ඉදිරිදර්ශන

කොරෝනා වෛරස් වසංගතයේ මාසයක්: ආසාදන මිලියන 7.2ක් සහ මරන 165,000ක්

මෙම ලිපිය අගෝස්තු 04 වැනි දා ඉංගිරිසි බසින් පල විය

කොවිඩ්-19 රෝගය ලෝක ජනගහනය පුරා පැතිර යද්දී, ජූලි මාසය දැනට එහි මාරාන්තික ම මාසය බවට පත් වී ඇත.

පසුගිය මාසයේ දී රෝගය පුද්ගලයන් මිලියන හතකට අධික ගනනකට වැලඳුනේ, එම මාසයට පෙර පැවති මිලියන 4.4කට සාපේක්ෂ ව ය. පුද්ගලයන් 165,000 දෙනෙකු මිය ගියේ ඊට කලින් මාසයේ සිදු වූ මරන 139,000ට සාපේක්ෂ ව ය. සමස්තයක් ලෙස, ලොව පුරා මිලියන 18.4ක් වන පුද්ගලයන් පිරිසකට රෝගය ආසාදනය වී ඇති අතර, අද දිනය අවසන් වන විට සමස්ත මරන සංඛ්‍යාව 700,000 ඉක්මවනු ඇත.

ඉන්දියාවේ නව දිල්ලියෙහි රජයේ රෝහලක දී, ඉන්දියා-ඊස්රායල මධ්‍යස්ථ කොවිඩ්-19 පරීක්ෂන අධ්‍යයන කඳවුරක කොටසක් ලෙස ශ්ලේෂ්මල පිස්න සාම්පල ලබාගන්නා ඉන්දීය ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයෝ, 31 ජූලි 2020. (ඒපී ඡායාරූපය/මනීෂ් ස්වාරප්)

අතිශයින් ම ආන්තික සමාජ අසමානතාව සහිත ධනවත් ම ධනපති රටවන, මනුෂ්‍ය ජීවිත තුට්ටුවකට නොතකන එක්සත් ජනපදය ගෝලීය ව්‍යසනයේ කේන්ද්‍රස්ථානයයි.

ජූලි මාසයේ දී එක්සත් ජනපදය තුල නව ආසාදන ගනන මිලියන දෙකක් වූයේ, ජුනි මාසයේ අගය වූ 800,000 ඉක්මවා යමින් වූ අතර, පුද්ගලයන් 27,500කට ජූලි මාසය තුල ජීවිත අහිමි වීම තවත් මාසික වාර්තාවකි. රෝගය මෙම වේගයෙන් දිගට ම පැවතුන හොත්, මේ වසර තුල එක්සත් ජනපදයේ පුද්ගලයන් 330,000ක් මිය යනු ඇත.

“අද අපි දැක ගනිමින් සිටින්නේ මාර්තු හා අප්‍රේල් මාසවල තත්ත්වයට වෙනස් දෙයක්. එය අත්‍යසාමාන්‍ය ලෙස පුලුල් ව පැතිරී තිබෙනවා” යි සීඑන්එන්හි ඉරිදා විකාශය වන දේශාපලන සම්මුඛ සාකච්ඡා වැඩසටහන්ක වන “ස්ටේට් ඔෆ් ද යූනියන්” වැඩසටහනේ දී ධවල මන්දිර කොරෝනා වෛරස් කාර්ය සාධක බලකායේ සම්බන්ධීකාරක වෛද්‍ය ඩෙබ්රා බර්ක්ස් අනතුරු ඇඟවූවා ය. “ග්‍රාමීය හා නාගරික” යන ප්‍රදේශ දෙවර්ගය ම වසංගතය විසින් වෙලාගෙන ඇති බව ඇය එයට එකතු කලා ය.

රෝගය වේගයෙන් පැතිරෙමින් තිබෙන වැඩපොලවල් කරා, රෝගය මැඬ පැවැත් වීමකින් තොර ව කම්කරුවන් ආපසු දැක්කීමේ ධාවනයෙහි කොටසක් ලෙස,  ධවල මන්දිරය වසංගතය පාලනයට දැරූ සියලු ප්‍රයත්නයන් අත හැර දැමීමේ පුරෝකථනය කල හැකි විපාකය මෙම ව්‍යසනය යි. අප්‍රේල් මාසයේ දී, රට පුරා ප්‍රාන්ත කම්හල් යලි විවෘත කරද්දී, රට තුල තහවුරු වූ කොරෝනා වෛරස් ආසාදන මිලියනය පසුකරමින් තිබුනේ, රට තුල පමනක් හඳුනාගත් මරන සංඛ්‍යාව 58,000 දක්වා ආසන්න වෙමින් තිබිය දී ය.

“කොරෝනා වෛරස් ආසාදනවල දෙවන රැල්ලක් පිලිබඳ ව අනතුරු නලා හැඬවීම පුම්බන ලද දෙයක්” බව සති හතකට පෙර උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කලේ ය. “සැමරීමට හේතුවක්” වන “ශ්‍රේෂ්ට ප්‍රගතියක්” අත් කරගැනෙමින් තිබෙන බව ඔහු කියා සිටියේ ය. එම අවස්ථාවේ දී පරිපාලනයේ “සාර්ථකත්වය” කොවිඩ්-19 ආසාදන මිලියන 2.2ක් හා 121,000ට අධික මරන ගනනක් ජනිත කර තිබුනි.

අද වන විට, පරිපාලනයෙහි ප්‍රතිචාරයේ සැබෑ නිදර්ශනය වන්නේ, මහා පරිමාන විඳවීම හා රට පුරා සිදු වන මරන යි. එක්සත් ජනපදය තුල මිලියන 4.8ට අධික ආසාදන සංඛ්‍යාවක් තිබෙන අතර, එය ජුනි මාසය මැද තිබූ අගය මෙන් දෙගුනයකට වැඩි ය. තවත් මිනිසුන්, ගැහැනුන් හා ලමුන් 38,000 දෙනෙක් මියගොස් ඇත්තේ, ජාතික මරන සංඛ්‍යාව 159,000ට යන්තම් අඩු සංඛ්‍යාවක් කරා ගෙන එමිනි.

ආසාදන මිලියන පහක් හා 203,000කට අධික මරන සංඛ්‍යාවක් වාර්තා කොට ඇති ලතින් ඇමරිකාවේ තත්ත්වය ද ඒ හා සමාන ව දරුනු ය. වසංගතය “කුඩා උන තත්ත්වයක්” ලෙස යලි යලිත් නො තකා හරිමින් ද වසංගතය පැතිර යාමේ දී අනතුරු ඇඟවූ තම ඉහල මහජන සෞඛ්‍ය නිලධාරීන්ගෙන් දෙදෙනෙක් නෙරපමින් ද එම අනතුරු ඇඟවීම් දැනුවත් ව නො තකා හරිමින් ද සිටින ෆැසිස්ට්වාදී හායර් බොල්සොනාරෝ නායකත්වය දෙන බ්‍රසීලයේ තත්ත්වය වඩාත් ම අනතුරුදායක ය. එම රට මේ දක්වා කොවිඩ්-19 ආසාදන මිලියන 2.7ට වැඩියෙන් වාර්තා කර ඇති අතර, මේ සතියේ යම් මොහොතක දී මරන සංඛ්‍යාව 100,000 ඉක්මවනු ඇතැයි අපේක්ෂිත ය.

අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රාදෝර් නායකත්වය දෙන මෙක්සිකෝවෙන්, ආසාදන 439,000ක් හා මරන 47,000ක් වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාවන් දෙක ම රට තුල වසංගතයෙහි පැතිරීම හා මරන ගනන පිලිබඳ දැවැන්ත අවතක්සේරු කිරීම් ලෙස සලකනු ලබයි.

ඉන්දියාව තුල ද වසංගතය ඒ හා සමාන ව පාලනයෙන් පිට පැන තිබේ. හඳුනාගත් සිද්ධි මිලියන 1.8ක් පවතින එරටින්, දෛනික ව නව ආසාදන 50,000කට අධික ගනනක් වාර්තා වේ. පුද්ගලයන් 39,000 දෙනෙක් පමන මියගොස් ඇත. ජූලි 10 වැනි දා, 794,000ක් වූ ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 සිද්ධි ගනනට තවත් මිලියනයක ආසාදන එකතු වීමට ගතවූයේ දවස් 25ක් පමනි. මෙහි අර්ථය වන්නේ, රටෙහි සමස්ත සිද්ධීන්ගෙන් අඩකට වැඩි ප්‍රමානයක් හටගත්තේ පසුගිය සති හතර තුල බව යි.

ස්පාඤ්ඤය, ප්‍රන්සය හා තරමක් අඩු වසයෙන් ජර්මනිය තුල ද ආදී වසයෙන්, යුරෝපීය රටවල් තුල ද රෝගය යලි හිස ඔසවමින් පවතී. මාර්තුවේ හා අප්‍රේල් මාසයේ කොරෝනා වෛරසය යුරෝපය තුල මුල් වරට ඉස්මතු වූ විට, මෙම රටවල් තුන ම දරුනු ප්‍රහාරයකට බඳුන් වූ අතර, වෛරසය මර්දනය කිරීමේ දී එක්සත් ජනපදයට වඩා හොඳ කාර්යයක් ඒවා ඉටු කර ඇත. එහෙත් කම්කරුවන් ආපසු වැඩට ගෙන්වා ගැනීමට ඒවායේ ආන්ඩු දරන ප්‍රයත්නයන්ගේ විපාකයක් ලෙස, ආසාදිත ගනන් ඉහල යමින් පවතී. ජර්මනියේ වර්තමාන දෛනික ආසාදන ගනන 600 ඉක්මවන්නේ, ප්‍රන්සයේ හා ස්පාඤ්ඤයේ අගයන් පිලිවෙලින් 1,000 හා 2,000 ඉක්මවද්දී ය.

මෙම රෝගය ලෝකය පුරා විරැකියාව, දරිද්‍රතාව, නිවාස නැතිකම හා කුසගින්න අවුලුවමින් සිටී. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, වසංගතය හා බැඳුනු කුසගින්න සෑම මසක් තුල ම ලමුන් 10,000 දෙනෙකුගේ මරනවලට හේතු වේ.

“සියලු සිද්ධි සොයාගෙන, හුදකලා කොට, පරීක්ෂාවට බඳුන් කර හා ප්‍රතිකාර කිරීමටත්, සෑම ආසාදනයක් ම හසු කරගැනීමටත්” නො හැකි නම්, කිසිදු රටක් නියමිත කාලයට පෙර ආර්ථිකය විවෘත නොකල යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අප්‍රේල් මාසයේ දී බලගතු ලෙස අනතුරු ඇඟවී ය. එම කාලය තුල ම, එක්සත් ජනපදයේ ප්‍රධානත ම ආසාදිත රෝග විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසි, ව්‍යාපාර මෙහෙයුම් මත පනවා ඇති සීමාවන් අත්හැර දැමීම “අනවශ්‍ය වධ වේදනාවන් හා මරන” ජනනය කරනු ඇතැයි අනතුරු ඇඟවූයේ ය.

එහෙත් ඒ වෙනුවට, ධවල මන්දිරයේ පටන් රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් යන පක්ෂ දෙකේ ම ප්‍රාන්ත ආන්ඩුකාරවරුන් දක්වා වන එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය, ව්‍යාපාරවලට යලි විවෘත කිරීමට ඉඩ දෙමින් හා රෝගයේ පැතිරීමට ඉන්ධන සපයමින්, වසංගතය මර්දනය කිරීමේ ප්‍රයත්නයන් අත්හැර දැමී ය. ඇමරිකානු මූල්‍ය කතිපයාධිකාරය මිලියන ගනනකගේ මරන හා වේදනාවන් මුලුමනින් නො තකා හරී.

ධනවතුන් වෙත ප්‍රදානය කරනු ලබන ඩොලර් බිලියන නැත්නම් ට්‍රිලියන ගනන්වලට ගෙවීම පිනිස, සංගතවලට අතිරික්ත වටිනාකම දිගට ම සූරාගත හැකි වන පරිදි කර්මාන්තශාලා හා කාර්යාලවලට ආපසු යාමට කම්කරුවන්ට බල කරමින් එක්සත් ජනපදය ඇත්ත වශයෙන් ම ගෙන යන්නේ “සමූහ ප්‍රතිශක්තිකරන” පිලිවෙතකි.

ආන්ඩුවල මූලික උත්සුකය මහජනයාගේ සෞඛ්‍යය හා යහපත වෙනුවට, මූල්‍ය කතිපයාධිකාරයේ ධනය සුරක්ෂිත කිරීම වන්නා වූ සෑම රටක් තුල ම මෙය පිලිබිඹු වේ. එක්සත් ජනපදය තුල මෙම පිලිවෙත සුවිශේෂී වසයෙන් අධිකතර වේ.

කොවිඩ්-19 ව්‍යසනය යනු, එක්සත් ජනපදයෙහි කාර්මීකෘත ලෝකය තුල අතිශයින් ම නග්න ලෙස ප්‍රකාශ වන, ධනවාදයෙහි අරාජිකත්වයේ හා අතාර්කිකත්වයේ නිෂ්පාදිතය යි. දශක ගනනක් තිස්සේ සෞඛ්‍යාරක්ෂන යටිතල පහසුකම් විනාශ කිරීම, ආර්ථිකය මූල්‍යකරනය කිරීම හා කාර්මිකහරනය කිරීම ද රැකියා, වැටුප් හා සමාජ සේවාවන් විනාශ කිරීම ද එකට ගමන් කරන ඒවා ය.

ගෝලීය සහයෝගිතාව වෙනුවෙට, වෝල් ස්ට්‍රීට් ජර්නලය “සුවිශාල ආර්ථික හා දේශපාලන බලයක් දිනා දීමේ හැකියාව සහිත විද්‍යාත්මක සොයාගැනීමක් සඳහා සැපයුම් සුරක්ෂිත කර දිය හැකි භූ-දේශපාලනික බලුපොරයේ ඉහල ඔට්ටු තැබීම්” ලෙස හැඳින්වූ දෙය තුල නිරත වෙමින්, භව්‍ය එන්නතක හැකියාව තමන්ගේ ම වාසියට හරවා ගැනීමට එක්සත් ජනපදය උත්සාහ ගනිමින් සිටී.

මීට මාස පහකටත් වැඩි කලකට පෙර, පෙබරවාරි 28 වැනි දා, කොරෝනා වෛරසයට ගෝලීය ව සම්බන්ධීකෘත හදිසි ප්‍රතිචාරයක් සඳහා වන කැඳවුමක් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජාජාක) විසින් නිකුත් කෙරුනි. සමස්ත ආසාදන ගනන 100,000ක් හා මරන සංඛ්‍යාව 3,000ක් වූ ඒ අවධියේ දී, “අන්තරාය අතිශයෝක්තියට නැගීම කල නො හැක” යි හජාජාක අනතුරු ඇඟවී ය. වසංගතය නැවැත්වීමේ පියවර ගනු වෙනුවට පාලක පන්තිය කලේ, මරනවලින් හා සමාජීය විනාශයෙන් ලාබ ගරමින් තමන් ම තරවීමට සෞඛ්‍ය ව්‍යසනය උපයෝගී කරගැනීම යි.

දැන් මිලියන 18ට අධික පිරිසක් ආසාදිත ව පුද්ගලයන් 700,000ට අධික සංඛ්‍යාවක් මරුමුවට පත් ව ඇත. පුද්ගලයන් හත්ලක්ෂයක්! මෙම හායනය විසින් පවුල්, මිතුරන් හා සහෝදර කම්කරුවන් විනාශයට ඇද දැමී ය. අවසානයක් තවමත් පෙනෙන්නට නැත.

ධනවාදයෙහි සමාජ, දේශපාලනික හා සදාචාරාත්මක බංකොලොත් භාවය පිලිබඳ මීට වැඩි හෙලිදරවු කිරීමක් තිබිය නො හැක. සිදු වී ඇත්තේ කුමක් ද යන්න කම්කරු පන්තිය අමතක නො කරනු ඇත. ධනේශ්වර පද්ධතියේ වසංගතයට පෙර පැවති අර්බුදය මත ක්‍රියාකාරී වන වසංගතය, එක්සත් ජනපදයේත් සමස්ත ලෝකය පුරාත් යෝධ විප්ලවීය කම්පනයන්ට කොන්දේසි නිර්මානය කර ඇත.

කතුවරයා නිර්දේශ කරන වෙනත් ලිපි:

The global pandemic, the class struggle, and the tasks of the Socialist Equality Party 

[1 August 2020] 

Loading