අවුරුදු 100කට පෙර: එක්සත් ජනපද කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දුන් සංශෝධනය අනුමත වෙයි

මෙම ලිපිය අගෝස්තු 17 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපද කොන්ග්‍රස් කථානායක ෆ්‍රෙඩ්රික් ජිලෙට් ඡන්දය ප්‍රකාශ කිරීමේ පනත නීතිගත කිරීමට අත්සන යොදයි.

 

1920 අගෝස්තු 18 වැනිදා ටෙනසි ප්‍රාන්ත ව්‍යවස්ථාදායකය විසින් ඇමරිකානු ආන්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 19 වන  සංශෝධනය චන්ද 50-46 කින් අනුමත කරන ලද අතර එමඟින් වයස අවුරුදු 21 හෝ ඊට වැඩි කාන්තාවන්ට ප්‍රාදේශීය, ප්‍රාන්ත සහ ෆෙඩරල් මැතිවරනවලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබිනි. එම සංශෝධනය සම්මත කල 36 වැනි ප්‍රාන්තය වූයේ ටෙනසිය යි. මුලු රට තුලම එම සංශෝධනය සම්මත කර ගැනීමට අවශ්‍ය කරන ප්‍රාන්ත තුනෙන් දෙකක බහුතරය එමගින් ලබාගත හැකි විය.  

1920 අගෝස්තු 26 වැනිදා නීතියක් බවට පත් වූ මෙම සංශෝධනය මගින් 1920 ජනාධිපතිවරනයේදී කාන්තාවන් මිලියන 26 කට ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාව හිමිවිය.

එක්සත් ජනපදය තුල කාන්තා ඡන්ද අයිතිය සඳහා අරගලය ඇරඹුනේ සිවිල් යුද්ධයට පෙරාතු දශකය තුල ය. එනම් වහල්භාවයට එරෙහි අරගලයේ වර්ධනයත් සමග සමානාත්මතාවය සඳහා පුළුල් ඉල්ලීම් ඉදිරිපත් කල අවස්ථාවේදී ය.

කෙසේ වෙතත්, කාන්තා ඡන්ද අයිතිය සාක්ෂාත් කර ගැනීමේ තීරනාත්මක සාධකයන් වන්නේ, 19 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේ මතු වූ ජාත්‍යන්තරවාදී  සමාජවාදයත්, ඒ සමගම  මතු වූ පන්ති අරගලයේ පුපුරන සුලු වර්ධනයත්, සහ විශේෂයෙන් 1917 රුසියානු විප්ලවයත් ය. එක්සත් ජනපදය තුල සමානාත්මතාවය සඳහා කරන ලද හඬ තියුනු කලේ කාන්තා කම්කරුවන්ගේ ප්‍රධාන කාර්මික අරගල මෙහෙයවනු ලැබූ රෙදිපිලි හා ඇඟලුම් කර්මාන්ත ගත සමාජවාදීන් විසින් ය. මේ අතර, ධනේශ්වර ස්ත්‍රීවාදීන් (bourgeois feminists) තර්ක කලේ දේපල රහිත කම්කරු පන්තියේ පිරිමින්ට වඩා තමන් ඡන්ද අයිතිය ලැබීමට සුදුසු බව ය.

1917 මාර්තු මාසයේදී රුසියාව තුල සාර් අධිරාජයා බලයෙන් පහ කිරීමට නායකත්වය දුන්නේ  රෙදිපිලි කර්මාන්තයේ කාන්තා කම්කරුවන් විසිනි. රුසියානු කාන්තාවන්ට ඡන්ද අයිතිය ලබා දීමට තාවකාලික ධනෙශ්වර ආන්ඩුවට බල කෙරුනේ එම වසරේ විප්ලවීය දේශපාලනයෙන් උනුසුම් වූ  ජූලි මාසයේ දී ය. ඉන් පසු සිදු වූ ඔක්තෝබර් විප්ලවය විසින් නිර්මානය කරන ලද නව සෝවියට් රාජ්‍යය කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දුන්නා පමනක් නොව, 1920 දී ගබ්සාව නීතිගත කිරීම ඇතුලුව පිරිමින් සමඟ කාන්තාවන්ගේ සමානාත්මතාවය ඉහල නංවන නෛතික හා සමාජ ප්‍රතිසංස්කරන රාශියක් සම්මත කලේ බ්‍රිතාන්‍යය තුලද (1918 සහ 1928) ජර්මනිය (1918) සහ නෙදර්ලන්තයෙ (1919) හි ද  කාන්තාවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පුලුල් වීම දැක ගත හැකි විය. 

Loading