කටුනායක නිදහස් වෙලඳ කලාපයේ රැකියා අහිමිවූවෝ සහ මිනිස්බල කම්කරුවෝ ලෝසවෙඅ ට කතා කරති

කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) මිනිස්බල සමාගම් යටතේ රැකියාවල නිරත කම්කරුවන් පිරිසක් තමන් මුහුන දෙන තත්වය පිලිබඳව පසුගිය දා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමග සාකච්ඡා කලහ. ඔවුහු ස්මාර්ට් ෂර්ට් සහ  පැලා ඇඟලුම් කම්හල් වල සහ අපනයනකරුවන් සඳහා සේවාවන් සපයන ඊඑෆ්එල්  ග්ලෝබල් වෙයා හවුස්හි සේවය නියුක්ත සිටි හා කෝවිඩ් වසංගතය පාලනය කිරීම පිනිස අගුලු දැමීමෙන් පසුව රැකියාවන් අහිමිවූවෝ සහ තාවකාලිකව සේවාවන් අත්හිටුවනු ලැබූ කම්කරුවෝ වෙති.

ස්මාර්ට් ෂර්ට් අංක 2 කම්හලේ වසර එකහමාරක් සේවය කල කම්කරුවෙකුට යලි කම්හල විවෘත කිරීමෙන් පසු මාස දෙකක් යනතුරු වැටුප්  භාගය බැගින් ගෙවා පසුව රැකියාවෙන් දොට්ට දමා ඇත. ඔහු දැන් මිනිස්බල (මෑන් පවර්) ආයතන යටතේ කොන්ත්‍රාත්  කම්කරුවකු ලෙස සේවය කරයි. මොනරාගල පදිංචිකරුවෙකු වන ඔහු අපොස සාමාන්‍ය පෙල දක්වා අධ්‍යාපනය හදාරා තිබේ. තමන් දැන් මුහුන දෙන දුෂ්කර තත්වය ඔහු පැහදිලි කලේ ය. “කාමර කුලිය සහ කෑම බීම සඳහා මාසයකට රුපියල්  15,000 ක් පමන අවශ්‍යයි. පසුගිය මාසේ  වැඩ තිබුනේ නැහැ. අතේ තිබුන මුදල් ඉවර යි. ගමට යනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ”.   

ස්මාර්ට් ෂර්ට් අංක 1 කම්හලේ වසර 12 ක් වැඩ කල  තවමත් සේවයට නොකැඳවූ කම්කරුවෙකු  තමාට දැනට මූලික වැටුපෙන් අඩක් ගෙවන බව පැවසීය.  “මම පැකින් සහ කටින් අංශ වල වැඩ කලා. ජීවන තත්වය අන්තිමට බැහැලයි තියෙන්න” යනුවෙන් ඔහු සඳහන් කලේය.

කම්හල් පාලකයින් සහ කම්කරු දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් කම්කරුවන් රවටන ආකාරය ගැන ඔහු විස්තර කලේය. “කම්කරු කාර්යාලයේ නිලධාරීන් කම්හලට එන්න කලින් කම්හලේ නිලධාරීන් සමග සාකච්ඡා කරනව. ඊට  පස්සේ ඇවිල්ලා දෙගොල්ලම එකතු වෙලා  කම්කරුවන් නොමග යවනවා.” ඔහු සඳහන් කලේ ය.  මාවනැල්ලේ  පදිංචිකරුවකු වන ඔහුට අපොස සාමාන්‍ය පෙල සහ 10 වන ශ්‍රේනියේ  ඉගෙන ගන්නා දූවරු දෙදෙනක් සිටිති.

“වසංගතය පාලනය සඳහා අගුලු දැමීමට පෙර මූලික වැටුප රුපියල් 20,000 යි.  දීමනා සමග රු. 40,000ක් පමන ලැබුන.  දැන් සේවය නොදී රඳවා ඇති නිසා පඩි භාගයයි ගෙවන්නේ. ඒකෙන්   අර්ථ සාධක මුදල අඩු කරලා  අතට ලැබෙන්නේරු. 9,000ක් පමන. ආපහු වැඩ නොදී සිටීමට හේතුවක් කරගැනීමට ඉඩ තියෙන නිසා වෙනත් රක්ෂාවකට යන්නත් බැහැ. දැනට මෑන් පවර් සමාගමක වැඩ කරලා ගෙදරට සුලු ගනනක් යවනවා. ගිය මාසේ වැඩ තිබුනෙ දින දහය යි.” යලි සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා ඔහු කම්හල් පාලකයන්ට අභියාචනයක් ඉදිරිපත් කර ඇත.   

වසංගතයත් සමග ඇතිවූ මෙම තත්වයට ලංකාවේ හාම්පුතුන් පමනක් සුවිශේෂීව අසාධාරන ලෙස කම්කරුවන්ට සලකන බව ඔහුගේ අදහස විය. කම්කරුවන්ගේ අයිතීන්ට පහර දීම හුදෙක් ලංකාවට සීමා නොවන බවත් එය හැම රටකම පාලක පන්තීන් සහ සමාගම් විසින් කම්කරුවන්ට එරෙහිව ක්‍රියාවට දමා ඇති පිලිවෙතක කොටසක් බවත් ලෝසවෙඅ වාර්තාකරුවෝ ඔහුට පැහැදිලි කලහ. වසංගතය පාලනයකින් තොරව යලි වැඩට කැඳවීම ලාභ ඉපයීම පිනිස කම්කරුවන්ගේ ජීවිත පරදුවට තැබීමක් බව ඔව්හු පෙන්වා දුන්හ. 

මෙම මාරක පිලිවෙතට එරෙහිව ලංකාවේත් අනෙකුත් රටවලත් කම්කරුවන් අරගලවලට එලඹෙන බවත්, තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සෞඛ්‍ය ආරක්ෂක කමිටු ගොඩ නගා ගැනීමට හා රැකියා සහ වැටුප් ඇතුළු අයිතීන් සඳහා සටන් කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට ඇමරිකාව හා ලංකාව ඇතුලු සමහර රටවල කම්කරුවන් දැනටමත් පියවර ගෙන ඇති බව ඔවුහු  ඔහුට විස්තර කලහ.

මැයි මාසයේ සිය රැකියා අහිමි වූ බව ස්මාර්ට් ෂර්ට් කම්හලේ තවත් කම්කරුවෝ දෙදෙනෙක් පැවසූහ.  අම්බලන්තොට හා බදුල්ලේ පදිංචි මෙම කම්කරුවන් අගුලු දැමීම ඉවත් කිරීමෙන් පසු පමින ඇත්තේ යලි ස්ථීර රැකියා බලාපොරොත්තුවෙනි. “දැන් මාසයකට වැඩියි. තවමත් ස්ථීර රක්ෂාවක් සොයා ගන්න බැරි වුනා.  මෑන් පවර් සමාගම් ගෙවන්නේ දවසකට රුපියල් 1,000 ත් 1,200 ත් අතර ගනනක්. ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ අන්තර් සමාගම් සේවක සංගමය (අසසේස) විසින් ස්මාර්ට් ෂර්ට් කම්හලේ වෘත්තීය සමිතියක් ගොඩ නගලා තියෙනවා. නමුත් අපට ඒ ගැන කිසිම විශ්වාසයක් නැහැ” යි ඔවුහු සඳහන් කලහ.  

ඒටීජී ඇඟලුම් කම්හලේ කම්කරුවන් සිය ගනනක් සොච්චම් වන්දියක් ලබා දී දොට්ට දැමීම සඳහා ඒටීජී පරිපාලනයට ඇන්ටන් මාකස් නායකත්වය දෙන  නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමය සහයෝගය දුන් බව එක කම්කරුවෙක්  පැවසීය.

අරනායක සිට පැමිනි උසස් පෙල සමත් තොරතුරු තාක්ෂන ඩිප්ලෝමාධාරියෙකු වන අමිත් කුමාර ස්මාර්ට් ෂර්ට් කම්හලේ තත්ව පරීක්ෂක නිලධාරියකු ලෙස වසර එකහමාරක් පමන වැඩ කර සේවය අහිමි වූ සේවකයකි. තමන් මිනිස්බල සේවකයකු ලෙස වැඩ කරන බවත් තම අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන රැකියාවක් තවම සොයාගත නොහැකි වූ බවත් ඔහු පැවසීය.

කටුනායක අසල පිහිටි හීනටිය යන ගමේ පදිංචි දැනට වසර 5 කට පෙර වසා දමන ලද පැලා නැමැති ඇඟලුම් කම්හලේ වැඩ කල කම්කරුවකු ද සාකච්ඡාවට සම්බන්ද විය. ඔහු දැන් මිනිස්බල කම්කරුවකු ලෙස වැඩ කරයි. නිදහස් වෙලඳ කලාපය තුල අඩු වැටුපට කම්කරුවන් සූරාකන බව ඔහු පැවසීය. “අවුරුදු  5 ට පෙරත් මගේ දවසේ පඩිය රුපියල් 1,200 යි. දැනුත් ලැබෙන්නේ 1,200 ක් හෝ 1,500 ක්. ලොක්ඩවුන් එකට පෙර අතිකාල එක්ක රුපියල් 60,000 ක් 70,000 ක් ගත්ත.  දැන් රු. 45,000ක් විතර ලැබෙන්නේ. බඩු මිල ඉහල යාම නිසා වියදම දරා ගන්න බැහැ” යි ඔහු පැවසීය.  

ඔහු වෙනත් කම්හල්වල සිදුවන කම්කරු විරෝධී කටයුතු පිලිබඳවද පැහැදිලි කලේය. ජැකට් නිෂ්පාදනය කරන ලෙදර් ඉම්ප්‍රෙෂන් නැමැති, කම්කරුවන් 1,000 ක් පමන සේවයේ නිරත කම්හලක්  ගැන විස්තර කරමින් ඔහු පැවසුවේ එහි කම්කරුවකුගේ සේවා කාලය වසර 5 ආසන්න වනවිට කුමක් හෝ බොරු චෝදනාවක් දමා සේවයෙන් නෙරපා හැර පසුව අලුත් කම්කරුවකු ලෙස යලි සේවයට බඳවා ගන්නා බවයි. එසේ කරන්නේ  අවුරුදු 5 ක  සේවා කාලයක් සම්පුර්න වීමෙන් පසු කම්කරුවන්ට ගෙවීමට සිදුවන යම් යම් දීමනා ගෙවීමෙන් වැලකී සිටීම සඳහා බව ඔහු සඳහන් කලේ ය. පවතින අර්බුදකාරී තත්වය තුල දරුවන්ගේ අනාගතය ද අවිනිශ්චිත බව ඔහු පැවසුවේ කනසල්ලෙනි.

ඊඑෆ්එල් ග්ලෝබල් වෙයාහවුස් (බඩු ගබඩාවේ) හි වසර එකහමාරක් සේවයේ නිරතව පසුව බොරු චෝදනා මත සේවයෙන් ඉවත් කෙරුනු 30 හැවිරිදි සසන්ක කලුතර පදිංචි අවිවාහක තරුනයෙකි.  ඔහු මැද පෙරදිග වසර 6 ක් වැඩ කර තිබේ. නැවත ලංකාවට ආපසු වෙනත් රැකියාවක් නොමැති නිසා ඔහු කටුනායක නිවෙකට පැමින ඇත.

අගුලු දැමීමට පෙර වෙයාහවුස් එකේ කම්කරුවන් 70ක් පමන සේවයේ නිරත වී ඇත. එහෙත් යලි විවෘත කිරීමෙන්  පසුව ඔහු ඇතුලු 20 කගේ සේවය අහෝසි කර  තිබේ. අපිව අස් කරන්න කිසිම හේතුවක් නැහැ. “මට දුන්න ලියුමේ තියෙන්නේ  කර්ෆිව් දාපු කාලෙ දිනයක් දාලා  එදා වැඩට ආවේ නැති නිසා අස් කලා  කියලා.” ඔහු කීවේ ය. මෙවැනි චෝදනා මත නිවෙකයේ  බොහෝ කම්කරුවන් සේවයෙන් නෙරපා ඇති බවද ඔහු තවදුරටත් පැවසීය.

ඔහු සේවයේ නිරතව සිටියදී මසකට රුපියල් 32,000 ක් පමන උපයා ඇත. රැකියාව අහිමිවීමෙන් පසුව මාස එකහමාරක් තිස්සේ දිනපතාම කලාපයේ ගේට්ටුව අසලට පැමින මිනිස්බල සමාගමක රැකියාවක් ලැබෙයි ද යනුවෙන් සොයා බලයි. එහෙත් ඔහුට මෙතෙක් කල් ලැබී ඇත්තේ දින දහයක වැඩ පමනි. දිනකට රුපියල් 1,000 ක් හෝ 1,500 ලැබෙන බවත් බෝඩිමට රු. 4,000 ක් ගෙවන බවත් පැවසූ ඔහු පසුගිය මාසයේ බෝඩිම් කුලිය ගෙවා ඇත්තේ මුදල් ගෙදරින් ලබා ගනිමිනි. 

වසර 70ක් පමන රට පාලනය කල ත් වැඩකරන ජනතාවගේ කිසිදු ප්‍රශ්නයක් විසඳීමට අසමත්  වූ  දේශපාලකයන් ගැන තමන්ට කිසිදු විශ්වාසයක් නොමැති බවද ඔහු තවදුරටත් සඳහන් කලේය. දේශපාලකයන් තමන්ගෙ වැඩ කටයුතු කරගන්නා බවත්, විවිධ පක්ෂ මාරුවෙන් මාරුවට රට පාලනය කරන බවත් රට කවදාවත් “ගොඩ ගියේ” නැති බවත් ඔහු සඳහන්  කලේය.

 කම්කරුවන්ට තමන්ගේ අයිතීන් දිනා ගත හැක්කේ ලාභ ලැබීම මත පදනම් වූ ධනපති නිෂ්පාදන ක්‍රමය හා ඒ සඳහා රැකවරනය සපයන ධනපති පන්ති පාලනය අහෝසි කිරීමෙන් පමනක් බවත්  ලෝසවෙඅ  වාර්තාකරුවෝ පැහැදිලි කලහ.  ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් ඒ සඳහා සටන් වදින කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගැනීමේ අවශ්‍යතාවය  ලෝසවෙඅ වාර්තාකරුවෝ අවධාරනය  කලහ.

ලෝසවෙඅ අනුග්‍රහය සහිතව  සමාජවාදී සමානතා  පක්ෂය (සසප) දියත් කර තිබෙන “ඇඟලුම් කම්කරුවන් සඳහා සසප පනිවුඩ" මුහුනු පොත ඔවුන්ට හඳුන්වා දුන් අතර  සසප මැතිවරන  ප්‍රකාශයේ පිටපත් කිහිපයක්ද ඔවුන් අතර බෙදා හැරිනි. සාකච්චාවට සහභාගී වූ කම්කරුවෝ කිහිප දෙනෙක් සසප ක්‍රියාමාර්ගය සහ කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීම ගැන නැවත සාකච්චා කිරීමට එකඟ වූහ.  

Loading