වරාය කම්කරුවෝ තම අරගලය පාවාදීමේ පාඩම් සාකච්ඡා කරති

කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුද්ගලීකරනයට එරෙහිව  “දින තුනක් පුරා ගෙනගිය වැඩ වර්ජනය,  “කොලඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව” මගින් “නින්දිත ලෙස පාවා දුන්” බව වරාය කම්කරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලහ. එම පාවාදීමේ පාඩම් සම්බන්ධයෙන් ලෝසවෙඅ වාර්තාකරුවන් සමග ඔවුහු සාකච්ඡාවකට එක්වූහ.

කොරෝනා වසංගතය මගින් ලෝක ධනේශ්වර ක්‍රමයේ අර්බූදය  උග්‍ර කෙරී නව කාල පරිච්ඡේදයක ට ලෝකය පුරා මෙන්ම  ලංකාවේ කම්කරුවන් අවතීර්නව ඇති තත්වයේදී වරාය කම්කරුවන්ගේ අරගලය  ආරම්භ විය. මෙම අරගලය තුල, පුද්ගලීකරනයට එරෙහි විරෝධය මෙන්ම කම්කරුවන්  දිගුකාලයක් පුරා මුහුන දෙන රැකියා කප්පාදූන් හා සමාජ කප්පාදූන්ට එරෙහි කෝපය ප්‍රකාශයට පත්විය. වරායේ සියලුම ශ්‍රේනීන්හි කම්කරුවෝ මෙම අරගලයට ඒකාබද්ධ වූහ.

කොලඹ වරාය සමුද්‍ර නිලධාරීන්ගේ සංගමයේ සේවකයෙක් අරගලයේ ආරම්භය මෙසේ විස්තර කලේය. “වරාය කම්කරුවන් අතර පුද්ගලීකරනයට එරෙහිව බරපතල විරුද්ධත්වයක් වැඩී තිබුනා. වරාය අධිකාරියට තිබුන බොහෝ කොටස් මේ වන විට චීන හා වෙනත්  සමාගම් වලට පවරා දී අවසන්. ඉන් රැකියා දහස් ගනනක් අහෝසි වුනා. නැ‌ගෙනහිර පර්යන්තයට පැමිනි දොඹකර තුනක් ගොඩබෑමට ඉඩ නොදීම නිසා නැගෙනහිර පර්යන්තය ඉන්දියානු හා ජපාන සමාගම් වලට පැවරීමට පසුගිය ආන්ඩුව කාලයේ ඇති කරගෙන තිබුන ගිවිසුම ක්‍රියාත්මක කරන බවට කම්කරුවන් අතර නොසන්සුන් තත්වයක් වැඩී ගියා. ජපාන සමාගම පසුව මෙම ගිවිසුමෙන් ඉවත්වූ බව වාර්තා වුනා. කොරෝනා වසංගතය පාවිච්චියට ගනිමින් කම්කරුවන්ගේ අතිකාල දීමනා කපා හැරීම උඩ විරෝධතාවය ඉහල යමින් තිබුනෙ.”

වහාම දොඹකර ගොඩබෑම කල යුතුයයි ඉල්ලමින්  අරගලය ආරම්භ කරේ පොදුජන පෙරෙමුනට සම්බන්ධ වානිජ කර්මාන්ත හා ප්‍රගතිශීලී සේවක සංගමය බවත්, එසේ කිරීමට ඔවුනට සිදුවුනේ, කම්කරුවන්, සමිතිවල ආධිපත්‍යයට පිටින් අරගලයට පිවිසෙතැයි යන භීතිය නිසා බවත් ඔහු තවදුරටත් පැවසීය. 

“අපිට කිසිම විශ්වාසයක් තිබුනෙ නැහැ පොදුපෙරමුන සමිතිය ආරම්භ කල අරගලය පිලිබඳව. වෘත්තීය සමිති නායකයො කීපදෙනෙක් දොඹකර උඩ නැග උපවාස කලා. මෙම දොඹකර ගොඩබාන්න ඉඩදීමත් සමග එම අරගලය අවසන් වුනා.”

නමුත් දොඹකර ක්‍රියාත්මක කිරීමට ඉඩ නොලැබුනු බැවින්, කම්කරුවන්ගේ විරෝධය වැඩෙන්නට වූ බවත්, සමිති 23ක් ඒකාබද්ධව රැස්වීමක් පවත්වා නිහඬ සත්‍යග්‍රහය ආරම්භ කල බවත් ඔහු පැවසීය.

“දේශපාලන පක්ෂ වලට, එනම් පොදු පෙරමුන, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුන  යනාදියට සම්බන්ධ සමිති ප්‍රධාන වුනා. මම සම්බන්ධ සමුද්‍ර නිලධාරීන්ගේ සංගමයත් කට වචනයෙන් සහයෝගය දුන්නා. නැගෙනහිර පර්යන්තය පුද්ගලිකරනය නොකරන බවට ජනාධිපතිවරයාගෙන් ලිඛිත පොරොන්දුවක් ලබා ගැනීම තමයි ඔවුන්ගෙ ඉල්ලීම වුනේ.”

කම්කරුවන් බොහොමයක් සමිති නායකත්වය විශ්වාස නොකල බවත්, ඔවුන් අරගලය තම අතට ගත් බවත් ඔහු පැවසීය. “වරාය තුල ගමන්මාර්ග වසා දැමීමත් සමග සියලුම අංශවල වරාය කම්කරුවන්  කමැත්තෙන්ම වැඩ නතර කලා. කම්කරුවො වරාය භූමිය තුලත් ඉදිරිපස මහ පාරෙත් පිකට් පෙලපාලි හා විරෝධතා දැක්වූව.”

ලෝසවෙඅ වාර්තාකරුවෙකු මෙසේ පැහැදිලි කලේය: “වරාය තුල සියලු ශ්‍රේනිවල කම්කරුවන් සම්බන්ධවීම වැදගත් ඉදිරි පියවරක්. නමුත් කම්කරුවන්ට සටන ඉදිරියට ගෙනයාමට ස්වාධීන දේශපාලන වැඩපිලිවලක් නොතිබීමයි ප්‍රශ්නය”

මෙම සටන ඉදිරියට ගෙන යා හැකි වනුයේ, ලංකාව තුලත් ලෝකය පුරාමත් කම්කරු පන්තිය ඒකාබද්ධ කර ගනිමින්, ලෝක ධනවාදයට එරෙහිව ගෙනයන අරගලයකින් පමනක් බවත්,  එය ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනක් බවත් වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. 

“කම්කරුවන් වෘත්තීය සමිති වලින් බිඳී, ඉහත වැඩපිලිවෙල යටතේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගනිමින් සංවිධානය විය යුතු බවද” ඔවුහු තව දුරටත්  පෙන්වා දුන්හ.

ඔහු නැවතත් මෙසේ කීවේය: “මේ වේලාවෙ තමයි වෘත්තීය සමිති අගමැති හමුවුනේ. ලිඛිත පොරොන්දුවක් නොමැතිව සටන නතර නොකරන බවට පරසක්කල ගැසූ නායකයො, අගමැති රාජපක්ෂ නැගෙනහිර පර්යන්තය පවරා නොදෙන බව කට වචනෙන් පැවසීමත් සමග, සටන පාවා දුන්නා.” ඔහු තව දුරටත් කියා සිටියේ සටන පාවාදීම සම්බන්ධයෙන් කම්කරුවන් අතර බරපතල විරෝධයක් ඇති බවයි. 

වරාය කම්කරුවන්ගේ අරගලය සම්බන්ධයෙන් තමා “බිය නොවන” බවට ජනාධිපති රාජපක්ෂ, අගෝස්තු 1 දින, කල ප්‍රකාශය ගැන විමසූ විට ඔහු කියා සිටියේ, 

ආන්ඩුවේ මෙම වැඩ කටයුතු නතර නොවන බව ඉන් පැහැදිලිවන බවයි. 

වෘත්තීය සමිති නායකයන් ආන්ඩුවේ උවමනාවන් වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටි ඔහු කම්කරුවන් සමාජවාදී වැඩපිලි‌වෙල යටතේ ස්වාධීනව සංවිධානය වියයුතු බවට සසප කරන යෝජනාව පිලිගන්නා බවද ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තිය උගන්වා ගැනීමේ අපහසුතාවය බවද කියා සිටියේය.

ධනේශ්වර ක්‍රමය ලෝක පරිමාන අර්බුදයකට පත්ව ඇති බවත් කොරෝනා වසංගතය ලොව පුරා පාලනය කර ගත නොහැකි මට්ටම් වලට ගමන් කිරීමත්, කම්කරුවන්ගේ රැකියා සහ වැටුප් කප්පාදුව යනාදී ප්‍රශ්නයන්ට කම්කරු පන්තිය මුහුන දෙන තත්වයේදී කම්කරු පන්තියේ පැන නගින අරගල හා වෘත්තීය සමිතීන්හි පාවාදීම් කම්කරු පන්තියේ විඥානය ඉහල දැමීමේ කොන්දේසි වර්ධනය කරන බවත් වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. 

ස්වාධීන වරාය සේවක සංගමයේ සංවිධායකවරයෙකු ලෙස ක්‍රියා කරන කම්කරුවෙක්, අනිකුත් සමිතීන්ගේ බලකිරීම යටතේ තම සමිතිය පාවාදීමට යටත්වූ බව මුලදී කියා සිටි නමුත් පසුව සියලුම සමිති එක්ව හවුලේ පාවා දුන් බව පිලි ගත්තේය. වාර්තාකරුවන් පෙන්වා දුන්නේ, ධනේශ්වර ක්‍රමය තුල විසඳුම් ඇතිබව කියමින්, වෘත්තීය සමිති කම්කරුවන් ආන්ඩුවේ ප්‍රහාර වලට යටත්කිරීමේ වැඩකටයුතුවල නියැලෙන බවය.

ඔවුනගේ සටනට “ආධාර කිරීම සඳහා” යැයි කියමින් බෞද්ධ භික්ෂූන් ගේ පැමිනීම ගැන ඔහුට තිබුනේ ව්‍යාකූල අදහසකි. වරාය භූමියට ගිය, සිංහල-බෞද්ධ අන්තවාදී “සිංහල රාවයේ” ප‍්‍රධාන ලේකම්, පාහියංගල ආනන්දසාගර භික්ෂුව යත්න දැරුවේ කම්කරුවන් ඉන්දියානු විරෝධයකට යටත් කිරීමට සහ එමගින් ඔවුන් ජාතික සහ වාර්ගික රේඛාවන් ඔස්සේ බෙදා වෙන්කිරීම සඳහා බව ලෝසවෙඅ වාර්තාකරුවන් පෙන්වාදුන්හ. 

ශ්‍රී ලංකාව තුල 1948 ඊනියා නිදහස ප්‍රකාශයට පත්කිරීමේ සිට, ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය යටතේ සංවිධානය වී සිටි සිංහල දෙමල කම්කරුවන්ගේ ඒකාබද්ධ අරගලයක් වැලැක්වීමේ අරමුනෙන් ඔවුන් භේද කිරීම උදෙසා වතු කම්කරුවන්ගේ පුරවැසි අයිතිය අහෝසි කල බවත්. සිංහල භාෂාව තනි රාජ්‍ය භාෂාව ලෙසත්, 1972 දී බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් ස්ථාපිත කල බවත් වාර්තාකරුවෝ පෙන්වා දුන්හ. 

ඔහු වහාම කියා සිටියේ කම්කරුවන් මූලික වශයෙන් විරෝධය දක්වන්නේ පුද්ගලීකරනයට බවයි. ඉන්දියාව පිටු පසින් ඇමරිකාවේ හස්තය පවතින බව දන්නා බවත් ඔහු කියා සිටියේය.

“නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම්, වරාය අධිකාරිය යටතේ ඇරඹීම ඉන්දියාවේ හා ඇමරිකාවේ උදහසට හේතුවිය හැකි බැවින්, එයට ඉඩදිය නොහැකි” බව, අගමැති රාජපක්ෂ   කල ප්‍රකාශය ගැන විමසූ විට ආන්ඩුව චීනය සමග හෝ ඉන්දියාව සමග පෙල ගැසී ඇමරිකාවේ යුද සැලසුම් සඳහා ලංකාව යටත් කරන බව ඔහු කියා සිටියේය.

ඉන්දියානු සාගර කලාපයේ චීනයට එරෙහිව වොෂින්ටනය ගෙනයන යුද සූදානමේ, ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස සිටින නවදිල්ලිය, කොලඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉල්ලා සිටින්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ භූ-මූලෝපායික අවශ්‍යතාවයන්ගේ කොටසක් ලෙස බව පැහැදිලි කරමින් පුද්ගලීකරනයට එරෙහිව හා යුද සූදානමට එරෙහිව කම්කරු පන්තිය ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙල යටතේ සටන් වැදිය යුතු බව පෙන්වා දුන් විට ඔහු ඊට එකඟතාවය ප්‍රකාශ කලේය. තවත්  කම්කරුවන් කිහිපදෙනෙකු එක්කර සාකච්ඡාවකට ආරාධනා කරන බවටද ඔහු පොරොන්දු විය.

කොලඹ වරායේ දිගු කාලයක සිට සසප සමග සම්බන්ධතා පවත්වන ජය බහාලූම් පර්යන්තයේ සේවකයකු  සාකච්ඡාවට සම්බන්ධ වෙමින් කියා සිටියේ වරාය අරගලය වඩවඩාත් සසප ඉදිරිපත් කරන වැඩපිලි‌වෙලේ නිවරැදි බව තහවුරු කර ඇති බවය. 

ලාභය සඳහා වන ධනේශ්වර ක්‍රමය තුල කම්කරුවන්ට විසඳුම් ලබා ගත නොහැකි බව පැහැදිලි යැයි ඔහු පැවසීය. ඇමරිකාවේ යුද මෙහයුම්  සඳහා ලංකාවේ වරාය වැදගත් බවද මෙම බරපතල ප්‍රශ්න පිලිබඳව වෘත්තීය සමිති කම්කරුවන්ට පැහැදිලි නොකරන බවද කියා සිටි ඔහු සමාජවාදය පිලිබඳව කම්කරුවන්ගේ විඥානය ඉහල දැමීමට ක්‍රියා කල යුතු බවද කියා සිටියේය.

Loading