ශ්‍රී ලංකා පොදුජන පෙරමුන මැතිවරනයෙන් ජයගෙන කම්කරු පන්ති අරගල පුපුරා යාමේ වේදිකාව සකසයි

මෙම ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් අගෝස්තු 7දා පලවිය.

ජනාධිපති ගෝඨාභය රාජක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) බදාදා පැවති මහ මැතිවරනය ජයගෙන, සැලකිය යුතු බහුතරයක් සහිතව ඊලඟ ආන්ඩුව පිහිටුවීමට සූදානම් වෙයි. ශ්‍රීලංපොපෙ මන්ත්‍රීන් 70 වැඩිකර ගනිමින් 225න් යුත් පාර්ලිමේන්තුවේ ආසන 145ක් දිනාගෙන ඇත. 

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයෙන් (එජාප) වෙන්වී මේ වසර මුලදී පිහිටුවන ලද විපක්ෂයේ සමගි ජන බලවේගයෙ (සජබ) ආසන 54 ක් දිනා ගත්තේය. තරයේම අපකීර්තියට පත්, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් යූඑන්පීයෙන් ඊලඟ පාර්ලිමේන්තුවට පත්වුනේ එක් මන්ත්‍රීවරයකු පමනි.

ශාස්ත්‍රාලිකයින් හා වෘත්තිකයන් කන්ඩායමකගේ  සහාය ඇතිව අලුතෙන් පිහිටුවාගත් ජාතික ජන බලවේගය ලෙස මැතිවරනයට ඉදිරිපත් වූ සිංහල වර්ගවාදී ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ආසන තුනක් දිනා ගත් නමුත් එය පසුගිය පාර්ලිමේන්තුවේ නියෝජනයට වඩා තුනකින් අඩුය. යුද්ධයෙන් විනාශ වූ උතුරු හා නැගෙනහිර පදනම් කරගත් දෙමල ජාතික සන්ධානයට (ටීඑන්ඒ) හිමිවූයේ ආසන දහයක් පමනි. එහි මන්ත්‍රීවරු 16 ක් පසුගිය පාර්ලිමේන්තුව  නියෝජනය කලහ.

ගෝඨාභය රාජක්ෂ

මැතිවරන කොමිසමේ මූලික ඇස්තමේන්තු වලට අනුව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ඡන්ද දායකයින්ගෙන් සියයට 71 ක් පමනි. මෙය මාස 10 කට පෙර පැවති ජනාධිපතිවරනයේදී ඡන්දය පාවිච්චි කල සංඛ්‍යාවට වඩා සියයට 12 ක ද 2015 අගෝස්තු මහ මැතිවරනයේදීට වඩා සියයට 6 ක ද අඩුවීමකි.

ජනාධිපති රාජපක්ෂ බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් සියයට 70 ක ප්‍රතිශතයක් චන්දය ප්‍රකාශ කිරීම ව්‍යාජලෙස හැඳින්වුයේ ආන්ඩුව කොරෝනා වෛරස් වසංගතය හැසිරවූ ආකාරය ගැන මහජන “විශ්වාසය පල කිරීමක්” ලෙස ය.

ඡන්දදායකයින් සංඛ්‍යාව තියුනු ලෙස පහත වැටීම පෙන්නුම් කරන්නේ, රාජපක්ෂගේ අත්තනෝමතික පාලනයටත්, රැකියා හා වැටුප් වලට  මහ ව්‍යාපාරිකයන් එල්ල කරන බරපතල ප්‍රහාරයන්ට මෙන්ම සහ අනාරක්ෂිත සේවා කොන්දේසි වලටත් ඔහු දක්වන සහයෝගය කෙරෙහි වැඩෙන විරුද්ධත්වයයි. ශ්‍රී ලංකාවේ COVID-19 ආසාදන අනුපාතය අඩු බවට රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ ඔහුගේ ආන්ඩුව විශාල වශයෙන් පරීක්ෂන සිදු කිරීම ප්‍රතික්ෂේප කර ඇති බැවිනි.

ශ්‍රීලපොපෙ, මැතිවරනයේ දී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් සඳහා උද්ඝෝෂනය කරමින්, ජනාධිපතිගේ විධායක බලතල සඳහා පවත්නා සියලු සීමාවන් ඉවත් කිරීමට හැකි වන පරිදි ව්‍යවස්ථාව නැවත ලිවීමට ගනන් බැලීය. පක්ෂය  මැතිවරන ව්‍යාපාරය සඳහා අත දිගහැර රුපියල් මිලියන 1,202 ක මුදලක් වැය කර ඇතැයි ගනන් බලා ඇත. එම දැවැන්ත මුදල  අනෙක් ධනපති පක්ෂ ප්‍රචාරක කටයුතු සඳහා වැය කලාට වඩා බොහෝ වැඩි මුදලකි.

ජනාධිපති රාජපක්ෂ, නිල වසංගත සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කරමින් ජනතාව කැඳවූ රැලි දුසිම් ගනනක් ඇමතීය. එක් මැතිවරන නිරීක්ෂන කන්ඩායමකට අනුව, රාජපක්ෂ පැමිනි සෑම රැස්වීමකටම රජයේ මුදල් රුපියල් මිලියන 27 ක් බැගින් වැය විය.

ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව බදාදා ජනාධිපතිගේ සහෝදර අගමැති මහින්ද රාජපක්ෂ  මාධ්‍යයට කියා සිටියේ, මැතිවරනයෙන් තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් දිනා ගැනීමට ශ්‍රීලපොපෙ අපොහොසත් වුවහොත්, අවශ්‍ය සංඛ්‍යා ලබා ගැනීමට වෙනත් “විධිවිධාන” යොදාගන්නා බවයි. වෙනත් වචන වලින් කිවහොත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය මිලදී ගන්නා බවයි.

ජනාධිපතිට සහ ඔහුගේ සහෝදරයන්ට සහ හමුදා ප්‍රධානීන්ට අවශ්‍යව ඇත්තේ ඒකාධිපති පාලනයකි. ලොව පුරා සෑම ආන්ඩුවක් මෙන්ම, ජනාධිපති රාජපක්ෂ ද අධිෂ්ඨාන කරගෙන සිටින්නේ, කොරෝනා වසංගතයෙන් උත්සන්න කර තිබෙන ආර්ථික අර්බුදයේ බර, ජනතාව මත පැටවීමට ය. මෙම ප්‍රහාර මහා පන්ති අරගල හා විප්ලවීය නැගිටීම් පුපුරා යාමට වේදිකාව සකසනු ඇත.  

මැතිවරනය ආසන්න වෙත්ම සමාජ ආතතීන් අවමංගත කිරීමට සහ සිංහල ඡන්දදායකයින් රැලි කිරීම පිනිස ශ්‍රීලපොපෙ, සිය මුස්ලිම් හා දෙමල විරෝධී වර්ගවාදී උද්ඝෝෂන උත්සන්න කලේය. මුස්ලිම් විරෝධී ප‍්‍රචාර රැල්ලක් මුදා හැරීම සඳහා ‌මෙම පක්ෂය, අයිඑස්අයිඑස් පිටුබලය ලත් ඉස්ලාමීය ත‍්‍රස්ත කන්ඩායමක්  පසුගිය වසරේ පාස්කු ඉරිදා එල්ල කල බෝම්බ ප‍්‍රහාර පිලිබඳ නිල පරීක්ෂනයක තොරතුරු භාවිතා කලේය.

ඒ අතරම, ශ්‍රීලපොපෙ ප්‍රචාරය කලේ, බෙදුම්වාදී දෙමල ඊලම්  විමුක්ති කොටි (එල්ටීටීඊ) යලි හිස ඔසවමින් සිටින බවයි. උතුරේ ස්ථාන කිහිපයකින් ආයුධ සොයා ගත් බව හදිසියේම කියා සිටිමින් පොලිසිය, මෙම සනාථ නොකල ප්‍රකාශ වලට තෙල් වක්කලේය.   

පසුගිය මාස හය තුල සජබ, එජාප, ජවිපෙ, ටීඑන්ඒ, මුස්ලිම් පක්ෂ සහ වතුකරයේ වෘත්තීය සමිති ඇතුලු විරුද්ධ පක්ෂ, ජනාධිපති රාජපක්ෂට සහ ශ්‍රීලපොපෙ සුලුතර පාලනයට ප්‍රසිද්ධියේ සහයෝගය ලබා දී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ එවකට  ශ්‍රීලපොපෙ සුලුතර ආන්ඩුව විසින් කැඳවන ලද සර්ව පාක්ෂික රැස්වීම් දෙකකට මෙම සංවිධාන සහභාගී වූ අතර, “වසංගතයට එරෙහිව සටන් කිරීමට” ජනාධිපති ගත් පියවරයන්ට සහාය දැක්වීය.

එම සංවිධාන ම අප්‍රේල් 27 වන දින, විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යලි කැඳවනු ලැබුවහොත්, ජනාධිපතිවරයාට “කොන්දේසි විරහිතව සහාය දෙන” බවට පොරොන්දු වූහ. සජබ සහ එජාප දෙවතාවක් වෙන වෙනම ඔහු හමුවී සහාය ලබා දෙන බවට පොරොන්දු වුන අතර, සිය  සහයෝගය සහතික කිරීම පිනිස ටීඑන්ඒ, අගමැතිවරයා සමඟ පෞද්ගලික රැස්වීමක් ද පැවැත්වූයේය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මැයි 4 දා ඩේලි මිරර් පුවත්පතට පැවසුවේ, තම පක්ෂය “ආන්ඩුවට උදව් කිරීමට කැමැත්තෙන් සිටින්නේ, එදිරිවාදී දේශපාලනයට මෙය කාලයක් නොවන නිසා” බවයි.

මෙම කිසිදු පක්ෂයක් ආන්ඩුව වේගයෙන් හා අඛන්ඩව සිදුකරන මිලිටරිකරනය අභියෝගයට ලක් කලේ නැත. ඔවුන් සියල්ලන්ම අනාරක්ෂිත ලෙස  “ආර්ථිකය නැවත විවෘත කිරීම” සහ රැකියා, වැටුප් සහ සමාජ අයිතීන් වලට එරෙහිව ආන්ඩුව එල්ල කරන දැවැන්ත ප්‍රහාරයන්ට පිටුබලය දුන්නේය. රාජපක්ෂ මෙන්ම මෙම පක්ෂ ද කම්කරුවන්, තරුනයින් සහ ග්‍රාමීය ජනතාවගේ විරෝධතා හා වැඩ වර්ජන පුපුරා යාමට බිය වෙති.

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයෙහි ඓතිහාසික හා ජාත්‍යන්තර පදනම්

කම්කරු පන්තිය ආන්ඩුවට අභියෝග කිරීම වැලැක්වීම සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කලේ ව්‍යාජ වම යි. නව සම සමාජ පක්ෂය (නසසප), පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව කම්කරුවන්ගේ අරගල පීලිපැන්නවූහ. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරනයේදී ගෝඨාභය රාජපක්ෂට එකම විපක්ෂය ලෙස පෙනී සිටීමට මෙය මග පෑදීය.

නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න මැතිවරනයට ඉදිරිපත් වුනේ එජාප කලුතර දිස්ත්‍රික් ලැයිස්තුවෙනි. පෙසප ආන්ඩුව  සමග තමන්ට “වෙනස්කම් ” තිබුනත් ඒවා නොතකාම, වසංගතය සම්බන්ධයෙන් එය දක්වන ප්‍රතිචාරයට සහාය පලකරමින් අගමැති වෙත ලිපි දෙකක් යවා ඇත.

කම්කරු අමාත්‍ය දිනේෂ් ගුනවර්ධන හමුවීමෙන් පසුව පෙසප වෘත්තීය සමිති නායක දුමින්ද නාගමුව කියා සිටියේ, කම්කරුවන්ගේ ගැටලු විසඳීමට අමාත්‍යවරයා පොරොන්දු වුන බවයි. එසප සහ එහි වෘත්තීය සමිති ද, ගුනවර්ධන සහ මහා ව්‍යාපාරික නායකයින් හමුවී ඔවුන්ගේ වැටුප් හා රැකියා කප්පාදු කිරීමේ සැලසුම්වලට සහාය වෙමින් කම්කරුවන්ගේ අරගල පුපුරා යාම වලකා ලූහ. 

මෙම පාවාදීම් උපයෝගී කරගනිමින් බලයට පත්වූ ජනාධිපති රාජපක්ෂගේ නව ආන්ඩුව දැන්, පන්ති යුද්ධයට සූදානම් වෙමින් සිටී.

අගමැති මහින්ද රාජපක්ෂ බදාදා තර්ජනාත්මකව ප්‍රකාශ කලේ, “ආර්ථික අභියෝගයන්ට මුහුන දීමට අපි සූදානම්. මේවාට වඩා දරුනු අභියෝගවලට අප දැනටමත් මුහුන දී තිබෙනවා” යනුවෙනි.  

ඔහු සඳහන් කලේ මේ අර්බුදය ගැනයි:  රින 1.3 වනු ඇතැයි ගනන් බලා ඇති මේ වසරේ ආර්ථික වර්ධනය තියුනු පහත වැටීමකට ගොදුරුවනු ඇත. කොවිඩ්-19 වසංගතය අපනයන කෙරෙහි දැඩි ලෙස බලපා ඇති අතර විදේශ රැකියාවල නිරත වූවන්ගේ ප්‍රේෂන විශාල වශයෙන් පහත වැටී තිබේ. සංචාරක ව්‍යාපාරය බිඳ වැටී ඇත. ඉදිරි වසර තුන තුල ආන්ඩුවට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් බැගින්  විදේශ නය ගෙවීමට සිදුවේ.

පසුගිය ආන්ඩු “මීට වඩා දරුනු අභියෝග වලට මුහුන දී ඇතැයි” යන රාජපක්ෂගේ ප්‍රකාශය, 2009 මැයි මාසයේ දී අවසන් වූ එල්ටීටීඊයට එරෙහි ආන්ඩුවේ වර්ගවාදී යුද්ධය ජය ගැනීම ගැන කරන සඳහනකි.

එවකට මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ අතර ඔහුගේ සහෝදර ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් විය. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු වලට අනුව, දෙමල සිවිල් වැසියන් හතලිස් දහසක් මරා දැමුනු අතර  යුද්ධයේ අවසාන සතිවලදී යටත් වූ සටන්කරුවන් සිය ගනනක් “අතුරුදහන්” වූහ. යුද්ධය පැවති සමයේ හා ඉන් පසුව රාජපක්ෂ පාලනය, කම්කරුවන්ගේ හා දුප්පතුන්ගේ අරගල නිර්දය ලෙස මර්දනය කලේය.

කොලඹ වරාය කම්කරුවන්ගේ විරෝධතාව

පසුගිය සතියේ මැතිවරන රැලියක් අමතමින් ජනාධිපති රාජපක්ෂ,  වරාය පර්යන්තයක් ඉන්දියානු සමාගමකට විකිනීමට එරෙහිව කොලඹ වරාය කම්කරුවන් 10,000ගේ විරෝධතා වැඩ වර්ජනය හෙලා දුටුවේය. “වරාය වසා දමා ඇත්තේ අපේ ආර්ථිකය විනාශයට පත්කිරීම සඳහා මිස වෙන කිසිම හේතුවක් නිසා නොවෙයි. මේවායින් මම බිය වැද්දීමට බැහැ. රට ගැන සැලකිලිමත් වන නායකයෙකු බලයට පත්වන හැම මොහොතකම අන්තවාදී කන්ඬායම් ඔහුගේ වැඩකටයුතු  කඩාකප්පල්කිරීමට කටයුතු කරනවා. ”

පැහැදිලි පාර්ලිමේන්තු බහුතරයක් සහ නව ආඥාදායක පියවර සහිතව  තමන්ට, කම්කරු පන්තිය මැඬීමට ඉඩ සැලසෙනු ඇතැයි රාජපක්ෂ බලාපොරොත්තු වෙතත්, ඊට එරෙහිව විප්ලවීය පරිමානයකින් සටන්කාමී අරගල පුපුරා යනු ඇත. වසර 30 ක යුද්ධය පැවති අවධිය ද ඇතුලු දශක ගනනාවක් පුරා දූෂිත දේශපාලන සමාජ ක්‍රමයට ද එය විසින් රැකියා, ජීවන තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහිව එල්ල කරන ප්‍රහාරයන්ට ද විරුද්ධව කම්කරුවන්ගේ හා තරුනයින්ගේ දැවෙන කෝපය  පුපුරන මට්ටමට නැඟී තිබේ.

ගැඹුරු වන අර්බුදය ගැන මෙන්ම, ධනේශ්වරයේ සෑම කන්ඩායමකින්ම වෙන් වී එලඹෙන විප්ලවවාදී අභියෝගයට මුහුන දීම සඳහා අවශ්‍ය දේශපාලන සූදානම ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය, කම්කරුවන්ට හා තරුනයින්ට පැහැදිලි කරන එකම සංවිධානය සමාජවාදී සමානතා පක්ෂයයි.

අධිරාජ්‍යවාදී යුද්ධයේ අන්තරායට සමගාමීව, වසංගත ව්‍යසනය සහ වැටුප්, රැකියා සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහි ආන්ඩුවේ ප්‍රහාරයන්ට මුහුන දීම සඳහා, සෑම සේවා ස්ථානයකම හා කම්කරු පන්ති නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු ගොඩනඟන ලෙස එය කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. සමාජවාදී වැඩපිලිවෙලක් ක්‍රියාවට නැඟීම සඳහා කම්කරු හා ගොවි ආන්ඩුවක් සඳහා වන අරගලය, කම්කරු පන්තියේ ඉදිරි මාවත බව සසප පැහැදිලි කලේය.

සසප  තරඟ කල දිස්ත්‍රික්ක තුනෙන් එය ඡන්ද 780 ක් ලබාගෙන ඇත - යාපනය 146, කොළඹ 303 සහ නුවර එලිය 331 වසයෙනි. මෙම සංඛ්‍යා තවමත් කුඩා වුවත්, ඒවා සමාජවාදය සඳහා පන්ති සවිඥානික ඡන්ද වන අතර සසප සඳහා වැඩෙන සහයෝගය පෙන්නුම් කරයි. 

එලඹෙන කාල පරිච්ඡේදය තුල, සමාජවාදී ජාත්‍යන්තරවාදයට කම්කරුවන් හා තරුනයින් පුලුල් කොටසක් දිනා ගැනීම සඳහා සසප සිය දේශපාලන අරගලය තීව්‍ර කරනු ඇත. කම්කරු පන්තිය බලයට ගෙන ඒම සඳහා මහජන පක්ෂයක් ලෙස එය ගොඩනගනු ඇත.

Loading