කටුනායක වෙලඳ කලාපයේ කම්හල් යලි විවෘත කිරීමෙන් පසු ශ්‍රම සූරාකෑම තීව්‍ර කෙරේ

කෝවිඩ් වසංගතය හේතුවෙන් රට අගුලු දැමීමෙන් පසු කම්හල් යලි විවෘත කිරීමත් සමග, කටුනායක නිදහස් වෙලඳ කලාපයේ (කනිවෙක) මිනිස්බල සමාගම් ඇතුලු පුද්ගලික ව්‍යවසායකයන්  යටතේ රැකියාවල නිරත අස්ථිර කම්කරුවන් දැඩි සූරාකෑමේ කොන්දේසිවලට යටත් කර ඇත. මොවුන් අතර රැකියා අහිමිවූවන්ද, දිගටම අස්ථිර කම්කරුවන් ලෙස වැඩ කල අයද සිටිති. දෛනික  වැටුපේ සහ මාසයේ වැඩ ලැබෙන දින ගනනේ කප්පාදුවකට පොදුවේ ඔවුහු  මුහුන දෙති.

කම්කරුවන් පිරිසක් තමන් මුහුන දෙමින් සිටින අසීරු කොන්දේසි පිලිබඳව පසුගිය අගෝස්තු 14 සහ 19 දිනවල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) වාර්තාකරුවන් සමග සාකච්ඡා කලහ. ඔවුන්ගෙන්  සමහරෙක්, ත්‍රිකුනාමලය, ගාල්ල, ගම්පොල සහ නොචිචියාගම වැනි දුර බැහැර ප්‍රදේශවල සිට රැකියා සොයා ගෙන  පැමිනි අය වෙති.  

නොච්චියාගම සිට පැමිනි සේනක, 40 වියැති කම්කරුවෙකි. කලින් කාන්තා ඇඳුම් නිෂ්පාදනය කරන අයිසීඑල් ඇඟලුම් කම්හලේ වසර තුන හමාරක් වැඩකර ඉල්ලා අස්වී ඇති ඔහු දැන් මිනිස්බල කම්කරුවෙකු ලෙස එදිනෙදා රැකියාවේ යෙදෙයි. අස්වීමේ දී ඔහුට කිසිදු දීමනාවක්  ලැබී නැත. 

ඇන්ටන්  මාකස් ගේ  නිදහස් වෙලඳ කලාප හා පොදු සේවක සංගමයේ ශාඛා සමිතියක් ගොඩ නැගීමට තමන් දායක වූ බැවින් පාලකයින්ගෙන් එල්ල වූ අඩන්තේට්ටම් නිසා එම ආයතනයේ සේවයෙන් ඉල්ලා අස්වීමට බල කෙරුන බව ඔහු පැවසීය.  

වන්දියක් ඉල්ලා කම්හලට විරුද්ධව නඩුවක් දමන ලෙස මාකස් ඔහුට යෝජනා කර ඇතත්, එය  කාලය කාදමන වඩක් හෙයින් තමන් එයට එකඟ නොවූ බව ඔහු පැවසීය. කම්හලේ වැඩ කරද්දී  තමන්ට මූලික වැටුප වසයෙන් මසකට රුපියල් 15,000 ක් ද,  දීමනා  සහ අතිකාල සමග මුලු වැටුප රු. 36,000 ක් පමන ද ලැබුනු බව ඔහු කීවේය.  කම්හල වසර කිහිපයකට කලින් වසා දැමීම නිසා එහි සේවය කල සියලු කම්කරුවන්ට රැකියා අහිමි වී ඇත. 

ගමේ රැකියාවක් නොමැති නිසා  අගුලු දැමීම ඉවත් කිරීමෙන් පසු රැකියාවක් සොයා ගැනීම සඳහා ඔහු යලිත් කටුනායකට පැමින තිබේ. කම්හලක රැකියාවක් නොලද හෙයින් මිනිස් බල කම්කරුවෙකු ලෙස වැඩ කරන ඔහුට දිනකට ලැබෙන්නේ රුපියල් 800 ක හෝ  900 ක වැටුපකි.  පසුගිය මුලු මාසයටම ඔහුට උපයා ගැනීමට හැකි වී ඇත්තේ  රුපියල් 15,000 ක් පමනි. 

"ලමයි දෙන්නෙක් ඉන්නවා. බිරිඳට රක්ෂාවක් නැහැ. කුඹුරු වැඩ තියෙන දවස් වලට එයා ඒවගේ වැඩ කරනවා. ආන්ඩුවෙන් අපට කිසිම සහනයක් ලැබෙන්නෙත් නැහැ. අමාරුවෙන් කීයක් හරි උපයගෙන තමයි ජීවිත ගැට ගහ ගන්නේ. අලුත් ආන්ඩුවක් ආවා කියල අපේ ප්‍රශ්න විස‌ඳෙන්නේ නැහැ" යි ඔහු පැවසීය.   

ත්‍රිකුනාමලයේ පදිංචිකරුවෙකු වන රාජේන්ද්‍රන්, වසර 5 ක් ශ්‍රී ලංකන් එයාර් සමාගමේ  කොන්ත්‍රාත් කම්කරුවෙකු ලෙස සේවය කර ඇත. අගුලු දැමීමත් සමග ඔහුට  රැකියාව අහිමි ව තිබේ. ශ්‍රී ලංකන් සමාගමේ රැකියාව කරද්දී මාසිකව රුපියල් 21,000 ක මූලික වැටුපක් සහ දීමනා සහිත රුපියල් 45,000 ක මුලු වැටුපක් පමන ලැබුන බව ඔහු පැවසීය. දැන්  මිනිස් බල කම්කරුවෙකු ලෙස වැඩකරන ඔහුට ජුලි මාසයේ වැඩ ලැබී ඇත්තේ  දින 16 ක් පමනි.

"බෝඩිමට මාසෙකට රුපියල්  3,500 ක් ගෙවනවා. කෑමට දවසකට රුපියල් 500 ක් වියදම් වෙනවා. ලැබෙන වැටුප මදි වියදමට. අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. මෙපමන දුරක් ආවේ ත්‍රිකුනාමලේ රැකියාවක් සොයා ගන්න බැරි නිසා. එයාර් ලංකන් එකට එන්න කලින් එහි ප්‍රීමා කම්හලේ වැඩ කලා දවසකට ගෙව්වේ රුපියල් 500 යි. කාන්තා කම්කරුවෙකුට ගෙවන්නේ රුපියල් 400 යි " ඔහු සඳහන් කලේ ය.

සුමේධ

බුල්ඩෝසර් ක්‍රියාකරුවෙකු  වන මිනුවන්ගොඩ  සුමේධ සහ මේසන් වැඩ කරන මීගොඩ රුවන් යන දෙදෙනාම වැඩ බලාපොරොත්තුවෙන් දිනපතාම පිවිසුම් දොරටුව අසලට පැමිනෙති. වැඩ ලැබුනත්  දිනකට ලැබෙන්නේ රුපියල් 1,200-1,300 ක් වැනි ඉතාමත්ම සුලු මුදලක් බව සුමේධ පැවසීය.   

රුවන් මිනිස්බල කම්කරුවකු ලෙස වැඩ කරයි. අගුලු දැමීමට පෙර මසකට දින 20 ක් පමන වැඩ කල ද  පසුගිය මාසයේ  වැඩ ලැබුනේ දින 10 ක් පමනක් බව ඔහු කීවේය. ඔහුට ද දිනකට ලැබෙන්නේ රුපියල්  1,200-1,500 ක් පමන  මුදලකි. 

"මිනිස් බල කොම්පැනි යටතේ වැඩ බලාපොරොත්තුවෙන් සේවකයෝ 25,000 කට වැඩිය කටුනායක  ඉන්නවා, හරියට වැටුපක් නැහැ. සේවකයින්ගේ දුක්ගැනවිලි ගැන හාම්පුතාලා සලකන්නේ නැහැ. කම්කරුවන්ට ගෙවන්නේ රුපියල්  800 ක් හෝ 900 ක්. නමුත්  මිනිස්බල ආයතනයකට එක් කම්කරුවෙක් වෙනුවෙන්  දවසකට රුපියල්  2,000-2,500 ක් කම්හලකින් ගෙවනවා. මිනිහෙකුට ලෙඩක් දුකක් හැදුනම කිසිකෙනෙක් බලන්නේ නැහැ. රක්ෂනයක් නැහැ. අසනීපයක් හැදිල එලියට වැටුනට පස්සෙ කිසිදෙයක් ලැබෙන්නෙත් නැහැ" යි ඔහු පැවසීය.

රජය විසින් නිසි නීති පද්ධතියක් මාර්ගයෙන් මිනිස්බල සමාගම් නිසියාකාරව පාලනය හෝ අධීක්ෂනය නොකරන නිසා කම්කරුවෝ මෙම අසාධාරනකම්වලට මුහුන දෙන බව ඔවුහු සඳහන් කලහ. මේ ගැන "ඇමතිල, මන්ත්‍රීලා නොදන්නවා වෙන්න බැහැනේ. කොරෝනා වසංගතයෙනුත් වාසි ලබාගෙන තියෙන්නේ හාම්පුතාලා. වන්දි නොගෙවා කම්හල් වහනව. කම්කරුවන්ට රැකියා නැතිවෙනවා. ඒ ගැන කිසිම කෙනෙක් වග කියන්නේ  නැහැ" යි කම්කරුවෙක් පැවසීය.

මිනිස් බල සමාගම් විසින් කම්කරුවන්ට ගෙවිය යුතු නියමිත වැටුපක් රජයෙන් නියම කර නැති බවත්, ආන්ඩුව හෝ අනෙක් දේශපාලන පක්ෂ ඒ ගැන කිසිම  උනන්දුවක් නැති බවත් කම්කරුවෝ පැවසුහ.

ධනපති ආන්ඩු හෝ පක්ෂ විසින් හාම්පුතුන්ට නීති පනවා කම්කරුවන්ට සහන සැලසීමක් කරතැයි අපේක්ෂා නොකල යුතු බවත් තම අයිතීන් දිනා ගැනීම සඳහා කම්කරුවන්, හාම්පුතුන්ගේ අතකොලු වන වෘත්තීය සමිති වලින් බිඳී, තමාගේම ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් ස්වාධීනව සංවිධානය විය යුතු බවත් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා කරුවෝ ඔවුන්ට පැහැදිලි කලහ. 

ලාභය සඳහා වූ ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය  අහෝසි කල යුතු බවත් ජාත්‍යන්තර  සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ධනපති පන්ති පාලනය අහෝසි කොට සමාජවාදී ආර්ථික පිලිවෙතක් ක්‍රියාවට දමන කම්කරුවන්ගේ  සහ ගොවීන්ගේ ආන්ඩුවක්  බලයට ගෙන ආ යුතු බවත් ඔවුහු පෙන්වා දුන්හ.  

සමන්ති ගාල්ලේ පදිංචි කම්කරු කාන්තාවකි.  ඇය  වසර 3 ක් සීදුවේ ප්‍රීමා  නැමති කුකුල් මස් සැකසුම්  කම්හලක දිනකට රුපියල් 1,000 වැටුපකට සේවය කර ඇත. අගුලු දැමීමෙන් පසු ඇයට රැකියාව අහිමි ව තිබේ. රැකියාවක් සොයා ගැනීම සඳහා  කටුනායක කලාපයට පැමින සිටින ඇය මිනිස් බල සමාගමකින් ලැබෙන දෛනික රැකියාවල නිරත වෙයි. සමහර දිනවල  රෝගීන් බලා ගැනීමේ ආයතන යටතේ උපස්ථාන සේවකයකු ලෙස වැඩ කරන බවත් පැය 24 ක් එක දිගට වැඩ කිරීමෙන් පසු ලැබෙන්නේ  රුපියල්  2,000 ක වැටුපක් බවත් ඇය පැවසුවාය. 

"ගිය මාසේ මෑන් පවර් සමාගමකින් දින 10 ක් වැඩ ලැබුනා. මේ මාසේ (අගෝස්තු) තවම එක දවසක්වත් වැඩක් ලැබුනේ නැහැ. මම සීදුවට එන්න කලින් කොග්ගල කලාපේ එක්ටන් ඇපරල් ෆැක්ටරියේ වැඩ කලා. මාසයකට ලැබුනේ රුපියල් 25,000 ක් පමන වැටුපක්. අම්මයි, තාත්තයි රැකබලා ගන්නේ මම. ඒ වැටුප මදි නිසා සීදුවට ආවේ. අපේ ගෙයත් පසුගිය දවස් වල වැස්සට නාය ගියා. තවම ඒක හදා ගන්න බැරි වුනා. ආන්ඩුවෙන් වත් දේශපාලකයන්ගෙන් වත් කිසිම උපකාරයක් ලැබුනේ නැහැ. ඒ නිසා මේ සැරේ  කිසිම කෙනෙකුට මම චන්දෙ දුන්නේ නැහැ" යැයි ඇය කීවාය. 

ගම්පොල මහේෂ් මදුසංඛ  වසර එකහමාරක් පමන කටුනායක කලාපය අවට ඉදි කිරීම්වල මේසන් කම්කරුවකු ලෙස වැඩ කරයි.  අගුලු දැමීමට පෙර, දිනක වැටුප රුපියල් 1,800-2,000 ක් වූවද දැන් එය රුපියල් 1,500-1,700 දක්වා අඩුවී ඇති බව ඔහු කීවේ ය. ගමේ අය කුන්ඩසාලේ ආයෝජන කලාපයේ හෝ නගරයේ තිබෙන කුඩා කම්හල් වල වැඩකරන නමුත් මාසයකට ලැබෙන්නේ රුපියල් 15,000 ක සුලු වැටුපක් බව ඔහු පැවසීය.    

“කලාපයට එන්න කලින් මම අවරුදු 4 ක් සංචාරක හෝටලයක වැඩ කලා. මාසෙකට රුපියල් 60,000-70,000 ක් ලැබුනා. රට අගුලු දැම්මට පස්සේ  හෝටල් කර්මාන්තයට පහර වැදුන. අන්තිමට වැඩ කලේ කැස්බෑවේ හෝටලයක.  වන්දියක් වත් ලැබුනේ නැහැ. අර්ථසාධක අරමුදල සඳහා අත්සන් කරලා තිබුනේ නැති නිසා ඒකත් නැහැ.  මිනිසුන්ට අද ප්‍රශ්න වැඩියි. අද කෑවොත් හෙට කන්නේ කොහොමද කියල හිතාගන්න බැහැ. අලුත් ආන්ඩුවෙන් බදු වැඩි කරයි. එත කොට බඩු මිලත් තව වැඩි වෙයි. ” යනුවෙන් ඔහු සඳහන් කලේ ය. 

ඇඟලුම් කම්කරුවන්ට සසප පනිවුඩ-- shorturl.at/vLZ26  සදහා ලියාපදිංචි වන්න.

Loading