මැතිවරනයෙන් පසු ජනාධිපති රාජපක්ෂ ඒකාධිපති පාලනයක් දෙසට ගමන් කරයි

මෙම ලිපිය අගෝස්තු 25 වනදා ඉංග්‍රීසි බසින් පලවිය

අගෝස්තු 5 වන දින පැවති මහ මැතිවරනයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලපොපෙ) තුනෙන් දෙකකට ආසන්න බහුතරයක් දිනා ගැනීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඒකාධිපති පාලනයක් දෙසට වේගයෙන් පියවර ගනී. සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා සටන් කරමින් සිය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ආරක්ෂා කර ගැනීමට සූදානම් වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරු පන්තියෙන් ඉල්ලා සිටී.

ජනාධිපති සහ ඔහුගේ සහෝදර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, බලයේ ප්‍රධාන අංශ බොහොමයක් තමන් වෙත පවරා ගනිමින්, අගෝස්තු 12 වන දින ආන්ඩුවක් පිහිටුවා ගත්තේය. ජනාධිපතිට අමාත්‍ය ධුරයක් දැරීම වලක්වන ව්‍යවස්ථාව සෘජුවම උල්ලංඝනය කරමින් ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ඇමති ලෙස පත්ව සිටියි. ඔහු ත්‍රිවිධ හමුදාවේ අන දෙන නිලධාරියා ද වේ. ඔහුගේ සහෝදරයාට අගමැති මෙන්ම මුදල් ඇමති සහ තවත් අමාත්‍ය ධුර දෙකක් ද පිරිනමා තිබේ.

ගෝඨාභය රාජපක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස තවදුරටත් රඳවාගෙන ඇත. කලින් සිවිල් කටයුතු ලෙස සලකන ලද පොලීසිය හා සම්බන්ධ අනෙකුත් ආයතනයන්ගේ පාලනය භාර අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරියා ලෙස ද ගුනරත්න කටයුතු කරයි. විශ්‍රාමික අද්මිරාල්වරයකු සහ එක්සත් ජනපද ගැති චින්තන පර්ෂදයක් වන පාත්ෆයින්ඩර් පදනමේ අධ්‍යක්ෂකවරයකු වන ජයනාත් කොලඹගේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර තිබේ.

තෙමේ ද හමුදාකාරයෙකු වන රාජපක්ෂට, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) පරාජය කිරීමත් සමඟ 2009 මැයි මාසයේ දී අවසන් වූ ලේවැකි සිවිල් යුද්ධය අවධියේ, ඊට සම්බන්ධ ප්‍රධාන අමාත්‍යාංශ සහ ආයතනවල සේවයේ නියුක්තව සිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සමඟ සමීපකම් ඇත. මෙම සියලු පියවරයන් ගැනෙන්නේ සිය ජනාධිපති ආඥාදායකත්වයේ ප්‍රධාන සහයෝගී පදනම ලෙස මිලිටරිය ශක්තිමත් කිරීමටයි.

රාජපක්ෂ, ව්‍යවස්ථාව වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගැනීම වේගවත් කරමින් සිටියි. මැතිවරනය අතරතුර, ඔහුගේ ශ්‍රීලපොපෙ, ජනාධිපතිගේ සමහර බලතල සීමා කරන 19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙස ඉල්ලා සිටියේය. නව 20 වැනි සංශෝධනයකින් එය වෙනස් කිරීමේ යෝජනාවක් පසුගිය සතියේ කැබිනට් මන්ඩලය  අනුමත කලේය.

කෙසේ වෙතත් රාජපක්ෂ ඊටත් වඩා පෙරට යාමට අපේක්ෂා කරයි. පසුගිය බ්‍රහස්පතින්දා නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල ප්‍රතිපත්ති ප්‍රකාශයේදී ඔහු මෙසේ සඳහන් කලේය: “ඉන් පසුව [19 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමෙන්] රටට සුදුසු නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අපි සියලු දෙනා එක්වෙමු. මෙහි දී, එක් රටක්, සියලු ජනතාව සඳහා එක් නීතියක් යන සංකල්පයට ප්‍රමුඛතාවය දෙනු ලැබේ. ”

 යෝජිත “නව ව්‍යවස්ථාවේ” අන්තර්ගතය ඔහු පැහැදිලි නොකල ද, එය ජනාධිපතිවරයාගේ විධායක බලතල විශාල වශයෙන් වැඩි කරනු ඇත. ඔහු සඳහන් කල “එක් රටක්, එක් නීතියක්” දිවයිනේ දෙමල හා මුස්ලිම් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිලිබඳ ඕනෑම සහනයකට විරුද්ධ වීම සඳහා ශ්‍රීලනිප සහ එහි සිංහල අධිපතිවාදී සහචරයින්ගේ වර්ගවාදී සටන් පාඨයයි. එය කම්කරු පන්තිය බෙදීම හා දුර්වල කිරීම අරමුනු කරගත් ප්‍රතිගාමී ව්‍යාපාරයකි.

කොලඹ සමස්ත සංස්ථාපිතයම වෙලාගත් නරක අතට හැරෙමින් පවත්නා අර්බුදයක කොන්දේසි යටතේ, මේ සියලු පියවරයන් සමඟ රාජපක්ෂ ආන්ඩුව සූදානම් වන්නේ, කුරිරු පන්ති යුද්ධයකටය.

COVID-19 ට එරෙහි “ජයග්‍රහනය” පිලිබඳ ජනාධිපතිගේ බොරු කථා කෙසේ වෙතත්, වසංගතය අනෙක් සෑම රටකම මෙන් මෙරට ආර්ථිකයට ද දැඩි ලෙස බලපා ඇති අතර, වැඩකරන ජනතාවට දරුනු ලෙස පහර දෙමින් දේශපාලන හා සමාජ ආතතීන් උග්‍ර කර තිබේ.

දල දේශීය නිෂ්පාදිතය මේ වසරේදී සියයට 1.3 කින් හැකිලීමට නියමිත අතර එය වසර 18 ක් තුල ඇතිව තිබෙන නරකම තත්වයයි. දැවැන්ත විදේශ නය ආපසු ගෙවීම සඳහා සාමාන්‍යයෙන් 2024 වන තෙක් වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් සොයා ගැනීමට ආන්ඩුවට සිදුවේ. රාජ්‍ය මූල්‍ය හිඟය මේ වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.5 ක් සහ 2021 දී සියයට 8.3 ක් වනු ඇතැයි භාන්ඩාගාරය ඇස්තමේන්තු කර ඇති අතර, ලබන වසරේදී එය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 සිට 4.5 දක්වා අඩු කිරීමට ආන්ඩුව, කප්පාදු සැලසුම් සකස් කරමින් සිටී.

ආන්ඩුවේ පිටුබලය ඇතිව මහා ව්‍යාපාරිකය මේ වන විටත් පසුගිය මාස තුන තුල, වැඩ ප්‍රමානය වැඩි කරමින් දැවැන්ත රැකියා හා වැටුප් කප්පාදු පනවා ඇත. නිෂ්පාදන අංශයේ පමනක් කම්කරුවන් 400,000 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී තිබේ. අනාරක්ෂිත කොන්දේසි යටතේ බලහත්කාරයෙන් කම්කරුවන් නැවත වැඩට දැක්කීම සිදුවේ. ගුරුවරුන් සහ සිසුන් කොරෝනා වෛරසයේ අනතුරට නිරාවරනය කරමින් පාසල් නැවත විවෘත කෙරේ. ග්‍රාමීය දුප්පතුන් ඉමහත් දුෂ්කරතාවන්ට මුහුන දෙයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පැවති “ජාතික සමගි” ආන්ඩුවේ දැඩි කප්පාදු ප්‍රතිපත්තිවලට එරෙහිව 2018 දී ආරම්භ වූ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් මතින් රාජපක්ෂ ජනාධිපති ලෙස පත්විය.

ශ්‍රීලපොපෙ මේ මාසයේ පැවති මහ මැතිවරනය ජයග්‍රහනය කලේ ද එම පදනමෙන්මය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වූවන්ගෙන් තුනෙන් එකක් පමන ඡන්දය නොදීම හෝ සිය ඡන්ද පත්‍රිකා කටුගෑමෙන් සලකුනු කෙරෙන්නේ, සියලු සංස්ථාපිත පක්ෂ කෙරෙහි ඇති පිලිකුල යි.

දැන් මැතිවරනය අවසන් වී ඇති අතර ශ්‍රීලපොපෙ ආන්ඩුවට ශක්තිමත් බහුතරයක් ඇති බැවින් එහි ව්‍යාජ මැතිවරන පොරොන්දු වේගයෙන් අතහැර දමා, කම්කරු පන්තිය සමඟ ගැටුමකට වේදිකාව සකසනු ඇත.

මහ මැතිවරනයට පෙර පවා රාජපක්ෂට සහ ඔහුගේ සුලුතර ශ්‍රීලපොපෙ ආන්ඩුවට එරෙහි විරුද්ධත්වය මතුවිය. පෙබරවාරියේදී ඔහුගේ පාලන තන්ත්‍රය විසින් නෙරපා හරින ලද කම්කරුවන් 20,000 ක් පමන අඛන්ඩව විරෝධතා දක්වති. පෙබරවාරි මාසයේදී ගුරුවරුන් 200,000 ක් දින තුනක වැඩ වර්ජනයකට සම්බන්ධ වූහ. වතු හා සෞඛ්‍ය කම්කරුවන් අතර නොයෙකුත් අරගල පුපුරා ගොස් ඇත.

අගෝස්තු 5 මැතිවරනයට දින තුනක් තිබියදී, කොලඹ වරායේ කම්කරුවන් 10,000 ක් පුද්ගලීකරනයට විරෝධය පල කරමින් දින දෙකක් වැඩ නතර කලහ. මැතිවරනයෙන් දින දෙකකට පසු, වසංගතයට මුවා වී සිදු කරන වැටුප් හා දීමනා කප්පාදුවට විරුද්ධව කොලඹ වරාය නගරයේ කම්කරුවන් සිය ගනනක් දින තුනක් තිස්සේ උද්ඝෝෂනය කලහ. කම්කරුවන් බෙදීම සඳහා පාලක පක්ෂයේ, විරුද්ධ පක්ෂවල සහ ස්වෝත්තමවාදී කන්ඩායම්වල වර්ගවාදී උද්ඝෝෂනය නොතකා මෙම සියලු අරගල ජනවාර්ගික රේඛා කපාගෙන  කම්කරුවන් එක්සත් කලේය.

1948 නිල වශයෙන් ලැබුන නිදහසින් පසු ධනේශ්වර පාලනය පාදකව තිබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය යන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දිරාපත්වීම හා බිඳී යාම, පන්ති අරගල නැඟී ඒම හමුවේ, වේගවත් කර තිබේ. කැඩී ගිය හා පක්ෂාඝාතවූ සංවිධාන දෙකම පවතින්නේ නමින් පමනකි. පිලිවෙලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ අනුප්‍රාප්තිකයන් වන රාජපක්ෂගේ ශ්‍රීලපොපෙ සහ  සමගි ජන බලවේගය (සජබ) යන පක්ෂ ඉතා අස්ථාවර සංවිධානයන් ය.

දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ), ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ ව්‍යාජ වාම කන්ඩායම්, පෙර සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවට හා එය වැඩකරන ජනතාවගේ සමාජ කොන්දේසි වලට එල්ල කල ප්‍රහාරයන්ට දැක්වූ සහයෝගය නිසා ගැඹුරින්ම සම්මුති ගැසී සිටිති.

වොෂිංටනය සිය ගෝලීය ආධිපත්‍යයට තර්ජනයක් ලෙස සලකන චීනය, රුසියාව සහ ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද එලැවුම හමුවේ, දේශපාලන සංස්ථාපිතයේ අර්බුදය උත්සන්න වෙමින් තිබේ. එක්සත් ජනපදය, කලාපය පුරා ආන්ඩු චීනයට එරෙහිව පෙල ගැසී සිටින බව සහතික කර ගැනීම සඳහා අඩන්තේට්ටම් හා කුමන්ත්‍රනවල නිරත වී සිටියි. බීජිනයට ඕනෑවට වඩා සමීපවීමේ කාරනය මත, එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මකවූ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුම තුල 2015 දී, මහින්ද රාජපක්ෂ නෙරපා හැරීමත් සමඟ ශ්‍රී ලංකාව, දැනටමත් භූ-දේශපාලන අවපාතය තුලට ඇදී ගොස් තිබේ.

ලඟාවෙමින් තිබෙන පන්ති අරගලයට බියෙන් ධනේශ්වර පක්ෂ වැඩි වැඩියෙන්, ධනේශ්වර පාලනය සඳහා මුක්කු ගැසීමට එකතු වී සිටිති. එජාප, සජබ, ටීඑන්ඒ, ජවිපෙ, මුස්ලිම් පක්ෂ සහ වතු වෘත්තීය සමිති සියල්ලම අප්‍රේල් මාසයේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් කැඳවන ලද සර්ව පාක්ෂික රැස්වීම්වලට සහභාගී වූහ. වසංගතයට එරෙහි සටන යයි කියා පාමින් ජනාධිපති විසින් ක්‍රියාවට නංවන කම්කරු පන්ති විරෝධී පිලිවෙත් අනුයන බවට ඔවුන් සියලු දෙනාම පොරොන්දු වූහ.

මේ සියල්ලට ඉහලින්, රාජපක්ෂ තන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී න්‍යාය පත්‍රයට සහයෝගය දක්වන බව පෙන්නුම් කරමින් සියලු විරුද්ධ පක්ෂ, පසුගිය සිකුරාදා, පාර්ලිමේන්තුවේදී, ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඡන්ද විමසීමකින් තොරවම සම්මත වීමට ඉඩ හැරියේය. 

කොලඹ දේශපාලන සංස්ථාපිතයට අනුකූලව යමින් විවිධ ව්‍යාජ වාම කන්ඩායම් ද දකුනට මාරුවී ඇත. නව සම සමාජ පක්ෂය මහ මැතිවරනයට තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වෙමින්, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් වලට එරෙහි ප්‍රහාර පිලිබඳ මෙම දක්ෂිනාංශික පක්ෂයේ දීර්ඝ වාර්තාවට නරුම ලෙස සුදු හුනු ගෑවේය.

වසංගතයට එරෙහිව සටන් කිරීමට ආන්ඩුව ගන්නා උත්සාහය සමඟ “වෙනස්කම් තිබියේවී නමුත්” ඊට තම සහයෝගය ප්‍රකාශ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) අප්‍රේල් මාසයේදී දෙවරක්ම අගමැති මහින්ද රාජපක්ෂට ලිපි යවා තිබේ. මැතිවරනයෙන් පසු පෙසප නායක පුබුදු ජයගොඩ ප්‍රකාශ කලේ, “පොදු කාරනා මුල්කරගෙන, විවිධ දේශපාලන පක්ෂ හා ව්‍යාපාර සමඟ… වාම, සුලු ධනේශ්වර හා දක්ෂිනාංශික පක්ෂවල ප්‍රගතිශීලී කොටස් සමඟ… කටයුතු කිරීමට අපි සූදානම්” යනුවෙනි.

ව්‍යාජ වාම කන්ඩායම්වල අනිවාර්ය දේශපාලන කාර්යභාරය වන්නේ, විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක් මත පදනම් වූ කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවහිර කරමින්, කම්කරු පන්තිය පාලක පන්තියේ එක් හෝ වෙනත් කන්ඩායමක් පිටුපස ගාල් කිරීමයි. ව්‍යාජ වමේ ආධාර ඇතිව වෘත්තීය සමිති විසින් කම්කරුවන්ගේ සටන්කාමී අරගල නැවත නැවතත් විසුරුවා හැර පාවාදී තිබේ.

වැඩකරන ජනතාවගේ සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වලට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව පූර්න පරිමානයේ ප්‍රහාරයකට සූදනම් වෙද්දී, කම්කරුවන් හා තරුනයින් සැබෑ අන්තරායකට මුහුනපා සිටින බවට සසප අනතුරු අඟවයි. ඕනෑම විරුද්ධත්වයක් මර්දනය කිරීම සඳහා මුර්ග බලය සහ පොලිස් රාජ්‍ය පියවර භාවිතා කිරීමට එය පසුබට නොවනු ඇත.

කම්කරු පන්තිය ස්වකීය ස්වාධීන පන්ති මූලෝපායක් සහිතව මෙම අනතුරට එරෙහිව සටන් කිරීමට සූදානම් විය යුතුය.

පලමු පියවර, ව්‍යාජ වම සහ වෘත්තීය සමිති ඇතුලු පාලක පන්තියේ සියලු පක්ෂ වලින් මූලික දේශපාලන බිඳීමකි. වසංගතයෙන් මෙන්ම, වැටුප් හා රැකියා කප්පාදුවෙන් සහ වැඩ වැඩි කිරීම තුලින් මතු කෙරී ඇති තර්ජනයට එරෙහිව සටන් කිරීම සඳහා සේවා ස්ථානයන්හි, වතුකරයේ හා නිවස්නා ප්‍රදේශයන්හි ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවීමට සසප මූලිකත්වය ගනියි.

මෙම ක්‍රියාකාරී කමිටු, ශ්‍රී ලංකාවේ ද ජාත්‍යන්තරව ද අනෙකුත් කම්කරුවන් වෙත හැරීගතයුතු අතර, සමාජවාදී පිලිවෙත් සහ කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා වන අරගලය තුල, ග්‍රාමීය දුප්පතුන්, පීඩිතයින් සහ තරුනයින් ආන්ඩුවේ හා මහා ව්‍යාපාරිකයන්ගේ ප්‍රහාරයන්ට එරෙහිව පෙල ගැස්වීමට සටන් කල යුතුය.

දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා වන අරගලයේ කොටසක් ලෙස සමාජවාදී ජාත්‍යන්තරවාදය මත පදනම් වූ මෙම විප්ලවීය ඉදිරිදර්ශනය සඳහා සටන් කරන්නේ සසප පමනකි . අපි සියලු ආකාරයේ ජාතිකවාදයට හා ස්වෝත්තමවාදයට විරුද්ධ වන අතර ජනවාර්ගික රේඛා කපාගෙන කම්කරු පන්තිය එක්සත් කිරීමට සටන් කරන්නෙමු.

මැතිවරනයේදී අපට පක්ෂව පන්ති සවිඥානකව ඡන්දය ප්‍රකාශ කල සියලු දෙනා ද ඇතුලු කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් අප ඉල්ලා සිටින්නේ, මෙම පක්ෂයට බැඳී, ක්ෂනික ඉක්බිත්තේ පිපිරීමට නියමිත අරගල සඳහා අවශ්‍ය විප්ලවවාදී නායකත්වය ලෙස එය ගොඩනඟන ලෙසයි.

Loading