COVID-19 වසංගතය පිලිබඳව චීන ශිෂ්‍යයෙකු එවා ඇති ලිපිය

මෙම ලිපිය ජූලි 22 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

කොරොනා වෛරස් වසංගතයේ බලපෑම පිලිබඳ සිය පෞද්ගලික අත්දැකීම් සහ නිරීක්ෂන සහිතව චීන විශ්ව විද්‍යාල සිසුවෙකුගෙන් පහත දැක්වෙන ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියට ලැබී ඇත.

මේ වන විට චීනයේ සමාජ ජීවිතය යම් ආකාරයකින් යථා තත්ත්වයට පත්ව ඇති අතර රෝගය පැතිරීම වැලක්වීමේ පියවර බොහෝ දුරට අවම කර ඇත. පොදු ස්ථාන විවෘත කර ඇත. බොහෝ අසල්වැසි ප්‍රදේශවල, වෙලඳසැල් සහ සුපිරි වෙලඳසැල් වලට ඇතුලු වන අය පිලිබඳ පරීක්‍ෂන සිදු නොකෙරෙන තරම්ය. සමහර ඒවායේ තවමත් QR කේත ස්කෑන් [පසුව පැහැදිලි කෙරේ]  මඟින් මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරන නමුත්, ශරීර උෂ්නත්වය පරීක්ෂා කිරීමට අධෝරක්ත උෂ්නත්වමාන භාවිතා නොකරයි. පොදු ප්‍රවාහනය යොදාගන්නා විට  QR කේතය පමනක් ස්කෑන් කිරීම සෑහෙන අතර ශරීර උෂ්නත්වය පරීක්ෂා කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ. පාසැල්, සංස්ථා සහ සමාජ ආයතන තවමත් ඕනෑම බාහිර පුද්ගලයකුට ඇතුලුවීම දැඩි ලෙස සීමා කර ඇතත්, ඇතුලත සිටින අය පිටතට යන විට විශේෂ දම් පැහැති QR කේතයක් භාවිතා කිරීමට පනවා තිබුන සීමාවන් ඉවත් කර ඇත.

කෙසේ වෙතත් මම සිතන්නේ, පසුගිය මාස අට තුල ලොව පුරා පැතිර ගිය COVID-19 තර්ජනය තුරන්ව ගොස් නැති බවයි. විශේෂයෙන් හාර්බින් සහ බීජිං හි මෑත අලුතෙන් පැතිරයාම සලකා බැලීමේදී. විශේෂයෙන් බොහෝ මිනිසුන් බලාපොරොත්තු රහිතව රෝගයට ගොදුරු වූ තත්වය තුල වසංගතය අවධියේ මගේම අත්දැකීම් කෙටියෙන් සාකච්ඡා කරමි.

චීනයේ මුඛ ආවරන පලඳින ජනතාව, අනුග්‍රහය: ඒපී ඡායාරූප-කින් චෙවුන් [Credit: AP Photo/Kin Cheung]

 2019 දෙසැම්බර් මස අවසානයේ මම, ගූගල් අනුමත කල ඇල්ගොරිතමයක් හරහා වුහාන් හි තවමත් හඳුනා නොගත් නියුමෝනියාව ගැන ප්‍රවෘත්තියක් මහා ගිනි බැම්මෙන් [Great Fire Wall- චීන අන්තර්ජාල බාධකයක්] පිටත බලන විට දැක ගත්තෙමි. මෙම පුවත නිව් යෝර්ක් ටයිම්ස් හි චීන වෙබ් අඩවියක් තුලින් ලැබුනි. මම මුලින් සිතුවේ මෙය, බීජිං තන්ත්‍රයට සතුරු  විදේශ මාධ්‍යයක සුපුරුදු ආකර්ශනීය පුවතක් බවය. එහි වලංගුභාවය ගැන මට සැකයක් ඇතිවූ බැවින් ඒ ගැන තවදුරත් සොයා නොබැලුවෙමි.  පසුව මම වුහාන්හි මෙම විස්තර නොදත් නියුමෝනියාව ගැන  කිහිප වතාවක්ම මගේ මව සමඟ කතා කලෙමි. නමුත් එයින් ඇති විය හැකි ප්‍රතිවිපාක පිලිබඳව අප දෙදෙනාම බැරෑරුම් ලෙස සලකා නොබැලුවෙමු.

අලුත් අවුරුද්දට සති දෙකකට පෙර සිටම චීන මාධ්‍ය, වසර අවසානය හා එලඹෙන ලුනා අලුත් අවුරුද්ද [ජනවාරි 25] ගැන ප්‍රීතියෙන් පිරි වාර්තා පල කලේය. වුහාන් හි හඳුනා නොගත් නියුමෝනියාව පිලිබඳ කිසිදු වාර්තාවක් මා දුටුවේ නැති අතර ක්‍රමයෙන් ඒ ගැන අමතක විය. කෙසේ වෙතත්, ඊලඟ සතියේ දී, වුහාන් හි පැතිර යන මෙම නියුමෝනියාව පිලිබඳ ප්‍රවෘත්ති වේගයෙන් පල වීමට පටන් ගත්තේය. චීනයේ බොහෝ මිනිසුන් ඒ ගැන ඉගෙන ගත්ත ද එය කෙතරම් බැරෑරුම් වනු ඇත්ද යන්න පිලිබඳ නිවැරදි අදහසක් තවමත් නොතිබුනි.

මම වුහාන් විශ්ව විද්‍යාලයේ මගේ මිතුරා සමඟ කතා කලෙමි. මෙම නියුමෝනියාව පැතිරීමේ අන්තරාය පිලිබඳව තම විශ්ව විද්‍යාලය අවධානයෙන් පසුවන බවත්, පාසල් වසර කල්තියාම අවසන් කෙරෙන බව අසා ඇති බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, අධ්‍යයන වාරය සුපුරුදු පරිදි ජනවාරි 10 වනදා පමන අවසන් විය.

ජනවාරි 20 පමන වන විට මම ආපසු නිවසට පැමිනියෙමි. මම දෙමව්පියන් සමඟ ලූනා අලුත් අවුරුද්දට සූදානම් වෙමින් සිටියෙමි. මේ වන විටත්  රූපවාහිනියේ සහ අන්තර්ජාලයේ වුහාන්හි තත්වය පිලිබඳ වැඩි වැඩියෙන් වාර්තා වනු මා දැක ඇත.

ජනවාරි 23 වන දින උදේ 10 සිට වුහාන්හි සියලුම බස්, උමං මාර්ග, මගී නැව් සහ නගරාන්තර බස් සේවා නවත්වන බව නිවේදනය කල අතර වුහාන්හි පදිංචිකරුවන්ට නගරයෙන් පිටව නොයන ලෙසට උපදෙස් දෙන ලදී. ගුවන්තොටුපල සහ දුම්රිය ස්ථාන වැනි සියලුම ප්‍රවාහන මධ්‍යස්ථාන ද වසා දමන ලදී. මෙම දිනයේම මධ්‍යම ආන්ඩුව, වුහාන්හි රෝහල්වල කාර්ය මන්ඩලයට උපකාර කිරීම සඳහා වෙනත් නගරවල රජයේ රෝහල්වල වෛද්‍යවරුන් බලමුලු ගැන්වීය.

මෙයින් පසු සෑම දිනකම ආන්ඩුවෙන් සහ පුද්ගලයින්ගෙන් සියලු ආකාරයේ පරිත්‍යාග හා සම්පත් වුහාන් වෙත ලඟා වූ අතර, ෆැන්ග්කාං නවාතැන් රෝහල් දෙක  [විශාල, තාවකාලික රෝහල්] ඉදිකිරීම් ආරම්භ විය. චීන ආන්ඩුවේ ක්‍රියාත්මක භූමිකාව විදහා දක්වමින්, මෙම සියලු කටයුතු  සීසීටීවී [රජය සතු රූපවාහිනියේ] ප්‍රවෘත්ති නාලිකාවලින් විකාශනය කෙරුනි. 

කෙසේ වෙතත් අන්තර්ජාලය තුල, නිලධාරිවාදී ක්‍රමයේ සහ ධනේශ්වර වෙලඳපොල ආර්ථිකයේ අඩුපාඩු පිලිබඳව ජනතාව ප්‍රශ්න කිරීමට පටන් ගත්හ. අන්තර්ජාලයෙන් දැකගත් සිදුවීම් කිහිපයකි මේ. පලමුවෙන්ම හුබෙයි පලාතේ සෞඛ්‍ය නිලධාරියෙකු සමඟ පැවති සාකච්ඡාවකදී මෙම වෛරසය හා එය පැතිරීම පිලිබඳව ඔහු නොදැන සිටි බවක් පෙනෙන්නට තිබුනි. දෙවනුව, චීන ආන්ඩුවේ පිටුබලය ලබන රතු කුරුස සංවිධානයේ හුබෙයි අංශය, එයට පරිත්‍යාග කල මුහුනු ආවරන විකුනා ලාභ ගත්  බවට සැක පහල කෙරුනි. මෙම සංවිධානයේ ආරක්ෂක භටයෝ, මාධ්‍යවේදීන් ඒ ගැන විමර්ශනය කිරීම වැලැක්වීමට උත්සාහ කලහ. තෙවනුව, මුහුනු ආවරන විකුනන සමහර සමාගම්, ඒවා විශාල ප්‍රමානයක් ගොඩගසාගෙන, මිල තීරනය කිරීම මුලුමනින්ම වෙලඳපල විසින් තීරනය කරන තැනකට තල්ලු කිරීමෙන් හොරකඩ ජාවාරමට කොන්දේසි සැකසීය.

ඊටත් වඩා වැදගත් කාරනය නම් , ජනතාව රෝගය පිලිබඳ තොරතුරු සොයා ගැනීමට පටන් ගැනීමත් සමඟම, ආන්ඩුව මුලදී ඒ හා සම්බන්ධ ප්‍රවෘත්ති වසන් කිරීමට සහ යටපත් කිරීමට උත්සාහ කර ඇති බවට ඔවුන් සැක කිරීමට පටන් ගැනීමයි. මෙම විවේචන සියල්ල, පෙබරවාරි 7 වන දින, COVID-19 නිසා වුහාන් මධ්‍යම රෝහලේ වෛද්‍ය ලී වෙන්ලියන්ග් මිය යාමත් සමඟ විවෘතව පුපුරා ගියේය. මෙම පුවත පුලුල් ලෙස පැතිරෙන්නට පටන් ගත්තේය: ව්‍යාජ ප්‍රවෘත්ති පතුරුවා හැරීම ගැන ඔහුට පොලීසිය විසින් අවවාද කරනු ලැබුවේ, දෙසැම්බර් මස අගදී WeChat [චීන සමාජ මාධ්‍ය] මඟින් මෙම වසංගතය පිලිබඳව තම මිතුරන්ට අනතුරු ඇඟවූ බැවිනි. අවාසනාවකට ඔහු ජනවාරි මාසයේදී රෝගීන්ට ප්‍රතිකාර කරන විට ආසාදනයට ලක් විය. ඔහු සිය අත්දැකීම් පෙබරවාරි 1 වන දින ප්‍රකාශයට පත් කලේය.  මේ පිලිබඳව මම බොහෝ මිතුරන් සමඟ සාකච්ඡා කලෙමි. අප සියල්ලන්ම නිලධාරිවාදය ගැන කෝපයට පත් වූ අතර ඔවුන් කෙතරම් ඒකාධිපති හා දුරදිග නොපෙනෙන කොටසක් දැයි ප්‍රශ්න කලෙමු.

ලුනා අලුත් අවුරුද්දට පෙර හා පසුව, රූපවාහිනී වැඩසටහන් සහ අන්තර්ජාලය තවමත් උත්සව, ප්‍රීතිමත් හැඟීම්බර වාර්තා වලින් පිරී තිබුන නමුත් අලුත් අවුරුද්දෙන් පසුව මෙය විශාල ලෙස වෙනස් විය. මිතුරන් සහ පවුලේ අය බැලීමට දරන සියලු උත්සාහයන් මම සම්පූර්නයෙන්ම අත්හැරියා. මගේ දෙමව්පියන් තවමත් ඔවුන්ගේ මිතුරන් හා නෑදෑයන් සමඟ එකට ආහාර ගැනීම සඳහා  පියවර ගත් නමුත් ඔවුහු, වෛරසය පැතිරීම සහ එය පාලනය කිරීම සඳහා පනවා ඇති විවිධ ක්‍රියාමාර්ග පිලිබඳව සාකච්ඡා කිරීමට පටන් ගත්තා. ඔවුන්ගේ සංවාද පෙර වසරවල තරම් සැහැල්ලු හා ප්‍රීතිමත් නොවීය. ඔවුන් කල සංචාර ගනන විශාල වශයෙන් අඩු වූ අතර, අවසානයේදී, පෙර මෙන් කිසිවෙකු අප බැලීමට පැමිනියේ නැත.

එතැන් සිට මම දීර්ඝ කාලයක් නිවසේ රැඳී සිටීමට පටන් ගත්තෙමි. බොහෝ පොදු ස්ථාන සහ වෙලඳසැල් වසා දමා තිබූ නිසා මට වෙනත් තැනකට යාම අපහසු විය. මගේ අසල්වැසි ප්‍රදේශය ඇතුලුව බොහෝ ස්ථානවලට ඇතුලුවීමේදී දැඩි තිරගත කිරීම් screenings ක්‍රියාත්මක විය. මා පිටතට ගියහොත් නැවත ඒමට නොහැකි වීම ගැන ද කරදර වීමි. එවැනි සිදුවීම් ප්‍රවෘත්තිවල ද වාර්තා විය. මම මගේ පොත්පත් බොහොමයක් පාසැලේ තබා ආව නිසා, අන්තර්ජාලය හා රූපවාහිනිය පමනක් ඉගෙනීමේ හා විනෝදාස්වාදයේ මාධ්‍යය ලෙස යොදා ගැනීමට සිදුවිය. මගේ විශ්ව විද්‍යාලය නැවත විවෘත කරන තුරු, මම සුපිරි වෙලඳසැල්වලින් සිල්ලර බඩු සහ ආහාර ලබා ගැනීම සඳහා මගේ අසල්වැසි ප්‍රදේශයෙන් පිටත ගොස් ඇත්තේ දෙතුන් වතාවක් පමනි. මගේ අම්මා බොහෝ විට සිල්ලර බඩු මිලදී ගැනීමට ගියේ, ඇය රැකියාවට යන නිසා නිවහනෙන් පිටතට යාමට වැඩි නිදහසක් තිබූ බැවිනි.

නිවෙස්වල රැඳී සිටි අය වසංගතය පිලිබඳව සෑම දිනකම පලවූ ප්‍රවෘත්ති වලින්  භීතියට පත් වූහ. ජනවාරි 23 සිට පෙබරවාරි 10 දක්වා තහවුරු කරන ලද රෝගීන් සංඛ්‍යාව 1,000 සිට 40,000 දක්වා වැඩි විය. මෙම කාලය තුල, තහවුරු කරන ලද රෝගීන්ගේ ප්‍රතිශත වැඩිවීම දින ගනනාවක් තිස්සේ හැමදාම සියයට 2.1 ක් ලෙස පැවතුනි. මෙය පෙන්නුම් කලේ, නිලධරය විසින් දත්ත අවභාවිතය හා සත්‍ය වසං කල ආකාරයයි. මාර්තු ආරම්භය වන විට, තහවුරු කරන ලද මුලු රෝගීන් සංඛ්‍යාව 80,000 දක්වා වැඩිවූ නමුත් සෑම දිනකම නව රෝගීන් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු විය. ආන්ඩුවේ උපදෙස් පරිදි මාර්තු මැද සිට මැයි මුල දක්වා සෑම පලාතකම රැකියාවලට හා පාසල් වලට නැවත යැවීම  එකින් එක සෑම පලාතකම සිදු කර ඇත.

මුලදී, ලුනා අලුත් අවුරුද්ද සඳහා දී තිබුන දින හතක ජාතික නිවාඩුව රාජ්‍ය සභාව විසින් තවත් සතියකින් දීර්ඝ කරන ලදී. මගේ විශ්ව විද්‍යාලය දැනුම් දී තිබුනේ අනාගත දැනුම්දීම් එනතෙක් බලා සිටින ලෙසත් ඊට පෙර නැවත පාසැලට නොඑන ලෙසත්ය. ඒ අතර සෑම උදෑසනකම අපගේ ශරීර උෂ්නත්වය සහ අපගේ පවුලේ සාමාජිකයන් පිටත සිටීනම් වාර්තා කිරීමට විශ්වවිද්‍යාලය අපට නියම කර තිබුනි. ඔවුන්ගේ සේවා ස්ථාන වලින්ද එසේ කරන ලෙස අපගේ දෙමව්පියන්ට දන්වා තිබුනි.

දින 14 ක මෙම නිවාඩු කාලය තුල, රෝගය පැතිර ගිය අවස්ථාවල තමන් රැඳී සිටි ස්ථාන පිලිබඳව මිනිසුන් බොරු කිවූ අවස්ථා ද ඇති හෙයින්, සියලු පලාත් සහ නගර සභා, සෞඛ්‍ය තත්වයන් අධීක්ෂනය කිරීම සඳහා තමන්ගේම QR කේතයක් ක්‍රියාත්මක කිරීමෙන් පුද්ගල පරීක්ෂාව දැඩි කලේය. මෙම QR කේතය, සෑම කෙනෙකුටම තමන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් සිටින ස්ථානය, ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය, රැකියාව, දුරකථන අංකය සහ ජාතික හැඳුනුම්පත් අංකය පිලිබඳව වාර්තා සැපයීමට නියෝග කලේය. මෙම QR කේතයට දුරකථන අංක හා සත්‍ය අනන්‍යතා සමඟ සම්බන්ධ අවසාන අයිතම දෙක එකතු කිරීම නිසා බලධාරීන්ට වැඩි වැඩියෙන් ඒවා ප්‍රයෝජනවත් වී  තිබේ. බොහෝ දේ සඳහා හැඳුනුම්පත් අංක අවශ්‍ය නොවුවද, ජංගම දුරකතන විස්තර බොහෝ විට කෙසේ හෝ අවශ්‍ය වේ. යමෙක් ආගිය තැන් පිලිබඳව තෙමේම දුන් තොරතුරු, විවිධ පාදක මධ්‍යස්ථාන වලට සම්බන්ධ ජංඟම දුරකථන  සම්බන්ධතා තුලින් සනාථ කරගත හැකි අතර, නඟරාන්තර බස් රථවල හෝ රේගු හරහා ගමන් කරන විට  හැඳුනුම්පත් ලියාපදිංචි තොරතුරු තහවුරු කරගත හැකි ය. මිනිසුන් ගම්බද ප්‍රදේශවල සංචාරය කිරීම හා වාසස්ථාන ප්‍රදේශ වලින් පිටව යාම වැලැක්වීම සඳහා පුලුල් ලෙස සවි කර ඇති ආරක්ෂක කැමරා භාවිතා කරන බවටද වාර්තා තිබේ. නගරවල ආසාදිත පොකුරු clusters තිබෙන තතු හමුවේ.

එපමනක් නොව, මෙම QR කේතයෙහි ලියාපදිංචි විය හැක්කේ අන්තර්ජාලය හරහා පමනක් බැවින් ස්මාර්ට් ෆෝන් නොමැති අයට එය කල නොහැකි  බැවින් ඔවුන්ට ඕනෑම තැනකට යා නොහැක. බලධාරීන් විසින් මෙම QR කේතය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින විට, යමෙකුට එය අන්තර්ජාල සම්බන්ධතා ඇති ස්මාර්ට් ජංගම දුරකතනයකින් පමනක් පෙන්විය හැකිය.   මේ අනුව, මෙම QR කේතය නොමැතිවීම නිසා මහලු මිනිසෙකුට තම ඥාතීන් සමඟ ජීවත් වීමට වෙනත් නගරයකට යාමට බල කෙරුනු බවට ද වාර්තා පලවිය.

පහන් උලෙලෙන් පසු (පෙබරවාරි 8) මගේ විශ්ව විද්‍යාලය, අන්තර්ජාල මාර්ගගත online පන්ති සඳහා සැලසුම් ප්‍රකාශයට පත් කලේය. බොහෝ ප්‍රාථමික හා මධ්‍යම මට්ටමේ පාසල් සමාන සැලසුම් සකස් කර පාසල් සුපුරුදු පරිදි ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. සියලුම බාලාංශ ලමුන්ගේ අධ්‍යයන වාර ආරම්භ කිරීම කල් දමා ඇත.

පහන් උලෙලෙන් පසු, සිවිල් සේවකයෙකු වූ මගේ පියා නැවත වැඩට ගිය අතර ඔහුට නිදහසේ පිටතට යාමට හැකි වන පරිදි දම් පැහැති QR කේතයක් දී තිබුනි. කෙසේ වෙතත්, තවමත් ඇතුලට සහ පිටතට යන පුද්ගලයින් පරීක්‍ෂා කිරීමේදී මගේ නිවස්න ප්‍රදේශයේ දැඩි රෙගුලාසි අනුගමනය කරන බැවින්, ඔහු සේවය කරන ස්ථානය අසල වෙනත් අසල්වැසි නිවසක පදිංචියට ගියේය. ප්‍රධාන රෝහලක කාර්මික ශිල්පිනියක වන මගේ මව, තවත් සති දෙකක කාලයක් නිවසේ රැඳී සිටියේ, ඇගේ වැඩවලට ශ්වසන රෝග සමඟ කිසිදු සම්බන්ධයක් නැති බැවිනි.

මා සඳහන් කල පරිදි බොහෝ නගරවල වෙලඳසැල්වල සහ වෙනත් රැකියා සඳහා, යලි පැමිනීම මාර්තු මැද භාගයෙන් පසුව ආරම්භ විය. කෙසේ වෙතත් වසංගතය නිසා, බොහෝ මධ්‍යම ප්‍රමානයේ සහ කුඩා සමාගම්වලට දැඩි ලෙස පහර වැදී ඇති අතර බොහෝ දෙනෙකුට පෙර මෙන් සේවකයින් යොදා ගැනීමට නොහැකි වී ඇති අතර එය පුලුල් විරැකියාවට හේතු වී තිබේ. මෙය අන්තර්ජාලය හරහා පුලුල් සංවාදයකට තුඩුදී ඇත. බොහෝ අය විරැකියාව නිසා කනස්සල්ලට පත්ව සිටිති. නැවත රැකියාවලට ගිය අයට පවා වැඩ කරන්ට සිදුව ඇත්තේ අඩු පැය ගනනකි. එම නිසා වැටුප් අඩු වී ඇත. එබැවින් ජීවන කොන්දේසි පහත වැටී තිබේ.

සමාජ මාධ්‍ය තුලින් මම දැක්කා ආන්ඩුව කෙරෙහි බොහෝ මිනිසුන්ගේ ආකල්පය වැඩිදියුනු වී ඇති බව.  විශේෂයෙන් වෙනත් රටවල් සමඟ සසඳන විට බොහෝ දෙනා, වසංගතය උග්‍රවන ජාත්‍යන්තර දේශපාලන ගැටුම් සහ ගෝලීය ආර්ථික පසුබෑමක් ඇති කරන බව වටහා ගෙන ඇත. තමන් දැනටමත් අත්විඳ ඇති දුෂ්කරතා මධ්‍යයේ, වසංගතයෙන් තමන් නොදන්නා, දිගු කාලීන හා අශුභවාදී ප්‍රතිවිපාකවලට මුහුන දීමට සිදුවනු ඇතැයි ජනතාව කනස්සල්ලෙන් පසුවෙති.

Loading