සසප මැතිවරන උද්ඝෝෂනය: ජාත්‍යන්තර වර්ධනයන් තම රැකියා සහ ජීවන කොන්දේසි මත සෘජුව බලපාන බව කම්කරුවෝ පවසති

අගෝස්තු 05 වන දා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ මහමැතිවරනයේදී. කොලඹ, යාපනය සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කයන්ට තරග වදින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) මැතිවරන උද්ඝෝෂනයට, කම්කරුවන්ගේ‌ සහ අවශේෂ පීඩිත මහජනතාවගේ සැලකියයුතු අවධානයක් යොමුවෙමින් පවතී.  

ලෝක සමාජවාදී වෙබ් අඩවිය කේන්ද්‍ර‍ ගනිමින් ගෙනයන මෙම උද්ඝෝෂනය තුල, සසප සාමාජිකයෝ සහ එහි තරුන ව්‍යාපාරය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) , දිවයිනෙහි විවිධ ප්‍රදේශයන්හි කම්කරු-පීඩිත මහජනතාව අතරේ, "යුද්ධයට, සමාජ ව්‍යසනයට හා ආඥාදායකත්වයට එරෙහි ව ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් වදිනු!" යන තම මැතිවරන ප්‍රක‍ාශය බෙදා හරිමින් ඒ පිලිබඳව‌ සාකච්ඡා කරති.

මෙහි කොටසක් ලෙස පසුගිය සති අන්තයේ, කොලඹ දිස්ත්‍රික්කයේ කම්කරු නිවස්නා ප්‍රදේශ කීපයකට ගිය සසප සාමාජිකයෝ, ගෝලීය වසංගතය මධ්‍යයේ තම රැකියා, වැටුප් සහ ජීවන කොන්දේසි වලට එල්ල වී ඇති ප්‍රහාරයන් සහ ගෝලීය වර්ධනයන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාව පිලිබඳ  සාකච්ඡාවන්හි නියැලී ගත්හ. 

සසප සහ සසජාතශි, පසුගිය ඉරිදා, තම උද්ඝෝෂනය, අවිස්සාවේල්ල, සීතාවකපුර අපනයන සංවර්ධන කලාපයට ගෙන ගියහ. 

දිවයිනේ ඉපැරැනි ව්‍යාපාරයක් වන හයිඩ්‍රාමනි සමාගමට අයත් කම්හලක සේවයේ නියුතු සේනානායක, වසංගතය මධ්‍යයේ තම ආයතනය තුල රැකියා කොන්දේසි වඩවඩාත් දුෂ්කර කෙරුනු ආකාරය පැහැදිලි කලාය: "දැන් අපිට සවස  5.30 වෙනතුරු අතිකාල නොගෙන වැඩ කිරීමට සිදු වී තියෙනවා. කම්හල වසා තිබුනු පහුගිය මාස එකහමාරෙ ගෙවපු පඩි වලට හිලව් වෙන්න පැය එකසිය අසූවක් ආවරනය කරන්න කියල කලමනාකාරිත්වය අපිට නියෝග කලා. දැන් මාස දෙකක් විතර මේ විදිහට අතිකාල නොගෙනයි වැඩ කරන්න සිදුවෙලා තියෙන්නේ. පිටරට ඉල්ලුම් අඩු වෙලා නිසා ලබන මාසේ ඉඳලා ආයෙත් වැඩ නැහැ කියලා පාලකයො කියනවා."

"රැකියාවේ නීරසභාවය සහ තෙහෙට්ටුව මකා ගන්නෙ වැඩ කරන වෙලාවෙ ඉඳල හිටල කාටහරි කතා කරල. ඒත් වසංගතය පිටදාල දැන් අපිට එකිනෙකා සමග කතා කරන්න දෙන්නෙ නෑ. පාලකයො හදන්නෙ ඒ මොහොතෙත් අපෙන් වැඩ ගන්න. ඇනවුම් නැති වුනොත් පැක්ටරිය නිවාඩු දෙන්න ඉඩ තියෙනවා. රස්සාවමත් නැතිවෙන්න පුලුවන්."

රැකියා නැතිවීමේ අවදානම ගැන විමසූ විට ඇය පැවසුවේ, බංග්ලාදේශය, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල් තුල පවත්නා ඉතා අඩු වැටුප් මට්ටම් හේතුවෙන්, එම රටවල නිශ්පාදන කෙරෙන භාන්ඩ අඩු මිලකට ලෝක වෙලඳපොලට නිකුත් කිරීම නිසා, ලංකාවේ භාන්ඩ වලට ඇති ඉල්ලුම පහලගොස්  ජාත්‍යන්තර ඇනවුම් නොමැති තත්වයකට පත්වෙමින් පවතින බවයි. 

ඒ හේතුවෙන්, කම්කරු සංඛ්‍යාව අඩු කිරීම සහ කම්හල් වසා දැමීම දැනටමත් සිදුවන බැවින් තම රැකියා කවර හෝ මොහොතක අහිමිවීමේ අවදානම පවතින බව ඇය කීවාය. දැනටමත් ප්‍රදේශයේ කම්හල් ගනනාවක් වසා දමා, එම ආයෝජකයන් ඉහත දැක්වූ රටවල කම්හල් අරඹා ඇතැයි සේනානායක තවදුරටත් පැවසුවාය. වසංගතය හේතුවෙන් මෙම තත්වය වඩාත් උග්‍රවෙමින් පවතින බව සසප උද්ඝෝෂකයෝ ඇයට පෙන්වා දුන්හ.

මැතිවරනය සම්බන්ධයෙන් කෙරුනු සාකච්ඡාවකින් පසු අවසානයේ ඇය කියා සිටියේ, ඉහත ජාත්‍යන්තර වර්ධනයන් සමග බැඳී පවතින තම රැකියා සහ ජීවන කොන්දේසිවල තත්වය ලංකාව තුල බලයට පත්වන කවර හෝ ආන්ඩුවකින් විසඳියහැකි වෙතැයි තමා නොසිතන බවයි. 

මන්චී හෙවත් සිලෝන් බිස්කට් ආයතනයට සම්බන්ධිත, වියලි පලතුරු සහ එලවලු ඇසුරුම් කම්හලක  කම්කරුවෝ දෙදෙනක් ද සසප සාමාජිකයන් සමග කතා කලහ.

“සෞඛ්‍ය ආරක්ෂක උපක්‍රමයක් හැටියට මීටරයක් දුරින් ඉන්න කියලා උපදෙස් දෙනවා.  හැබැයි කම්කරුවන් එකසිය පනස් දෙනක් විතර ඉන්න පැක්ටරි ලයින් එහෙක මීටරයක් දුරින් ඉන්නේ කොහොමද? කිසිම සෞඛ්‍ය නීතියක් පැක්ටරිය තුල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කැන්ටිමට ගියහම එක පිඟාන ම යන්තම් හෝදලා කීපදෙනෙකුට  කෑම දෙනවා."

උදේ 7.30 සිට හවස 4.30 වෙනතෙක් සේවයේ යෙදිය යුතු බවත්, වරුවක් හෝ නිවාඩු ලැබෙන්නේ ඉරිදා දිනයන්හි පමනක් බවත් ඔවුහු පැවසූහ.ලැබෙන සොච්චම් වැටුප ජීවත්වීමට ප්‍ර‍මානවත් නොවන බැවින් හැකි සෑම විටකම අතිකාල වැඩෙහි නිරතවන බවද ඔවුහු පැවසූහ.   

“දැන් අපිට ටාගට් වැඩි වෙලා තියෙන්නේ. ඉස්සර පැයකට පැකට් හැටක්  ඇසුරුම් කලා. දැන්  පැයට සීයක් ඇසුරුම් කරන්න සිද්ධවෙලා තියනවා. ඒ වගේම නිෂ්පාදනයත් වැඩි කරලා තියෙන්නේ. අපිට පහුගිය  නිරෝධායන ඇඳිරි නීති  කාලෙත් වැඩ කරන්න සිද්ධ වුනා. යන්න බැරි වුනාම පඩි කපලා දැම්මා. හුඟක් ඈත ඉඳල එන අය, පැමිනීමේ අඩු බව පෙන්නලා අයින් කලා. ඒ වගේ විසිපහක් තිහක් විතර ලමයි අපේ කම්හලින් අයින් කලා. ඒ වෙනුවට මෑන් පවර් කම්කරුවො ගන්නවා. ඒක උන්ට ලාබයි. ඒ අය ගැන කතා කරන්න කවුරුවත් නැති නිසා ෆැක්ටරිය බය නැතුව මරවල වැඩ ගන්නවා.“

උතුරු කොලඹ බ්ලූමැන්ඩල් හි පිහිටි වරාය නිල නිවාසයන්හි උද්ඝෝෂනයේ යෙදුනු සසප සහ සසජාතශි සාමාජිකයන්ට, මඩකලපුවේ විදුලිබල මන්ඩලයේ විගනන නිලධාරියෙකු වශයෙන් සේවය කරන හසිත සමග සාකච්ඡා කිරීමට හැකිවිය.

ආන්ඩුව සහ එහි ආවතේව මාධ්‍යයන් විසින්, වසංගතය සාර්ථකව මැඩලා ඇතැයි පතුරා ඇති ප්‍ර‍ලාපය හේතුවෙන් මහජනයා අතර වැඩී ඇති ව්‍යාකූලත්වය ඔහු තුලින් ප්‍ර‍කාශ විය. ඔහුගේ අදහස වූයේ ජනාධිපති “රාජපක්ෂගේ නායකත්වයෙන් වසංගතය සාර්ථක ව තුරන් කල නිසා නැවතත් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට ඉඩ ලැබී ඇති” බවයි. “මොනව වුනත්, ජනාධිපතිතුමා වසංගතය අයින් කරපු නිසා නැවතත් වැඩට යන්න පුලුවන් වුනා” යැයි ඔහු පැවසුවේ ය.

උද්ඝෝෂකයන් ඔහුට පෙන්වා දුන්නේ ගෝලීය වසංගතයක් එක් රටකින් පමනක් තුරන් කලා යයි ගෙන යාම ව්‍යාජ ප්‍රචාරයක් බවත් වසංගතය ලැව් ගින්නක් සේ පැතිර යද්දි අනෙක් ධනපති රටවල ද පාලකයන් එ බඳු ම ව්‍යාජ ප්‍රචාරවලට මුවා වී ඇති බවයි. මෙම ව්‍යාජ ප්‍රචාර පිටුපස ඇත්තේ ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය යලි පන ගන්වා ගැනීම බවද එහිදී පෙන්වා දුනි. 

වසංගතය සාර්ථකව ජයගන්නේ කෙසේද යන්න කරා සාකච්ඡාව වර්ධනය විය.මානව වර්ගයා සතු සමස්ත වෛද්‍ය විද්‍යාත්මක සහ තාක්ෂනික ඥානය මෙන්ම දැවැන්ත ධන සම්පත් මේ සඳහා යොදා ගැනෙන ගෝලීය ප්‍ර‍යත්නයකින් මිස එය ජයගත නොහැකි බව සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ. එම ප්‍ර‍යත්නයට එරෙහිව පිහිටන ගෝලීය ධනේශ්වර ක්‍ර‍මය සහ ජාතික රාජ්‍ය පද්ධතිය පෙරලා දැමෙන, ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටන හැර වසංගතය සාර්ථකව ජය ගැනීමට අන්මගක් නොමැති බව උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) “සමාජවාදය” ගැන කතා කරන බැවින්, සසප සහ පෙසප අරමුන අතින් සමාන නොවේදැයි හසිත ප්‍රශ්න කලේ ය. සසප සහ පෙසප අතර ඇත්තේ කිසිසේත් නොපෑහෙන වෙනසක් බවත්, සමාජවාදය සාක්ෂාත් කිරීමේ අත්‍යන්ත මූලධර්මයන් වන කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයට සහ ජාත්‍යන්තරවාදයට මුලුමනින්ම එරෙහිව පෙසප පිහිටා සිටින බවත් සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ. පෙසප ව්‍යාජ සමාජවාදීන්, ග්‍රීසියේ සිරිසා වර්ගයේ ධනපති පෙරමුනු ඔජවඩවමින් සහ එවන් පෙරමුනු වලට කම්කරු පන්තිය ගැටගසමින් එහි පන්ති ස්වාධීනත්වය නැසීමට කැපවුනු ධනපති ක්‍ර‍මයේ ආරක්ෂකයන් බව ඔවුහු තවදුරටත් පැහැදිලි කලහ. වනාතමුල්ලේ පදිංචි නූර්ජා නම් තරුනිය ජීවත් වන්නේ ඇගේ මිත්තනිය සමගයි. ඇයගේ මව කටාර්හි, දෝහා නගරයේ සැලෝනයක සහායිකාවක් ලෙස ද, පියා ඩුබායි කෝකියෙකු ලෙසද සේවය කරති. ඔවුන් ජීවත්වන ප්‍රදේශවල කොවිඩ්-19 සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. තම දෙමාපියන්ගේ සෞඛ්‍යය සම්බන්ධයෙන් තමන් කනස්සලු වන බව ඇය ප්‍රකාශ කලා ය. මාස ගනනාවක් පුරා වැටුප් නොලබන ඔවුහු රෝගයෙන් ආරක්ෂා වීමට නිවාසවලට වී සිටින බව ඇය සඳහන් කලා ය. නූර්ජා සඳහන් කලේ රට අගුලු දමා තිබූ කාලයේ වියදම් පිරිමහා ගත්තේ ඉතා අමාරුවෙන් බවයි. ඇගේ මිත්තනිය පවිත්‍රතා කම්කරුවෙකි. 

පෙත්සමට අත්සන් තබන සුමනසිරි

ආන්ඩුව සංක්‍රමනික කම්කරුවන් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගෙන යන්නේ සාපරාධී නොතැකීමේ ප්‍රතිපත්තියකි. මේ ප්‍රතිපත්තිය නිසා ම සිය ගනන් කම්කරුවන් මැද පෙරදිග රටවල දී රෝගයට ගොදුරු වූහ. ඉන් දුසිම් ගනනක් මිය ගියහ.

තීරන ගැනීමේ අයිතිය කම්කරුවන් සතු සමාජවාදී සමාජයක් පැවතියේ නම්, වහා ගුවන් යානා සහ සෞඛ්‍ය වියදම් සම්පාදනය කරමින් කම්කරු පන්තියේ ආරක්ෂාව තහවුරු කර ගත හැකිව තිබුනු බව පැහැදිලි කලවිට ඇය එය අනුමත කලාය. 

වනාතමුල්ලේදී හමුවූ ගයාන් සංජීව කොල්ලුපිටියේ චීන දුරකථන සමාගමක කාර්මික ශිල්පියෙකු වශයෙන් සේවය කරයි. ඔහු මෙසේ පැවසීය: 

“මම සසප සමග මුල් වරට කතා කලේ ඇමරිකානු ආන්ඩුවෙන් තර්ජනයට ලක් වී සිටින මාධ්‍යවේදී ජූලියන් අසාන්ජ් ආරක්ෂා කිරීමට ගෙන ගිය උද්ඝෝෂනයේ දී. මහජනතාව පැත්තෙන් වැදගත් ලෝක යුද්ධයක අවදානම, ඒකාධිපති තර්ජනයක අනතුර වැනි කරුනු කාරනා ගැන දැනුවත් බව වැඩිකරන්න මේ විදියට ගෙන් ගෙට ගිහින් මහන්සි ගන්න මේ දේශපාලනය ගැන මම සතුටුයි.”

ඇමරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය ගැන කතා කරමින් ඔහු පැවසුවේ දුගී තරුනයන්ට එරෙහි පොලිස් ප්‍ර‍න්ඩත්වය ලංකාව තුල ද වේගයෙන් වර්ධනය වන බවයි. 

“හවසට සිවිල් ඇඳුමින් එන පොලිසියේ නිලධාරියෙක් හොකී පිත්තක් තියන් මේ පාරවල ඇවිදිනවා. මම දිනක් වැඩට යද්දි සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මාව නවත්තා පරීක්ෂා කිරීමට සැරසුනා. වැඩට යාමට පමා වන බවත් සෝදිසි වරෙන්තුවක් නොමැති ව අත්තනෝමතික සෝදිසි කිරීම්වලට ඉඩ දිය නොහැකි බවත් මම සඳහන් කලා. එදින සවස ඔවුන් පැමින නිවෙස ඉදිරිපිට මිතුරන් සමඟ කතා කරමින් සිටිය දී පිරිස එලවා දැමීමට කටයුතු කලා.” 

තරුනයන්ට නිදහසේ කතා කිරීමට පවා ඉඩ නොදෙන මෙම ප්‍ර‍ජාතන්ත්‍ර‍-විරෝධී පියවරයන් වැඩෙන මිලිටරි රාජ්‍යයක අංග ලක්ෂනයන් බවත්, එය සමස්ත කම්කරු පන්තියට එරෙහිව වර්ධනය කරන්නක් බවත් උද්ඝෝෂකයෝ පෙන්වා දුන්හ. යාපනයේ සසප සාමාජිකයන්ට එල්ල වන මිලිටරි හිරිහැර වලට එරෙහිව සසප දියත්කොට ඇති ජාත්‍යන්තර උද්ඝෝෂනයට ඔහු සහාය පල කලේය.

සසප සාමාජිකයෝ පසුගිය ඉරිදා දිනයේදී, රත්මලාන ප්‍රදේශයේ පිහිටි වාරිමාර්ග දෙපාර්තමේන්තු කම්කරුවන්ගේ නිවහන් ප්‍රදේශයට  මැතිවරන උද්ඝෝෂනය ගෙන ගියහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රියදුරෙක් ලෙස සේවය කරන විජේසිරි අදහස් දක්වමින්

 එම දෙපාර්තුමේන්තුවේ රියදුරෙකු වන විජේසිරි සඳහන් කලේ තමන්ගේ  මූලික වැටුප රුපියල් 25000 ක සොච්චමක් බැවින්, අනෙක් දීමනා වලින් තවත් රුපියල් 10000 ක් පමන උපයාගෙන අමාරුවෙන් ජීවිතය ගැටගහගන්නා බවයි.

ඔහු සඳහන් කලේ, වසංගතයත් සමග වැඩ අඩුවී ඇති බැවින් අතිකාල ආදායම් නැතිවී වියදම් පියවා ගැනීම අසීරුවී ඇති බවයි. “ඉස්සර ඕටී පැය 150 විතර කරන්න පුලුවන්. දැන් වැඩ අඩු හින්දා 70 ක් විතර කරන්න පුලුවන්. ලැබෙන ආදායම රුපියල් හයදාහකින් පමන අඩු වෙලා තියෙන්නේ. බඩු මිල වැඩි වෙනවා. හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ” යනුවෙන් ඔහු එම තත්වය පැහැදිලි කලේය.

මහවැලි අමාත්‍යංශයේ සේවය කරන ආර්.ඩී.සී.කුමාර සිය සේවා කොන්දේසි සම්බන්ධයෙන් මෙසේ පැවසීය: “අපිට දැන් නිවාඩු දිනවල අති කාල සම්පූර්නයෙන්ම කපල තියෙන්නේ සෙනසුරාදා දින දෙකක් පමනක් මසකට අතිකාල කරන්නත් පරිපාලනයේ අනුමැතිය අවශ්‍යයි.”

මෙම ප්‍රශ්න විසඳාගැනීමේ මාවත පිලිබඳ සාකච්ඡා කිරීමේදී එය කම්කරු ක්‍රියාකාරී කමිටු පිහිටුවාගැනීම දිශාවට වර්ධනය විය. ඔවුන් එක්ව ස්වාධීන සමිතියක් පිහිටුවා ගත් බව පැවසූ ඔහු, එයින් ක්‍රියාකාරී කමිටු වෙනස් වන්නේ කෙසේද යන්න පිලිබඳව විමසීය.

නිවහන් සංකීර්නයේ ඇති නිසි නඩත්තුවක් නොමැතිව අත් හැර දැමූ නිවාස

සසප යෝජනා කරන ක්‍රියාකාරී කමිටු ධනපති ක්‍රමය පෙරලා දැමීමේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනය මත පාදකවන පූර්න ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සංවිධාන රූපයක් බැවින් එය වෘත්තීය සමිති වලින් සම්පූර්නයෙන්ම ප්‍රතිවිරුද්ධ බව සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ. එමෙන්ම ඒවා වෘත්‍තීය සමිති මෙන් තම ශ්‍රේනියට හෝ වෘත්තියට සීමා නොවූ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධතාව වෙනුවෙන් සටන් වදින සංවිධාන බවත් පෙන්වා දුනි.

යාපනයේ සසප සාමාජිකයන්ට එල්ල කෙරී ඇති මිලිටරි හිරිහැර වලට එරෙහි පෙත්සමට සහයෝගය දක්වමින් කම්කරුවන් 15 කට ආසන්න ප්‍රමානයක් අත්සන් තැබූහ.

Loading