කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ ත්‍රි රෝද රථ රියදුරෝ දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුන දෙති

කෝවිඩ්-19 වසංගතය හේතුවෙන්, නිසි සමාජ සහනාධාර සැලැස්මක් නොමැතිව, රාජපක්ෂ ආන්ඩුව විසින්  හදිසියේම රට අගුලු දැමීමේ ප්‍රතිපලයක් ලෙස කම්කරුවන් මෙන්ම ජනගහනයේ අනෙකුත් පීඩිත කොටස් වලට අතිශය දුෂ්කර තත්වයන්ට මුහුන දීමට සිදුවිය. අගුලු දැමීමේ කාලය තුල සහ එය ඉවත් කිරීමෙන් පසුවත්  පීඩාවට පත්ව සිටින ජනතාව අතර ත්‍රිරෝද රථ රියදුරන් ද වේ.

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතිය දුර්වල වීම හේතුවෙන් නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් බවට ත්‍රිරෝද රථ පත්ව ඇත. ත්‍රිරෝද රථ බොහෝ විට ගිලන් රථයක් ලෙස ද ග්‍රාමීය ජනතාව විසින් භාවිතා කරනු ලැබේ. 2004 සිට 2012 දක්වා රටතුල ලියාපදිංචි ත්‍රිරෝද රථ සංඛ්‍යාව සියයට 260 කින් ඉහල ගොස් තිබෙන බවද වාර්තා වෙයි. 

එම රියදුරන්ගෙන් බහුතරයක් ඇඳිරි නීතියෙන් වැඩිපුරම පීඩාවට පත් වූ කොලඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල ජීවත් වෙති. ඔවුන්ගෙන් බහුතරයක් නාගරික ප්‍රදේශවලට තාවකාලිකව සංක්‍රමනය වූ අය වෙති. 

ලංකාවේ ලියාපදිංචි කල ත්‍රිරෝද රථ සංඛ්‍යාව මිලියනයකට වඩා වැඩි අතර, මින් බහුතරයක් විවිධ මුල්‍ය සමාගම් වලින්, අධික පොලියට කල්බදු පදනම මත ලබාගත් ඒවාවේ.

බොහෝ අය මෙම රැකියාව තෝරා ගන්නේ ඔවුන්ට වෙනත් රැකියා සොයා ගත නොහැකි නිසා හෝ, ස්ථිර රැකියාවන් ලැබෙන වැටුප වියදම් පියවා ගැනීමට ප්‍රමානවත් නොවන අවස්ථාවන්හි දී අමතර ආදායම් මාර්ගයක් ලෙසිනි. මෙම රැකියාවෙන් ලැබෙන දෛනික ආදායම මත යැපෙන පවුල් බොහොමයක් ඇති අතර, ඔවුන්ගෙන් බහුතරයකට වාහනයේ නඩත්තු වියදම් හා කල්බදු ගෙවීමෙන් පසු ප්‍රමානවත් ඉතිරියක් ද නැත. මෙම වසංගත තත්වය තුල ත්‍රි රෝද රථ රියදුරෝ ඉන් වඩාත් ඔබ්බට ගිය දැවැන්ත දුෂ්කරතත්වයන්ට මුහුන දෙති.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුනු කාලය තුල, ආහාර බෙදා හැරීම මෙම රියදුරන්ට විකල්පයක් වූ අතර, අවසර ලබා ගත හැකි වූයේ ඌබර් සහ පික්මී  වගේම අනෙකුත් ආහාර සැපයුම්කරුවන් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධතා ඇති කර ගත් සීමිත ත‍්‍රිරෝද රථ රියදුරන් ගනනකට පමනි. අනෙක් අයට කිසිදු ආදායමක් ලබා ගැනීමට නොහැකි වූ තත්වයන් යටතේ, ගෙවිය යුතු නය ප්‍රමානය ගොඩගැසී තිබේ.

ඔවුන් වසංගත තත්වය යටතේ මෙම දුෂ්කරතාවයන්ට මුහුන දෙන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ ධනපති ආන්ඩුව, අගුලු දැමීම් කාලය තුල ත්‍රිරෝදරථ රියදුරන් ඇතුලු කුඩා ව්‍යාපාරවලින් එදිනෙදා යැපෙන දස දහස් ගනනකගේ අවශ්‍යතා සාහසික ලෙස  නොසලකා හැර, වසංගත තත්වයට මුහුන දීමට අවශ්‍ය කිසිඳු සහනාධාර වැඩපිලිවෙලක් ක්‍රියාත්මක නොකිරී ම නිසා ය. කල්බදු ගෙවීම් සඳහා රජය මාස හයක “සහන” කාලයක් ලබා දෙන බවට පොරොන්දු වුවද, එය නොලැබුනු බවත්, ප්‍රමාද වූ ගෙවීම් සඳහා ලීසිං සමාගම් ඔවුන් පසුපස එන බවත් රියැදුරෝ පැවසූහ.

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු වන ඩී.ජී. මිල්ටන් තමන් මුහුන දී ඇති දුෂ්කරතා ලෝක සමාජවාදී වෙබ් අඩවියට වාර්තා කලේය. මීට පෙර රැකියාවක් කල බවත් ඉන් පසු වෙනත් රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා, තම පුතාගේ නම යටතේ ලියාපදිංචි කර ඇති ත්‍රිරෝද රථය පැදවීම කරගෙන යන බව ඔහු පැවසී ය. “ලීසිං එකෙන් සහන කාලයක් තියෙනවා කිව්වට ගිය මාස වල පොලී එක්ක ගෙවීම අනිවාර්ය කරලා තියෙනවා. පහලොස්දාහක , විසිදහසක විතර ලයිට් බිල් සහ වතුර බිල් එකතු වෙලත් තියෙනවා” කියමින් ඔහුට වසංගත තත්වය තුල මුහුන දී ඇති ප්‍රශ්න විස්තර කලේය. 

ඉන් පසුව ඔහු ත්‍රිරෝද රථ රියැදුරු සමිති නායක සුනිල් ජයවර්ධන ගේ ඝාතනය ගැන කතා කලේය. එම සංගමයේ සාමාජිකයෙකුගේ රථය මාස තුනක කාලයක් වාරික නොගෙවීම හේතුවෙන් ලීසිං සමාගමක් විසින් පැහැර ගෙන ගොස් ඇති අතර, සිද්ධියට මැදිහත් වී  විසඳා දීමට ජයවර්ධන එම ආයතනයට ගොස් තිබේ. වාහන පැහැර ගැනීමට යොදවන මැරවර කන්ඩායම විසින්ම ආයතනය ඉදිරියේදී ජයවර්ධන ඝාතනය කරනු ලැබුනි. මෙය වසංගතයෙන් විපතට පත්වූවන්ට ආන්ඩුව පොරොන්දු වූ සහන ප්‍රදානයේ ප්‍රෝඩාකාරීත්වය හෙලිදරවු කරන සිදුවීමකි. ලීසිං සමාගම් විසින් ත්‍රිරෝද රථය පැහැරගතහොත්, ඔවුන් සහ ඔවුන්ගෙන් යැපෙන පවුල් ජීවත් වීමට නොහැකි තත්ත්වයන්ට තල්ලු කරනු ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහ බැංකුවේ ඉහල නිලධාරීන්ට කල “තර්ජනය”ට ප්‍රතිචාර වශයෙන්,  ජූලි 28 වනදා සිට මහා ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 810 ක්) ලබා දෙන බව නිවේදනය කලේය. “කුඩා නය සඳහා සියයට 80 සිට සාපේක්ෂව විශාල නය සඳහා සියයට 50 දක්වා නය සහතිකයක් බැංකුවලට ලබා දෙන බවත්, කොවිඩ්-19 බලපෑමට ලක්වූ ව‍්‍යාපාරවල කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා නය ලබා දීමට බැංකුවලට හැකි වන බවත්” මහබැංකු නිලධාරීහු සඳහන් කලහ.

ත්‍රිරෝද රථ රියදුරන් මෙන්ම අනිකුත් පීඩාවට නතුවූ ජනතාවට නිසි සහන නොලැබෙන තතු යටතේ මහා පරිමාන සමාගම් වලට සහන ලබාදීමේ මේ ක්‍රියාවලිය සහන ප්‍රදානයේ පන්තිමය ස්වභාවය ද හෙලිදරවු කරයි. 

රාගම ප්‍රදේශයේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකු වන 45 හැවිරිදි චමින්ද කුමාරසිරි තමන් මුහුන දී ඇති දුෂ්කරතා ලෝක සමාජවාදී වෙබ් අඩවියට මෙසේ වාර්තා කලේය. වෘත්තියෙන් පෙදරේරුවෙකු වුවද ලැබෙන වැඩ ප‍්‍රමානයේ අඩු කම නිසා චමින්ද කුලී  ත්‍රිරෝද රථයක් පදවයි. තමන්ට තිරෝද රථයේ නය වෙනුවෙන් මාසයකට රුපියල් 15,000ක් පමන ගෙවීමට සිදු වන බව කී ඔහු, ඇඳිරි නීතිය පනවා පැවති මාස දෙකක පමන කාලය තුල පෙදරේරු රැකියාවෙන් හෝ ත්‍රිරෝද රථයෙන් කිසිඳු ආදයාමක් ලබාගැනීමට නොහැකි වු බවත් සඳහන් කලේය. “වාහන වල ෆිනෑන්ස් වලට (වාහන නය)  මාස හයක සහන කාලයක් දෙනවා කියල ආන්ඩුවෙන් කිව්වට, දැන් දවස් කීපෙකට කලින් ඒ සමාගමෙන් කතා කරලා අපිට කියනවා හිඟ මුදල වහාම ගෙවන්න නැත්නම් වාහනේ භාර දෙන්න කියලා. ෆිනෑන්ස් එකයි, රක්ෂනයයි දෙකම එක්ක මට දැන් රුපියල් 80,000ක් විතර ඔක්කොම ගෙවන්න වෙලා” යයි ඔහු පැවසුවේය.

එක්දරු පියෙක් වන චමින්ද පවුලේ එකම ආදායම් උපයන්නා වෙයි. “පහුගිය කාලේ කිසිම වැඩක් නොතිබුනු හින්දා, මාස දෙකක ගෙවල් කුලී ගෙවාගන්න බැරුව එකතු වෙලා තියෙනවා, මගේ පුතා ගිය අවුරුද්දේ ඕ-ලේවල් (සාමන්‍ය පෙල) කරලා හොඳට පාස්, දැන් ඒ-ලෙවල් (උසස් පෙල) කරනවා, ඉස්සරහට  එයාගේ වියදම්  කරන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බැහැ.” ත්‍රිරෝද රථයෙන් ජුනි මාසයේ මුල සිට යම් ආදයාමක් උපයන්නට පටන් ගත්තත්, එමගින් ගොඩගැසෙමින් ඇති තම නය ගෙවා ගන්නට කිසිඳු හැකියාවක් නොමැති බවත්, අවම වශයෙන් වාහන නය ගෙවා ගැනීමටවත් යම්කිසි සහනයක් නොලැබුනොත් තම ජීවනෝපාය සම්පූර්නයෙන්ම බිඳ වැටී කිසිසේත්ම ජීවත් වීමට නොහැකි තැනකට තම පවුල පත්වන බවත් ඔහු පැහැදිලි කලේය. “එක දරුවෙක් ඉන්න මගේ තත්වේ මේක නම්, ලමයි කීප දෙනක් ඉන්න, ගෙවල් වල ලෙඩ්ඩු ඉන්න අය වැටිලා ඉන්න තත්වේ හිතන්න” ඔහු තවදුරටත් පැවසීය.

ත්‍රිරෝදරථ රියදුරන්ගේ ජීවනෝපායට එල්ලවී ඇති මේ තර්ජනය, කම්කරු-පීඩිත මහජන තාවගේ මූලික අයිතීන් වලට හා ජීවන තත්වයට එරෙහිව ලංකාවේ අනුප්‍රාප්තික ආන්ඩු විසින් ගෙනයන රුදුරු ප්‍රහාර මාලාවේම තවත් එක ප්‍රතිඵලයකි. 1980 ගනන් මුල සිට පැවති සෑම ආන්ඩුවක් විසින්ම ගෙනගිය රාජ්‍ය අංශයේ රැකියා කප්පාදුව, කම්කරු අයිතිවාසිකම් අහිමි කිරීම, ග්‍රාමීය ආර්ථිකය කඩා විසුරුවීම ආදී රුදුරු ප්‍රතිපත්ති නිසා ලක්ෂ ගනනක් දෙනාට ස්ථිර රැකියා වෙනුවට එදිනෙදා ආදායම් ලබන කුඩා ව්‍යාපාර වල යෙදීමට බලකෙරී ඇත. 

විශේෂයෙන්ම කොලඹ නගරයේ සහ බස්නාහිර පලාතේ, අඩු ආදායම්ලාභී පවුල් සිය නිවෙස්වලින් නෙරපා හැර එම ඉඩම් දේශීය හා විදේශීය ආයෝජකයින්ට විකිනීමේ වැඩපිලිවෙල පසුගිය මහින්ද රාජපක්ෂ ආන්ඩුව සහ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ තීව්‍ර කිරීම නිසා එම ප්‍රදේශවල කුඩා සාප්පු හිමියන් සහ වීදි වෙලෙන්දන් අති විශාල ගනනකට තම ජීවනෝපායන් අහිමි විය. ඔවුන් අතරින් බොහොමයක් දෙනා ත්‍රිරෝද රථ රියදුරන් බවට පත්ව සිටිති. ඔවුන්ට මෙම රැකියාව ද අහිමි වුවහොත්, වඩාත් අන්ත තත්වයන්ට තල්ලු කෙරෙනු ඇත.

ලංකාවේ මහා ධනපතියන්ගේ සහ ජාත්‍යන්තර මුල්‍ය ප්‍රාග්ධනයේ ලාබ අවශ්‍යතා වලට ගැට ගැසී ඇති ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව අතුලු සමස්ත ධනපති සංස්ථාපිතයටම කම්කරු පන්තියේ මෙන්ම, තිරෝදරථ හිමියන් ඇතුලු කුඩා ව්‍යාපරිකයන්ගේද මොනම මූලික ප්‍රශ්නයක්වත් විසඳීමට උවමනාවක් හෝ හැකියාවක් නැත. ඉදිරි වසර දෙක තුල ගෙවීමට නියමිතව ඇති ඩොලර් බිලියන 14කට අධික නය කන්දරාව හමුවේ, කම්කරු පීඩිතයින්ට එරෙහි ප්‍රහාර වඩාත් තීව්‍ර කිරීමට රාජපක්ෂ ආන්ඩුව තමන් සතු නව බහුතර පාර්ලමේන්තු බලයද යොදා ගනු ඇත.

අද කුඩා ව්‍යාපාරිකයන් මුහුනදී ඇති නය බර හා තම ජීවනෝපාය අහිමිවීමේ තර්ජනය පරාජය කල හැක්කේ, ලීසිං සමාගම්ද ඇතුලුව ප්‍රධාන බැංකු, මුල්‍ය ආයතන හා නිෂ්පාදන මාධ්‍ය කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කොට, කුඩා නය සියල්ල අහෝසි කරමින්, තම කුඩා ව්‍යාපාර වලින් මහජනතාවට සැපයෙන සේවා තිරසාර ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම ඔවුන්ට ලබාදීමෙන් පමනි. 

තර්ජනයට ලක්වී ඇති තම ජීවනෝපාය ආරක්ෂා කර ගැනීමට ත්‍රිරෝද රථ රියදුරන් හැරී ගත යුත්තේ කම්කරු පන්තිය දෙසටයි. තම සේවා හා ජීවන කොන්දේසි රැකගැනීමට, අරගල වලට එලැඹී ඇති වරාය, සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල හා අධ්‍යාපන යන සෑම ක්ෂේත්‍රයකම කම්කරුවන් සමග අත්වැල් බැඳ ගනිමින්, ධනපතියන්ගේ ලාභය මත නොව මහජන අවශ්‍යතා සඳහා ක්‍රියාත්මක වන කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවා ගැනීමට ඔවුන් සටන් කල යුතුය. 

Loading