පිලිපීනය දකුනු චීන මුහුදේ යුද අභ්‍යාස වලට සම්බන්ධ නොවේ

මෙම ලිපිය අගෝස්තු 11දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

“අපේ වෙරලට සැතපුම් 12 අභ්‍යන්තරයේ පිහිටි ජාතික ජලයේ හැර දකුනු චීන මුහුදේ අභ්‍යාසවලට සම්බන්ධ නොවිය යුතු” බවට ජනාධිපති රොඩ්රිගෝ  දුතර්තේ ස්ථාවර නියෝගයක් නිකුත් කර ඇති බව අගෝස්තු 3 වන දින ෆිලිපීන ආරක්ෂක ලේකම් ඩෙල්ෆින් ලොරෙන්සානා ප්‍රකාශ කලේය. මෙම නියෝගය ලබා දී ඇත්තේ, කලාපයේ “ආතතීන් මත පියන වැසීමේ” උත්සාහයක යෙදෙමින් බව ලොරෙන්සානා  පැවසීය.

අර්බුදකාරී මුහුදු ප්‍රදේශයෙහි ඇමරිකානු නාවික යුද අභ්‍යාස වලට ෆිලිපීනය සම්බන්ධ නොවට බවට දුතර්තේ නිවේදනය කර ඇත්තේ, චීනය සමඟ යුද්ධයකට සූදානම් වීමේ, වොෂින්ටනයේ ව්‍යායාමය උත්සන්න වෙමින් තිබියදීය. එක්සත් ජනපද ආන්ඩුව COVID-19 වසංගතය සාපරාධී ලෙස අව පරිහරනය කිරීම නිසා ඇතිව තිබෙන පුපුරන සුලු සමාජ අර්බුදය පාලනය කිරීමේ උත්සාහයක යෙදෙමින් වොෂින්ටනය, න්‍යෂ්ටික බලවතුන් දෙදෙනෙකු අතර යුද්ධයක අද්දරට ලෝකය ඇද දමනු ලැබීය.

මිලිටරි හා ආර්ථික පියවරයන් යොදාගෙන එක්සත් ජනපදය, බීජිනයේ පාලන තන්ත්‍ර වෙනසක් ඇති කිරීමට උත්සාහ කරයි. පසුගිය මාසය පුරා වොෂින්ටනය, ඔත්තු බැලීම, හූස්ටන් කොන්සල් කාර්යාලය වසා දැමීම, චීන සමාජ මාධ්‍ය යෙදුම් තහනම් කිරීම සහ කැබිනට් නිලධාරියෙකු තායිපේ වෙත යැවීම වැනි ප්‍රකෝපකාරී පියවර ගනිමින් චීනයට චෝදනා නැඟීය. 

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ජුලි 23 වන දින ප්‍රකාශ කලේ, එක්සත් ජනපදය, “මධ්‍යස්ත” ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවයි. එයින් ඇඟවෙන්නේ එක්සත් ජනපදය පාලන තන්ත්‍ර වෙනසක් සඳහා චීනය සමඟ සෘජු ගැටුමක පැටලී සිටින බවයි.

පොම්පියෝ ජූලි 13 දා  කල නිවේදනයට අනුව එක්සත් ජනපදය රටේ නාවික සැතපුම් 12 ක භෞමික සීමාවෙන් ඔබ්බෙහි සියලු චීන සමුද්‍රීය හිමිකම් ප්‍රතික්ෂේප කලේය. දකුනු චීන මුහුදේ සියලු චීන හිමිකම් පෑම් “නීති විරෝධී” යැයි ඔහු හෙලා දුටුවේය.

පොම්පියෝ සිය ප්‍රකාශය පදනම් කරගත්තේ, බීජිංහි භෞමික හිමිකම් ප්‍රතික්ෂේප කල, මුහුදු නීතිය පිලිබඳ ජාත්‍යන්තර විනිශ්චය සභාවේ (අයිටීඑල්ඕඑස්) 2016 බේරුම්කරන තීන්දුව මත ය. හේග් හි නඩුව එවකට ජනාධිපති බෙනිග්නෝ ඇක්විනෝ III යටතේ පිලිපීනය විසින් පවරන ලද නමුත්, තර්ක වොෂිංටනයේදී ඉදිරිපත් කරන ලද අතර ඒවා එක්සත් ජනපද නීතිඥයින් විසින් හරඹ කරන ලදී.

2016 ජූලි මස මැද භාගයේදී තීන්දුව ලබා දෙන විට දුතර්තේ බලයට පත්වුනා පමනි. තම යෝජිත යටිතල පහසුකම් ආයෝජන වෙනුවෙන් අරමුදල් සැපයීම සඳහා බීජිනය සමඟ වැඩිදියුනු ආර්ථික සබඳතා ඇති කර ගැනීමට අපේක්ෂා කල ඔහු, තීන්දුවේ වැදගත්කම අවතක්සේරු කල අතර, දකුනු චීන මුහුද පිලිබඳ චීනයේ ප්‍රකාශයන්ට එරෙහිව ආක්‍රමනික පියවර ගැනීම ප්‍රතික්ෂේප කලේය.

වොෂින්ටනය සතුව චීනයට එරෙහිව පරෙස්සමින් සකස් කරන ලද නෛතික කඩතුරාවක් ඉතිරිව තිබුන ද  සේවාදායක රාජ්‍යයක් නොමැතිව ඒ අනුව කටයුතු කල නොහැකි ය.

වොෂින්ටනය ජුලි 22 වන දින චීනයේ ප්‍රකාශය “නීති විරෝධී” යැයි ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පිලිපීන විදේශ කටයුතු ලේකම් ටියෝඩෝරෝ ලොක්සින්, දකුනු චීන මුහුද චීනය සහ පිලිපීනය අතර “සහයෝගීතාවයේ මාවතක්” ලෙස සඳහන් කලේය. කුඩා සමුද්‍ර “භුමියක්” පිලිබඳ භෞමික ආරවුල දෙරට අතර ගැටලුවක් කර නොගත යුතු බව පැවසීය. ඔහු එය විස්තර කලේ සමුද්‍ර මාවතේ හමුවන “ගල් කැටයක්” ලෙස ය.

මැනිලා හි චීන තානාපති හුවාං සිලියැන්ග් විසින් ලොක්සින්ගේ සූත්‍රගත කිරීම පිලිගෙන ප්‍රකාශයක් නිකුත් කල අතර, ලොක්සින් ට්වීට් පනිවිඩයකින් ඊට ප්‍රතිචාර දැක්වූයේ, “බේරුම්කරන එකඟත්වය, සම්බන්ධයෙන් එකඟ නොවීමට එකඟ වන්න. ශිෂ්ඨ සම්පන්නයි ” යනුවෙන් පවසමිනි.

එක්සත් ජනපදය පැහැදිලිව නම් නොකර හුවාන්ග්, මැනිලා සහ බීජිං අතර සබඳතාවලට ඇති අභියෝග ගැන කතා කලේය. “සීතල-යුද මානසිකත්වයෙන් හෙම්බත් වී සිටින සමහර සුපිරි බලවතුන් හැකි සෑම ආකාරයකින්ම චීනය පාලනය කිරීමට හා පීඩාවට පත් කිරීමට පෙලඹවීම, කලාපීය රටවල් අතර අසමගිය වැපිරීමට උත්සාහ කිරීම සහ පැති තෝරා ගැනීමට පවා ඔවුන්ට බල කිරීම” යනුවෙන් ඔහු පැවසීය.

පසුගිය සිව් වසර තුල මැනිලා පාලනය ගෙන තිබෙන ස්ථාවරය, නීතිමය සම්මතයන් සහ දකුනු චීන මුහුදේ “යාත්‍රා කිරීමේ නිදහස” ආරක්ෂා කරන්නෙකු ලෙස වොෂින්ටනයේ මවාපෑමට මුළුමනින්ම වලකපන්නකි.

දකුනු චීන මුහුද යනු, ලෝකයේ අධික ලෙස ගමනාගමනයේ යෙදෙන සාගර ප්‍රදේශයකි. මෙම මුහුදු කලාපයේ යාත්‍රා කිරීමේ නිදහසට ඇති එකම තර්ජනය වන්නේ යුද්ධයේ ආසන්න අවදානමයි, එය වොෂිංටනයේ නොසැලකිලිමත් ආක්‍රමනිකත්වයේ සෘජු ප්‍රතිපලයකි.

වසර ගනනාවක් තිස්සේ වොෂින්ටනය, දකුනු චීන මුහුදේ සිය මිලිටරි උපාමාරු ගෙනගොස් ඇති අතර, ඒ සෑම එකක්ම “නිදහස” සහ කලාපයේ කුඩා රටවල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා බව පවසමිනි. එමඟින් සිදුව ඇත්තේ, ලෝකය විනාශකාරී යුද්ධයකට සමීප කිරීමයි.

දැන්, අයිටීඑල්ඕඑස් නඩුවේ නිල නෛතික හිමිකරු වන මැනිලාව, චීනය සමඟ “එකඟ නොවීමට එකඟ” වීමට උත්සාහ කරන විට, වොෂින්ටනය නිවේදනය කරන්නේ, ආරවුලට සම්බන්ධ ඕනෑම නළුවෙකුට කුමක් අවශ්‍ය වුනත්, එක්සත් ජනපදය චීනයේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බවත් තුවක්කුවෙන් “නිදහස” ක්‍රියාත්මක කරන බවත්ය. 

පසුගිය සති කිහිපය තුල වොෂින්ටනය, මතභේදාත්මක දකුන චීන මුහුදේ, ගුවන් යානා හාරක ප්‍රහාරක නෞකා දෙකක් සම්බන්ධ කර ගනිමින් හමුදා අභ්‍යාස පවත්වා තිබේ. යුද්ධය සඳහා මිලිටරි සූදානම බෙහෙවින් ඉහල මට්ටමකට ලඟාවී ඇත. ජූලි මාසයේදී එක්සත් ජනපදය දකුනු චීන මුහුදට විශාල ගවේෂන ගුවන් යානා 67 ක් යොදවා තිබුනි. එක්සත් ජනපද ගුවන් යානා කිහිපයක් චීන වෙරල තීරයේ ප්‍රකෝපකාරී ඔත්තු බැලීමේ මෙහෙයුම් දියත් කලේය.

ඒ අතරම, ට්‍රම්ප් පරිපාලනය තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දැඩි කර ඇති අතර එය, එක්සත් ජනපද-චීන සබඳතා සඳහා පදනම ලෙස නික්සන් සහ කිසිංගර් විසින් පිහිටුවන ලද එක් චීන ප්‍රතිපත්තියට තවදුරටත් අභියෝග කරයි. ඉරිදා එක්සත් ජනපද සෞඛ්‍ය ලේකම් ඇලෙක්ස් අසාර් තායිපේ වෙත පැමිනියේය. එමඟින් එක්සත් ජනපද කැබිනට් මට්ටමේ පලමු නිලධාරියා බවට ඔහු පත්විය.

වර්ධනය වන සමාජ නොසන්සුන්තාව චීනයට එරෙහි වොෂින්ටනයේ යුද මෙහෙයුම පිටුපස පෙලගැස්වීම සඳහා වසර ගනනාවක් තිස්සේ පිලිපීනයේ දුතර්තේට එරෙහි පාලක පන්තියේ විරුද්ධත්වය යොදාගැනීමට ඇමරිකාව උත්සාහ කර තිබේ. දුතර්තේ බීජිංහි ඉත්තෙකු බව ඔවුන්  නැවත නැවතත් කියා ඇත.

වසංගතය පාලනය කිරීමට ආන්ඩුවේ අත්තනෝමතික බවේ සහ නොහැකියාවේ ප්‍රතිපත්තිවල  ප්‍රතිපලයක් වශයෙන් COVID-19 වසංගතයෙන් රට විනාශ වෙද්දී ඔවුන් මෙම වාචාලකම තියුනු ලෙස තීව්‍ර කර ඇත. වොෂින්ටනයේ නායකත්වය අනුගමනය කරමින් බලධාරීන් ඒ සම්බන්ධයෙන් චීනයට දොස් පවරන අතර, චීනය සමඟ යුද්ධයකට එලඹීමට අකමැති වීම ගැන ඔහු හෙලා දකී. ෆැසිස්ට් දුතර්තේට දකුනෙන් පහර දෙනු ලබයි. 

ඔවුන් වැරදි අර්ථකථන භාෂාව භාවිතා කරමින් චීනයට පහර දීමට අකමැති බව පවසන සමාජ මාධ්‍ය පලකිරීම් ගනනාවකදී ඔහු “පිටකොන්දක් නැති” අයෙක් ලෙස විස්තර කර තිබේ.

හිටපු සෙනෙට් සභික ඇන්ටෝනියෝ ට්‍රිලන්ස් ප්‍රකාශ කලේ, දකුනු චීන මුහුදේ ඒකාබද්ධ අභ්‍යාසවල නිරත නොවන ලෙස දුතර්තේ නිකුත්කර තිබෙන නියෝගය, “බටහිර පිලිපීන මුහුදේ චීන විදේශ ප්‍රතිපත්තියට පිලිපීනය සහයෝගය දක්වන බවට පැහැදිලි සාක්ෂියක්” බවයි. බටහිර පිලිපීන මුහුද යනු මතභේදාත්මක දකුනු චීන මුහුදේ පිලිපීනය හිමිකම් කියන කොටස පිලිබඳ ජාතිකවාදී පැහැදිලි කිරීමයි.

ට්‍රිලන්ස් තවදුරටත් කියා සිටියේ, “දුතර්තේ පාලනය චීනයට දුන් පනිවිඩය නිසැකයෙන්ම දනගැසීමකි.” සැලකිය යුතු කරුනක් නම්, 2003 සහ 2007 දී බහුවිධ හමුදා කුමන්ත්‍රනයන්හි නායකයා ට්‍රිලන්ස් වීමය.

පිලිපීනය වොෂිංටනයේ කලින් පැවති යටත් විජිතයකි. එක්සත් ජනපදය සියවසකට වැඩි කාලයක් තිස්සේ තමන් අපේක්ෂා කල ඕනෑම භූදේශපාලනික අරමුනක් සඳහා ෆිලිපීනය සහ එහි කීකරු නායකයින් යොදාගෙන තිබේ. ලක්ෂ සංඛ්‍යාත එක්සත් ජනපද භට පිරිස් ක්ලාක් ගුවන් කඳවුරේ සහ සුබික් නාවික කඳවුරේ රැඳී සිටියහ. පිලිපීනයෙන් ගුවන් ගත වූ යානා වලින් වොෂින්ටනය ඉන්දුනීසියාවට හා වියට්නාමයට බෝම්බ හෙලීය. චීනය සමඟ වොෂින්ටනයේ යුද සැලසුම් වලදී පිලිපීනය වැදගත් තැනක පිහිටා ඇත. පෙන්ටගනයට අවශ්‍ය වන්නේ එහි කඳවුරු නැවත ලබා ගැනීමයි.

ජුලි මාසයේ දී සිය රාජ්‍ය දේශනය අතරතුර, “මම කොහේ හරි කියෙව්වා… ඇමරිකානුවන් නැවත සුබික් වෙත පැමිනීමට අදහස් කරන බව” දුතර්තේ ප්‍රකාශ කලේය. එක්සත් ජනපද හමුදා කඳවුරු නැවත රට තුල පිහිටුවීමට තමා ඉඩ නොදෙන බව ප්‍රකාශ කල ඔහු, “ඔබ මෙහි කඳවුරු ඇරඹුවොත්, යුද්ධයක් ඇවිල යාමේදී පිලිපීන ජාතිය වඳ වී යාම සහතික වනු ඇත.”

Loading