වරාය නගරයේ කම්කරුවෝ රැකියාවලින් දොට්ට දැමීමට එරෙහිව විරෝධතාවයක නියැලෙති

සකුන ජයවර්ධන
14 අගෝස්තු 2020

රැකියාවලින් දොට්ට දැමීමට එරෙහිව, වරාය නගරයේ කම්කරුවෝ සියයකට ආසන්න පිරිසක් අගෝස්තු 10 වනදා සිට දින තුනක් විරෝධතාවයේ නිරත වූහ. කම්කරුවන් විරෝධතාවයට අවතීර්න වී ඇත්තේ, ඔවුන්ට වරාය නගරයට ඇතුල් වීමට සහ පිටවීමට නොහැකි වන සේ වසා තිබෙන ගේට්ටුව විවෘත කිරීම, රජයෙන් නියම කර ඇති අවම වැටුප වන රුපියල් 14,500 හිඟ මුදල් සමග ලබාදීම සහ නැවත සේවයේ පිහිටුවීම යන ඉල්ලීම් තුන මුල් කරගෙනය.

වරාය නගරයේ කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂනය කරති.

කම්කරුවන් එකසිය පනහකට ආසන්න ගනනක් මාර්තු මස 20 වෙනිදා කොරෝනා වසංගතය හේතුවෙන් අගුලු දැමීමෙන් පසු යලිත් වැඩට කැඳවා නොමැති අතර, ජූලි මාසයේදී ඒ සම්බන්ධයෙන් විරෝධතා උද්ඝෝෂනයක් පැවැත්වීමට සූදානම් වෙද්දී, පාලනාධිකාරය කම්කරුවන්ගේ ඉල්ලීම් ලබාදෙන බවට ව්‍යාජ ලෙස පොරොන්දු වී තිබේ. එම නිසා විරෝධතාවය අත් හිටුවා ඇති නමුත් අගෝස්තු 10 වනදා කම්කරුවන් යලිත් වැඩට පැමිනෙන විට ගේට්ටු වසා ඔවුන්ට පැමිනීමට නොහැකි වන සේ අවහිර කොට ඇත.වසංගතය මධ්‍යයේ වැඩට ගෙන්නාගත් කම්කරුවන්ට ද ගේට්ටු වැසීම නිසා වැඩපොල තුල සිරවී සිටීමට සිදු ව තිබේ. 

දින තුනක විරෝධතාවයෙන් පසුව අවසානයේදී, කම්කරුවන්ට තමන්ගේ ඉල්ලීම් කිසිවක් ලැබී නොමැති අතර ගේට්ටුව පමනක් විවෘත කර ඇත.

මෙසේ දොට්ට දමා ඇත්තේ වසර දෙකත් පහත් අතර කාලයක් වරාය නගරයෙහි සේවය කරන කම්කරුවන්‍ ය. ඔවුන් රැකියාවෙහි නියැලී ඇත්තේ වරාය නගරයෙහි චයිනා හාබර් නම් සමාගමට අනුබද්ධිත උපකොන්ත්‍රාත් සමාගමකය. විරෝධතාකරුවන් පවසන්නේ මෙම උපකොන්ත්‍රාත් ආයතනය ලංකාව තුල ලියාපදිංචි වී නොමැති බවයි.

කම්කරුවන්ට පසුගිය මාස පහකට ආසන්න කාලය තුල ගෙවා ඇත්තේ මසකට රුපියල් පන්දහසකට ආසන්න සොච්චම් මුදලකි. එයද ගෙවා ඇත්තේ පඩිපත් (pay sheet) නොමැතිව ය. කම්කරුවන් චෝදනා කරන්නේ මේ හේතුවෙන් ඔවුන් කෑමබීම නොමැතිව අසරන තත්වයකට පත් වී ඇති බවයි.

වරාය නගරයේ කම්කරුවන්ගේ උද්ඝෝෂනයේ තවත් අවස්ථාවක්.

වරාය නගරයේ කම්කරුවන්ගේ මෙම විරෝධය තුල කොරෝනා වසංගතයට මුවාවී සිදු කෙරෙන රැකියා කප්පාදුව,වැටුප් කැපීම සහ වැඩ වේගවත් කිරීම ඇතුලු තමන්ගේ රැකියා හා ජීවන කොන්දේසි වලට එල්ල කෙරී ප්‍රහාරයට එරෙහිව බලගතු කෝපයක් සමුච්ඡය වී ඇත. 

අගෝස්තු 11 වනදා කම්කරු දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් පැමින සාකච්ඡා කර ඇති අතර ඒවා අසාර්ථක වී ඇත. මෙම කම්කරු විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කම්කරු දෙපාර්තුමේන්තුවට ලිපි සිය ගනනක් යැවුවද ඔවුන් “නිදි” මෙන් සිටින බව විරෝධතාකරුවෝ ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) ප්‍රකාශ කලහ.

2015 අය වැය මගින් ලබාදුන් රු. 2500 සහ 2018 වැටුප් වැඩි කිරීම පවා සමාගම මගින් මෙම කම්කරුවන්ට තවමත් ලබාදී නොමැත. ඔවුන් පවසන ආකාරයට සාමාන්‍ය කම්කරුවෙකුට ලැබෙන්නේ රුපියල් 18,000 ක පමන සොච්චම් පඩියකි. ඊපීඑෆ් සහ ඊටීඑෆ් සඳහා කපන මුදල් සම්බන්ධයෙන් ලිඛිතව කිසිවක් නොලැබෙන බව කම්කරුවෝ පවසති.

මෙහි 2000 ක් පමන සේවකයන් සිටින අතර වැසිකිලි ඇත්තේ පහකට ආසන්න ගනනකි. ඒ සම්බන්ධයෙන් පාලනාධිකාරයෙන් විමසූ විට නරුම ලෙස පවසා ඇත්තේ, පාන්දර තුනට නැගිට වැසිකිලි යන ලෙස යි.

කම්කරුවෝ විරෝධතාවයේදී තමන් මුහුන දෙන කොන්දේසි සම්බන්ධයෙන් එය වාර්තා කිරීමට පැමිනි මාධ්‍ය වෙත කෝපයෙන් අදහස් දැක්වූහ.

එක් කම්කරුවෙක් වැඩපල තුල ඇති රුදුරු රැකියා කොන්දේසි සම්බන්ධයෙන් මෙසේ අදහස් පල කලේය: මේ වැඩපලේ “අත හෝදගන්න තැනක්, පැනඩෝල් පෙත්තක් හදිස්සියකට ඇම්බියුලන්ස් එකක්, වෛද්‍යවරයෙක් නැහැ. තුවාල වුනාම පොඩ්ඩක් නවතින්න ගියාම අධිකාරියෙන් තර්ජනය කරනවා.”

ඔහු තවදුරටත් සඳහන් කලේ, වැඩි වැටුප් ගෙවා කිමිදුම්කරුවන් ලවා කරගත යුතු වැඩ, අඩු පඩියට සාමාන්‍ය කම්කරුවන් ලවා සිදු කරගන්නා බවයි. “අඩි පහ හය වලවල් වලට ඩයිවර්ස් ලා බස්සන්න ඕනේ. ඒ ගොල්ලොන්ට කලින් ගෙව්වා රුපියල් පනස් අටදාහක් විතර. ඊට පස්සෙ සාමාන්‍ය කම්කරුවොන්ට බහින්න කියලා වැඩ කරවනවා.” කම්කරුවන් එම වැඩ ප්‍රතික්ෂේප කලහොත් රැකියාවෙන් ඉවත් කරන බවට තර්ජනය කරන බව ඔහු තවදුරටත් පැවසීය.

තවත් කම්කරුවෙක් සඳහන් කලේ “කම්කරු දෙපාර්තුමේන්තුවට, අමාත්‍ය දිනේශ් ගුනවර්ධන ට, වරාය නගරයේ ව්‍යාපෘති කලමනාකාරවෙත, අනුර කුමාර දිසානායකට (ජනතා විමුක්ති පෙරමුනු නායක) ලියුම් යවා ඇති බවත් කිසිම පිලිතුරක් ලැබී නොමැති” බවයි.

ගේට්ටු වැසීම පිලිබඳව වරාය පොලීසියට පැමිනිලි කල අවස්ථාවේ, පොලීසිය විසින් අදාල චීන සමාගම වෙත දැනුම් දුන් බවත්, එම ස්ථානයට පැමිනි පාලනාධිකාරයේ නියෝජිතයින් අවම වැටුප නොගෙවන බවට සහ රැකියාවෙන් දොට්ට දමන බවට තර්ජනය කල බව තවත් කම්කරුවෙක් ලෝසවෙඅ වාර්තාකරුවන්ට පැවසුවේ ය.

ඔහු තවදුරටත් පැවසුවේ කම්කරුවන් පිටතට යෑමට ඉඩ නොදී ගේට්ටු වසාගෙන සිටියද ඉහල තනතුරු වල චීන නිලධාරීන් කැසිනෝ ක්ලබ් ආදිය සඳහා පිටත්ව යන බවයි. “මානව සම්පත් කලමනාකරු රැකියාවෙන් ඉවත් කර ඇති නිසා මේ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරියෙක් ආයතනය තුල නොමැති” බව ඔහු තවදුරටත් පැවසුවේ ය.

“මාස හයක් පේශීට් නොදී ඉඳලා කිසිම දීමනාවක් නැතුව රස්සාවෙන් දොට්ට දායිද කියලා සැකයක් තියෙනවා” යැයි ඔහු සඳහන් කලේය.

වරාය නගරයේ කම්කරුවන් මුහුන දෙන ගැටලු ඔවුන්ට පමනක් සීමාවූ ඒවා නොවේ. එය ලෝකය පුරාම කම්කරුවන්ට මුහුන දීමට සිදුව ඇති තත්වයයි. ධනපති ක්‍රමයේ අර්බුදය කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීමට ගෙනයමින් පැවති, රැකියාවලින් දොට්ට දැමීම්, වැටුප් කැපීම්, වැඩ වේගවත් කිරීම් යන සියල්ල වසංගතයට මුවා වී තීව්‍ර කර ඇත.

‍වරාය නගර කම්කරුවන් එලිපිටම අත්දකිමින් සිටින්නේ ධනපතියන් ඔවුන් කෙරෙහි දක්වන නරුම ආකල්පයයි. ඔවුහු කම්කරුවන්ට රුදුරු වැඩ කොන්දේසි පටවමින් හැකි තරම් ලාභ උපයා ගැනීමට කටයුතු කරති. තවත් ලාභ වැඩි කරගැනීමට අවශ්‍ය නම් කම්කරුවන්ගේ වැටුප් කපති. වැඩ කරන සංඛ්‍යාව අඩු කර වැඩ වේගවත් කරති. මෙවැනි වසංගත මධ්‍යයේ පවා ජීවිත අවදානමේ දමමින් කම්කරුවන් වැඩට දක්කා ගැනීමට ඔවුන් නොපැකිලෙති.

මෙම ප්‍රහාරය දියත් කිරීමට ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වෘත්තීය සමිති ද කරබදු වී සිටිති. වරාය නගර සිද්ධිය හරහා නැවත වරක් ප්‍රකාශයට පත් කෙරෙන්නේ වෘත්තීය සමිති සහ ආන්ඩුව සමග ඇති එකඟතාවය මත කම්කරුවන් රිසිසේ දොට්ට දැමීමට සහ වැටුප් කැපීමට  හාම්පුතුන්  අවසරය ලබාගෙන සිටින බවයි.

වරාය නගරයේ කම්කරුවන්ට තම අරගලය ඉදිරියට ගෙන යාමට ඇති ක්‍රියා මාර්ගය කුමක්ද? කම්කරුවන් දැනටමත් තමන්ගේ අත්දැකීම් හරහාම අවබෝධ කර ගනිමින් සිටින්නේ, ධනපති ආන්ඩුවලට, ඒවායේ ඇමතිවරුන්ට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, කම්කරු දෙපාර්තුමේන්තු වලට කන්නලව් කරමින් ලිපි ලිවීම නිශ්ඵල ක්‍රියාවන් බවයි. ඔවුන් මුහුන දී සිටින්නේ ගෝලීයව මහා ධනපති සමාගම්,ධනපති ආන්ඩු, ඒවායේ මර්දක උපකරන වන පොලීසි යන සියල්ලම ඒකාබද්ධව තමන්ට එරෙහිව එල්ල කර ඇති ප්‍රහාරයකටය.

මෙම ප්‍රහාරයට මුහුන දීමට නම් වරාය නගරයේ කම්කරුවන් තමන්ම හා සමාන ප්‍රහාරයට මුහුන දී සිටින අනෙකුත් කම්කරුවන් සමග ඒකාබද්ධතාවය ගොඩනගාගෙන, ප්‍ර‍හාරයේ මූලය වන ධනපති ක්‍රමයට එරෙහි අරගලයකට සූදානම් විය යුතුය. 

සමාජවාදී සමානතා පක්ෂය අප්‍රේල් 19 වනදා ලෝසවෙඅ හි පලකල  “අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ ආපසු වැඩට යාමට විරුද්ධ වනු! රැකියා විනාශය එපා!” ලිපියෙහි  සඳහන් කර ඇති ආකාරයටම කම්කරුවන් “රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව එපා! කම්කරුවන්ට සම්පූර්න වැටුප්, දීමනා සහ රැකියා අහිමිවීම් සඳහා වන්දි ලබාදෙනු” යන ඉල්ලීම් ඉදිරිපත් කල යුතුය.

මෙම ඉල්ලිම් සඳහා සටන් වැදීමට නම් වෘත්තීය සමිති වලින් ස්වාධීනව තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය වෙයි.