වසර 100 කට පෙර: මහා බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කරයි

මෙම ලිපිය ජූලි 27 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.

එක්සත් කොමියුනිස්ට් සමුලුවට පැමිනි නියෝජිතයෝ

එක්සත් කොමියුනිස්ට් සමුලුව (Communist Unity Convention) 1920 ජූලි 31 වන දින ලන්ඩනයේ කැනන් ස්ට්‍රීට් හෝටලයේදී රැස්වී මහා බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂය (සීපීජීබී) (Communist Party of Great Britain - CPGB) ඇරඹීය. එයට නියෝජිතයින් 152 දෙනෙක් සහභාගි වූ අතර ඔවුන් බ්‍රිතාන්‍ය සමාජවාදී පක්ෂය, සමාජවාදී කම්කරු පක්ෂය, සවුත් වේල්ස් සමාජවාදී සංගමය, වෙලඳසැල් සේවකයන්ගේ කමිටු සහ විවිධ කුඩා සංවිධාන මෙන්ම බොල්ෂෙවික්වාදයේ මූලධර්මවලට සහාය දුන් පුද්ගලයින් ඇතුලු වාමාංශික කන්ඩායම් නියෝජනය කලහ. මෙම සීපීජීබී ආරම්භක සමුලුව මෙසේ පැවැත්වෙද්දී, තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ (කොමින්ටර්න්) දෙවන සම්මේලනය මොස්කව් නගරයේ දී මුලුදෙමින් පැවතිනි.

මෙම බ්‍රිතාන්‍ය සමුලුවේ සංවිධායක කමිටුවට ලෙනින් විසින් එවන ලද ලිපියක් එහි සැසියකදී කියවන ලදී:

"බ්‍රිතාන්‍යය තුල තනි කොමියුනිස්ට් පක්ෂයක් වහාම සංවිධානය කර ගැනීමේ සැලසුම් වලට මම පුර්න සහයෝගය දක්වමි. තනි කොමියුනිස්ට් පක්ෂයක් පිහිටුවීම සඳහා බ්‍රිතාන්‍ය සමාජවාදී පක්ෂය, සමාජවාදී කම්කරු පක්ෂය සහ වෙනත් අය ඒකාබද්ධ කිරීමට සහයෝගයෙන් වැඩ කිරීම ප්‍රතික්ෂේප කරමින් සිල්වියා පැන්හර්ස්ට් (Sylvia Pankhurst) සහෝදරිය සහ කම්කරු සමාජවාදී සම්මේලනය (Workers’ Socialist Federation) අනුගමනය කල උපක්‍රමය වැරදි යැයි මම සලකමි. පාර්ලිමේන්තුවට සහභාගී වීම සහ ලේබර් පක්ෂයට අනුබද්ධ වීම* යන කරුනු වලට මම පෞද්ගලිකව සහය දෙන්නේ එවැනි කටයුතු මුලුමනින්ම නිදහස් හා ස්වාධීන කොමියුනිස්ට් ක්‍රියාකාරකම් වල යෙදෙන අතරේ සිදු විය යුතු බව පවසමිනි."

තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ බ්‍රිතාන්‍ය ශාඛාව වූයේ සිල්වියා පැන්හර්ස්ට් නායකත්වයෙන් දුන් කොමියුනිස්ට් පක්ෂය යි. එය මොස්කව් හි පැවති තුන්වන ජාත්‍යන්තරයේ දෙවැනි සමුලුවට තම නියෝජිතයන් සහභාගි කරවා තිබින. 1921 ජනවාරියේ දී ලීඩ්ස් නගරයේ දී පැවති එක්සත් කොමියුනිස්ට් සමුලුවේ දෙවන රැස්වීමේ දී එම පක්ෂය, සීපීජීබීය සමඟ ඒකාබද්ධ විය. එහි පදනම වූයේ තුන්වන ජාත්‍යන්තරයේ දෙවන සමුලුවේදී එකඟ වූ ස්ථාවරයන් සහ න්‍යායන් ය.

පලමුවන ලෝක සංග්‍රාමයට පසු කාල පරිච්ඡේදය තුල බ්‍රිතාන්‍යය තුල සහ ජාත්‍යන්තරව කම්කරු පන්තියේ සටන්කාමී නැගිටීම් මාලාවක් පැන නැගි අතර එහි ආරම්භය වූයේ 1917 රුසියානු විප්ලවය යි.   ජර්මනිය, ඉතාලිය සහ හංගේරියාව තුල විප්ලවවාදී ව්‍යාපාර වර්ධනය වූ අතර එක්සත් ජනපදය ගල් අඟුරු පතල්  සහ වානේ කම්කරුවන්ගේ වර්ජන වලින් ඇලලී ගියේය. මේ සියලු රටවල් තුල විප්ලවවාදී අරගලවලට නායකත්වය දීම සඳහා කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ නායකත්වය යටතේ කොමියුනිස්ට් පක්ෂ පිහිටුවන ලදී. මේ අතරතුර පැරනි සාර් අධිරාජ්‍යය තුල යලි ධනවාදය ස්ථාපිත කිරීම සඳහා ඇරඹි දරුනු සිවිල් යුද්ධයකට සෝවියට් රුසියාව මුහුන දී සිටියේය.

බ්‍රිතාන්‍යයේ ධනවත්ම යටත් විජිතය වන ඉන්දියාව ඇතුලු යටත් විජිත රටවල් තුල අධිරාජ්‍ය විරෝධී ව්යාපාරවල වර්ධනය මෙන්ම, තුර්කිය, මැදපෙරදිග හා නැගෙනහිර අප්‍රිකාව තුලත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධතා මෙම කාල පරිච්ඡේදය තුල දක්නට ලැබුනි.

1919 දී බ්‍රිතාන්‍ය  ගල් අඟුරු පතල් කම්කරුවන් පැය හතක වැඩ දිනය දිනා ගත්හ. එම වසරේ ම බ්‍රිතාන්‍ය  කම්කරු පන්ති ඉතිහාසයේ වඩාත්ම කැපී පෙනෙන සිදුවීමක් වූ ග්ලාස්ගොව් මහා වැඩ වර්ජනය සිදු වූ අතර බ්‍රිතාන්‍ය  හමුදාව මැදිහත් වන තෙක් එය නැවත්වීමට නොහැකි විය. එම වැඩ වර්ජනයේ එක් නායකයෙකු වූ විලියම් ගැලචර් (William Gallacher) 1921 දී සීපීජීබීයට බැඳුනි.

* සීපීජීබීයේ ආරම්භක සාකච්චා වලදී කරුනු ගනනාවක් උනුසුම් ලෙස විවාදයට ලක් විය. වඩාත් විවාදාත්මක මාතෘකා වූයේ පාර්ලිමේන්තුවාදය සහ ලේබර් පක්ෂය සම්බන්ධයෙන් කොමියුනිස්ට් පක්ෂයේ ආකල්ප කුමක්ද යන ඒවා ය. ලෙනින් තර්ක කලේ, ප්‍රතිසංස්කරනවාදී වෘත්තීය සමිති හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සමඟ කොමියුනිස්ට්වාදීන් කටයුතු කල යුත්තේ, ඒවා කම්කරු පන්තියේ පවතින සංවිධාන වන නිසා බවයි. ලෙනින් තර්ක කලේ, එවැනි සංවිධාන රාජ්‍ය බලය අත්කර ගන්නේ නම් එවිට ඔවුන් සැබවින්ම කම්කරු පන්තිය නියෝජනය නොකරන බව එලිදරව් වන අතර එවිට කම්කරුවන් කලකිරීමට පත්ව කොමියුනිස්ට් පක්ෂයට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වනු ඇති බවයි. නමුත් සිල්වියා පැන්හර්ස්ට් සිටියේ මෙම මතයට  විරුද්ධව එනම් එවැනි ක්‍රියා සංශෝධනවාදී ක්‍රියා ය යන ආස්ථානයේ ය. ලෙනින්ගේ මතය අවසානයේදී ජයග්‍රහනය කලේය. මෙම විධික්‍රමය අදට අදාල නොවුනත් එම කාලපරිච්චේදයේදී එයට උපායමාර්ගික වැදගත් කමක් තිබින. පැරනි වාම සංවිධාන කෙතරම් දකුනට ඇදී ගොස් ඇත් ද යන්න හා වෛෂයික තත්වයේ පරිවර්තනය සැලකිල්ලට ගෙන, කලින් සංඟම් වශයෙන් පැවති සිය ශාඛා පක්ෂ බවට හැරවීමේ දී, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා මෙම උපාය අතහැර දැමීය.