ජනාධිපති ට්‍රම්ප් ප්‍රධාන ඇමරිකානු නගරවලට ෆෙඩරල් පොලිස් ඒජන්තයින් යවයි

මෙම ලිපිය ජූලි 21 දින ඉංග්‍රීසියෙන් පලවින

ඕවල් කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමින් සඳුදා ජනාධිපති ට්‍රම්ප්, ඔරිගන් ප්‍රාන්තයේ පෝට්ලන්ඩ් හිදී නාඳුනන ෆෙඩරල් නියෝජිතයන් විසින් විරෝධතාකරුවන් පැහැර ගැනීම “අපූරු ක්‍රියාවක්” ලෙස ප්‍රශංසා කල අතර ඒ හා සමාන නීති බලාත්මක කිරීමේ කන්ඩායම් නිව් යෝර්ක් , චිකාගෝ, ෆිලඩෙල්ෆියා, ඩෙට්‍රොයිට්, බැල්ටිමෝර් සහ ඕක්ලන්ඩ් වෙත යැවීමට පොරොන්දු විය. 

ධවල මන්දිරය විසින් ෆෙඩරල් භටයන් 175 දෙනෙකු විවිධ නගරවලට යවන බවට පල වන වාර්තා පිලිබඳ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් ට්‍රම්ප් පැවසුවේ, “හොඳයි, එය රඳා පවතින්නේ, හමුදා භටයින් පිලිබඳ ඔබගේ අර්ථ දැක්වීම මත ය. මම කිව්වේ, අපි නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන් යවන බවයි. ”

ඔහු තවදුරටත් කියා සිටියේ, “මම යමක් කරන්නෙමි, එනම් මට ඔබට පැවසිය හැකිය. මොකද අපි නිව් යෝර්ක්, චිකාගෝ, ෆිලඩෙල්ෆියා, ඩෙට්‍රොයිට් සහ බැල්ටිමෝර්හි සිදුවන මේ සියල්ලට ඉඩ දෙන්නේ නැහැ - ඕක්ලන්ඩ් අවුල් ජාලයක්. අපි අපේ රටේ මෙය සිදුවීමට ඉඩ නොදෙමු. සියල්ල මෙහෙයවනු ලබන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීන් විසිනි. ”

පෝට්ලන්ඩ්හි ෆෙඩරල් නියෝජිතයන් ගැන අදහස් දක්වමින් ට්‍රම්ප් පැවසුවේ “ඔවුන් දින තුනක් එහි සිට ඇත. ඔවුන් සැබවින්ම කෙටි කාලයක් තුල අපූරු වැඩක් කර ඇත. කිසිම ප්‍රශ්නයක් නැ. ඔවුන් විශාල පිරිසක් අල්ලා නායකයන් සිරගත කරනවා. ”

තම ප්‍රකාශයන්ට සහාය වන  කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර ට්‍රම්ප්, පෝට්ලන්ඩ්හි විරෝධතාකරුවන් අපරාධකරුවන් ලෙස දැක්වීමට උත්සාහ කලේය: “මිනිස්සු කියන්නේ (තමන්) විරෝධතාකරුවන් බවයි, මේ අය අරාජකවාදීන්, අපේ රටට වෛර කරන මිනිසුන්, අපි ඒකට ඉදිරියට යන්න දෙන්නේ නැහැ, මම ඔබට කියන්නම්, ආන්ඩුකාරයා, නගරාධිපති, සෙනෙට් සභිකයෝ, ඔවුන් මේ ජනතාවට බිය වෙති. ඒ නිසා තමයි අපි ඔවුන්ට උදව් කරනවාට ඔවුන් කැමති. ඔවුන් බයයි. ඔවුන් කරන දේ ඇදහිය නොහැකි නිසා, ඔවුන් මේ මිනිසුන්ට ශාරීරිකව බිය වන්නේ යයි මම විශ්වාස කරමි.”

“අපි එතනට ගියේ නැහැ. එය එකවරම ආරම්භ වූවාක් මෙන් නොවේ. අපි දවස් 51 ක් බලාගෙන හිටියා. අපි කිව්වා, 'අපට තවදුරටත් එය සිදුවීමට ඉඩ දිය නොහැකි බව.' නමුත් මේ අය අරාජිකවාදීන්. ”

චිකාගෝ ට්‍රිබියුන් සඳුදා වාර්තා කලේ, ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව (ඩීඑච්එස්) මේ සතියේ චිකාගෝ වෙත නියෝජිතයින් 150 ක් යවන බවයි. නිර්නාමික මූලාශ්‍ර උපුටා දක්වමින් ට්‍රිබියුන් වාර්තාව සඳහන් කලේ, අපරාධ මර්දන කටයුතුවලදී නගර නීතිය ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා ආගමන හා රේගු බලගැන්වීමේ කොටසක් වන ස්වදේශ ආරක්ෂක විමර්ශන (එච්එස්අයි) නියෝජිතයින් යවන බවයි. චිකාගෝ හි එච්එස්අයි නියෝජිතයින් කුමක් කරනු ඇත්දැයි මූලාශ්‍රවල නිශ්චිතව දක්වා නැත.

ග්‍රීෂ්ම කාලය අවසන් වන විට චිකාගෝ වෙත ෆෙඩරල් නියෝජිතයින් යෙදවීමට සැලසුම් කර ඇති බව නම සඳහන් නොකල ජ්‍යෙෂ්ඨ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරියෙකු තහවුරු කල බව ද සීඑන්එන් වාර්තා කරයි. එක් මූලාශ්‍රයකට අනුව, “වෙනත් ඉලක්ක නම්, නීතිවිරෝධී තුවක්කු අලෙවිය සහ තුවක්කු හිංසන  සහ කැපී පෙනෙන වරෙන්තු පිලිබඳව අවධානය යොමු කිරීමයි. ඉදිරි දිනවලදී නිවේදනයක් නිකුත් කල හැකි” බව එම ආරංචි මාර්ග දෙකම පවසයි.

ACLU හි ඉලිනොයිස් විධායක අධ්‍යක්ෂ කොලීන් කොනෙල්, ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාකලාපය හෙලා දකිමින්, “හොඳින් මතක තබාගන්න: ට්‍රම්ප්ගේ ෆෙඩරල් හමුදා චිකාගෝ හි පලදායී බලයක් නොවනු ඇත. අපේ සගයන් පෝට්ලන්ඩ් හි දැක ඇති පරිදි, ට්‍රම්ප්ගේ රහස් හමුදා ප්‍රජාවන් බිය ගන්වා අවුල් ජාලයක් ඇති කරනු ඇත. මෙය නීතිය හා සාමය නොවේ. මෙය මේ රටේ, විරෝධතා පැවැත්වීමට සහ මාධ්‍ය කටයුතු වල නිශ්චිත ආරක්ෂාව සඳහා පලමුවන සංශෝධනයෙන් ජනතාවට ලැබී ඇති අයිතියට පහර දීමකි. ”

ෆෙඩරල් නියෝජිතයන් ජනාධිපති විසින් යවන ලද බව පැහැදිලි කරමින් වැඩබලන ස්වදේශ ආරක්ෂක ලේකම් චැඩ් වුල්ෆ් ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ, “මහජන ආරක්ෂාවට උඩින් දේශපාලනය තැබීම, කෙටිකාලීනව පමනක් නොව දිගු කාලීනව ද  අහිතකර ලෙස බලපානු ඇත. ජනාධිපති ඉතා පැහැදිලියි - නැවතත්, මෙම ප්‍රධාන නගරවල ... ඔබ ඔබේ රාජකාරිය නොකරන්නේ නම්, යම් අවස්ථාවක දී එම ප්‍රජාවන් ආරක්‍ෂිත බව තහවුරු කර ගැනීමට අපට පියවර ගැනීමට සිදුවනු ඇත. ”

පෝට්ලන්ඩ් හි සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචන්ඩ ක්‍රියා සිදු වූ බවට තවත් සාක්ෂි සඳුදා අනාවරනය විය. 53 හැවිරිදි පෝට්ලන්ඩ්හි පදිංචිකරුවෙකු වන ක්‍රිස්ටෝපර් ඩේවිඩ්ට ෆෙඩරල් නියෝජිතයන් විසින් බැටන් පොලු සහ  කුපිත කරවන රසායනික ද්‍රව්‍යයකින් පහර දෙන ලදී.

එක්සත් ජනපද නාවික ඇකඩමියේ උපාධිධාරියෙකු සහ නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු බලකායේ හිටපු සාමාජිකයෙකු වන ඩේවිඩ්, වොෂිංටන් පෝස්ට් පුවත්පතට පැවසුවේ, සෙනසුරාදා සවස පෝට්ලන්ඩ් නගරයට ගොස් “ඔබ ඔබේ දිවුරුමට ගරු නොකරන්නේ මන්ද?” සහ “ඔබ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට දුන් දිවුරුමට ගරු නොකරන්නේ ඇයි?” යනුවෙන් විමසීමට බලාපොරොත්තු වූ නමුත්, ඩේවිඩ්ට නතර වීමට සිදුවුනේ, දෙපොලකින් කැඩීගිය අතක් ද ඇතිව රෝහලේ ය. 

ඊයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ විස්තර කල පරිදි, ට්‍රම්ප් පොලිස් රාජ්‍ය මර්දන ක්‍රම මෙන්ම ආන්ඩුක්‍රම  ව්‍යවස්ථාවට එල්ල කරන ප්‍රහාර අත්හදා බැලීමට, ඩිමොක්‍රටික් පක්ෂය විසින් පාලනය කරන පෝට්ලන්ඩ් නඟරයේ විරෝධතා ඩැහැගෙන ඇත. තේරී පත් වූ නිලධාරීන්ගේ ප්‍රතිපත්තියට පටහැනිව සමහර පොලිස් සංගම්වල ඉල්ලීම පරිදි, ප්‍රධාන ඇමරිකානු නගරවල ෆෙඩරල් හමුදා භාවිතා කිරීම, විරෝධතාකරුවන්ගේ ව්‍යවස්ථාමය අයිතීන් උල්ඝනය කිරීමක් සහ පලාත් පාලන ආයතනවල බලය උදුරා ගැනීමකි.

කොරෝනා වසංගතයෙන් මිලියන සංඛ්‍යාත ජනතාවක් මුහුන දී සිටින ව්‍යසනකාරී ආර්ථික, සමාජීය හා මහජන සෞඛ්‍ය අර්බුදය මධ්‍යයේ, සිය නැවත තේරී පත්වීමේ ඡන්ද සංඛ්‍යාව පහත වැටීමත් සමඟ ට්‍රම්ප්, සිය ෆැසිස්ට් ආධාරකරුවන්ගේ පදනම, විශේෂයෙන් පොලීසිය හා මිලිටරිය තුල, ශක්තිමත් කිරීම සඳහා අන්ත දක්ෂිනාංශික පියවර ගනිමින් සිටී. රේගු සහ දේශසීමා ආරක්ෂන කටයුතුවල යොදා සිටින ෆෙඩරල් පැරාමිලිටරි බලකායන් අතර මෙන් ප්‍රධාන ඇමරිකානු නගරවල “බොහෝ මිනිසුන් අල්ලා ගෙන නායකයින් බන්ධනාගාර ගත කල,” සලකුනු නොකල වාහන යොදාගෙන ක්‍රියාත්මක වන ෆෙඩරල් පොලිස් නියෝජිතයන් මෙහෙයවීම, එක්සත් ජනපදයේ ජනාධිපති ආඥාදායකත්වයක් දෙසට ගත් පෙර නොවූ විරූ පියවරකි. අපරාධ සංවිධානවලට එරෙහිව සටන් කිරීම සඳහා කැපවී සිටින අයිඑස්ඊ හි විශේෂ ඒකකයක් වන එච්එස්අයි හි නියෝජිතයින්, චිකාගෝ හි සංක්‍රමනික කටයුතුවලට සම්බන්ධ නොවන බවට නිර්නාමික ඩීඑච්එස් ප්‍රභවයක් චිකාගෝ ට්‍රිබියුන් වෙත ප්‍රකාශ කිරීම ඉතා වැදගත් ය.

ට්‍රම්ප්ගේ නිවේදනයට ප්‍රමුඛ ඩිමොක්‍රටිකයින්ගෙන් ලැබුනු ප්‍රතිචාරවලින් එකකදීවත්, එය මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට තර්ජනයක් ලෙස පුරෝකථනය කර නැතිකම ගැන පුදුම වියයුතු නැත.

“චිකාගෝ නගරය ගැන බොහෝ අපකීර්තිමත් දේවල් පැවසීම” පිලිබඳව, චිකාගෝ හි ඩිමොක්‍රටික් නගරාධිපති ලෝරි ලයිට්ෆූට් ට්‍රම්ප් විවේචනය කලේ ය. “ඔහු අපව දේශපාලන ප්‍රහාරක මල්ලක් punching bag ලෙස යොදා ගැනීමට කැමැත්ත දක්වයි. ” එච්එස්අයි ඒජන්තයින් චිකාගෝ වෙත යැවීමට ට්‍රම්ප් දුන් වංචනික හේතුව මූලික වශයෙන් පිලිගත් ලයිට්ෆූට්, “නමුත් අපේ ප්‍රචන්ඩත්වය සමඟ කටයුතු කිරීමට අපට උදව් කිරීමට ජනාධිපතිවරයා සැබවින්ම කැපවී සිටියේ නම්, ඔහු පහසු දේවල් කිහිපයක් කරනු ඇත.”

මිචිගන් හි ආන්ඩුකාර ග්‍රෙට්චන්, විට්මර් ෆෙඩරල් පොලිසිය ඩෙට්‍රොයිට් වෙත යැවීම වාර්ගික ප්‍රශ්නයක් ලෙස විස්තර කලේය. “පලමු කාරනය ඩෙට්‍රොයිට් ගැන ජනාධිපතිවරයා දන්නේ නැත. ඔහු ඒ ගැන දැනගැනීමට උත්සාහ කලේ නම්, කලු ඇමරිකානුවන් දිනපතා මුහුන දෙන ක්‍රමානුකූල වර්ගවාදයට හා වෙනස් කොට සැලකීමට සාමකාමීව විරෝධය දැක්වීමට ඩෙට්‍රොයිටර්වරු දැන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ රැස්ව සිටින බව ඔහු දැන ගනු ඇත” යයි විට්මර් පැවසීය.

කොන්ග්‍රස් දිස්ත්‍රික්කය ඩෙට්‍රොයිට් හි බටහිර පිහිටා ඇති ඩිමොක්‍රටික් පක්ෂ නියෝජිත රෂීඩා ට්ලයිබ් ට්විටර් සටහනක් තබමින්, “ඔවුන් මගේ පදිංචිකරුවන්ට නීතිවිරෝධී ලෙස අත තැබීමට සිතන්නේ නම්, ඔවුන් පලමුව මාව අත්අඩංගුවට ගත යුතුය ” යි පැවසුවාය.

ෆිලඩෙල්ෆියාවේ ඩිමොක්‍රටික් නගරාධිපති ජිම් කෙනී කියා සිටියේ, ට්‍රම්ප්ගේ සැලැස්ම “බොහෝ මට්ටම්වලින් වැරදියි” කියා ය. එවන් ආධාර ඉල්ලා නොසිටි ඇමරිකාවේ නගර වලට ෆඩෙරල් ඒජන්තයින් යැවීමට පෙලඹීම, ප්‍රාදේශීය ආන්ඩු අපහසුතාවට පත් කරන අතර දැනටමත් ඉහල නැඟී තිබෙන මේ නගරවල ආතතීන් උත්සන්න කිරීමකි. ඩිමොක්‍රටික් නගරාධිපතිවරුන් විසින් මෙහෙයවනු ලබන නගර ඉලක්ක කර ගැනීම පැහැදිලිවම, ෆෙඩරල් සම්පත් දේශපාලනීකරය කිරීමකි, එය සියලු බදු ගෙවන්නන්ගේ කෝපයට හේතුවී ඇත. ”

ප්‍රමානවත් ලෙස සූදානම් කර හෝ තවමත් අවශ්‍ය නොවේ යයි ඔවුන් විශ්වාස කල හෙයින් පෙන්ටගනයේ නිලධාරීන් විසින් කඩාකප්පල් කිරීමෙන් පමනක් වැලකී ගිය, ට්‍රම්ප් ජූනි මාසයේ දී  හමුදා කුමන්ත්‍රනයකට උත්සාහ කල අවස්ථාවේ දී පෙන්නුම් කලාක් මෙන්, ඩිමොක්‍රටිකයින් බිය වන්නේ, ට්‍රම්ප් ධවල මන්දිරයේ ඒකාධිපති අරමුනු වලට වඩා කම්කරු පන්තියේ මහා විප්ලවවාදී ව්‍යාපාරයක් පහල සිට  පැමිනෙනු ඇතැයි යන්න පිලිබඳවය. 

ලෝක පරිමානයෙන් ධනවාදය අවසන් කිරීම අරමුනු කරගත් විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ,  ස්වාධීන දේශපාලන සංවිධානයක් පදනම් කරගෙන,  කම්කරු පන්තියට පමනක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කල හැකි අතර ඇමරිකානු සමාජය ආඥදායකත්වයේ හා ලෝක යුද්ධයක පැටලීම නැවැත්විය හැකිය.

Loading