මැතිවරන කොමිසම ප්‍රජාතන්ත්‍ර විරෝධී මැතිවරන රෙගුලාසි ක්‍රියාවට දමයි

අගෝස්තු 5 වෙනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරනය සඳහා තරඟ වදින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කන්ඩායම් වල මැතිවරන ප්‍රචාරක කටයුතුවලට අවහිර වන ප්‍රජාතන්ත්‍ර විරෝධී රෙගුලාසි මාලාවක් මැතිවරන කොමිසම විසින් මෙවර ක්‍රියාවට දමා ඇත. 

එම රෙගුලාසි වලට අනුව:

* කිසියම් අපේක්ෂකයෙකු  ප්‍රවර්ධනය කිරීම සඳහා පෙලපාලි පැවැත්වීම හෝ යම් පුද්ගලයෙකු එවැන්නකට සහභාගිවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. 

* අපේක්ෂකයෙකු ගමන් කරන වාහනයක හා  අපේක්ෂකයෙකුට ආධාර පිනිස මැතිවරන රැස්වීමක් පැවැත්වෙන  දිනයක එම ස්ථානයේ හැර මහා මාර්ගයක හෝ මහ ජනයාට යාමට අයිතිය ඇති වෙනත් ස්ථානයක  අත් පත්‍රිකාවක්, ප්‍රදර්ශන පත්‍රයක්. දැන්වීම් කොලයක්, චිත්‍රයක්, කොඩියක්, බැනරයක් හෝ  දැන්වීමක්, අපේක්ෂකයෙකුගේ පින්තුරයක්, ලකුනක් හෝ සලකුනක් ප්‍රදර්ශනය කිරීමට අවසර නැත. 

මෙම රෙගුලාසි වඩාත් අවාසි සහගත ලෙස බලපාන්නේ  සම්පත් හිඟ හා රාජ්‍ය අනුග්‍රහය රහිත කුඩා පක්ෂ සහ ස්වාධීන කන්ඩායම්වලට ය. විශේෂයෙන් ම, වාම හා කම්කරු පන්තික පක්ෂවලටය. 

ඉහත වාරන තිබියදීම  ආන්ඩුබලය සහිත පක්ෂය  විද්‍යුත් සහ මුද්‍රිත රාජ්‍ය  මාධ්‍ය කිසිදු බාධාවකින් තොරව මැතිවරන උද්ඝෝෂනයට යොදා ගනී. එසේම, ආන්ඩු  පක්ෂයේ මෙන් ම විපක්ෂයේ ධනපති පක්ෂ පුද්ගලික මාධ්‍ය යහමින් තම මැතිවරන උද්ඝෝෂන ව්‍යාපාර සඳහා යොදා ගනු ලබයි. මහා සමාගම් විසින් මෙහෙයවනු ලබන එම ධනපති මාධ්‍ය ඒ හෝ මේ ධනපති දේශපාලන පක්ෂයකට හිමි හෝ පක්ෂයක් සමග ඍජු   දේශපාලන සම්බන්ධකම් සහිත ඒවාය.   

එමෙන් ම, ධනපති දේශපාලන පක්ෂ මැතිවරන ප්‍රචාරන කටයුතු  සඳහා මිලියන සිය දහස්  ගනනින් වියදම් කරති. පසුගිය ජනාධිපතිවරනයේදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) මිලියන 1518 ක් ද, ආන්ඩු බලය දැරූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුන (නප්‍රපෙ) රාජ්‍ය මාධ්‍ය යොදා ගන්නා අතරම තවත් රුපියල් මිලියන 1460 ක් ද, ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) ජාතික ජන බලවේගය (ජාජබ ) රුපියල් මිලියන 160 ක් ද මැතිවරන ප‍්‍රචාරක කටයුතු සඳහා වියදම් කලහ.

පාර්ලිමේන්තු මැතිවරන පනතට අනුව ඉහත  රෙගුලාසි පනවා ඇති බව ප්‍රකාශ කරමින් මැතිවරන කොමිසම තම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව සාධාරනීකරනය කිරීමට තැත්  කරයි. මෙවර ඒවා බලාත්මක කිරීම තුලින් කලින් සිදු වූ "වරද"  නිවැරදි කිරීමට පියවර ගෙන ඇති බවත් කොමිසම වැඩි දුරටත් සඳහන් කර ඇත.  

පනතේ අදාල වගන්ති මගින්, ප්‍රසිද්ධ ස්ථානවල අත් පත්‍රිකා  ප්‍රදර්ශනය කිරීම මිස බෙදීම  තහනම් කර නැතත්, එය ද අත්තනෝමතික ලෙස අසුරා  ඇති කොමිසම ධනේශ්වර රාජ්‍යයේ යේ දුෂ්ට මර්දන  උපකරනයක් වන පොලීසියට  මෙම රෙගුලාසි ක්‍රියාත්මක කිරීමේ  බලය පවරා ඇත.   

1981 අංක 1 පාර්ලිමේන්තු මැතිවරන පනත මත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පනතකි. කෙසේ නමුත් එහි  69 සහ 74(1) වගන්ති යටතේ පවතින උක්ත  රෙගුලාසි පසුගිය  දශක කිහිපය තුල  බලාත්මක කලේ නැත. දේශපාලන පක්ෂ, ස්වාධීන කන්ඩායම් හා මැතිවරන කොමසාරිස් හෝ පසුව ස්ථාපිත කෙරුන මැතිවරන කොමිසමේ එකඟතාවය ඇතිව, රැස්වීම් සඳහා පෝස්ටර්  ඇලවීම, අත් පත‍්‍රිකා  බෙදීම ඇතුලු දේශපාලන ප්‍රචාරක  කටයුතු 1981 සිට සිදු කෙරින. 

මෙවර එම සම්ප්‍රදාය කඩ කර  "වරද " නිවැරැ දි කරගැනීමට මැතිවරන කොමිසමට "ඇස් පෑදී" ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව මහ ජනතාවගේ  ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට පහරදීම තීව්‍ර කරන තතු තුල ඊට සමගාමීව කටයුතු කිරීමට ය.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මැතිවරන කොමිසමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී රෙගුලාසි වලට  තරයේ විරුද්ධවෙයි.

මැතිවරන කොමිසමේ රෙගුලාසිවලට අමතරව, කොරෝනා වෛරසය පැතිරීම වැලක්වීමේ සෞඛ්‍ය නිර්දේශ යටතේ  මැතිවරන ප්‍රචාරක රැස්වීමකට සහභාගී වියහැකි සංඛ්‍යාව සියයකට සීමා කර තිබීම තුලින් කුඩා පක්ෂ වල ප්‍රචාරන කටයුතු තවදුරටත් සීමා කරනු ලබයි. 

මැතිවරන කොමිසම ස්වාධීන ආයතනයක් ලෙස හුවා දක්වන නමුත් එය කිසිසේත් ම ස්වාධීන නැත. එය ධනේශ්වර රාජ්‍යයේ බලධාරී ආයතනයකි. එය විසින් ආරක්ෂා කරනු ලබන්නේ  ධනේශ්වර රාජ්‍යයේ සහ ධනපති දේශපාලන සංස්ථාපිතයේ අවශ්‍යතාවයන් මිස කම්කරු-පීඩිත මහජනතාවගේ අවශ්‍යතාවයන් නොවේ.

මහජන මුදල් "නාස්තිය" වැලැක්වීමේ කඩතුරාවක් යටතේ මැතිවරන අපේක්ෂකයන්ගේ ඇප මුදල් කුඩා පක්ෂවලට තරඟ කල නොහැකි මට්ටමට ලක්ෂ ගනනින් ඉහල දැමීමට සහ සියයට එකක චන්ද ප්‍රතිශතයක්   නො ලබන පක්ෂ වල ලියාපදිංචිය අහෝසි කිරීමේ ප්‍රතිගාමී  උද්ඝෝෂනයක මැතිවරන  කොමිසම කලක සිට යෙදී සිටී.   

පසුගිය ජනාධිපතිවරනයේ දී කොමිසම ප්‍රචාරක රැස්වීම් පිලිබඳ දැන්වීම් පෝස්ටර් ඇලවීම අදාල රැස්වීම පැවැත් වෙන  පොලිස් බල ප්‍රදේශයට පමනක් සීමා කලේ ය. දේශපාලන පක්ෂවල විරුද්ධත්වය මැද පසුව එය දිස්ත්‍රික් සීමාව දක්වා පුලුල් කෙරුනි. 

මැතිවරන කොමිසම විසින් මෙම ප්‍රජාතන්ත්‍ර  විරෝධී මෙම රෙගුලාසි බලාත්මක කිරීම වනාහි, ධනපති පාලක පන්තියේ දේශපාලන අර්බුදය ගැඹුරුවීමේ කොන්දේසි තුල මහ ජනතාවගේ විශේෂයෙන්ම, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට ධනේශ්වර රාජ්‍යය සහ එහි බලධාරී ආයතන විසින් එල්ල කරනු ලබන  පුලුල් ප්‍රහාරයක කොටසකි. 

ප්‍රජාතන්ත්‍රීය  අයිතීන් මැඩලීම තීව්‍ර කෙරී ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව හා ධනපති හාම්පුතුන්, තම ජීවන තත්වයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරවලට විරුද්ධව කම්කරු පීඩිත ජනයාගේ බරපතල කැරලිකාරිතාවයක් සහ ධනේශ්වර විරෝධී දේශපාලන විකල්පයක් දිසාවට ඔවුන්ගේ නැඹුරුව වර්ධනය වන කොන්දේසි තුලය. 

කම්කරු පීඩිත ජනයාගේ පෙරලිකාරිත්වය මැඩීම සඳහා, රට හා රාජ්‍ය පාලනය මිලිටරීකරනය කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව මැතිවරනයෙන් පසු හමුදාව මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයකට මාරුවීමේ පිඹුරුපත් සකසමින් සිටී. 

කම්කරු-පීඩිත මහජනතාවගේ කවර හෝ ප්‍රජාතන්ත්‍රීය අයිතියක් ධනේශ්වර රාජ්‍යය හෝ එහි බලධාරී ආයතන තුලින් ආරක්ෂා කල නොහැකි ය. මැතිවරන කොමිසමේ රෙගුලාසි මගින් එය තවදුරටත් තහවුරු කෙරෙයි. 

Loading