සසප මැතිවරන උද්ඝෝෂනය 2020: පුද්ගලිකරනයට හා කප්පාදුවට එරෙහිව වරාය කම්කරුවෝ අදහස් දක්වති

මෙවර පාර්ලිමේන්තු මහමැතිවරනයට තරග වදින සමාජවාදී සමානතා පක්ෂ (සසප) යේ සාමාජික කන්ඩායමක්, පසුගිය ඉරිදා, කොලඹ ග්‍රෑන්ඩ්පාස් හි වරාය නිල නිවාස සංකීර්නය තුල, උද්ඝෝෂනයක නිරතවූහ. එහිදී වරාය කම්කරුවෝ, මැතිවරනයේදී සසප ඉදිරිපත් කරන ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල පිලිබඳව, සසප සාමාජිකයන් සමග උද්‍යෝගයෙන් සාකච්චා කලහ. 

වර්තමානයේ තමන් මුහුනදී සිටින ජීවන හා රැකියා කොන්දේසි වල බරපතල ඛාදනයත්, වරාය පුද්ගලීකරනය කිරීමට දියත් කර ඇති ඇති වැඩපිලිවෙලත් පිලිබඳව ඔවුහු තම දැඩි උත්සුකය ප්‍රකාශ කල අතර, යාපනය දිස්ත්‍රික් සසප මැතිවරන අපේක්ෂකයන්ට එල්ලවී ඇති හමුදා තර්ජන වලට විරුද්ධව සසප ගෙනයන උද්ඝෝෂනයටද තම සහාය පල කලහ.

දශක ගනනාවක් පුරා වරාය කම්කරුවන්ගේ අරගල වලට මැදිහත් වී ඇති සසප, ග්‍රෑන්ඩ්පාස් වරාය නිවාස සංකීර්නය තුලත් නිරතුරුව දේශපාලන උද්ඝෝෂන හා සාකච්චා වල යෙදෙයි. අනුප්‍රාප්තික ආන්ඩු වල ප්‍රහාරයන්ට ගොදුරු වී ඇති වරාය කම්කරුවෝ, 2018-19 වසර වල තම සේවා කොන්දේසි ආරක්ෂා කරගැනීමට හා වරාය පුද්ගලීකරනයට එරෙහිව තීරනාත්මක අරගල වලට එලඹියහ. පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව විසින් ඒවා රුදුරු ලෙස මර්දනය කල අතර; එම පුද්ගලීකරන හා කප්පාදු න්‍යාය පත්‍රයම වඩා හොඳින් ක්‍රියාත්මක කරනු වස්, වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය නොවැම්බරයේ බලයට පත්වූ විගසම, හිටපු හමුදා නිලධාරියෙකු වන ජෙනරාල් දයා රත්නායක වරාය අධිකාරියේ සභාපති වශයෙන් පත් කලේය.

දැවැන්ත රැකියා කප්පාදුව හේතුවෙන්, දශක දෙකකට පෙරාතුව සේවකයින් 25,000කට අධික සංඛ්‍යාවක් සේවය කල වරාය අධිකාරියේ, දැන් ඇත්තේ ඉන් අඩකටත් අඩු ප්‍රමානයකි.  කොලඹ වරායේ ප්‍රධාන බහාලූ පර්යන්තයන් (container terminal) විදේශීය පුද්ගලික සමාගම් යටතේ පාලනය වන අතර, ඒවායේ සේවකයින්ගේ අති බහුතරය එක්කෝ කොන්ත‍්‍රාත් පදනම මත හෝ එසේත් නැත්නම් කිසිඳු සේවක අයිතිවාසි කමක් නැති “මිනිස් බල” පදනම මත සේවය කරති. 

වසර 50කටත් වඩා පැරනි ග්‍රෑන්ඩ්පාස් වරාය නිවාස සංකීර්නයේ, බොහෝ නිවාස දැඩිලෙස අබලන් වී ඇති අතර ඒවා පිලිසකර නොකර වසා දැමීමේ උපායක් වරාය පාලනාධිකාරිය අනුගමනය කරයි. කම්කරු පවුල් මේ නිවාස වලින් ඉවත් කර, කිසිඳු ප්‍රමිතියකින් තොරව ඉදිකරගෙන යන "අඩු ආදායම්ලාභී" නිවාස සංකීර්න වලට ගාල් කිරීමේ වැඩ පිලිවෙලක්ද ක‍්‍රියාත්මක වන බව සසප උද්ඝෝෂකයන්ට දැනගන්නට ලැබුනි. 

උද්ඝෝෂකයන් සමග කතාකල වරාය සේවකයෝ, තමන්ගේත්, පොදුවේ කම්කරු පීඩිත මහජනතාවගේත් ප්‍රශ්න එකක්වත් විසඳීමට අසමත් ලකාවේ සමස්ත දේශපාලන සංස්ථාපිතය ගැනම තම පිලිකුල ප්‍රකාශ කලහ. වරාය ක්‍රීඩා අංශයේ සේවිකාවක් හා දැල්පන්දු ක්‍රීඩිකාවක් වන සමන්ති ප්‍රකාශ කලේ තමන් මෙම මැතිවරනයේදී කිසිදු පක්ෂයකට චන්දය නොදීමට තීරනය කර ඇති බවයි. 

“වරාය සේවකයන්ගේ තත්වය දවසෙන් දවස නරක් වෙනවා, උපාධි තියෙන තරුනයන්ට සුලු සේවක රැකියා වලට පවා එන්ඩ වෙලා තියෙනවා. හැබැයි කිසිදු සුදුසු කමක් නැති අය දේශපාලන පත්වීම් විදිහට මැනේජ්මන්ට් (කලමනාකරන) තනතුරුවලට ඇවිත් ඉන්නවා. හැම ආන්ඩුවෙන්ම මේක කලා.” විටින් විට තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) අතුලු ප්‍රධාන ධනපති දේශපාලන පක්ෂ පිලිබඳ විශ්වාසයෙන් චන්දය පාවිච්චි කර ඇතත්, ඒවා නිරතුරුව ක්‍රියාකර ඇත්තේ “ජනතාව මත තවත් බර පැටවීමට පමනක්” බැවින් මෙම මැතිවරනයේදී තමන් මෙන්ම බොහෝ වරාය කම්කරුවන් චන්දය නොදීමට තීරනය කර ඇති බව සමන්ති පැවසුවාය.

සසප උද්සඝෝෂකයන් සමග අදහස් දක්වන සමන්ති

 

ප්‍රධාන ධනපති පක්ෂ වලට විකල්පයක් ලෙස පෙනී සිටින පක්ෂ ගැන ඇයගේ අදහස් විමසූ විට සමන්ති, පැවසුවේ ප්‍රගතිශීලී ජනාතා ව්‍යාපාරයක් ලෙස පෙනීසිටීමට උත්සාහ ගන්නා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ප්‍රමුඛ ජාතික ජන බලවේගයද (ජජබ) තමන් ප්‍රතික්ෂේප කරන බවයි. “අපි පොඩිකාලේ විශ්වාස කලා ජේවීපී (ජවිපෙ) එකට වෙනසක් කරන්න පුලුවන් කියලා, එ්ත් පහුගිය කාලේ ඒගොල්ලන්ගේම වැඩ නිසා ඒ විශ්වාසය නැති වෙලා තියනවා. ඒගොල්ලෝ කලෙත් අනිත් ආන්ඩු ආරක්ෂා කරපු එක” යැයි ඇය පැවසුවාය. 

ප්‍රධාන ධනපති පක්ෂ මෙන්ම, ජවිපෙ වැනි අවශේෂ ධනපති පක්ෂත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) වැනි ව්‍යාජ වාම පක්ෂත් පිලිබඳ මහජනතාවගේ විශ්වාසය බිඳෙමින් ඇත්තේ, ඒවා ධනවත් සුලුතරයකගේ අවශ්‍යතා මත ක්‍රියාත්මකවන සහ ධනපති ක්‍රමය ආරක්ෂා කිරීමට බැඳී සිටින සංවිධාන නිසා බව සසප සාමාජිකයෝ ඇයට පැහැදිලි කලහ. කම්කරුවන් විසින් කල යුතුව ඇත්තේ දේශපාලනිකව උදාසීන වීම නොව, කම්කරු පීඩිත බහුතරයේ අවශ්‍යතා මත ක්‍රියාත්මක වන සමාජවාදී විසඳුමක් සඳහා සටන් කිරීම බව පැහැදිලි කලහ.

එයට එකඟ වෙමින් සමන්ති ප්‍රකාශ කලේ, ලොව පුරා ධනපති ආන්ඩු ක්‍රියාත්මක වන්නේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට නොව ඒවාට ප්‍රතිවිරුද්ධව බව තමන්  පිලිගන්නා බවයි. “අපි මූන දීල ඉන්න කොවිඩ් වසංගතය ගත්තත්, ඇමරිකාව ඇතුලු හුඟක් රටවල ආන්ඩු වලට ඕනේ කරලා තියෙන්නේ මේක හොඳ කරන්න නෙමෙයි, පුලුවන් තරම් වයසක අසරන මිනිස්සු මේකෙන් මැරෙන්න දෙන්න, මොකද ඒක ඒගොල්ලන්ට ලාබයි. ලංකාවේ උනත් ආන්ඩුව මහජනතාවගෙන් කොවිඩ් වසංගතය පාලනය කරන්න සල්ලි ඉල්ලනවා, හැබැයි ධනපතියන්ගෙන් මොකුත් ගන්නේ නැහැ.” සසප මැතිවරන ප්‍රකාශය තමන් තවදුරටත් අධ්‍යනය කරන බව සමන්ති පැවසුවාය. 

දොඹකර ක්‍රියාකරුවෙක් වන කපිල ප්‍රකාශ කලේ, වරාය අධිකාරිය එරී සිටින්නේ යලි ගොඩ ආගත නොහැකි අගාධයක බවයි. “වාරයේ තත්වය අන්තිම නරකයි. අපි කම්කරුවෝ, අපි නැත්නම් වරායේ කිසිම කාර්යක් කරන්න බැහැ, එ්ත් අපේ අයිතිවාසිකම ඔක්කොම වේගයෙන් නැති කරගෙන යන්නේ. වරාය පිට රටවලට විකුනලා ඉවරයි, දැන් අපිව විතරයි විකුනන්න තියෙන්නේ” යැයි ඔහු කියා සිටියේය.

කම්කරුවන්ගේ දැඩි විරෝධයට ලක්වී ඇති, වරාය නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කිරීම පිලිබඳව ඔහු මෙසේ සඳහන් කලේය. “නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනය කරන්න සාකච්චා පටන් ගත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලේ. ඊට පස්සේ පහුගිය යුඑන්පී (එජාප) ආන්ඩුව කාලේ මේක ඉන්දියා ජපන් හවුල් සමාගමකට දෙන්න ගිවිසුම් අස්සන් කලා. දැන් මේ ආන්ඩුව ඒක අලුත් කරලා අස්සන් කරන්න යනවා. වරාය පුද්ගලිකරනය කරන එක මොන ආන්ඩුව ආවත් අනිවාර්යෙන් කරනවා.” 

වරාය සේවකයන්ගේ ජීවන තත්වය පිරිහීමටත්, පුද්ගලීකරන වැඩපිලිවෙල නිදැල්ලේ ක‍්‍රියාත්මක වීමටත් වෘත්තිය සමිති වල භූමිකාවන් හේතු වී ඇති ආකාරය ඔහු මෙසේ පැහැදිලි කලේය. “වෘත්තිය සමිති දේශපාලන පක්ෂ වලට බැඳිලා තියෙන්නේ. මොකක් හරි අරගලයක් පටන් ගත්තහම, එක්කෝ සමිති වල අයගේ පවුල් වලට රස්සාවල් ටිකක් දීල ඒගොල්ලන්ගේ කටවල් වහනවා, නැත්නම් මාරුවීම් හරි ඩිමෝෂන් (තනතුර පහත හෙලීම) දීල දේශපාලන පලිගැනීම් කරනවා. ඒ වෙලාවට ආන්ඩුවට පක්ෂ සමිති සේවකයන්ට මොනවා හරි පොරොන්දු ටිකක් දෙනවා, ඒවා මොකුත් ඉටුවෙන්නේ නැහැ, අරගලය නවතිනවා, ප‍්‍රශ්න එහෙමමයි.” 

තමන්ද මෙවර චන්දය ප්‍රතික්ෂේප කරන බවත්, මේ අර්බුද විසඳීමට කිසිදු පක්ෂයකට නොහැකි බැවින්, තම තමන්ගේ පවුල් වල ප්‍රශ්න පුද්ගලිකව විසඳා ගැනීමට උත්සාහ කිරීම හැර කම්කරුවන්ට වෙන විකල්පයක් නැති බව තම විශ්වාසය යයි ඔහු පැවසීය. 

ඔහුගේ මේ දේශපාලන ව්‍යාකූලත්වය පිලිබඳව පැහැදිලි කල සසප උද්ඝෝෂකයන් කියා සිටියේ, මුලුමහත් ලෝකය වෙලාගෙන පැතිරෙන ධනපති ක්‍රමයේ ගෝලීය අර්බුදය, ලෝක යුද්ධ අවදානම, ෆැසිස්ට්වාදය, පරිසර අර්බුදය හා වසංගත ලෙස ප්‍රකාශයට පත්වෙමින් ඇති බවත්, මේ ලෝක පරිමාන ප්‍රශ්න වලට තනි තනිව කිසිදු කම්කරුවෙකුට මුහුනදිය නොහැකි බවත්ය.  

මෙම අර්බුද විසඳාලිය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් බවකින් පමනක් බවත්, එයට එරෙහිව සිටින, වෘත්තිය සමිති, ව‍්‍යාජ වම, සිවිල් සමාජ සංවිධාන ආදී සියලු ධනපති උපාංග වලින් කම්කරු පන්තිය ස්වාධීනවීම අත්‍යවශ්‍ය බවත් වැඩිදුරටත් පැහැදිලි තෙරුනි. 

එයට එකඟත්වය පලකල ඔහු යාපනය දිස්ත්‍රික් සසප මැතිවරන අපේක්ෂකයන්ට එල්ලවී ඇති හමුදා තර්ජන වලට විරුද්ධව සසප ගෙනයන ජාත්‍යන්තර උද්ඝෝෂනයටද තම සහාය පල කලේය.

පුද්ගලීකරනයට පිටුපසින් ලංකාවේ වරාය ඉන්දියානු සාගර කලාපය තුල, ඇමරිකානු අධිරාජ්‍යවාදය චීනයට එරෙහිව ගෙනයන යුද වැඩපිලිවෙලේ මූලෝපායික මර්මස්ථාන බවට පත්කර ගැනීමේ අධිරාජ්‍යවාදී වැඩපිලිවෙල පවතී. නැගෙනහිර පර්යන්තය ඉන්දියානු-ජපාන හවුල් ව්‍යාපාරයකට පවරා දීමට ගෙනයන සූදානමත්, 2017 වසරේදී, හම්බන්තොට වරාය එහි නය ගෙවා ගත නොහැකි තතු යටතේ චීන සමාගමකට පවරාදීමට සිදුවීමත් මේ භූ-මුලෝපායික ආතතීන්ගේ ප්‍රකාශනයන් ය. 

මේ සියල්ලටමත් වඩා ඇමරිකානු අධිරාජ්‍යවාදය ඍජුවම ලංකාවේ වරාය තම යුද මෙහෙයුම් වලට යොදා ගැනීමට කටයුතු කරමින් සිටින්නේ, ත්‍රිකුනාමල වරාය ඇමරිකානු නාවික “මෙහෙයුම් කේන්ද්‍රයක්” ලෙස භාවිත කිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යන සිදුකරමින් හා “ඇක්සා” ගිවිසුම හරහා ඇමරිකානු යුද නැවු වලට ලංකාවේ වරාය "සේවා ස්ථාන" ලෙස භාවිත කිරීමට අවශ්‍ය පසුබිමද සකසා ගනිමිනි. මේ තතු යටතේ වරාය සේවකයෝ කලාපීය හෝ ලෝක අධිරාජ්‍යවාදී යුද්ධයකදී දැවැන්ත විනාශයන්ට නිරාවරනය විය හැකි පෙරමුනු කන්ඩායමක්, බවට පත්වීමේ අනතුරටද මුහුනපා සිටිති.

මේ අනතුරු වලට එරෙහිව සමාජවාදී විසඳුමක් සඳහා සටන් කිරීමට, 2020 පාර්ලිමේන්තු මැතිවරනයේදී, “යුද්ධයට, සමාජ ව්‍යසනයට හා ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදිනු” යන මැයෙන් ඉදිරිපත් කරන තම වැඩපිලිවෙල අධ්‍යනය කොට, එය වටා පෙලගැසෙන මෙන් වරාය කම්කරුවන් ඇතුලු සමස්ත කම්කරු-පීඩිත මහජනතාවගෙන්  සසප ඉල්ලා සිටී. 

Loading