වසර 75 කට පෙර: එක්සත් ජනපදය ජපානයට දැවැන්ත පරිමානයෙන් බෝම්බ හෙලයි

මෙම ලිපිය ජූලි 27 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපද බෝම්බ හෙලීමෙන් පසු ටොයාමා නගරය

එක්සත් ජනපද ගුවන් හමුදාව දෙවන ලෝක සංග්‍රාමයේදී කල දැවැන්තම බෝම්බ හෙලීම 1945 අගෝස්තු 2 වන දින, ජපාන නගර ඉලක්ක කරගත්තේය. ඒ සඳහා බී -29 බෝම්බ ගෙනයන යානා 800 ක් සහභාගී වූ අතර එමගින් පැය කිහිපයක් ඇතුලත ජපානයේ නගරවලට ගිනි බෝම්බ (incendiary bombs) ටොන් 6,000 ක් හෙලනු ලැබින. එයින් පුද්ගලයන් 80,000 ක් - බහුතරයක් සිවිල් වැසියන් - මරුමුවට වී ඇති බව ඇස්තමේන්තු ගතව ඇත.

ඊට පෙර දින, එනම් අගෝස්තු 1 වන දින රාත්‍රියේ එක්සත් ජනපද හමුදාව, ජපානයේ ප්‍රධාන දූපතක් වන හොන්ෂු හි උතුරු වෙරල තීරයේ පිහිටි ටොයාමා නම් කුඩා නගරය බෝම්බ දමා සමතලා කලහ. එක්සත් ජනපදයේ විසිවන ගුවන් හමුදා බලඇනියේ ගුවන් යානා 182 ක් පමන මෙම ප්‍රහාරයට සහභාගී වූ අතර නගරයට බෝම්බ ටොන් 1500 ක් පමන හෙලීය.

ටොයාමා නගරය කාර්මික කේන්ද්‍රස්ථානයක් වූ අතර එය බෝල් බෙයාරිං සහ වානේ නිෂ්පාදනය සඳහා ප්‍රසිද්ධ වී තිබින. එය ජපානයේ සන්නද්ධ හමුදා බිඳ වැටෙමින් තිබූ සහ මිත්‍ර පාක්ෂික ජයග්‍රහනය නොවැලක්විය හැකි දෙයක් ලෙස ඉස්මතු වී තිබුන මොහොතක් විය. තත්වය එසේ වුවද මෙම නගරයට යම් මිලිටරි වැදගත්කමක් තිබිනි. කෙසේ වෙතත්, නගරයේ ජනගහනයට සහ යටිතල ව්‍යූහයට සාපේක්ෂව, මුලු යුද්ධයේ දරුනුම ප්‍රහාරය එල්ල වූයේ මෙතැනට යි.

පොදු ගොඩනැගිලි සහ නිවාස ඇතුලු නගරයේ සියලුම ගොඩනැගිලිවලින් සියයට 99 ක් විනාශ වූ බවට ඇස්තමේන්තු කොට ඇත. ගිනි බෝම්බ හෙලීම නිසා හටගත් ගින්නෙන් නගර මධ්‍යය අලු ගොඩක් බවට පත් විය. බෝම්බ ප්‍රහාරයට ලක් වූ 100,000 කට අධික පිරිසෙන් අවම වශයෙන් 2,700 ක් මිය ගිය අතර 8,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරයට එක්සත් ජනපද හමුදාව මෙහෙය වූ මෑන්හැටන් ව්‍යාපෘතිය වර්ධනය කරන ලද “පම්ප්කින් බෝම්බ” (“pumpkin bombs”) භාවිතා කෙරින. මේවා දැවැන්ත සාම්ප්‍රදායික පන්නයේ ගුවනින් හෙලන බෝම්බ වර්ගයක් විය. එම බෝම්බ මෑන්හැටන් ව්‍යාපෘතිය විසින් වර්ධනය කරන ලද තවත් බෝම්බයක් වන “ෆැට් මෑන්” (Fat man) නම් ප්ලූටෝනියම් බෝම්බය භාවිතා කරන ආකාරයටම භාවිතා කල යුතු විය. තවද ඒවාට “ෆැට් මෑන්” බෝම්බයේ ඇති දැවැන්ත විනාශකාරී ලක්ෂන (ballistic characteristics) අනුකරනය කිරීමට ද හැකියාව තිබින. ප්ලූටෝනියම් අඩංගු කරනවා වෙනුවට “පම්ප්කින් බෝම්බය” තුලට අධික පුපුරන ද්‍රව්‍ය විශාල ප්‍රමානයක් පුරවා තිබුනි. නගරය රැක  ගැනීමට ජපන් හමුදා අසමත්වූ තත්වය තුල පවා ටොයාමා මත  බෝම්බ 4ක් හෙලීමට එක්සත් ජනපද හමුදා කටයුතු කර ඇත. මෙය, ඊට දින කිහිපයකට පෙර හිරෝෂිමා සහ නාගසාකි වෙත පරමානු බෝම්බ හෙලීම සඳහා කල අත් හදා බැලීමක් බව පුලුල් ලෙස සැලකේ. අගෝස්තු 6 සහ 9 යන දෙදින තුල කල එම න්‍යෂ්ටික ප්‍රහාරයන් ලෝකයේ පලමු වරට යුද්ධයකදී න්‍යෂ්ටික අවි භාවිතා කිරීම ලෙස සනිටුහන් වේ. එම යුද අපරාධයෙන් ලක්ෂ ගනනක් සිවිල් පුරවැසියෝ මිය ගියහ.

Loading