වසර 75 කට පෙර: විෂී තන්ත්‍රයේ නායක මාෂල් පිතාන්ට එරෙහි නඩු විභාගය ප්‍රන්සයේදී ආරම්භ වෙයි

මෙම ලිපිය ජූලි 20 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

1940 ඔක්තෝබර් 24 වන දින, පිතාන් (වමේ) සහ හිට්ලර්ගේ හමුවීම. ඔවුන් දෙදෙනාගේ මැද සිටින්නේ හිට්ලර්ගේ භාෂා පරිවර්තක පෝල් ශ්මිඩ් ය. දකුනු පස කෙලවරේ සිටින්නේ විදේශ ඇමති ජෝකිම් ෆොන් රිබන්ත්‍රොප් ය.

 

 දෙවන ලෝක සංග්‍රාමයේ වැඩි කාලයක් පුරා අන්ත දක්ෂිනාංශික විෂී තන්ත්‍රයට* නායකත්වය දුන් මාෂල් ෆිලිප් පිතාන්ට එරෙහි නඩු විභාගය 1945 ජූලි 23 වන දින ප්‍රන්සයේදී ආරම්භ විය.

නාසීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, කම්කරු පන්තියට හා ප්‍රන්ස යුදෙව්වන්ට එරෙහිව තමන්ම මූලිකත්වය ගෙන අපරාධ සිදු කිරීම යන චෝදනා වලට අමතරව  “සමූහාන්ඩුව ප්‍රතික්ෂේප කිරීම” (abhorring the Republic) සහ රාජාන්ඩුව නැවත එරට ස්ථාපිත කිරීමට කුමන්ත්‍රනය කිරීම ඇතුලු චෝදනා ද රාජද්‍රෝහී චෝදනාව ද පිතාන්ට එරෙහිව එල්ල විය. 1944 සැප්තැම්බරයේ දී ප්‍රතිරෝධක සටන්කරුවන් (Resistance fighters) සහ මිත්‍ර බලවතුන් විසින් ප්‍රන්සය නිදහස් කරගත්තේ ය. ඉන් පසු ඔහු ප්‍රන්සයට පැමිනි අවස්ථාවේ අත්අඩංගුවට ගනු ලැබින. ඒ වන විට ඔහුගේ වයස අවුරුදු 89 කි.

නඩු විභාගය පැවැත්වුනේ, ඒ ආසන්නව නාසි ජර්මනිය ලත් පරාජය සහ යුරෝපීය යුද්ධය අවසන් වීම යන සන්දර්භය තුල ය. ඒ වන විට ස්ටැලින්වාදයට එරෙහිව මතු වී තිබූ මහජන ව්‍යාපාරය, ක්‍රමයෙන් ධනේශ්වර ක්‍රමයට එරෙහි විප්ලවවාදී අරගලයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පැවතිනි. එය වර්ධනය වීම වැලක්වීමට ප්‍රන්ස තාවකාලික ආන්ඩුවේ නායකත්වය දැරූ ජෙනරාල් චාල්ස් ඩි ගෝල් මෙන්ම ස්ටැලින්වාදීන් සහ මිත්‍ර පාක්ෂිකයින් දැරූ උමතු උත්සාහයන් මධ්‍යයේ එම නඩු විභාගය පැවැත්විනි.

පිතාන්ගේ විෂී  තන්ත්‍රය 1940 දී බලයට පත්විය. එය වේගයෙන් මිලීස් (Milice) නම් සන්නද්ධ මිලීෂියාව ස්ථාපිත කල අතර එය ප්‍රතිරෝධී සටන්කරුවන් දහස් ගනනක් වටලා මරා දැමීය. විචී ආන්ඩුව හිට්ලර්ගේ ජන සංහාරක “අවසාන විසඳුම” (“final solution”) ට සහාය දුන් අතර යුරෝපය පුරා යුදෙව්වන් සමූහ වශයෙන් ඝාතනය කිරීමට සෘජුවම පහසුකම් සැපයීය. එය  1789 ප්‍රන්ස විප්ලවයේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට පහර දුන් අතර “නිදහස, සහෝදරත්වය, සමානාත්මතාවය” යන සමානාත්මතා සටන්පාඨ වෙනුවට, “වැඩ, පවුල සහ රට” යන සටන් පාඨ ආදේශ කලේය.

ධනවාදය ස්ථාවර කිරීමට ගත් උත්සාහයේ කොටසක් ලෙස, පිතාන්ට එරෙහි නඩු විභාගය, එතෙක් සිදු වී ඇති  දේශපාලන හානිය පාලනය (political damage control) කිරීමේ මෙහෙයුමක් විය. එහි අරමුනු වූයේ, ප්‍රන්ස සහයෝගිතා ආන්ඩුවේ (පිතාන් තන්ත්‍රයේ) අපරාධ වලට සමස්ත ප්‍රන්ස පාලක ප්‍රභූවටම පැවති සම්බන්ධකම සහ වගකීම වසන් කිරීම යි. පිතාන් යනු පලමු ලෝක යුද්ධයේදී ජෙනරාල් පදවියකින් සැරසු අයෙක් වන අතර, 1930 දශකය තුල සිට අන්ත දක්ෂිනාංශික දේශපාලනයට සම්බන්ධ වී සිටි අයෙකි. 1940 දී හිට්ලර්ගේ ආක්‍රමනයට නින්දිත ලෙස යටත් වූ ප්‍රන්ස නිල පක්ෂ සහ පාලක ප්‍රභූව විසින් පිතාන් අතට බලය පැවරීය. ඔහුගේ පාලන තන්ත්‍රයට විරුද්ධත්වය පලවුනේ දේශපාලන සංස්ථාපිතයෙන් නොවේ; එය පැමිනියේ මහජන ප්‍රතිරෝධී ව්‍යාපාරයේ ස්වරූපයෙන් පහලින් ය.

වේදිකා රඟ දැක්වීමක් වූ (stage-managed trial) ‍පිතාන්ට එරෙහි නඩු විභාගය පවා, පාලක පන්තියේ දේශපාලන සාපරාධිත්වය හෙලිදරව් වීමට ආසන්න තැනකට පැමින තිබූ බවට ඩි ගෝල්ගේ පැමිනිල්ල හෙලිදරව්කාරී විය. “සමස්ත කාරනයම සලකා බැලිය යුතුව තිබුනේ, ජාතික ආරක්ෂාව සහ ස්වාධීනත්වය යන දෘෂ්ටි කෝන වලින් ය. නමුත්, බොහෝ විට, සාකච්ඡාව පක්ෂග්‍රාහී නඩු විභාගයක මුහුනුවර ගත්තේය. සමහර අවස්ථාවල තරහ පිරිමසා ගැනීමේ ස්වරූපය පවා ගත්තේ” යයි ඔහු පැවසීය.

නඩුව විභාග කිරීම සඳහා මහාධිකරනයට අයිතියක් නැති බව කියමින් ආරම්භයේදීම ප්‍රකාශයක් නිකුත්  කිරීමෙන් පසු පිතාන්, උසාවිය තුල නිහඬ අවඥා සහගත ආකල්පයක් අනුගමනය කල බව වාර්තා වේ. මෙම ෆැසිස්ට් යුද අපරාධකරුට ඇමරිකාව තුල දේශපාලන රැකවරනය පවා ලබා දීමට එක්සත් ජනපද ජනාධිපති හැරී ටෘෘමන් ඉදිරිපත් විය. බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් ද  පාලක පන්තියේ ප්‍රමුඛ පුද්ගලයන් ද ඔහු නිදහස් කරන ලෙස අභියාචනා ඉදිරිපත් කලහ. එහෙත් ඒවා අසාර්ථක වූ අතර  පිතාන් 1951 දී සිරගෙදර තුලදී මිය ගියේය.

* විෂී ප්‍රන්සය (Vichy France):  1940 ජූලි මාසයේදී ප්‍රන්සය නාසි ජර්මනියට යටත් විය. එතැන් පටන් 1944 සැප්තැම්බර් මාසයේදී මිත්‍ර පාක්ෂික හමුදා විසින් ප්‍රන්සය මුදා ගන්නා තෙක් එය පාලනය කලේ මාෂල් පිලිප් පිතාන් තන්ත්‍රය යි. විෂී ප්‍රන්සය යනු මෙම කාල දෙක අතර ප්‍රන්සය හැඳින්වූ පොදු නාමය යි. නාසි රූකඩ තන්ත්‍රයක් වූ එය ක්‍රියාත්මක වූයේ විෂී නම් රට මධ්‍යයේ පිහිටි කුඩා නගරය අගනුවර කරගෙන ය.