කෝවිඩ්-19 වසංගතයේ ආසියානු කේන්ද්‍ර ස්ථානය ලෙස ඉන්දියාව වේගයෙන් ඉදිරියට එයි

මෙම ලිපිය ජූනි 25දින ඉංග්‍රීසියෙන් පලවින.

ආසාදන අනුපාතය අඛන්ඩව ඉහල යෑමත් සමඟ ඉන්දියාවේ කොරෝනා වෛරස් ආසාදිතයින් මිලියන භාගයකට ආසන්න වෙමින් පවතී. 16,857 ක් වාර්තා වීමත් සමග නව ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ තවත් දෛනික වාර්තාවක් තබා ඇත. ඒ හේතුවෙන් ඉන්දියාවේ මුලු ආසාදිත සංඛ්‍යාව 472,000 ඉක්මවයි.

ඉන්දියාවේ අගමැති  නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් හින්දු ස්වෝත්තමවාදී භාරතීය ජනතා පක්ෂ (බී.ජේ.පී ) ආන්ඩුවේ සාපරාධී නොසැලකිලිමත්කම නිසා වසංගතය පාලනයකින් තොරව විශාල වශයෙන් හා වේගයෙන් පැතිරෙමින් ඇත. මෑත සතිවල දී කොරෝනා වෛරස ආසාදන පැතිර යාමත් සමඟම, මෝදි සියලු අගුලු දැමීමේ පියවරයන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර දෙවන වරට එවැනි අගුලු දැමීමක් සිදු නොකරන බවට මහා ව්‍යාපාරිකයින්ට සහතික වී ඇත. ලොව පුරා සිටින සිය සගයන් මෙන්, ඉන්දියාවේ පාලක පන්තිය ද “රංචු ප්‍රතිශක්ති” ප්‍රතිපත්තිය අනුගමනය කර ඇති අතර, එමඟින් ලක්ෂ  නොවේනම් මිලියන ගනනක් ජීවිත අහිමි වීමේ තර්ජනය පැන නැගී ඇත.

ඉන්දියාවේ ජම්මු හි ආරක්ෂිත ආම්පන්න පැලඳ සිටින ඉන්දියානුවෝ, කෝවිඩ්-19 ආසාදනයෙන් මියගිය අයෙකුගේ දේහය ආදාහනය කරන අවස්තාවේ අවසන් චාරිත්‍ර ඉටු කරති. (ඒ.පී ඡායාරූපය / චන්නි ආනන්ද් )

එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දියාවේ මුලු ආසාදිත සංඛ්‍යාව සති තුනකට අඩු කාලයක් තුලදී  දෙගුනයකටත් වඩා වැඩි වී තිබේ. මුලු ආසාදිතයින් සංඛ්‍යාව 226,000 ක් වන විට, ජුනි 5 වනදා සිට නව ආසාදිතයින් 250,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇත. පසුගිය දින අට තුල නව ආසාදිතයින් 100,000 ක් වාර්තා වී ඇත.

බෙහෙවින්ම අඩුවෙන් වාර්තා වී ඇති නිල මරන සංඛ්‍යාවට අනුව, පුද්ගලයින් 14,907 දෙනෙකුට මේ වන විට ජීවිත අහිමි වී ඇති අතර, ජුනි 1 වන විට  ආසන්න වශයෙන් පැවති සංඛ්‍යාව (5,608)  තුන් ගුනයකින් වැඩිවී ඇත. කෙසේ වෙතත්, මෙය මෝඩි සහ ඔහුගේ උපදේශකයින්ට අනුව සුලු සංඛ්‍යාවකි. ආර්ථිකය නැවත විවෘත කිරීමේ ප්‍රතිපත්තියෙන් ජීවිත මිලියන 2 ක් අහිමි විය හැකි බවට ආන්ඩුවේ ඉහල විද්‍යාඥයෙකු පැහැදිලිවම ප්‍රකාශ කර ඇත. මෙම බිහිසුනු පූර්ව අනතුරු ඇගවීම් තිබියදීත්, අභ්‍යන්තර වශයෙන් කුමන බෙදීම් පැවතිය ත්, කම්කරුවන් ආපසු වැඩට දැක්කීමේ මිනීමරු පියවර අනුමත කරන විරුද්ධ පක්ෂය හෝ පාලක පන්තියේ  කිසිවෙකු, මෝදි ආන්ඩුවේ නොසැලකිලිමත් කටයුතු  පිලිබඳව කිසිදු බරපතල විවේචනයක් කර නොමැත. 

ඉන්දියාවේ නිල කෝවිඩ්-19 ආසාදිතයන්ගෙන් සියයට හතලිස් පහක් වාර්තා වී ඇත්තේ බටහිර වෙරල තීරයේ පිහිටා ඇති, මුම්බායි නගරය පිහිටි මහාරාෂ්ටයේ සහ අගනුවර වන දිල්ලියේය.  මහාරාෂ්ටයේ ආසාදිත සංඛ්‍යාව 139,010 ක් වන අතර නව දිල්ලියේ 70,000 ඉක්මවයි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ දත්ත වලට අනුව, තවත් ප්‍රාන්ත තුනක, එනම් දකුනේ තමිල්නාඩුවෙහි ද,  බටහිර වෙරල තීරයේ ගුජරාට් සහ උත්තර් ප්‍රදේශ්හි උතුරු ප්‍රාන්තයේ ද, සමස්ත කොවිඩ්-19 ආසාදිතයන්ගෙන් තවත් සියයට 25 ක් වාර්තා වේ.

සමස්ථයක් ලෙස මුම්බායි, දිල්ලි සහ චෙන්නායි වැනි විශාල නාගරික මධ්‍යස්ථාන ද ඇතුලුව රටේ බොහෝ ප්‍රදේශවල කොරෝනා වෛරසය දැන් විශාල වශයෙන් පැතිරී ඇති අතර, සෞඛ්‍යා සේවා පහසුකම් හිඟ  ග්‍රාමීය ප්‍රදේශ කරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

රජයේ නිල සංඛ්‍යාලේඛන එතරම්ම භයානක වුවත්, වසංගතයේ සත්‍ය  ප්‍රමානය ඊටත් වඩා භයානක බවට පුලුල් එකඟතාවක් පවතී. කොවිඩ්-19  වසංගතයට පෙර පවා ඉන්දියාවේ මරන වලින් වාර්තාගතව ඇත්තේ සියයට 70 ක් පමනක් වන අතර, ඉන් පහෙන් එකක් සදහා පමනක් වෛද්‍ය  පරීක්ෂන පවත්වා ඇති බව ඉන්දියා ස්පෙන්ඩ් වෙබ් ද්වාරය මගින් අවධාරනය කර ඇත. රජයේ සංඛ්‍යාලේඛනවල අතිශය සදොස් බවට නිදසුනක් ලෙස වෙබ් ද්වාරය, 2017 දී මැලේරියාව පිලිබඳ නිල දත්ත වෙත යොමු විය. ඉන්දියාවේ මැලේරියා මරන 194 ක් පමනක් සිදු වූ බවට රජයේ රෝහල් වාර්තා කලද, වාචික මරන පරීක්ෂන ඇතුලු විවිධ ප්‍රභවයන් භාවිතා කරමින්, ද ග්ලෝබල් බර්ඩන් ඔෆ් ඩිසීස් විසින් එම වසරේදීම ඇස්තමේන්තු කර ඇත්තේ මරන සංඛ්‍යාව 50,000 ක් ලෙසය.

 ජුනි 17 සිට සෑම දිනකම අවම වශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 2,000 ක් දිල්ලියෙන් වාර්තා වේ. අඟහරුවාදා වන විට දිල්ලියේ එක් දිනක වාර්තාවූ වැඩිම ආසාදන 4000ක් විය. සමස්ත ආසාදන දින 12 ක් තුල දෙගුන වී තිබේ. 

ඉන්දියාවේ අගනගරය තුල වෛරසය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීම,  ආර්ථිකය නැවත විවෘත කිරීමේ මෝදිගේ නොසැලකිලිමත් ප්‍රතිපත්තියට සෘජුවම සම්බන්ධ වේ.  ජුනි 8 වන දින “අන්ලොක් 1” ලෙස මෝඩි විසින් නම් කරන ලද නැවත විවෘත කිරීමේ පියවරයන් ආරම්භ විය. වසංගතය ආරම්භ වූ දින සිට දිල්ලියේ රෝගීන් 29,500 වාර්තා වී ඇත. පසුගිය දින 16 තුල නව ආසාදිතයින් 40,000 කට වැඩි ප්‍රමානයක් හඳුනා   ගෙන ඇත.

ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවූ රෝගීන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ විවිධ වාර්තාවල සඳහන් වන පරිදි, කාර්ය මන්ඬල හිඟය සහ මෘත ශරීරාගාර පිරී ඉතිරී යාම  හේතුවෙන් රෝහල් වාට්ටු තුල මල සිරුරු ඉවත් නොකර ගොඩ ගැසී තිබීම ආසාදිතයින් විනාශකාරී ලෙස සීග්‍රයෙන් ඉහල යාමට බලපා ඇත. අධික වැඩ කන්දරාවෙන් හෙම්බත් වුනු වෛද්‍යවරු සහ රෝහල් කාර්ය මන්ඬලය පුද්ගලික ආරක්ෂක උපකරන (පීපීඊ)  හිඟය හේතුවෙන් වසංගතයට ගොදුරු වෙමින් සිටින අතර සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල යයි..

 ඇඳන් 2,000 ක් සහිත දිල්ලියේ විශාලතම කෝවිඩ්-19 රෝහල වන ලොක් නායක් රෝහලේ භයානක තත්වය පිලිබඳව හින්දුස්ථාන් ටයිම්ස් අඟහරුවාදා වාර්තා කලේය. දැඩි සත්කාර ඒකකයේ සිටින තම ආදරනීයයන් පිලිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා දින තුනක් දක්වා බලා සිටීමට ඥාතීන්ට බල කෙරෙයි. රෝහලේ වෛද්යවරයෙකු පැවසුවේ, “අලුත් තොරතුරු සඳහා රෝගීන්ගේ ඥාතීන්ගෙන් කෙරෙන ඉල්ලීම් අසීමිත ප්‍රමානයක් ලැබෙමින් ඇති” බවයි.

ඔක්සිජන් ලබා දීමේ උපකරන හිඟයක් හේතුවෙන් කෝවිඩ්-19 ආසාදිතයන්ට හදිසි අවස්ථාවන්හිදී පමනක් ඔක්සිජන් භාවිත කරන ලෙස මහාරාෂ්ට ප්‍රාන්ත ආන්ඩුව රෝහල්වලින් ඉල්ලා ඇති බව, නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් ඉරිදා වාර්තා කලේය. මිලියන 114 ක ජනතාවක් සිටින මහාරාෂ්ටයේ ඇත්තේ ඔක්සිජන් ලබා දීමේ උපකරන (ventilators) 3,028 ක් පමනි.

භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව නිවේදනයක් මගින්, විවිධ ප්‍රාන්ත පාලනයන් සහ දිස්ත්‍රික් වලට  “ඉන්දියාවේ නිෂ්පාදිත” ඔක්සිජන් ලබා දීමේ උපකරන සපයන බවට ප්‍රකාශ කල ද, මේ දක්වා නිපදවා ඇත්තේ ඔක්සිජන් ලබා දීමේ උපකරන 2,923 ක් පමනක් වන අතර සපයා ඇත්තේ 1,340 ක් පමනි.

භාරතීය ජනතා පක්ෂයේ වුවත් කොන්ග්‍රස් පක්ෂයේ වුවත් මධ්‍යම ආන්ඩුව, දශක ගනනාවක් තිස්සේ, මහජන සෞඛ්‍ය පද්ධතිය වනසා දමා ඇති අතර, වාර්ෂිකව දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1 සිට 1.5 දක්වා ප්‍රමානයක් සෞඛ්‍ය  සේවා සඳහා වියදම් කරයි. ඉහල ජන ඝනත්වය, ආවේනික දරිද්‍රතාව සහ ගරා වැටුනු සෞඛ්‍යාරක්ෂක පද්ධතිය හේතුවෙන් ඉන්දියාව වසංගතයට ගොදුරු විය හැකි බවට සෞඛ්‍ය  විශේෂඥයන්ගේ අනතුරු ඇඟවීම් නොතැකූ මෝදි  ආන්ඩුව, කොවිඩ්-19 සමඟ සටන් කිරීම සඳහා සම්පත් වැඩි දියුනු කිරීමට අපොහොසත් වී ඇත. ජුනි 23 වන විට ඉන්දියාව, මිනිසුන් දහසකට පරීක්ෂන 5.17 ක් සිදු කර ඇත්තේ, කෝවිඩ්-19 විශාල වශයෙන් පැතිර යන ඕනෑම රටක අඩුම පරීක්ෂන අනුපාත යකට හිමිකම් කියමිනුයි. 

ආන්ඩුවේ ප්‍රක්ෂේපනවලින් පෙනී යන්නේ, විනාශකාරී සෞඛ්‍ය සේවා වල තත්ත්වය ඉදිරි සති කිහිපය තුල වඩාත් නරක අතට හැරෙනු ඇති බවයි. දිල්ලි බලධාරීන් අපේක්ෂා කරන්නේ, ජූලි මස අවසන් වන විට ආසාදිතයින් සංඛ්‍යාව 550,000 දක්වා ඉහල යනු ඇති බවයි. අගනුවරට කිලෝමීටර් 30 ක් පමන නිරිත දෙසින් පිහිටි, කුරිරු තත්වයන් යටතේ කම්කරුවන් විශාල සංඛ්‍යාවක් නිෂ්පාදන කම්හල්වල සේවය කරන කාර්මික නගරයක් වන ගුර්ගෝන්වල, ලබන මාසය අවසන් වන විට ආසාදිතයින් සංඛ්‍යාව 150,000 ට ලඟා  වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

රටේ බිලියන 1.37 ක ජනගහනයෙන් සියයට 70 කට ආසන්න සංඛ්‍යාවක් ජීවත් වන ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල කොරෝනා වෛරසය නව අභිජනන ස්ථාන සොයාගෙන ඇත. ප්‍රධාන නගරවල සෞඛ්‍ය  සේවා පද්ධතිය අබලන් වී බිඳ වැටෙමින් තිබේ නම්, ඉන්දියාවේ ග්‍රාමීය ප්‍රදේශවල සෞඛ්‍ය  සේවා කිසිසේත් නොපවතියි. ග්‍රාමීය  ප්‍රදේශ වල පවතින අර්බුදය තවදුරටත් උග්‍ර වීම කෙසේද යත්,  ප්‍රදේශවාසීන් සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට, සාමාන්‍ය  සේවාවන් වලින් ඉවත් වී අනෙකුත් රෝගීන්ට රෝහල් වසා දමා, ඔවුන් නාගරික රෝහල් වෙත යැවීමට විවිධ පලාත් ආයතන බලධාරීන් කටයුතු කර ඇත.

ග්‍රාමීය ප්‍රදේශවල කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යා සීග්‍රයෙන් ඉහල යාමට හේතු වූයේ, මිලියන 10ට ආසන්න සංක්‍රමනික කම්කරුවන් සංඛ්‍යාවක් සිය ගම්මාන වෙත සැලසුමකින් තොරව ආපසු යැවීමයි. එය ආන්ඩුව හා ඉන්දීය ප්‍රභූව මුලුමනින්ම වගකිවයුතු සමාජ හා සෞඛ්‍ය ව්‍යසනයකි.

මාස දෙකකට වැඩි කාලයක් මෝඩි ආන්ඩුව, කෝවිඩ්-19 පැතිරීම නැවැත්වීමට කිසිවක් කලේ නැත. පසුව කිසිදු විධිමත් සූදානමකින් තොරව සහ පැය හතරකට වඩා අඩු  දැනුම්දීමකින්, මාර්තු 25 වන දින රට පුරා දරුනු අගුලු දැමීමක් සිදුකල අතර එහි ප්‍රතිඵලය වුනේ, මිලියන ගනනක් සංක්‍රමනික සහ අනෙකුත් කම්කරුවන්ට එක රැයකින් රැකියා අහිමි වීමයි. භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව ඔවුන්ට කිසිදු සහනයක් සැලසීම ප්‍රතික්ෂේප කිරීම හමුවේ මිලියන සංඛ්‍යාත සංක්‍රමනික කම්කරුවෝ පා ගමනින්ම තම ගම්මාන වෙත ආපසු යාමට පටන් ගත්හ. 1947 උප මහාද්වීපයේ වාර්ගික බෙදීමෙන් පසුව සිදු වූ විශාලතම මහා ජනතා සංක්‍රමනය  වන මෙයින්, නගරවල සිට ග්‍රාමීය ඉන්දියාවට වෛරසය පැතිර යාමේ තර්ජනය පවතින බව පාලක පන්තියට හඳුනා ගැනීමට දින කිහිපයක් ගත විය. පසුව ආන්ඩුව සුපුරුදු කුරිරු ආකාරයටම ප්‍රතිචාර දැක්වූ අතර,  තම නිවෙස් බලා යන පීඩිත කම්කරුවන් තාවකාලික, තදබදය සහිත අභ්‍යන්තර සරනාගත කඳවුරුවලට ගාල් කිරීමට ආරක්ෂක හමුදා බලමුලු ගැන්වුවේය. එහිදී ඔවුහු බොහෝ විට නොතැකීමටත් වෙනත් ආකාරයේ අපයෝජන වලටත් ලක් වූහ.

මුලින් දින 21 කට පමනක් සීමාවන බව පැවසූ අගුලු දැමීම, දිගින් දිගටම දීර්ඝ කිරීමෙන් පසුව ප්‍රාන්ත ආන්ඩු සමඟ ද සාකච්ඡා කර, භාරතීය ජනතා පක්ෂ ආන්ඩුව, සංක්‍රමනික කම්කරුවන්ට නිවෙස් කරා යාමට අවසර දුන්නේය. එහෙත්, තවත් නොසැලකිලිමත් පියවරකදී, කොවිඩ්-19 සඳහා ක්‍රමානුකූලව පරීක්ෂන සිදු කිරීමට සහ ආසාදිතයින් පිටත්ව යාමට පෙර ප්‍රතිකාර කිරීමට අසමත් විය.

මෙම සාපරාධී ප්‍රතිපත්තිය හේතුවෙන් බිහාර්, ඇසෑම්, ජාර්කන්ඩ්, ඔඩීෂා සහ උත්තර් ප්‍රදේශ් ඇතුලු සංක්‍රමනික කම්කරුවන් වැඩි ප්‍රමානයක් ආපසු පැමින ඇති ප්‍රාන්ත, රට තුල සීග්‍රයෙන් වර්ධනය වන කොවිඩ් 19 ආසාදන අනුපාතයන් ඇති ප්‍රදේශ බවට ද පත් වී ඇත. ආන්ඩුවේ සැලසුම් ආයතනය වන එන්අයිටීඅයි අයෝග් හි දත්ත වලට අනුව, රටේ දුප්පත්ම ග්‍රාමීය දිස්ත්‍රික්ක 112 න් 98 ක වෛරසය පැතිරීම, අප්රේල් 15 වනදා සිට 34 න් ඉහල ගොස්  ඇත.

නවාතැන්, ආහාර, වෛද්‍ය  ප්‍රතිකාර හා ප්‍රවාහනය ඇතුලු “සංක්‍රමනික කම්කරුවන්ගේ සුභසාධනය” සඳහා ප්‍රාන්ත සහ දිස්ත්‍රික්ක වලට රුපියල් බිලියන 10 ක්, එනම් ඇමරිකානු ඩොලර් මිලියන 132 ක් මුදා හැර ඇති බව ආන්ඩුව සදුදා ප්‍රකාශ කලේය. අගුලු දැමීම ක්‍රියාත්මක කිරීමෙන් පසු මිලියන ගනනක් කම්කරුවන්ට රැකියා සහ ආදායම අහිමි වීම සලකන විට මෙම මුදල් ප්‍රමානය සාගත සලාකවලට සමාන වේ.

ඉන්දියාවේ කම්කරු පීඩිත ජනතාවගේ සෞඛ්‍ය  හා සමාජ ව්‍යසනය ගැඹුරු වෙද්දී, මෝඩි ආන්ඩුවේ සහ නාමික පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ, මහා ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ ලාභ ඉපැයීමට කිසිදු බාධාවක් නොමැති බව සහතික කිරීම ගැනය. ප්‍රාන්ත මහඇමතිවරුන් සමඟ පසුගිය සතියේ පැවති සාකච්ඡාවකදී මෝදි , දෙවන වරට අගුලු දැමීම පිලිබඳ “කටකතා” බැහැර කලේය. සීග්‍රයෙන් වෛරසය ආසාදනය වීමේ අනුපාතය නොතකා, ආර්ථිකය “නැවත විවෘත කිරීමේ” ඊලඟ අදියර කරා යාමට කාලය එලඹ ඇති බව ඔහු තරයේ කියා සිටියේය.