මැතිවරනයෙන් පසු කම්කරුවන් බරපතල අන්තරායන්ට ගොදුරු කිරීමට වතු සමිති සැරසෙයි

ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී) සහ දෙමල ප්‍රගතිශීලී පෙරමුන (ටීපීඑෆ්) ඇතුලු සියලු වතු වෘත්තීය සමිති, පාර්ලිමේන්තු මැතිවරනයෙන් පසු වතු කම්කරුවන් ධනපති ආන්ඩුවේ සහ වතු සමාගම්වල රුදුරු ප්‍රහාරයන්ට කරබදු කිරීමට ක්‍රියාත්මක වන බව ඔවුන්ගේ මැතිවරන උද්ඝෝෂනය තුල දී එලිදරව් කෙරී ඇත. 

මැතිවරනය තුල, සීඩබ්ලිව්සී යත්, ලංකා සම සමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධ ඒකාබද්ධ වතු කම්කරු කමිටුවත් (ජේපීටීයුසී) පාලක ශ්‍රී  ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) සමග ද, ජාතික කම්කරු සංගමය (එන්ඩබ්ලිව්යූ), ප්‍රජාතන්ත්‍රවාදි  කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) සහ කඳුරට ජනතා පෙරමුනේ (යූපීඑෆ්) එකතුවක් වන ටීපීඑෆ්, දක්ෂිනාංශික සමගි ජන බලවේගය (සජබ) සමග ද පෙල ගැසී සිටිති. ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඑව්යූ) එජාපයට සහය දෙයි. 

මැතිවරනයේ දී  මෙම සමිති දෙපිල බෙදී සිටියි. එනමුත්, වතු කම්කරුවන් කලක් භුක්ති විඳි සමාජ අයිතීන් වැනසීමේ ධනපති පාලක පන්තියේ සහ සමාගම්වල ප්‍රහාරයන්ට ඔවුන් ව යටත් කිරීම සම්බන්ධයෙන් මෙම සමිති අතර කිසිදු මූලික භේදයක් නැත. 

ධනපති පාලක පන්තියේ සහ වතු සමාගම්වල ඍජු උපකරන ලෙස ක්‍රියාත්මක වන මෙම සමිති  කම්කරුවන්ගේ මොනම අයිතියක්වත් රැකීමට උනන්දුවක් නැත. වෘත්තීය සමිති වලට අමතරව ධනපති දේශපාලන පක්ෂ ලෙස ද ක්‍රියාත්මක වන වතු සමිති උනන්දු වන්නේ ඒ හෝ මේ ධනපති ආන්ඩුවකට මුක්කුව දෙමින් තමන්ගේ සමාජ සහ දේශපාලන වරප්‍රසාද රැක  ගැනීමට පමනි. 

රුපියල් 500 සොච්චම් දෛනික වැටුප දෙගුනයක් කරන ලෙස ඉල්ලා පසුගිය වසරේ වතු කම්කරුවන් ගෙන ගිය අරගලය නින්දිත ලෙස පාවාදුන් මෙම සමිති, සමාගම් සහ ආන්ඩුව විසින් නියම කල රුපියල් 730ක වැටුපක් කම්කරුවන් මත පැටවීමට දායක වුහ.ඉන් කම්කරුවන්ට ලැබුන යතා වැටුප් වැඩිවීම දිනකට රුපියල් 20 ක් පමනි. ඊට පෙර සියලු දීමනා සහිතව කම්කරුවෙකුට රුපියල් 710ක් ලැබුනි. 

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය මැද රාජපක්ෂ ආන්ඩුවේ  අනුමැතිය සහිතව වතු සමාගම් විසින්  අනාරක්ෂිතව කම්කරුවන් වැඩට දැක්කීමේ දී සමිති එයට සහයෝගය දුන්හ. දැන් සමිතිවල පූර්න සහයෝගය ඇතිව වැඩ වේගවත් කිරීම සහ වැටුප් කප්පාදුව වතු හාම්පුතුන් විසින් ක්‍රියාවට දමා ඇත. 

මෙම ප්‍රහාරයන් තවත් තීව්‍ර කිරීමේ සැලසුම් වලට සහයෝගය දෙන බව ඔවුන් මැතිවරන උද්ඝෝෂනය තුල දී වතු සමාගම් වලට සහ ධනපති පාලක පන්තියට සපථ කර තිබේ. “දුර දක්නා අරමුන 2020-2025” (farsighted aim) සිරස්තලය සහිත නිකුත් කර තිබෙන සීඩබ්ලිව්සී මැතිවරන ප්‍රකාශය තුල දී “වතු කම්කරුවන්ගේ ජීවිකාව ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සුලු ඉඩම් හිමියන් බවට පරිවර්තනය කරන” බව සඳහන් කර ඇත. 

සීඩබ්ලිව්සී නව මහ ලේකම් ජීවන් තොන්ඩමන් ජුලි 26 වෙනිදා වීරකේසරී පුවත්පතට දුන් සම්මුඛ සාකච්චාවකදී ආදායම් බෙදීමේ ක්‍රමය කම්කරුවන් මත පැටවීමට තම සමිතිය සහයදෙන බව වඩාත් පැහැදිලිව සඳහන් කර ඇත. “වතු කම්කරුවන්ට ලාභය බෙදා දීම සඳහා ඔවුන් ව කුඩා වතු හිමියන් බවට පරිවර්තනය කිරීම ගැන අපි සලකා බලමින් සිටිමු” යයි ඔහු එහි දී සඳහන් කර තිබුනි. කම්කරුවන්ට  “වාසිදායක” ආදායම් බෙදීමේ ක්‍රමය ක්‍රියාවට දැමීම ගැන  සාකච්චා කරමින්  සිටින නිසා  අනාගතයේ වැටුප් ගිවිසුම් අත්සන් කිරීමක් සිදු නොවන බවත්, රුපියල් 1000 වැටුප් ඉල්ලීම තාවකාලික  ප්‍රශ්නයක් බවත් “අපේ ප්‍රශ්නය ” ඉඩම් ප්‍රශ්නය  බවත් ඔහු එහිදී වැඩි දුරටත් පවසා ඇත.

ටීපීඑෆ් පිලිවෙත කිසිසේත් ඊට වෙනස් නැත. එහි පාර්ශවකරුවෙක් වන හා  සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ හිටපු වතු යටිතල පහසුකම් සහ නව ගම්මාන ඇමති එන්යූඩබ්ලිව් නායක පී. දිගම්බරම්  බගවන්තලාවේ පැවති මැතිවරන රැස්වීමකදී “වතු කම්කරුවන්ගේ වැටුප් ප්‍රශ්නයට තිබෙන එකම විසඳුම තේ වතු  බෙදා වතු කම්කරුවන්ට පැවරීම” බව සඳහන් කලේ ය.

වතු කම්කරුවන්  “කුඩා ඉඩම් හිමියන්” බවට පර්වර්තනය කිරීම යනු වතු සමාගම් විසින් යෝජිත සහ දැනටමත් ඇතැම් වතු වල ක්‍රියාවට දමා ඇති ආදායම් බෙදීමේ ක්‍රමය හෙවත් කොන්ත්‍රාත් පදනම මත නිශ්චිත තේ පඳුරු සංඛ්‍යාවක් (1000-1500) සහිත ඉඩම් කැබලි වතු කම්කරු පවුල් අතර බෙදා දීමේ සැලැස්මට ඔවුන් ව යටත් කිරීමකි. 

ඒ යටතේ දැනට තිබෙන සොච්චම් දෛනික වැටුප් ක්‍රමය හා අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල යන විශ්‍රාමික අරමුදල් ද නිවාස අලුත් වැඩියාව, පවතින සීමිත සෞඛ්‍ය පහසුකම් ඇතුලු සමාජ අයිතීන් ද ඔවුන්ට අහිමි වෙයි. 

නිවාස තනාගැනීමට හා වගා කිරීමට අතහැර දමා ඇති ඉඩම්  කැබලි කර බෙදා දිය යුතු බවත් සියලු යටිතල පහසුකම් සහ සමාජ සුබසාධන සහිතව කඩසාප්පු සහ ගම්මාන පිහිටු වන බවත් සීඩබ්ලිව්සී මැතිවරන ප්‍රකාශයේ වැඩි දුරටත් සඳහන් වේ. "වතු නව ගම්මාන" නමින් මෑත කාල පරිච්චේදයේ ඉදිරිපත් කෙරුන මෙම වැඩ පිලිවෙලේ  සැබෑ අරමුන වතු කම්කරුවන්ගේ ජීවන තත්වයන් උසස් කිරීම නොවේ; තනි සමාජ බලවේගයක් ලෙස වැඩ කරන, ජීවත් වන හා තම අයිතීන් සඳහා සටන් කරන ඔවුන් අනුවලට කඩා විසුරුවා හැරීම මගින් කම්කරුවන්ගේ සමාජ බලය  දුර්වල කර දැමීමට එය ඉලක්ක වී ඇත.  

මෑත මාසවල ඔවුන් අතර මතු වූ විරෝධතා උද්ඝෝෂන මගින් පෙන්නුම් කරන්නේ වතු කම්කරුවන් මෙම ප්‍රහාරයන් කිසිසේත් නොඉවසන බවය. එමෙන් ම, එම අරගල වෘත්තීය සමිති වලට පිටින් පැනනැගුන අතර වෘත්තීය සමිති කෙරෙහි පුලුල් විරුද්ධත්වයක් ඔවුන් අතර වැඩෙමින් ඇත. 

තම අයිතීන් සඳහා අරගලය වෘත්තීය සමිති වලට බාර නොදී  සියතට ගතයුතු බවත්, ඒ සඳහා වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී පිහිටුවා ගත යුතු බවටත් සමාජවාදී සමානතා පක්ෂය විසින්  කල කැඳවුමට ප්‍රතිචාර දක්වමින් හැටන් ඇබෝට්ස්ලි වත්තේ කම්කරුවන් ක්‍රියාකාරී කමිටුවක් සහ මස්කෙලිය ග්ලිනුයිජ් වත්තේ කම්කරුවන් මෙහෙයුම් කමිටුවක් පිහිටුවීම තුලින් වතු කම්කරුවන් අතර මෙම මූලිකත්වය  ගැනීම ආරම්භවී ඇතිබව පෙන්නුම් කරයි. 

වෘත්තීය සමිති, වතු කම්කරුවන් අතර සිදුවන මෙම වර්ධනයන් කෙරෙහි අතිශයින්ම භීතියටපත්ව සිටිති. මෙම සමිති ධනපති දේශපාලන පක්ෂවලට වතු කම්කරුවන් ගැට ගැසීමට යලියලිත් උත්සාහ කරන්නේ ඔවුන් ව දේශපාලනිකව අවමංගත කොට ධනපති පාලක පන්තියේ ආඥාදායක සැලසුම්වලට යටත් කිරීමට ය.  

පාර්ලිමේන්තු මැතිවරනය පැවැත්වෙන්නේ කොවිඩ් 19 වසංගතය තුලින් තව දුරටත් ශ්‍රී ලංකාවේ ධනපති පාලක පන්තියේ ආර්ථික-දේශපාලන අර්බුදය ගැඹුරු කෙරුන කොන්දේසි යටතේය. ධනපති පක්ෂ අතර ආන්ඩු බලය අල්ලා ගැනීම සඳහා පොරය  සහ උපායාත්මක මතබේද පැවතිය ද වැඩකරන ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සහ අරගල මැඩලන ආඥාදායක පාලන තන්ත්‍රයක අවශ්‍යතාව ගැන ඔවුන් අතර කිසිදු  මත බේදයක් නැත. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රීලපොපෙ එල්ලය වන්නේ මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිතකර ගැනීමය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ඉල්ලන්නේ ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය රාමුව සකසා ගැනීමටය. කොරෝනා වසංගතය තුලින් උද්ගත කෙරී ඇති අර්බුදයෙන් “රට ගොඩ ගැනීම” සඳහා  ජනාධිපති රාජපක්ෂට සහය දීමට සූදානම් බව සජබ නායක සජිත් ප්‍රේමදාස සහ එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කිරීම තුලින් එවන් ආඥාදායක පාලනයකට සහයෝගය දීමට මෙම පක්ෂවල ඇති සූදානම පෙන්නුම් කර තිබේ. වතු සමිති පෙලගැසී සිටින්නේ මෙම පක්ෂ සමග ය. 

වතු කර්මාන්තය මුහුන පාන අර්බුදය විසඳීමේ නමින් සමාගම්, ආන්ඩුව හා සමිති දිගහැර ඇති තම අයිතීන් බිලිගැනීමේ  වැඩපිලිවෙල කම්කරුවන් ප්‍රතික්ෂේප කල යුතු ය. වතු කර්මාන්තයේ අර්බුදය, ලාභය මුල්කරගත් සමස්ත ධනපති ක්‍රමයේ අර්බුදයේ කොටසකි. දැන් සියලු ක්ෂේත්‍රයන්හි කම්කරුවන් මත ලංකාවේත් ජාත්‍යන්තරවත් පැටවෙන්නේ මෙම අර්බුදයයි. 

කම්කරුවන් විසුරුවා හැරීමට සහ වැඩ වේගවත් කිරීමට සූදානම් කෙරුනු ඊනියා ආදායම් බෙදාගැනීමේ ක්‍රමය එපා!

රැකියා කප්පාදු නොකරනු! කම්කරුවන්ට ජීවන් වියදමට සරිලන ස්ථිර වැටුපක් හා විශ්‍රාම වැටුපක්!

මනා අධ්‍යාපන පහසුකම් හා රෝහල් ඇතුලු සෞඛ්‍ය පහසුකම් දෙනු!

කම්කරුවන් මෙම ඉල්ලීම් සඳහා අරගලය තමන් අතට ගතයුතුය. වෘත්තීය සමිතිවලින් ස්වාධීනව, සමිති නිලධරය වැද්ද නොගත්  තමන්ගේ චන්දයෙන් කම්කරු ක්‍රියාකාරී කමිටු වතු තුල ගොඩනගා ගන්නා ලෙස අපි ඉල්ලමු. 

මෙම ඉල්ලීම් සඳහා සටන දේශපාලන සටනකි. කම්කරුවන්ගේ සාධාරන ඉල්ලීම් නොදෙන තතු යටතේ සැබෑ නිෂ්පාදකයින් වන කම්කරුවන් වතු සිය පාලනය යටතේ ප්‍රතිසංවිධානය කල යුතු ය. මෙම අරගලය, සමස්ත කම්කරු පන්තිය ම අර්බුද ග්‍රස්ත ධනපති පන්තියේ බැංකු, විශාල වතු හා අනෙකුත් මහා නිෂ්පාදන හා සේවා සමාගම්  කම්කරුවන්ගේ  ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට  ගැනීම සමග  බැඳී ඇත. ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතුව ගොඩනගාගෙන, මෙම සමාජවාදී වැඩපිලිවෙල  ක්‍රියාවට දැමීම සඳහා කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමේ අරගලයට එක්වන ලෙස කම්කරුවන්ගෙන් හා තරුනයන් ගෙන් අපි ඉල්ලමු.   

වතු කම්කරුවන් ඇතුලු  වැඩකරන ජනතාව අතර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. සසප කොලඹ, යාපනය සහ නුවර එලිය දිස්ත්‍රික්ක සඳහා තරඟ කරයි. සසපට චන්දය දෙන ලෙසත් එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩ නැගීමට එක්වන ලෙසත් වතු කම්කරුවන් ගෙන් හා තරුනයන්ගෙන්  අපි ඉල්ලා සිටිමු.  

Loading