ඉදිරිදර්ශන

ඩිමොක්‍රටික් ජාතික සම්මේලනයේදී කොලින් පවෙල්: ඩිමොක්‍රටිකයෝ මිලිටරිවාදය හා යුද්ධයේ පරිපාලනය සූදානම් කරති

මෙම ලිපිය අගෝස්තු 19 දා ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

සිය ජාතික සමුලුවේ දෙවන දිනයේ දී ඩිමොක්‍රටික් පක්ෂය, 2020 මැතිවරනය සඳහා ජනාධිපති අපේක්ෂක ලෙස ජෝ බිඩෙන් නිල වශයෙන්  නම් කරන ලදී. සමස්තයක් වශයෙන් ගත් කල, දින හතරක සමුලුව නීරස අදහස් හා හිස් කයිවාරුවලින් පිරුනු, දේශපාලන නාට්‍ය කලාවේ පූර්න තිර රචනයකි.

ඊයේ රැස්වීම තුල වඩාත්ම කැපී පෙනෙන අංගය වූයේ, හිටපු ජෙනරාල් කොලින් පවෙල්ගේ ප්‍රකාශ සහ බිඩෙන් හා හිටපු රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂක හා සෙනෙට් සභිකයෙකු වූ  ජෝන් මැකේන් අතර “සිතාගත නොහැකි මිත්‍රත්වය” ඉස්මතු කරන වීඩියෝවක් ඇතුලත් කිරීමට ගත් තීරනය යි.

බිඩෙන් / හැරිස් පරිපාලනයක් යුද්ධයට සූදානමක් වනු ඇතැ යි ඩිමොක්‍රටිකයෝ  අවධාරනය කලහ.

ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්ගේ පාලනය යටතේ රාජ්‍ය ලේකම් ලෙස සේවය කල පවෙල් ප්‍රකාශ කලේ, “උත්තරීතර ආඥාපති” ලෙස බිඩෙන් “අපගේ බුද්ධි අංශ කෙරෙහි විශ්වාසය තබනු ඇත”, එමෙන් ම  “ශක්තිය හා අත්දැකීම් සහිතව අපගේ විරුද්ධවාදීන්ට  එරෙහිව නැගී සිටිනු ඇත. අප වැඩට සූදානම් බව ඔවුන් දැන ගනු ඇති” බව යි.

2003 ඉරාක ආක්‍රමනය සාධාරනීකරනය කිරීම සඳහා  බුෂ් පරිපාලනය විසින් ගොතන ලද බොරු සමඟ පවෙල් සපුරාම එකමුතුව සිටියේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ 2003 පෙබරවාරි 5 වන දින පෙනී සිටි පවෙල්,  ඉරාක ආන්ඩුව “ජනඝාතන අවි” තොග රැස්කර ඇති බව ප්‍රකාශ කලේ ය. අසත්‍යයක් වූ එම ප්‍රකාශය, අසත්‍යයක් බව  ඔහු දැන සිටියේ ය. ලක්ෂ ගනනකගේ මරනයට ද මැද පෙරදිග වඩාත් දියුනු සමාජයක් විනාශ කිරීමට ද මග පෑදූ බියකරු යුද අපරාධයක් වන කෝපකාරී නොකල ඉරාක ආක්‍රමනය කිරීම යුක්ති සහගත කිරීමට ගෙනගිය බුෂ් පරිපාලනයේ උද්ඝෝෂනයෙහි උච්චතම අවස්ථාව එය විය. 

අබු ග‍්‍රයිබ් හි සිරකරුවන්ට වධහිංසා පැමිනවීම, ෆලූජා නගරය විනාශ කිරීම සහ 2005 දී හදීතා හි සිවිල් වැසියන් සමූල ඝාතනය  ඇතුලු බිහිසුනු කුරිරුකම් ගනනාවක් සමඟ ඉරාක යුද්ධය බැඳී ඇත. ආසන්න වසයෙන් සොල්දාදුවන් 4,500ක්  මරුමුවට පත්වීම හා තවත් දස දහස් ගනනක් අබ්බඝාතවීම ඇතුලු දරුනු ප්‍රතිවිපාකවලට ඇමරිකානු සමාජය ද මුහුන දුන්නේ ය.

පවෙල්ගේ ප්‍රකාශයට පෙර,  ෆැසිස්ට් කන්ඩායම් විසින් නායකත්වය දුන්, 2014 යුක්‍රේන පාලන තන්ත්‍ර වෙනසේ  මෙහෙයුම හා  එක්සත් ජනපදයේ පිටුබලය ලත් සිරියාවේ සිවිල් යුද්ධය අධීක්ෂනය කිරීමට උදව් කලා වූ හා ඔබාමා යටතේ රාජ්‍ය ලේකම් වූ ජෝන් කෙරී කථා කලේ ය. රුසියාව කෙරෙහි පරිපාලනය ප්‍රමානවත් තරම් ආක්‍රමනික නො වන බවට මිලිටරි ඔත්තු සේවා අංශ තුල පවත්නා ආකල්පය පිලිබඳව විශේෂ අවධානය යොමු කරමින් කෙරී, ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය හෙලා දුටුවේ ය. “ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තවත් අවුරුදු හතරක් අපගේ උත්සුකයන්ට දරා ගත නොහැක”යයි කෙරී පැවසුවේ ය. 

1990 දශකයේ අග යුගෝස්ලාවියාවේ යුද්ධයට ඔහු දැක්වූ සහයෝගය උපුටා දක්වමින් කෙරී, බිඩෙන්ගේ “සදාචාරාත්මක උත්සුකයන්ගේ” ශක්තිය ගැන සඳහන් කල නමුත්, ඉරාක ආක්‍රමනයට බලය පැවරීමේදී ඔහු දුන් ඡන්දය ගැන සඳහන් කිරීමෙන් වැලකී සිටියේ ය.

කෙරී පසුපසින්, බුෂ් පරිපාලනයේ සිට ඉරාකය හා සිරියාවේ යුද්ධය අධීක්‍ෂනය කරමින්  වැඩිම කාලයක් සේවය කල, බ්‍රෙට් මැක්ගක් ; ට්‍රම්ප් යටතේ යුක්‍රේනයේ එක්සත් ජනපද තානාපති වූ හා පසුගිය වසරේ (ට්‍රම්ප්ට විරුද්ධ) දෝෂාභියෝග නඩු විභාගයේ සාක්ෂිකාරියක් වූ මාරි යොවනොවිච් ; එක්සත් ජනපද ගුවන් හමුදාවේ ජනරාල් හා න්‍යෂ්ටික අවි පිලිබඳ ඉහල පෙලේ නිලධාරීයෙකු වන ජැක් වෙයින්ස්ටයින් ; සහ 2018 දක්වා නේටෝවේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් රෝස් ගොටෙමොලර් ඇතුලු රිපබ්ලිකානු හා ඩිමොක්‍රටික පාලනයන් යටතේ සිටි වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රිකයන් සමග,  රිපබ්ලිකානු චක් හේගල් ඉස්මතු කෙරෙන  වීඩියෝ ඛන්ඩයක් ප්‍රදර්ශනය කෙරුනි.

ප්‍රචාරක දැන්වීම තුල, ඔබාමා පාලනාධිකාරය යුක්‍රේනයේ කල මෙහෙයුම ගැන සඳහන් කරමින් යොවානොවිච්ගෙන් උපුටා දැක්වූ, බිඩෙන් “දැඩි දුරකතන ඇමතුම්” දී තිබූ බවත්, “සම්මේලන කාමරයේ මුලසුන දැරීමට... ඔහුට වඩා සුදුස්සෙකු නැති… ” බවත් (හේගල්) හා නිලධාරීන් විසින් අවධාරනය කරන ලදී. “ඒකාධිපතියන් සමඟ පෙම් කෙලින්නෙකු” ලෙස රුසියාව ගැන සඳහන් කරමින් ගොටෙමොලර් ද “ජාතික ආරක්ෂාවට අනතුරක්” වී ඇතැයි මැක්ගර්ක්  ද ට්‍රම්ප් විවේචනය කලහ.

පවෙල් කතා කිරීමෙන් පසුව, ඩිමොක්‍රටිකයින් විසින් එක්සත් ජනපද සෙනෙට් සභාවේ සිටි දරුනුතම යුදවාදියෙක් වූ මැකේන් සමඟ “සිතාගත නොහැකි මිත්‍රත්වය” පිලිබඳ දැන්වීම විකාශනය කරන ලදී. 2018 දී ඔහුගේ මරනයට පෙර මැකේන්, ඉරානය, රුසියාව හා චීනයට එරෙහිව ආක්‍රමන වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටියේ ය.  වෙනස් පක්ෂවල සාමාජිකයන් වූ නමුත් දෙදෙනා, එලිමහන් රාත්‍රී භෝජන භුක්ති විඳි බව මැකේන්ගේ දියනිය සින්ඩි පැහැදිලි කලා ය.

 සමුලුවේ දී කථා කිරීමට ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් හෝ ජෝන් බෝල්ටන්  ගෙන්වාගත හැකිවුනේ නම්, ඩිමොක්‍රටිකයින් වහා ඒ අවස්ථාව ඩැහැගනු ඇතැ යි යමෙකුට විශේෂයෙන් සිතෙනු  ඇත. සමහර විට  මෙවැන්නක් සිදුවීමට තවමත් ඉඩකඩ ඇත.

ඩිමොක්‍රටික් පක්ෂ උද්ඝෝෂනයේ ස්වභාවය හා ට්‍රම්ප්ට එරෙහි එහි විරුද්ධත්වයේ සම්පූර්න සැකිල්ල, ඊයේ සිදුවීම් වලින් අවධාරනය විය. ට්‍රම්ප්ට එරෙහිව “එක්සත්කම” සඳහා සමුලුවේ දී කරන ලද සියලු කැඳවීම් වල සැබෑ ආයාචනය, පාලක පන්තියේ විදේශීය උත්සුකතා සම්බන්ධයෙන්, ට්‍රම්ප් දුර්වල  ආරක්ෂකයෙකු බව ඔප්පු කර ඇතැ යි යන පදනම මත, ඩිමොක්‍රටිකයන්ට සහාය දෙන ලෙස මිලිටරිය, වෝල් වීදිය සහ රිපබ්ලිකන් පක්ෂයේ කොටස් වෙත යොමු කෙරුනි. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය පුන පුනා අවධාරනය කර ඇති පරිදි, විදේශීය ප්‍රතිපත්තිය මත කේන්ද්‍රගත වන රාජ්‍ය තුල ගැටුම, පාලක පන්තිය තුල ගැටුමකි. පසුගිය වසර හතරකට ආසන්න කාලය තුල ඩිමොක්‍රටිකයින් ට්‍රම්ප් පරිපාලනයට එරෙහි සියලු මහජන විරෝධතා මැඩපැවැත්වීමට සහ මැද පෙරදිග හා රුසියාවට එරෙහිව වඩාත් ආක්‍රමනශීලී විදේශ ප්‍රතිපත්තියක් සඳහා වූ ප්‍රතිගාමී ව්‍යාපාරය පිටුපස එය හරවා යැවීමට කටයුතු කර තිබේ.

කැරලිකාර පනත ක්‍රියාත්මක කරන බවට තර්ජනය කරමින් සහ පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතා “ත්‍රස්තවාදී” යැයි හංවඩු ගසමින් ට්‍රම්ප් ජුනි 1 දා සිය කුමන්ත්‍රන ප්‍රයත්නය දියත් කිරීම ද ඇතුලු සෑම අවස්ථාවක දී ම ඩිමොක්‍රටිකයෝ, ට්‍රම්ප්ට එරෙහි සියලු විරුද්ධත්වය මිලිටරිය හා ජනරාල්වරුන් වෙත පැවරූහ. වෝල් වීදිය හා ඔත්තු සේවා ද ඇතුලු ඔවුන්ගේ වැදගත්ම අනුග්‍රාහක කන්ඩායම එය යි.

පන්ති ප්‍රතිපත්තියේ මූලික අංග වන මිලිටරි වියදම් පුලුල් කිරීම, ධනවතුන්ගේ බදු කප්පාදු කිරීම, සංක්‍රමනිකයින්ට එරෙහි ප්‍රහාර වැනි කරුනු සම්බන්ධයෙන් ගත් විට ඩිමොක්‍රටිකයෝ, සෑම පියවරක දී ම ට්‍රම්ප්ට පහසුකම් සැලසූ අතර සහයෝගයෙන් කටයුතු කලහ.  මෙම ක්‍රියාවලියේ දී ඔවුහු, කම්කරු පන්තියට ට්‍රම්ප් පරිපාලනය විසින් එල්ල කරනු ලබන දුර දිග යන අන්තරායන් දිගින් දිගට ම යටගසා වසං කලහ.

ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය හැසිරවීම, ඉතිහාසඥයින් විසින් ලිහිලෙන් නොගනු ඇතැයි කනස්සල්ලට පත්වන,  එක්සත් ජනපද භූදේශපාලනයේ ප්‍රමුඛ ප්‍රකාශනයක් වන, ෆොරීන් ඇෆෙයාස් (Foreign Affairs) සඟරාවේ නවතම සංස්කරනය තුල, පාලක පන්තිය තුල ඇති උත්සුකයන් ප්‍රකාශ වේ. එය මෙසේ ලියයි: “වසර හතරකට ආසන්න කැලඹීමකින් පසු, රටේ සතුරෝ වඩාත් ශක්තිමත් ය, එහි මිතුරෝ දුර්වල ය, එක්සත් ජනපදය වඩ වඩාත් හුදෙකලා වී වැහැරී සිටී.”

ට්‍රම්ප්ට එරෙහි විරෝධය මිලිටරි හා බුද්ධි අංශ පිටුපස හරවා යැවීමේ ඩිමොක්‍රටිකයින්ගේ උත්සාහය, උද්ඝෝෂනයේ ආධිපත්‍යය ගනු ඇත්තා වූ ද සමුලුවේ  අවධාරනය කෙරෙන්නා වූ ද අනෙකුත් අංග,  එනම් වාර්ගික හා ස්ත්‍රී පුරුෂ අනන්‍යතා  දේශපාලනය සමග පෑහේ. ඩිමොක්‍රටික් පක්ෂ නාම යෝජනාවේ “‌ඓතිහාසික” ස්වභාවය මුලුමනින්ම පදනම් කෙරෙන්නේ, හැරිස්ගේ පසුබිම මත ය. වෝල් වීදියේ  උද්‍යෝගිමත් සහයෝගය දිනා සිටින, හිටපු අභිචෝදිකාවක් වන ඇය, ජනාධිපති වීමට නියමිත නම්, "උත්තරීතර ආඥාපති" වන්නා වූ පලමු අප්‍රිකානු ඇමරිකානු කාන්තාව බවට පත්වනු ඇත. 

2020 මැතිවරනයේ දී ට්‍රම්ප් හා ඩිමොක්‍රටිකයින් අතර තරඟය, පාලක පන්තියේ ප්‍රතිගාමී කන්ඩායම් දෙකක් අතර තරඟයකි.

තම මැතිවරන උද්ඝෝෂනයේ දී සමාජවාදී සමානාතා පක්ෂය, පන්ති අරගලයේ වර්ධනය වෙත නැඹුරු වේ. මේ වන විටත් වසංගතය, නැවත වැඩට යාමට බල කෙරී ඇති කම්කරුවන්, නැවත පාසල් වෙත යවනු ලබන ගුරුවරුන්, දරිද්‍රතාවයට ඇද දමා නෙරපා හැරීම් වලට මුහුන දී සිටින රැකියා විරහිත දස දහස් ගනනක් කම්කරුවන්ගේ සමාජ කෝපයට හේතුවී ඇත. එය දැවැන්ත ලෙස වර්ධනය වෙමින් තිබේ.

ඉදිරි සති හා මාස කැප කල යුත්තේ බිඩෙන් හා හැරිස් තෝරා පත් කර ගැනීම සඳහා නො ව සමස්ත පාලක පන්තියට හා ධනවාදී ක්‍රමයට එරෙහි දැවන්ත සමාජ හා දේශපාලන ව්‍යාපාරයක් ලෙස මෙම අරගල සංවිධානය කිරීම හා ඒකාබද්ධ කිරීම සඳහා ය.

Loading