අවුරුදු 100කට පෙර: ස්පා සමුලුවේදී ජර්මානු, ප්‍රන්ස සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු එකිනෙකා සමග ගැටෙති

මෙම ලිපිය ජූනි 28 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

ජර්මානු චාන්සලර් කොන්ස්ටන්ටින් ෆෙරෙන්බාක්

 1919 නින්දිත වර්සායි ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු ප්‍රථම වරට, 1920 ජූලි 4 දා ජර්මානු අධිරාජ්‍යවාදී  නියෝජිතයෝ මිත්‍ර  බලවතුන් හමු වූහ. මෙම රැස්වීම පලමු ලෝක යුද්ධයේ බටහිර පෙරමුනේ  බෙල්ජියමේ ස්පා නගරයේ පිහිටි ජර්මානු හමුදා මූලස්ථානයේ දී සිදු විය. නිරායුධකරනය, වන්දි ගෙවීම, ගල් අඟුරු අපනයනය (ජර්මානුවන් යුද්ධයේදී ප්‍රන්ස ගල් අඟුරු ආකර බොහොමයක් විනාශ කර ඇති බැවින් මෙය ප්‍රන්සයට වැදගත් කාරනයක් විය) සහ ජර්මානු යුද අපරාධකරුවන්ගේ නඩු විභාගය යන කාරනා න්‍යාය පත්‍රයට ඇතුලත් විය.

දක්ෂිනාංශික කතෝලික මධ්‍ය පක්ෂයේ (Catholic Center Party) නායකයෙකු වූ ජර්මානු චාන්සලර් කොන්ස්ටන්ටින් ෆෙහෙන්බාක් සමුලුවට පැමිනියේ, බ්‍රිතාන්‍ය හා ප්‍රන්සය ඉල්ලා සිටි දැවැන්ත යුද වන්දි වලට එරෙහි වීමට සූදානමින් ය.

සම්මේලනය ආරම්භයේදී ම,  නිරායුධකරනය පිලිබඳ ප්‍රශ්නය සාකච්ඡාවට ගැනීම ප්‍රතික්ෂේප කිරීම පිලිබඳව ප්‍රන්ස සහ බ්‍රිතාන්‍ය  නියෝජිතයෝ, ජර්මානුවන් තියුනු ලෙස විවේචනය කලහ. ජර්මානුවන්  අතර මිලිටරිය නියෝජනය කිරීමට වැදගත් නියෝජිතයෙකු නොසිටි හෙයින්, සමුලුව ඉදිරියට ගෙන යාමට නම් ඒ වෙනුවෙන් අයෙක් සහභාගී විය යුතු යැයි මිත්‍ර  පාක්ෂිකයින් බල කර  සිටියේ ය.

මිත්‍ර  පාක්ෂිකයින් ජුලි 6 වන දින ජර්මනියට අවසන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ඔවුන්ගේ හමුදා සෙබල සංඛ්‍යාව 100,000 දක්වා අඩු කල යුතු බවය. ජර්මානු දූත පිරිස කියා සිටියේ, හමුදාවේ වර්තමාන සොල්දාදුවන් ගනන 200,000ක් බවත් ඉන් කිසිවෙක් අඩු කිරීම කල නොහැකි බවත් ය.  මන්දයත්,  “වර්තමානයේ නොසන්සුන් තත්වයක” සිටින ජර්මනිය “ගිනියම් වූ තත්වයකට”  මුහුනපා ඇති නිසා ය.

මෙය නිවැරදි නිරූපනයකි. 1920 දී ජර්මනිය විප්ලවය හා ප්‍රතිවිප්ලවය පැසෙන, කල්දේරමක් බඳු විය.  චාන්සලර් ෆෙහෙන්බාක්ගේ වචන වලින් කියනවා නම් එය  “එක් වැඩ වර්ජනයකින් පසුව තවෙකක්” වැනි තත්වයකි. ජර්මානු හමුදාවේ කොටසක් මේ වන විටත්, එනම් මාර්තු මාසයේදී, කැප් (Kapp Putsch) නමින් කුප්‍රකට හමුදා කුමන්ත්‍රනයකට උත්සාහ කර තිබූනත් එය කම්කරු පන්තියේ මහා වැඩ වර්ජනයකින් ව්‍යවර්ථ කර තිබුනි. ජර්මනියේ කාර්මික හදවත වන රූර් මිටියාවත තුල  ජර්මානු හමුදාව භාවිතා කිරීම වර්සායි  ගිවිසුම උල්ලංඝනය කරන්නක් බව  විශ්වාස කල ප්‍රන්සය,   ෆ්‍රැන්ක්ෆර්ට් නගරය වෙත හමුදාව යැවීය. රූර් නිම්නය තුල ආයුධ සන්නද්ධ කම්කරුවන් සහ ෆැසිස්ට්වාදී ෆ්‍රිකෝර්ප්ස් ගැති කන්ඬායම් අතර සටන් ද ඇතිවිය.

අවසානයේ ජර්මානු දූත පිරිස, මිත්‍ර පාක්ෂිකයින්ගේ නිරායුධකරනය පිලිබඳ ඉල්ලීම්වලට එකඟ වූහ. සෑම මිත්‍ර රටකටම යා යුතු සමානුපාතිකයන් නියම කර තිබුන ද, යුද වන්දි මුදල් පිලිබඳ අවසන් ප්‍රමානයක් නියම කර තිබුනේ නැත: ප්‍රන්සයට සියයට 52, බ්‍රිතාන්‍යයට සියයට 22, ඉතාලියට සියයට 10 (ඉතාලිය තවත් බොහෝ දේ සඳහා ඉල්ලීම් කර තිබින) සහ බෙල්ජියමට සියයට 8 ලෙස එය බෙදා තිබුනි. ගල් අඟුරු අපනයනය වැඩි කරන බවට එකඟ වීමට ද ජර්මනියට සිදු විය. 

Loading