රුදුරු සේවා කොන්දේසි වලට එරෙහිව ගම්පහ රෝහල් කම්කරුවෝ වැඩ වර්ජනයේ යෙදෙති

වැටුප් සහ දීමනා කප්පාදු වලටත් හා දුෂ්කර  රැකියා කොන්දේසි වලටත් එරෙහිව සෞඛ්‍ය සේවකයෝ දිගටම අරගලයට අවතීර්න වෙමින් සිටිති. මෙහි මෑතම වර්ධනය වනුයේ, ගම්පහ රෝහලේ හෙද කම්කරුවන් අගෝස්තු 10 සිට දින තුනක් තිස්සේ ගෙනගිය වැඩ වර්ජනයයි. 

450 ක් පමන වන සමස්ත හෙද කාර්ය මන්ඩලයම වැඩ වර්ජනයට  සහභාගී වූ අතර. ඔවුහු එම දින තුන තුල හදිසි ප්‍රතිකාර සහ  හදිසි සැත්කම් හැරුනුකොට අනෙකුත් සියලුම කටයුතු වලින් ඉවත් වී සිටියහ. මේ හේතුවෙන්, දෛනිකව සිදු කෙරෙන සායන ඇතුලු අනෙකුත් වැඩකටයුතු අඩපන විය. 

වැඩ වර්ජනයට ආසන්නතම හේතුව වී ඇත්තේ රෝහල් අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය වුවද, සෞඛ්‍ය සේවය තුල දශක ගනනාවක් තිස්සේ ක්‍රියාත්මක කොට ඇති වැටුප් හා දීමනා කප්පාදු, ඉසිලිය නොහැකි  වැඩ කොන්දේසි සහ වසංගතය මධ්‍යයේ අනාරක්ෂිතව සේවයේ යෙදවීම ආදියට එරෙහිව වැඩී ඇති විරුද්ධත්වය එය තුල ප්‍රකාශයට පත්වෙයි. හෙද අරගලයට රෝහලේ අනෙකුත් සේවකයින්ගේ සහාය හිමිවීමෙන් එය සනාථ වෙයි.

රෝහලේ හෙදියන් පවසන්නේ කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී ඇති ගමනාගමන අපහසුකම් නිසා හෙද කම්කරුවන්ට සේවයට වාර්තා කරන වේලාව පෙරවරු 7.30 දක්වා දික් කර තිබුනද, මෙම අධ්‍යක්ෂවරයා විසින් දින කිහිපයක්ම පෙරවරු 7 ට පැමිනීමේ ලේඛනයෙහි රතු ඉර ලකුනු කර ඇති බවයි. ඔවුන් පවසන්නේ ඇතැම් දින වල පැමිනීමේ ලේඛනය අත්සන් කිරීමට හෙද හෙදියන් පෝලිමේ සිටින අවස්ථාවලදීත් රතු ඉර යොදා ඇති බවයි. 

සාමාන්‍යයෙන් හෙද හෙදියන්ගේ පැමිනීම පරික්ෂා කරනු ලබන්නේ විශේෂ ශ්‍රේනියේ හෙද නිලධාරිනියක් විසිනි. අධ්‍යක්ෂකවරයා එම නිලධාරිනියගේ කාර්ය කර ඇත්තේ ඇය කාර්යාලයේ සිටින අවස්ථාවලය.

රෝහල් පාලකයන්ගේ මෙම හැසිරීම ගම්පහ රෝහලට සීමාවූවක් නොවන අතර දිවයිනේ වෙනත් රෝහල් වලින් ද මෙවන් මැදිහත්වීම් වාර්තා වෙමින් පවතී. ඒවා ගලා එන්නේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධානයන් මත ක්‍රියාවට නැංවෙන, ආන්ඩුවේ වැඩවේගවත් කිරීමේ පිලිවෙත් තුලිනි. මෙම සිද්ධීන් මගින් ඇඟවුම් කෙරෙන්නේ, ඉදිරියේදී සෞඛ්‍ය කම්කරුවන්ට දැඩි කොන්දේසි යටතේ වැඩ කිරීමට බල කෙරෙන බවත්, ඔවුනට හිමි අතිකාල දීමනා සහ වෙනත් දීමනා අහිමි කිරීම සඳහා පියවර ගැනෙන බවත්ය.

මීට පෙර මෙම මස මුලදී අවිස්සාවේල්ල රෝහලේ සෞඛ‍්‍ය කම්කරුවෝ වැටුප් ගෙවීම ප්‍රමාද කිරීම සම්බන්ධව උද්ඝෝෂනයක නියැලුනහ. පසුගිය  මාසවල මහනුවර, කුරුනෑගල, බලපිටිය ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි රෝහල් සේවකයෝ විරෝධතා වල නිරත වූහ. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ජූලි මාසයේ දින 11 ක වැඩ වර්ජනයක් දියත් කලහ. 

වෘත්තීය සමිති මෙම අරගල හුදෙකලා අරගල ලෙස සීමා කර පැවතුනද, සෞඛ්‍ය කම්කරුවන්ගේ මෙම අරගල රැල්ල පෙන්වන්නේ තමන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රහාර වලට එරෙහිව සටන් කිරීමට ඔවුන්ට ඇති අධිෂ්ඨානයයි.

සෞඛ්‍ය සේවය කප්පාදු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස, ඇතැම් හෙද විදුහල්වල සිසු හෙද දීමනාව මාස හතරක කාලයක් තිස්සේ ගෙවා නොමැත. ගෙවීමට අනුමැතිය දී ඇත්තේ දීමනාවෙන් සියයට පනහකට බවත් සමහර විදුහල්වල එය ද මේ දක්වා ගෙවා නැති බවත් පවසමින් ඔවුන් සමාජ මාධ්‍ය තුල විරෝධය පල කරති. හෙද සිසුන් කියා සිටින්නේ, මහනුවර ජාතික රෝහලක් ඉදි කිරීමට මුදල් වැය වූ හෙයින් දීමනා ගෙවීමට මුදල් නොමැති බව මහනුවර හෙද විදුහලේ අධ්‍යක්ෂවරයා පවසා ඇති බවයි.

සෞඛ්‍ය කම්කරුවන්ට වැඩ කිරීමට සිදුව ඇත්තේ පිරිහුනු සෞඛ්‍ය සේවයක් සමගය. අප්‍රේල් මාසයේ සෞඛ්‍ය ඇමතිනිය විසින් කැබිනට් මන්ඩලයට ඉදිරිපත්කල වාර්තාවකට අනුව ලංකාව පුරා වෛද්‍යවරුන් 4289 ක හිඟයක් ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සෘජුවම පවතින රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල 2249 ක ද පලාත් අමාත්‍යංශ යටතේ පවතින ඒවායෙහි වෛද්‍යවරුන් 2040 ක ද වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතී. හෙද සේවකයන් ඇතුලු අනෙකුත් කොටස් වලද පවතින්නේ මේ හා සමාන හිඟයකි.

සෞඛ්‍ය සේවයේ පවතින ඉතා සීමිත රෝහල් ඇඳන්, අල්ප වූ දැඩි සත්කාර ඇඳන්, මානව සම්පත්  හිඟය, වෛද්‍ය උපකරන හිඟය, ආරක්ෂක උපකරන  හිඟය සහ ඖෂධ හිඟය සාමාන්‍ය තත්වයකට වත් නොගැලපෙන මට්ටමක පවතී.

ලොවපුරා අනෙකුත් ධනපති ආන්ඩු අනුයමින්, රාජපක්ෂ ආන්ඩුව ද වසංගතය නිමාවී ඇති බව කියාපාමින් එහි නව ඉහල යාමකට දොර විවෘත කරමින් සිටියි. ලොව පුරා ආසාදිත සංඛ්‍යාව මිලියන 22 ට ලඟාවී ඇති අතර මරන සංඛ්‍යාව ලක්ෂ අටට ආසන්නය. ලංකාවෙන් පමනක් වසංගතය ඉවත් කිරීම පිලිබඳ කතා පතුරවන්නේ, ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය බාධාවකින් තොරව පවත්වාගෙනයාම සදහා  කම්කරුවන් අන්තරායකාරී ලෙස  වැඩට දැක්කීමේ අරමුනෙනි. 

මෙලෙස අන්තරායකාරී ලෙස රට යලි විවෘත කිරීමේ තර්ජනය සෘජුවම බලපාන්නේ සෞඛ්‍ය සේවකයන්ට ය. ආරක්ෂිත උපකරන වල දැඩි  හිඟය හේතුවෙන් තමන්ගේ ජීවිත පවා අවදානමේ තබමින් සෞඛ්‍ය සේවකයන්ට වසංගතයට මුහුන දීමට සිදුවූ අතර, රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට අනුව හෙද කම්කරුවන් කිහිප දෙනෙකුටද එම කාලයේදී වෛරසය වැලඳී ඇත. 

ලෝකය පුරා අනිකුත් ධනපති ආන්ඩු මෙන්ම ලංකාව තුල ද රාජපක්ෂ ආන්ඩුව ගැඹුරුවන ගෝලීය ධනපති අර්බුදය හමුවේ වසංගතයේ අන්තරායට කම්කරුවන්, තරුනයන් හා ශිෂ්‍යයන් ගොදුරු කරමින් සිටින අතර, අනෙක් අතට, එම අර්බුදයේ සමස්ත බර කම්කරුවන් මත පටවමින් සිටී. වැටුප් සහ දීමනා කප්පාදු ලෙසින්, සෞඛ‍්‍ය කම්කරුවන් මත එම බර පැටවෙමින් පවතී.  

සෞඛ්‍ය කම්කරුවන්ට මෙම ප්‍රහාර පරාජය කල හැකි ඉදිරි දර්ශනය සමාජවාදී සමානතා පක්යෂ ජුනි 20 වනදා, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලකල,  “රෝහල් කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සංවිධානය කරන්නේ කෙසේ ද?” යන ප්‍රකාශයෙන්  ඉදිරිපත් කෙරිනි.

එයට අනුව “සෞඛ්‍ය සේවකයන් ඇතුලු, රාජ්‍ය සහ පුද්ගලික යන දෙඅංශයේම කම්කරු පන්තියට තම අයිතීන් දිනා ගත හැක්කේ රාජපක්ෂ ආන්ඩුවට සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව කරන දේශපාලන අරගලයක් තුලින් පමනි.”

එවන් අරගලයකට උනන්දු වන සේවකයින් වෙත පහත ඉල්ලීම් ඉදිරිපත් කෙරිනි.

“රැකියා, වැටුප්, සුරක්ෂිත සේවා  කොන්දේසි හා නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම සඳහා  සටන්  කිරීමට, කම්කරු අරගල නිස්සාර විරෝධතාවලට කොටුකර ආන්ඩුවේ ප්‍රහාරයන් ක්‍රියාත්මක කිරීමට පූර්න සහයෝගය දෙන වෘත්තීය සමිති වලින් ඉවත්ව, තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් පත්කර ගනු ලබන සෞඛ්‍ය සේවකයන්ගේ ක්‍රියාකාරී කමිටු  සියලු රෝහල් වල සහ සෞඛ්‍ය ආයතන තුල පිහිටුවීම” අත්‍යවශ්‍යබව එම ප්‍රකාශයෙන් පෙන්වා දුනි.  

සෞඛ්‍ය සේවක අයිතීන් තහවුරු කෙරෙන මෙම සටන, රාජපක්ෂ ආන්ඩුවට  එරෙහි දේශපාලන  සටනකි. එනම් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස රාජපක්ෂ ආන්ඩුව විස්ථාපනය කර සමාජවාදී සැලසුම් ගත ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා කරන සටනකි.

තම අරගලය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ඉදිරි දර්ශනය සම්පාදනය කරන එකම මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිතිපතා  පරිශීලනය කරන ලෙසද, සෞඛ්‍ය කම්කරුවන් සඳහා සසප පනිවිඩ ලබා ගැනීම සදහා විද්‍යු තැපෑලට ලියා පදිංචි වන ලෙසද සියලු සෞඛ්‍ය කම්කරුවන්ගෙන්  ඉල්ලා සිටිමු.

Loading