැටුමේ දැති රෝදයෙන් ඈත්ව සිටිය යුතුයි. එය වේගයෙන් කැරකෙමින් ඇත. දැකිය හැකි අනාගතය තුල රුසියානු විදේශ ප්‍රතිපත්තියේ එක් කර්තව්‍යයක් වනුයේ, එක් අතකින් මෙම ගැටුමට සම්බන්ධ වීම වලක්වන ප්‍රති තෝලන පද්ධතියක් නිවැරදිව ගොඩනැගීමයි. අනෙක් අතින්, එයට පැටලීමේ කිසිදු අදහසක් නැති තවත් සමහර රටවල් භාවිතා කිරීමට අපට හැකිය යන කාරනයයි. නව ලෝකය තුල තමන්ව නව ආරකට ස්ථානගත වීමේ පොදු කාර්යයක් ඇත. ඉන්දියාවට සහ රුසියාවට එම මුඛ්‍ය කාර්යභාරය ඉටු කල හැකි යැයි මම සිතමි. ”

ටාස් පුවත්පත විසින් උපුටා දක්වන ලද, ඈත පෙරදිග රුසියානු විද්‍යා ඇකඩමි ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂන සහායක වාසිලි කෂින් පැවසුවේ, “රුසියාවේ සහ ඉන්දියාවේ කාර්යභාරය මෙතරම් සුවිශේෂී වන්නේ, එක්සත් ජනපද-චීන ගැටුමේ ප්‍රතිපල මත දෙපාර්ශවයම රඳා පැවතීමයි." රුසියාවේ ස්ථාවරය “යම් යම් අවස්ථාවන් ඇඟවුම් කරයි, නමුත් ඒ සමඟම එය අවදානම් සහගත ය.”

රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හින්දු පුවත්පතට කියා සිටියේ, ගැටුමේ ගෝලීය මට්ටමින් මොස්කෝව “බොහෝ දේ පරදුවට තබා” ඇති බවයි. “යුරේසියාවේ නැගීමට සහ තනි ධ්‍රැවයක් මඟින් ආධිපත්‍යය නොදරනු ලබන බහු ධ්‍රැවීය ලෝක පර්යායයක් බිහිවීමට ඉන්දියාව සහ චීනය අතර හොඳ සබඳතා කේන්ද්‍රීය වේ. ”

මේ මූලෝපාය දැන් ඉන්දියාව සහ චීනය අතර වැඩෙන ආතතීන්ගෙන් තර්ජනයට ලක්ව ඇත. සියල්ලටත් වඩා, චීනයට එරෙහි එක්සත් ජනපද යුද මෙහෙයුම මගින් එය උත්සන්න කරනු ලබයි. ඒ අතරම, විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඇමරිකානු පාලක පන්තිය තුල ඇතිව තිබෙන ගැටුම් මධ්‍යයේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සාකච්ඡාමය විසඳුමක් සෙවීමට ක්‍රෙම්ලිනය නැවත නැවතත් දරන උත්සාහය අසාර්ථක වී තිබේ. සිදුවන්නේ වොෂින්ටනය රුසියාව වටලෑම තවදුරටත් ශක්තිමත් වීමයි. ඉතා මෑතකදී යුක්‍රේනයේ නේටෝ තත්ත්වය ඉහල නැංවීමෙන් පෙන්නුම් කරන්නේ එයයි.

චීනයට එරෙහි යුද සූදානම පිලිබඳව වොෂිංටනයේ පැවති දැඩි සාකච්ඡා පිලිබිඹු කරන ෆොරීන් එෆෙයාර්ස් හි මෑත ලිපියක, ප්‍රතිපත්ති පිලිබඳ හිටපු ආරක්ෂක ලේකම් මිෂෙල් ඒ. ෆ්ලූර්නෝයි සඳහන් කලේ,  අනිවාර්යයෙන්ම ඉන්දියාව ඇද ගන්නා  සහ සමස්ත ආසියානු මහාද්වීපයම ගිනි ගන්නා, එක්සත් ජනපදය හා චීනය අතර යුද්ධයක අවදානම,“දශක ගනනාවක් තිස්සේ පැවතියාට වඩා ඉහල මට්ටමක පවතින අතර එය වර්ධනය වෙමින් පවතින බවයි. ”

“ආසියාවේ යුද්ධය” වලක්වා ගැනීමට ඇති මහත්ම බාධකය, චීනය “මෙල්ල කර තබාගැනීම“ එරෙහි එක්සත් ජනපදය  අඩු “අවධානයක්” දැක්වීම යයි ෆ්ලෝර්නෝයි තර්ක කල අතර, ඔබාමා  විසින් ආරම්භ කරන ලද “ආසියාවට පොරොන්දු වූ“ හැරීම ” ඉටු නොකල බවට ඇය පැමිනිලි කලාය. 

 එක්සත් ජනපද මිලිටරි තරකිරීම නාටකාකාර ලෙස ඉහල නැංවීමට සහ “වාතය, මුහුද, මුහුදු පතුල, අභ්‍යවකාශය, සයිබර් අවකාශය” යන සියලු ක්ෂේත්‍රවල යුද්ධ සඳහා සූදානම් වීමට පියවර මාලාවක් ෆ්ලෝර්නෝයි යෝජනා කලාය. ඇය මෙසේ ලිවීය, “යලිත් චීනය මේච්චල් කර තබා ගැනීම පිලිබඳ විශ්වාසදායකත්වය සඳහා එක්සත් ජනපදයට, බීජිං හි ඕනෑම මිලිටරි ආක්‍රමනයක සාර්ථකත්වය වැලැක්වීමට හැකි විය යුතුය. එක්කෝ පීඑල්ඒ [මහජන විමුක්ති හමුදාව] සිය අරමුනු සාක්ෂාත් කර ගැනීමේ හැකියාව වැලැක්වීමෙන් හෝ මෙම ක්‍රියාව ඔවුන්ගේ අභිමතය පරිදි නොවන බව චීන නායකයන්ට අවසානයේ ඒත්තු යන ආකාරයේ අධික වියදම් පැනවීමේ  පියවර මඟින්. එක්සත් ජනපදයට හැකියාවක් පමනක් නොව එය කරන ඕනෑම තර්ජනයක් ක්‍රියාත්මක කිරීමේ අධිෂ්ඨානය ද ඇති බව [චීන ජනාධිපති] ෂී සහ ඔහුගේ උපදේශකයින් විශ්වාස කරන තැනට ගෙන යා යුතුය. ”

Loading