මුස්ලිම්-විරෝධී ප්‍රචාරයන්ට පිලිතුරුදීම හේතුවෙන් රිමාන්ඩ් කර සිටින රම්සි රසීක්ගේ ජීවිතය අනතුරේ

රාජපක්ෂ ආන්ඩුව, එහි ඒජන්තයින් සහ සිංහල-බෞද්ධ අන්තවාදීන් විසින්  දියත් කර ඇති මුස්ලිම්-විරෝධී ප්‍රචාරයන්ට පිලිතුරු දීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින, ලේඛක රම්සි රාසික්ට ඇප ලබා ගැනීමේ ඉල්ලීම, මහාධිකරන විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ, ජූලි 29 වැනිදා, විභාගයට ගැනුනි. එහි දී ඇප ලබාදීම සලකා බැලීම නැවත වරක් අගෝස්තු 20 ට කල් දමන ලදී. 

මීට පෙර, ජූලි 16 දා ද, එම විභාගය කල් දැමුනේ ඇප දීමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා තවත් දිනයක් නීතිපති විසින් ඉල්ලා සිටීම නිසා ය. අප්‍රේල් 9 වැනිදා ඔහු අත් අඩංගුවට ගත් දින සිට මේ දක්වා මෙම නඩුව නැවත නැවතත් කල් දමා ඇති අතර අගෝස්තු 20 වෙන් වී ඇත්තේ නීතිපතිගේ විරෝධතා විභාග කිරීම සඳහාය. මෙදින ද විභාගය කල් දැමීමේ නෛතික ඉඩක් ඇත. 

29වැනි දින නඩුව කැඳවනු ලැබුයේ ආබාධිතයෙකු සහ රෝගියෙකු වන රසීක් දින කිහිපයකට පෙර වැටීමෙන් සිදුවූ තුවාලවලට ද ප්‍රතිකාර ගනිමින් සිටියදී ය. ධනපති රාජ්‍ය සංස්ථාවන් ඔහුට සලකන දුෂ්ට ආකාරය, රාජපක්ෂ ආන්ඩුව විසින්, කම්කරු-පීඩිත මහජනතාවට එරෙහිව සූදානම් කරන්නා වූ මෘග ආඥාදායකත්වයක පෙර ඇඟවුමකි.

තම ආන්ඩුව මුහුන දී සිටින ගැඹුරු ආර්ථික අර්බුදයේ බර කම්කරු-පීඩිත මහජනතාවගේ උරමත පැටවීම සහ එයට එරෙහිව මතුවන මහජන කැරලිකාරිත්වය රුදුරු ලෙස තලා දැමීම සදහා ආඥාදායකත්වයක් වෙත මාරුවීම හැර රාජපක්ෂට වෙනත් විකල්පයක් නැත.   

 රසීක් අත්අඩංගුවට ගනු ලැබූයේ, ඔහු තම මුහුනු පොතේ උත්ප්‍රාසී ලෙස භාවිතා කල, “ජිහාඩ්” හෙවත් “ශුද්ධ වූ යුද්ධය” යන යෙදුමේ අර්ථය සාපරාධී ලෙස විකෘත කරමිනි. ඔහු ප්‍රකාශ කලේ දියත් වී ඇති මුස්ලිම් විරෝධී ප්‍රචාරයන්ට” මුහුන දීම සඳහා මුස්ලිම් ආගමිකයින් “චින්තන ජිහාදයකට (මතවාදී අරගලය)”කට, එනම්, “පෑන සහ කී-බෝඩය අවියක් කර ගනිමින්” සූදානම් විය යුතුය යන්නයි. කොරෝනා රෝගය පැතිරීමට මුස්ලිම් ජනයා වගකිව යුතුය යන කෙප්පය හෙලිදරව් කිරීමට ඔහු පරුෂ නොවූ නමුත් නිර්දය උපහාසයන් යොදා ගත්තේය. රම්සි රසීක් මුස්ලිම් මූලධර්මවාදයේ පැහැදිලි විරුද්ධවාදියෙකි.  

රසීක්ගේ විවේචනවලට පසු වර්ගවාදී භික්ෂූන් ඇතුලු ප්‍රකෝපකාරීහු මුහුනු පොත හරහා ඔහුට මරන තර්ජන ඇතුලු  ප්‍රහාර මාලාවක් දියත් කලහ. ඉන් පසුව “අපට  කතා කිරීමට ඉඩක් ඉතිරිව නැත. අප පැතූ නිදහස් නිවහල් රටක සේයාවක් හෝ දකින්නට නැතැ” යි ප්‍රකාශ කල රම්සි තම මුහුනු පොත් පිටුව වසා  දැමුයේය.

තමාට එල්ල වී ඇති මරන තර්ජනවලට එරෙහිව කටුගස්තොට පොලිසියට කල පැමිනිලි භාර නොගැනීමෙන් පසු රසීක්, එම තර්ජනකරුවන්ගේ නම් ද සඳහන් ලිඛිත පැමිනිල්ලක් ඊ-මේල් මගින් පොලිස්පතිට ඉදිරිපත් කලේය. එම පැමිනිල්ල කල අප්‍රේල් 9 වැනිදා සිට, ඒ පිලිබඳව පරීක්ෂනයක් හෝ ප්‍රකෝපකරුවන් අත්අඩංගුවට ගැනීමක් හෝ අද වනතුරු සිදු වී නැත.  

රහස් පොලීසිය එදින ම මහනුවර කටුගස්තොට  සිය නිවසේ දී රසීක්  අත් අඩංගුවට ගෙන කොලඹට රැගෙන ආවේ කට උත්තරයක් ගැනීමෙන් පසු ව ආපසු එවන බව පවසමිනි. ඔහුට අවශ්‍ය බෙහෙත් පවා රැගෙන යෑම වැලැක්විනි. පොලීසිය සිවිල් ඇඳුමින් සිටි අතර තමන්ගේ අනන්‍යතාවය නිවැරදි ව ප්‍රකාශ නො කලහ. නිවැසියන් සිතා ඇත්තේ ඔවුන් කටුගස්තොට පොලිසියෙන් පැමිනි අය බවය. 

රසීක් තම ලියවිලිවල ජිහාද් නම් වචනය භාවිතා කර ඇතැයි ඔවුන් ඔහුට තර්ජනාත්මක ව පවසා ඇත. පසුවදා ඔහුට සිවිල් හා දේශපාලන අයීතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුතිය (2007 අංක 56) හෙවත් අයිසීසීපීආර් හා සයිබර් අපරාධ නීති යටතේ නඩු පවරා රිමාන්ඩ් කරන ලදී. 

උසාවිය තුල දී රසීක් ගේ රෝගී තත්ත්වය දුටු මහේස්ත්‍රාත්වරයා ඔහු රෝහල් ගත කල යුතු යැයි නියෝග කලේය. එහෙත් නිලධාරීහු, මීගමුව පල්ලන්තර නිරෝධායන මධ්‍යස්ථානයේ තවත් 85 දෙනෙකු සමග, ඇඳන් සහ ආසන්න වැසිකිලි නැති,  කාමරයක බෙහෙත් සහ වෛද්‍ය සත්කාර නොමැතිව, දවස් 25 ක් රසීක් රඳවා තැබූහ. පසුව ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට යවනු ලැබිනි.

කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු ව සිටි රම්සි රසීක් වයස අවුරුදු 16 සිට රෝගී ව සිටින්නෙකි. 2017 දී ඔහු වෛද්‍ය හේතුන් මත සේවයට නුසුදුසු වී විශ්‍රාම ගන්වනු ලැබුනි.

රසීක් සහ ඔහුගේ බිරිඳ ශර්මිලා

 රසීක්ගේ බිරිඳ වන ශර්මිලාට අනුව  ඔහුගේ  පාද සුව නොවන තුවාලවලින් පෙලෙයි. නිදන්ගත ආතරයිටිස් රෝගයෙන් සහ බෙහෙත් නිසා වකුගඩුවලට, හෘදයට සහ ආමාශයට හානි සිදුව ඇත. බන්ධනාගාරයේ දී රසීක්ට අවශ්‍ය ඖෂධ ලබා දීමට නිලධාරීන් ඉඩ දී නැත. 

ඔහුට දුරකථන මගින් තම නිවසට  කතා කිරීමට ඉඩදී ඇත්තේ තුන්වරක් පමනි. එය ද   තත්පර තිහක පමන කාලයකට යටත්වය. 

මුස්ලිම් විරෝධී ව්‍යාපාරයට එරෙහිව සටන් වදින අය ත්‍රස්තවාදීන් හෝ ත්‍රස්තවාදීන්ගේ උදව්කරුවන් ලෙස හංවඩු ගැසීමට පාලක පන්තිය ක්‍රියා කරන්නේ වාර්ගික, ආගමික සහ අනෙකුත් භේද ඉක්මවා කම්කරු පන්තිය එක්සත් වීමේ තර්ජනය ගැන ඔවුන් බිය වැදී සිටින හෙයිනි.

දේශපාලන විවේචනය සහ විවේචනාත්මක සාහිත්‍යකරනය අපරාධ ලෙස අර්ථ කථනය  කිරීමට යොදා ගන්නා වූ අයිසීසීපීආර් පනත යටතේ කවරෙකුට හෝ නඩු පැවරුනුහොත්, එ සැනින් ම ලේඛකයා රිමාන්ඩ් කල යුතු ය. 

ඔහුට හෝ ඇයට ඇප ලබාගත හැක්කේ මහාධිකරනයක් ඉදිරියේ කෙරෙන දීර්ඝ සහ අධික වියදම් සහිත ක්‍රියාදාමයකින් පමනකි. ප්‍රධාන පෙලේ නීතිඥයෙකුගේ ගාස්තුව ලක්ෂ ගනනකි. නඩු කල්දැමීමට ඉල්ලීමේ අයිතිය පාවිච්චි කරමින් ආන්ඩුවට සැකකරු උපරිම කාලයක් රිමාන්ඩ් භාරයේ තැබිය හැක. නඩුවෙන් වැරදිකරු වුවහොත් වසර දහයක උපරිම සිර දඬුවමකට චුදිතයා යටවේ. 

රසීක් මෙන්ම, තම කෙටිකතාවක් මුහුනු පොතේ පලකිරීම හේතුවෙන් දඩයමට ලක්ව සිටින ශක්තික සත්කුමාර ඇතුලු අයිසීසීපීිආර් පනත යටතේ වින්දිතයින් වී ඇති ලේඛකයින්ගේ කිසි ම ප්‍රකාශයක් කිසි ම නීතියකට හෝ ලේඛන සදාචාරාත්මක චර්යාවකට එරෙහි ව නොයයි.'

මානව අයිතීන් ගැන විශ්ව ප්‍රකාශනයේ සඳහන් කෙරෙන භාෂනයේ සහ ලේඛනයේ අයිතීන් ලංකාවේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලින් රැකෙන බවත්, අයිසීසීපීආර් පනතින් ඒවා ලංකාව තුල තවදුරටත් ආරක්ෂා වන්නේය යන්නත්, මුලුමනින්ම වංචනික ය.  

එම විශ්ව ප්‍රකාශනයේ ඇති අයිතිවාසිකම් කිසිවකුට අහිමිවන අයුරින් එය අර්ථ නිරූපනය කිරීම හෝ ක්‍රියාත්මක කිරීම නොකල යුතුය යන නිර්දේශය ද ධනපති පාලක පන්තීන් විසින් ම උල්ලංඝනය කරන්නකි. 

සැකකරුවෙකුට ඇප දීමේ අයිතිය මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කිරීම වනාහි, නඩුවක් විභාග කර තීන්දුවක් දීමට පෙර චුදිතයන්ට දඬුවම් කිරීමට ද සැකකරුවෙකු උසාවියෙන් තීන්දුවක් දෙන තුරු නිර්දෝෂී ලෙස සැලකිය යුතු ය යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝනය කිරීමට ද ඉඩකඩ සලසන පියවරකි. 

දේශපාලන විවේචන මෙන් ම විවේචනාත්මක සාහිත්‍ය-කලා නිර්මාන සමාජයෙන් තුරන් කිරීමේ ප්‍රධාන ආයුධයක් ලෙස යෙදවෙන මෙම නීතිය සමාජය තුල ඓතිහාසික ව තහවුරු ව ඇති විවේචනාත්මක සම්ප්‍රදායයන් අපරාධයන් බවට පත් කිරීමකි. 

තම ප්‍රකාශන හෝ නිර්මාන ගැන කරුනු දැක්වීමට කිසිම ඉඩක් නැති වූත් චෝදනා ඔප්පු වන තුරු ඔහු නිවැරදි කරුවෙකු ලෙස සැලකිය යුතුයැයි දැක්වෙන මූලික මානව අයිතිය ප්‍රතික්ෂේප කරමින් තමන් සිරගත කරන්නාවූත් තත්වයක් තුල කිසිම කලාකරුවෙකුට හෝ ලේඛකයෙකුට ප්‍රකාශනයේ හෝ නිර්මානයේ අයිතිය භුක්ති විඳීමට ඉඩක් නැත.

ප්‍රකාශන  අයිතිය මේ අන්දමින් අහෝසි කෙරෙද්දී ලංකාවේ සාහිත්‍යකලා ක්ෂෙත්‍රයේ වරප්‍රසාද ලත් කොටස් සහ ව්‍යාජ වාම බුද්ධිමතුන් සහ විශ්ව විද්‍යාලයන් හි, භාෂා, සාහිත්‍ය සහ ජන සංනිවේදන අංශ ද වෘත්තීය සමිති නායකත්වයන් ද මේ සම්බන්ධයෙන් නිශ්ශබ්දව සිටිති. මෙම කන්ඩායම් අධිරාජ්‍යවාදී අවශ්‍යතාවයන්වලට ගැට ගැසුනා වූත් වරප්‍රසාද හඹායන්නා වූත් කම්කරු පන්ති විරෝධී සමාජ ස්ථරයකට අයිති වන්නෝ වෙති. 

ශ්‍රී ලංකාවේ පාලක පන්තිය අද දවසේ දී පැහැදිලි පාඩමක් උගන්වයි: ධනේශ්වර ආයතන තුලින් මානව අයිතිවාසිකම් තහවුරු කිරීමේ අපේක්ෂාව භයානක ම මිත්‍යාවකි. ධනේශ්වර සංස්ථාපිතය තුල මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නා වූ හෝ සටන් කරන්නා වූ කවර හෝ බලවේගයක් නොමැත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් රැකීමේ එකම ශක්‍ය බලවේගය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තියයි.

දකුනු ආසියාවේ සියලුම පාලක පන්තීන්ට පොදු වූ පිලිවෙතක් වන මෙම ප්‍රහාරයන් වැඩිදියුනු වන සමාජ විරුද්ධත්වයන්ට තුඩු දෙමින් පවතී. මෙම ප්‍රතිරෝධී ව්‍යාපාර ජාත්‍යන්තර පරිමානව වර්ධනය වන පන්ති අරගල සමග ඒකාබද්ධ කල යුතුය. නිර්මාන සහ ලේඛන අයිතීන් රැක ගැනීමේ සටන පාලක පන්තියට - සංගත හා මූල්‍ය කතිපයාධිකාරයට - දල ආර්ථික හා දේශපාලන ජීවිතය මත එය පවත්වන ආඥාදායකත්වයට ද එරෙහිව කම්කරු පන්තිය කරන අරගලය සමඟ වෙන් කල නොහැකි පරිද්දෙන් බැඳී ඇතැයි අපි අවධාරනය කරමු.

Loading