රැකියා සහ වැටුප් කප්පාදුවට එරෙහිව, බ්‍රැන්ඩික්ස්, ස්මාර්ට් ෂර්ට් සහ ක්‍රිස්ටල් මාටින් කම්කරුවෝ ලෝසවෙඅ ට කතා කරති

කොවිඩ්- 19 වසංගතය මධ්‍යයේ රාජපක්ෂ ආන්ඩුව ආර්ථිකය විවෘත කිරීමෙන් පසු යලි ආරම්භ කොට ඇති ලංකාවේ මහා පරිමාන ඇඟලුම් සමාගම් විසින්, රැකියාවලින් දොට්ට දැමීම්, වැඩ වේගවත් කිරීම් හා වැටුප් කප්පාදු යන සෑම ආකාරයකින්ම කම්කරුවන් මත දරුනු  ප්‍රහාරයක් දිගේලි කොට තිබේ.  

වසංගතය හේතුවෙන් ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ අර්බුදය වඩාත් ගැඹුරු වූ  අතර, එහි බර මුලුමනින්ම කම්කරුවන් මත පැටවීම සඳහා රාජපක්ෂ ආන්ඩුව, හාම්පුතුන්ගේ සම්මේලනය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති පසුගිය මායි මාසයේ ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් අත්සන් කලහ. ඒ අනුව, වැඩ ඇරඹු කම්හල්වලට තවමත් කැඳවා ඇත්තේ, ලක්ෂ පහක් පමන වන ලංකාවේ සමස්ත ඇඟලුම් කම්කරුවන්ගෙන් සියයට 30 ක් පමනි. 

රැකියාවට කැඳවා ඇති කම්කරුවන් මත පටවා ඇති දුෂ්කර වැඩ කොන්දේසිවල එල්ලය වනුයේ, රැකියාව එපා කොට සොච්චම් වන්දි සහ දීමනා පවා නොමැතිව සේවය අත්හැරයාමේ තත්වයට ඔවුන් පත් කිරීමයි. ඉවත්ව යන කම්කරුවන් වෙනුවට දෛනික පදනමින් වැටුප් ගෙවන මෑන් පවර් සමාගම්වල කම්කරුවන් ආදේශ කිරීම හා නව බඳවා ගැනීම් වෙත මාරු වීම පාලකයන්ගේ අරමුන බව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) සමග අදහස් දැක්වු කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්කරුවෝ ප්‍රකාශ කලහ.

ලෝසවෙඅ වාර්තාකරුවන් සමග අදහස් දැක්වු කටුනායක ප්‍රදේශයේ ඇඟලුම් කම්කරුවෝ

සෑම කම්හලක් තුලම, රැකියාවලට නො කැඳවු කම්කරුවන් අතරින් මාස 06 ක සේවා කාලයක් පැවති කම්කරුවන් ද ඇතුලුව දහස් ගනනක් දැනටමත් දොට්ට දමා තිබේ. රැකියාවලට නො කැඳවා ඇති කම්කරුවන්ට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් ලබා දීමට පාලකයන් පොරොන්දු වූ නමුත් මේ වන විට එය ද අවිනිශිචිත බව ස්මාර් ෂර්ට් කම්හලේ කම්කරුවෙක් ප්‍රකාශ කලේ ය.   

වසංගතයට පෙර, සීදූව බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ, කම්කරුවෝ 1‍,700 ක් පමන සේවයේ යෙදී සිටි නමුදු,  මේ වන විට රැකියාවේ නිරත වී සිටින්නේ 6,00 ක පමන පිරිසකි. එහි කම්කරුවෙක් එහි තත්වය දීර්ඝ ලෙස විස්තර කලේ ය: “බ්‍රැන්ඩික්ස් එකේ තත්වය ඉස්සරට වඩා දරුනුයි. සත්තුන්ට වගේ කතා කරන්නේ. ටාගට් දෙන්න බැරි නම් නැගිටලා යනවා කියලා බැන වදිනවා. හරියට අපි කොරෝනා හැදුවා වගේ”. 

වැඩ වේගවත් කිරීම සම්බන්ධව එම කම්කරුවා මෙසේ විස්තර කලේ ය: “කලින් අපි මැහුවේ කලිසන්. දැන් ඇනවුම් නැති නිසා මුඛ ආවරන මහනවා. පැයකට 3,00 ක් මහන්න ඕන. ඒක කරන්න බෑ. 250 ක් විතර අමාරුවෙන් මහන්න පුලුවන්. නමුත් ටාගට් එක තව පනහක් වැඩි කරලා තමයි දෙන්නේ. ටයිමින් බලන්න කෙනෙක් ඉන්නවා. වැඩ කරලා ඉවර වෙනකොට කොඳු අතපය කකියනවා. සමහර ගෑනු ලමයි ටාගට් දෙන්න බැරි වුනාම වොෂ්රූම් යන්නේ නැතුව, දවල්ට කන්නේ නැතුව පවා වැඩ කරනවා”. 

ජලය පානය නො කිරීම හේතුවෙන් එක් කම්කරු කාන්තාවකට වකුගඩු ආබාධයක් ඇති වූ බව ඔහු ප්‍රකාශ කලේ ය. “බැනලා රස්සාව එපා කරවලා අපිව එලව ගන්න හදන්නේ වන්දි නොදී. ඒක තමයි සැලැස්ම. දැනටමත් එහෙම අස්වෙච්ච ලමයි ඉන්නවා. ලබන මාසේ තවත් ලමයි අස්වෙනවා”. 

මෙම කොන්දේසිවලට විරුද්ධව කතා කරන කම්කරුවන්ව පලමුව ඉවත් කරන බවත් කම්කරුවන් අතර යම් කැරලිකාරී තත්වයක් වර්ධනය වේ යයි බියෙන් ලයින්වල කම්කරුවන්ව දිනෙන් දින මාරු කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය.  

බ්‍රැන්ඩික්ස් කම්හල තුල ද මේ වන විට පැමිනීමේ දීමනා ඇතුලු පැවති සොච්චම් දීමනා සියල්ල කප්පාදු කොට තිබේ. එහි අවුරුදු පහට වැඩි සේවා කාලයක් පවතී නම් මාස තුනක වැටුප වැනි මුදලක් පාරිතෝෂික (බෝනස්) විදිහට ලබා දුන් නමුත් දැන් එවැනි සීමිත වරප්‍රසාද පවා නැති කිරීම කම්හල් පරිපාලනයේ එල්ලයයි. 

විදුලි බිලත් සමග රුපියල් 3000 ක් පමන වන බෝඩින් ගාස්තු වලට හැරුනු විට, ආහාර සඳහා තවත් රුපියල් 7,000 ක් පමන වැය වන තත්වයේ දී, 20,000 ක් පමන වන වැටුප කොහෙත්ම ප්‍රමානවත් නොවන බව එම කම්කරුවා පැවසීය.  

කටුනායක නිදහස් වෙලද කලාපය තුල පිහිටි ක්‍රිස්ටල් මාර්ටින් ඇගලුම් කම්හලේ රැකියාවේ නිරත තවත් කම්කරුවෙකු ප්‍රකාශ කලේ කම්හලේ පැවති නිෂ්පාදන පේලි 15 න් 2 ක වැඩ නවතා දමා ඇති බවයි. රැකියාවට එන මුලු සේවකයන් ගනන 2,000 ක් පමන වේ. 

“මම ක්‍රිස්ටල් මාටින් එකේ මාස හයකට කිට්ටු වෙන්න වැඩ කෙරුවා. නමුත් වසංගතයෙන් පස්සේ කියපු දවසට එන්න බැරි වුන නිසා මම ඇතුලු ගොඩක් දෙනෙක්ව අලුත් අය විදිහටයි බඳව ගත්තේ. ඒ අයට නිවාඩු ගැනීම පවා අපහසු වෙනවා. අප්‍රේල් අග අපිට එන්න කිව්වේ ඒ දවස්වල ප්‍රවාහන පහසුකම් තිබුන්නේ නෑ. මම ගොඩක් දුර ඉඳන් වැඩට එන්නේ”. 

පැමිනීමේ දීමනා ඇතුලු අනෙකුත් දීමනා කප්පාදු කොට වැඩෙහි යොදවා ඇති මෙම කම්කරුවන්ගේ වැඩ වේගවත් කොට තිබේ.  “අපි මහන්නේ ටීෂර්ට්. පැයකට කැලී 100 ක් මහන්න ඕන. නමුත් කොච්චර වේගෙන් මැහුවත් 80 ක් වගේ තමයි පුලුවන්. කෑලි 1000 ක් දවසට මැහුවොත් අමතර රුපියල් 300 ක් දෙනවා. පැය දෙකක් අතිකාල. කොහොම හරි අපි දවසකට පැය දොලහක් වැඩ කරනවා. නමුත් මාසෙට වැටුප ලැබෙන්නේ 23,000 ක් වගේ මුදලක්”.   

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරනයේ දී තරුනයන්ට රජයේ රැකියා දෙන බව කිව්වා. නමුත් දැන් ඒ ගැන කතාවක්වත් නෑ. අපිට මේ ආන්ඩු තිත්ත වෙලා තියෙන්නේ” යයි එම කම්කරුවා කීවේය. 

ඔහු වැඩිදුරටත් සඳහන් කලේ කම්කරුවන් හට බැන වදිමින් වැඩ ගැනීම නිසා බොහෝ කාන්තා කම්කරුවන් වෙනත් කම්හල්වලට මාරුවන බවයි. ඒ සමග නිෂ්පාදන පේලිවල මෑන් පවර් කම්කරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින බව ද ඔහු පැවසීය. 

කම්හල ඍජුව බඳවා ගත් කම්කරුවන්ගේ රැකියා කොන්දේසි දරුනු වන තත්වයේ දී, දිනකට රුපියල් දහසක් පමනක් ලැබෙන මිනිස් බල සමාගම් යටතේ කම්හලවල රැකියාවලට යන කම්කරුවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබේ. කෙසේ නමුත් දෛනික වැටුප් යටතේ සේවයේ යෙදී සිටින මෙම කම්කරුවෝ මුලුමනින්ම අනාරක්ෂිත තත්වයන් යටතේ රැකියාවේ නිරත වී සිටිති.   

ආයෝජන සහ ඇනවුම් ආකර්ශනය කර ගැනීම සඳහා ආසියානු සහ අනෙකුත් කලාපයන්හි රටවල් අතර පවත්නා තරගය, වසංගතයෙන් ගැඹුරු කෙරෙන ගෝලීය ධනේශ්වර ආර්ථික අර්බූදය මගින් තීව්‍ර කෙරි ඇත.  එහි ප්‍රතිඵලය වනුයේ, කම්කරු පන්තිය මත රුදුරු රැකියා කොන්දේසි පටවා ඔවුන් දැඩි සූරාකෑමකට යටත් කිරීමයි. කම්කරුවන්ගේ ජීවිතවලට ඉහලින් ධනපති සමාගම්වල එකී ලාභ අවශ්‍යතා තබමින්,  වසංගතයේ අනතුර මැද ඔවුන් නැවත වැඩට දැක්කීම ට්‍රම්ප් පරිපාලනයේ සිට රාජපක්ෂ තන්ත්‍රය දක්වා වන ධනපති ආන්ඩුවල පිලිවෙත බවට පත්ව ඇත. 

අගෝස්තු මස මුල ගුවන් තොටුපලවල් හා සංචාරක කර්මාන්තය විවෘත කිරීමත් සමග වසංගතය ලංකාව තුල සීග්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානම පෙන්නුම් කල එම කම්කරුවන්, තම කම්හල් තුල පවතින වැඩ කොන්දේසි හේතුවෙන් වයිරසය බෝවීමේ අවදානම දරුනු ලෙස පවතින බව ප්‍රකාශ කලේ ය. 

මේ වන විට 300 ක පමන කම්කරු පිරිසකගෙන් කම්හල පවත්වාගෙන යන ස්මාර්ට් ෂර්ට් කම්හලේ කම්කරුවෙක් මෙසේ කීවේය: “වැඩට කැඳවලා නැති අයට රුපියල් 8,000 ක් දුන්නා. නමුත් ඒකත් දිගටම ලබා දිය නොහැකි බව පරිපාලනය පවසනවා. ගොඩක් ලමයි දැන් වෙනත් රැකියාවලට හා ගම්වලට ගිහිල්ලා.” 

කම්හල් පරිපාලනය විසින් කම්කරුවන් මත මෙම ප්‍රහාර දිගේලි කොට තිබෙන්නේ රාජපක්ෂ ආන්ඩුවේ පිටුබලය සහ වෘත්තීය සමිතිවල සහයෝගය ඇතිවය. මැයි මාසයේ අත්සන් කෙරුන ත්‍රෛපාර්ශ්වික ගිවිසුමෙන්, “රැකියා රැක ගැනීමේ” ව්‍යාජ කඩතුරාව යටතේ  ඇඟලුම් සේවකයන්ගේ රැකියා  සහ වැටුප්  කප්පාදුවට  වෘත්තීය සමිති සම්මාදම් වුහ. ගිවිසුම තවත් මාස තුනකින් දීර්ඝ කිරිම ජුනි 20 දා මෙම සමිති එකඟ වී තිබේ. 

නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, ලංකා වෙලඳ කාර්මික හා පොදු සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, එක්සත්  කම්කරු සම්මේලනය , නැෂනල් යුනියන් ඔෆ් සීපෙයාර්ස්  ශ්‍රී ලංකා හා ජනතා විමුක්ති පෙරමුන විසින් පාලනය කරනු  ලබන අන්තර් සමාගම සේවක සංගමය ත්‍රෛපාර්ශ්වික ගිවිසුමේ පාර්ශ්වකරුවෝ වෙති.  

කම්කරුවන්ගේ අරගල පැන නගිමින් ඇති තත්වයේ දී ආන්ඩුව හා ධනපති හාම්පුතුන් සමග ඒකාබද්ධ මෙම සමිති නායකයෝ, කම්කරුවන්ගේ වෛරය අවමංගත කිරීම සඳහා, ආන්ඩුවේ කම්කරු ඇමතිට කන්නලව් කිරීමේ හා කම්කරු කාර්යාල තුල කම්කරුවන් හෙම්බත් කිරීමේ වැඩපිලිවෙලක යෙදී සිටිති. ගිවිසුම හරහා මාසික වැටුප් ක්‍රමය අහෝසි කිරීමට හැකිවීම ඇතුලු නව රැකියා කොන්දේසි “ඓතිහාසික ජයග්‍රහනයක්” ලෙස හාම්පුතුන්ගේ සම්මේලනය උදම් අනන්නේ මේ තත්වය තුලයි.

Loading