කම්කරුවන්ට උගුල් ඇටවීමේ නව පෙරමුනක් හැදීමට වෘත්තීය සමිති සැරසෙයි

ජුනි 30 වෙනිදා  රාජ්‍ය  හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති  නායකයන් අතර සමස්ත  ලංකා රාජ්‍ය කලමනාකරන සහකාර නිලධාරීන් ගේ සංගමයේ කාර්යාලයේ (රාකසනිස) පැවති සාකච්චාවක දී නව වෘත්තීය සමිති පෙරමුනක් පිහිටුවීමට තීරනය කර ඇත. මෙම සාකච්චාවට රාකසනිස, වෛද්‍ය  රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, නිදහස් වෙලඳ කලාප හා පොදු සේවා සේවක සංගමය (නිවෙකපොසේ සේස) ලංකා වෙලඳ කාර්මික හා පොදු සේවක සංගමය. එක්සත්  කම්කරු සම්මේලනය (එකස), වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති පෙරමුන, රක්ෂන සේවක සංගමය, ලංකා ගුරු සංගමය (ලංගුස), දුම්රිය ඒකාබද්ධ පෙරමුන, ඇතුලු වෘත්තීය සමිති 17 ක පමන නියෝජිතයින් සම්බන්ධ වී තිබේ. සාකච්චාව සංවිධානය කෙරුනේ සොලිඩැරිටි සෙන්ටර් සංවිධානයේ සහයෝගය ඇතිව වැඩබිම වෙබ් අඩවියේ මූලිකත්වයෙනි. 

ලංගුස  ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කල පරිදි යෝජිත නව සමිති පෙරමුනේ  අරමුන වනුයේ, “ජනාධිපති කාර්ය සාධක බලකායක් තුලින් රාජ්‍ය සේවකයන් මර්දනය කිරීම, ජනතාවගේ ප‍්‍රජාතන්ත්‍ර අයිතීන් මර්දනය, පුද්ගලීකරනය, රාජ්‍ය සහ පුද්ගලික අංශවල කම්කරුවන්ගේ රැකියා සහ දීමනා කප්පාදුව ඇතුලු කම්කරු පන්තිය පොදුවේ මුහුන  දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩපිලිවෙලක් මත සාමූහිකව ක්‍රියා කිරීම” ය.  

නව පෙරමුනක්  සඳහා පෙල ගැසී සිටින සමිති සියල්ල ම රාජ්‍ය හා පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ අරගල නොමග යවා කඩාකප්පල් කර පාවාදීම සම්බන්ධයෙන් කුප්‍රකට ඉතිහාසයක් සහිත සමිති රොත්තකි.

නව සමිති පෙරමුනක් සංවිධානය කිරීමට සහයෝගය දෙන,  ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත්,  සොලිඩැරිටි සෙන්ටර් එබඳු ම කුප්‍රකට සංවිධානයකි. පෙරමුන ගොඩනැගීම සඳහා කෙරුනු සාකච්චාවට එහි කිසිදු සම්බන්ධයක් නැති බව ලංගුස ලේකම් ස්ටාලින් ප්‍රකාශ කල නමුත් වැඩබිම වෙබ්  අඩවියේ කතෘ සුජීව සෙනරත් සඳහන් කල පරිදි සාකච්චාවට සහභාගිවූවන් සඳහා සංග්‍රහ ආදියට මූල්‍ය ආධාර ලබා දී ඇත්තේ සොලිඩැරිටි සෙන්ටර් සංවිධානය විසිනි. “කම්කරුවන්ගේ  අයිතීන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සංවිධානයක්” ලෙස මවාපාන මෙම සංවිධානය එක්සත්  ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග සමීපව කටයුතු කරන අතර, එක්සත් ජනපද ආන්ඩුවේ සහ මහා සංගත වල ඍජු උපකරනක් ලෙස ක්‍රියාත්මක වෙමින් කම්කරුවන්ගේ අරගල පාවාදීම සම්බන්ධයෙන් නම්දරා සිටින, ඇමරිකානු ඒඑෆ්එල්-සීඅයිඕ වෘත්තීය සමිති සම්මේලන සමග සහයෝගයෙන් ක්‍රියා කරයි.  සොලිඩැරිටි සෙන්ටර් වෙබ් අඩවියට අනුව  එයට අරමුදල් සැපයෙන්නේ ඇමරිකානු  රාජ්‍ය  දෙපාර්තමේන්තුව සහ ඇමරිකානු  අධිරාජ්‍යවාදී සංගත වල අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින  ෆෝර්ඩ්  පදනම වැනි ආයතනවලිනි. 

එකස ප්‍රධාන  ලේකම් ලීනස්  ජයතිලක සඳහන් කලේ, යෝජිත නව පෙරමුනට  සොලිඩැරිටි සෙන්ටර් සමග සම්බන්ධයක් නැති නමුත්, ඒඑෆ්එල්-සීඅයිඕ සම්මේලන සමග එය සම්බන්ධ වී කටයුතු කිරීමේ හේතුව මත එහි සහයෝගය ලබා ගැනීමේ ගැටලුවක් නැති බව යි.

ලංකාවත් ඇතුලුව රටවල් හැටක පමන අඬු විහිදුවාගෙන සිටින සොලිඩැරිටි සෙන්ටර් සංවිධානය එම රටවල 900 ක් පමන වූ සමිති ජාලයක් සමග සම්බන්ධකම් පවත්වයි. එක්සත් ජනපදයට ගෙන්වා ගනු ලබන එම වෘත්තීය සමිතිවල නියෝජිතයින් “මුලෝපායිකව සැලසුම් කල ක්‍රියාකාරකම්, පුහුනුවීම් හා වටමේස සාකච්චා” වලට සහභාගී කරවමින් ඔවුන්ට “එක්සත් ජනපද ආන්ඩුවේ නිලධාරීන්, සංගතවල හාම්පුතුන් හා වෘත්තීය සමිති නිලධාරීන්” මුනගස්වන බව ද එහි වෙබ් අඩවියේ සඳහන් වේ.  

“මූලෝපායිකව සැලසුම් කල ක්‍රියාකාරකම්” යනු කවරේදැයි විස්තාරනය කර නැතත්, ඒවා යොමු කෙරෙනවා ඇත්තේ එක්සත් ජනපදයේ සහ සෙසු රටවල ආන්ඩු  සහ හාම්පුතුන්ගේ අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීම පිනිස කම්කරුවන්ගේ අරගල කලමනාකරනය කිරීම සඳහා වෘත්තීය සමිති හැඩ  ගැස්වීමට ය.

ඒකාබද්ධ නව සමිති පෙරමුනක් ඇටවීම සඳහා  රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සමිති පෙල ගැසෙමින්  සිටින්නේ  කොරෝනා වසංගතයෙන් වඩාත් ගැඹුරු වී ඇති ලෝක ආර්ථික අර්බුදයේ බර තමන් මත පැටවීමට එරෙහිව ශ්‍රී ලංකාවේත්, ජාත‍්‍යන්තරවත් කම්කරුවන් අතර  බරපතල විරෝධයක් හා පන්ති අරගල පුපුරා යන කොන්දේසි තුලය. 

එක්සත් ජනපදයේ  ඒඑෆ්එල්-සීඅයිඕ සහ ලංකාවේ වෘත්තීය සමිති ඇතුලු හැම රටකම වෘත්තීය සමිති ක්‍රියාත්මක වන්නේ එම පන්ති අරගල ගබ්සා කර දැමීම තුලින් ධනපති  පාලක පන්තීන්ගේ හා හාම්පුතුන්ගේ උත්සුකතාවයන් ආරක්ෂා කිරීමට ය.

වසංගතය පාලනයට දමා තිබු අගුලු  ඉවත් කර “ආර්ථිකය යලි විවෘත කිරීම” යටතේ නිසි සෞඛ්‍ය ආරක්ෂක පහසුකම් වලින් තොරව වැඩ ආරම්භ කල රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ආයතන තුල රැකියා හා වැටුප් කප්පාදුවක් ක්‍රියාවට දමා  ඇති අතර පෙර නොවු විරු මට්ටමකට වැඩ වේගවත් කර තිබේ. 

වසංගතයෙන් “ආරක්ෂාවීමේ ක්‍රමවේදයක්” ලෙස ක්‍රියාවට  දමා  ඇති කොටස් වශයෙන් වැඩට කැඳවීම යටතේ කම්කරුවන් මිලියනයකට පමන රැකියා අහිමි වී ඇත. මෙම “ආරක්ෂන ක්‍රමවේදය”හා කම්හල් වසා දැමීම නිසා  ඇඟලුම් කර්මාන්තයේ පමනක් තුන් ලක්ෂයකට ආසන්න කම්කරුවන් රැකියාවෙන් දොට්ට වැටී ඇත. පුද්ගලික අංශයේ දැනට සේවයේ නියුක්ත කම්කරුවන්ගේ වැටුප් සියයට 5 සිට සියයට 50 දක්වා ප්‍රමානයන්ගෙන් කප්පාදුවක් ක්‍රියාවට දමා තිබේ.  සංචාරක කර්මාන්තය  මුලුමනින් ම ඇනහිටීම නිසා ලක්ෂ පහකට පමන රැකියා අහිමිව ඇත. වතු කම්කරුවන්ගේ වැඩ දින ගනන අඩුවීම සහ දෛනික ඉලක්කයන් සම්පුර්න කල නොහැකිවීම නිසා වැටුප් හරි අඩකින් පහත වැටී ඇත. 

ජීවන තත්වයන්ට හා සමාජ අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තිය තුල පුලුල්  රැඩිකලීකරනයක් සහ  බරපතල විරුද්ධත්වයක් වැඩෙමින් ඇත. අතිකාල සහ අනෙකුත් දීමනා කප්පාදුවට විරුද්ධව රාජ්‍ය අංශයේ සෞඛ්ය හා තැපැල්  සේවකයන් ගේ අරගල පැන නැගුනි. පුද්ගලික අංශයේ ඇඟලුම් හා වතු කම්කරුවෝ  නිරන්තරව උද්ඝෝෂනවල යෙදෙති. 

එහෙත්  ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ මෙම ප්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම වෘත්තීය  සමිති විසින් හිතාමතාම මඟහැර  ඇත. එවන් තත්වයක් තුල පැන  නගින අරගල පවා හුදකලා කරනු ලබන්නේ ද සමිති විසින්ම ය.

වෘත්තීය සමිති කම්කරුවන්ගේ අරගල පාවා දෙනවා පමනක් නොව, රාජපක්ෂ ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ව්‍යසනකාරී ප්‍රහාරයන්ට නිල වශයෙන් සහයෝගය දෙති. 

සෙනසුරාදා දිනයන්හි තැපැල් කාර්යාල වසා දැමීමට ද, අතිකාල වැඩ සහ  වැටුප් කප්පාදු කිරීමට ද එරෙහිව තැපල් සේවකයන් අතර මතු වූ විරුද්ධත්වය, තැපැල් සමිති පෙරමුන ආන්ඩුව  සමග අත්සන් කල අවබෝධතා ගිවිසුමකින් යටපත් කලේය. ගිවිසුමට අනුව  තැපැල් සේවකයන්ගේ අතිකාල දීමනා වලින් හා සෙනසුරාදා දිනවල උපයන සියලු දීමනා වලින් සියයට 20 බැගින්  කප්පාදු කෙරෙයි. 

කොරෝනා වසංගත තත්වය තුල, රැකියා ආරක්ෂා කිරීම යන කඩතුරාව යටතේ පුද්ගලික අංශයේ සමිති ආන්ඩුව සහ හාම්පුතුන් සමග අත්සන් කල ත්‍රෛපාර්ශවික ගිවිසුමක් මගින් වැටුප් සියයට 50 කින් කැපීමට සහ "ආරක්ෂක ක‍්‍රමවේදය" ට අනුව කොටස් වශයන් සේවයට කැඳවීමේ පදනම මත සියයට 60-70 කම්කරුවන් සේවයෙන් ඉවත් කර තැබීමට නිල අවසරයක් හාම්පුතුන්ට ලබා දී තිබේ.

තම අයිතීන් රැකගැනීම සඳහා ඒකාබද්ධ අරගලයක් සංවිධානය කරගැනීමේ දැවෙන අවශ්‍යතාවයක් සැබවින් ම  කම්කරුවන්ට ඇත. ශ්‍රී ලංකාවේත්, ජාත‍්‍යන්තරවත් මෑත මතු වූ අරගල වල දී මැනවින් එය ප්‍රදර්ශනය කෙරුනි. එහෙත්  වෘත්තීය සමිති ඊනියා ඒකාබද්ධ පෙරමුනු ගොඩ නගන්නේ කම්කරුවන්ගේ එවන් අරගල  සංවිධානය කිරීමට නොව, ඔවුන්ව නොමග යවා  අරගල කඩාකප්පල් කිරීමේ අරමුන ඇතිවය. 

පන්ති අරගලය තීව්‍ර කෙරුන හැම විටම වෘත්තීය සමිතිවල ඊනියා ඒකාබද්ධ පෙරමුනු ගොඩනැගුනු ආකාරය සහ ඒවා ඉටුකල ද්‍රෝහී භූමිකාවන් පිලිබඳ මනා අත්දැකීම් කම්කරු පන්තිය තුල ඇත. වෘත්තීය සමිති පමනක් නොව සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, ආගමික සංවිධාන ඇතුලු ඊනියා බහුජන ව්‍යාපාර ද වෘත්තීය සමිති වල මූලිකත්වයෙන් ගොඩ නැගී ඇත. එහෙත් ඒ සියල්ලෙහි අවසන් ප්‍රතිපලය වුයේ සමිති  විසින් කම්කරුවන්  වට වංගුවල ගෙන ගොස් අතරමන් කිරීමකි.

දේශපාලන පක්ෂ විසින් මෙහෙය වනු ලබන වෘත්තීය සමිති මෙන් ම, ඊනියා ස්වාධීන සමිති ද ඒ හෝ මේ ධනපති දේශපාලන පක්ෂ හෝ පෙරමුනු වලට ඍජුව හෝ වක්‍රව සහයෝගය දෙති. “සමගියේ” නාමයෙන් පන්ති අරගලය තුල කම්කරුවන් ඉදිරියේ මතු කෙරෙන තීරනාත්මක ප්‍රශ්න ගැන කවර හෝ සාකච්චාවකට  සතුරුය.  

සමාජ සහ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මර්දනය සම්බන්ධයෙන් වැඩකරන ජනයාගෙන් මතු වන කවර හෝ විරෝධයක්  ඉවසා සිටීමට රාජපක්ෂ ආන්ඩුව  සුදානම් නැත. එය සැලසුම් කරමින් සිටින්නේ එවන් විරුද්ධත්වයන් රුදුරු ලෙස මැඩලන, මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායක පාලනයකට මාරුවීමට ය. රාජ්‍ය ආයතන මිලිටරිකරනය, රාජ්‍ය සේවකයන් මර්දනය කිරීම ඉලක්ක කර ගත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ පාර්ලිමේන්තු මැතිවරනයෙන් තුනෙන් දෙකක බලයක් සඳහා ජනාධිපති රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන ගෙන යන උද්ඝෝෂනය පිටුපස පවතින්නේ එම දුෂ්ට අරමුනයි.  

පෙරමුනු  මොනතරම් පලල් වුනත් කම්කරු පන්තියට වෘත්තීය සමිති තුලින් තම අයිතීන් දිනා ගත නොහැකිය.  කම්කරුවන් ඉදිරියේ මතු කෙරී ඇත්තේ අයිතීන් සඳහා අරගලය තමන් අතට ගෙන මෙහෙය විය හැකි විකල්ප සංවිධාන රූපයක හා දේශපාලන අභියෝගයන් ට මුහුන  දිය හැකි කම්කරු පතියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවයයි.  

වෘත්තීය සමිති වලින් ඉවත්ව ප්‍රජාතන්ත්‍රවාදී  චන්දයෙන් ගොඩ නගන කම්කරු ක්‍රියාකාරී  කමිටු එවන් ව්‍යාපාරයක ප්‍රථම පියවර වනු ඇත. එහි ඉලක්කය විය යුත්තේ,  රාජපක්ෂ ආන්ඩුවට බලපෑම් දැමීම නොව, ජාත්‍යන්තර  සමාජවාදය සඳහා අරගලයේ කොටසක්  ලෙස, සමාජවාදී පිලිවෙත් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකින් එය විස්ථාපනය කිරීමට සටන් වදින සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එ්කාබද්ධ අරගලයකි.

Loading