හලාවත රෝහලේ සේවකයෝ පහසුකම් කප්පාදුව පිලිබඳව ලෝසවෙඅ ට කතා කරති

මූලික භෞතික හා මානව සම්පත්වල කප්පාදුව හේතුවෙන්, හලාවත මූලික රෝහලෙන්  ප්‍රතිකාර ලබා ගන්නා  දහස් සංඛ්‍යාත රෝගීන් හා වෛද්‍යවරු ඇතුලු රෝහල් කාර්යය මන්ඩලය දැඩි අපහසුතාවයකට ලක්ව සිටිති. 

ප්‍රතිපාදන කප්පාදුව හේතුවෙන්, දැනට වසර හතරකට පෙර රෝහල් භූමිය තුල ඉදි කිරීම් ආරම්භ කල ගොඩනැගිලි සංකීර්නයක ඉදිකිරීම් සිදු කෙරෙන්නේ අතිශය මන්දගාමී ආකාරයෙනි. තවත් වසර ගනනක් යන තුරු එහි වැඩ නිම නොවනු ඇත. 

නව ගොඩනැගිලි ඉදි කිරීම සඳහා රෝහලේ පැවති පැරනි ගොඩනැගිලි කිහිපයක්ම ඉවත් කොට තිබේ. මේ වනවිට බොහොමයක් වෛද්‍ය සායන පවත්වාගෙන යන්නේ තාවකාලික ස්ථානවල ය. ගෝලීය වසංගත තත්වයක් මධ්‍යයේ රෝහල තුල පවත්නා මෙම කොන්දේසි මගින් උද්ගත කර ඇත්තේ අතිශය අනතුරුදායක තත්වයකි. 

හලාවත රෝහල

ගොඩනැගිලිවල අර්බූදය හේතුවෙන් එක් වෛද්‍ය සායනයක් පවත්වාගෙන යන්නේ හලාවත නගර සභාවට අයත් ෂර්ලි කොරයා ක්‍රිඩාංගනයේ  අබලන්ව පවතින ක්‍රීඩාගාරයේය. එහි සිවිලිම් තහඩු සමහරක් කඩා වැටෙමින් පවතී. වර්ෂා දිනවලදී රෝගීන් නොතෙමෙන තැන් සොය සොයා ගියද, බිමට ඇද හැලෙන ජලය ශාලා බිමේ ගලා යෑම නිසා රෝගීන් දැඩි අපහසුතාවයකට ලක් වේ.  

නිතරම රෝගීන්ගෙන් පිරී ඉතිරි තිබෙන මෙම ශාලාවේ, පායන කාලයට උෂ්නත්වය ඉහල යාමෙන්, රෝගීන් සිහිමුර්ඡා වන බැවින් එම රෝගීන් රෝහල වෙත ගෙන යෑම සඳහා වෙනම ගිලන් රථයක් යොදවා තිබේ. ජනේල සියල්ල විවෘත කිරීමට නොහැකි මට්ටමින් අබලන් වී ඇත. ඒ හේතුවෙන් අධික උෂ්නත්වය පාලනය කිරීමට සවි කොට තිබෙන විදුලි පංකාවලින් ඇත්තේ මද සහනයකි. 

ගොඩනැගිල්ල වෛද්‍යවරුන්ට, ඖෂධවේදීන්ට හා ලේඛනාගාරයට ආදී වශයෙන් කොටස් තුනකට බෙදා පැවතුනත් ඒ ඒ අංශවලට අවශ්‍ය පහසුකම් නොමැත.  

රෝහලේ කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයෙකු ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) මෙසේ පැවසී ය. “දැනට අවුරුදු තුනකට විතර කලින් මේ ශාලාවේ සායනයක් ආරම්භ කලේ මාස 3 ට පමනක් කියලා. නමුත් දැන් ස්ථීරවම කර ගෙන යනවා”. රෝහල් පරිශ්‍රය තුල සායනයන් සඳහා ඉදිවන ගොඩනැගිලි මුදල් නැහැ කියලා වැඩ නවත්තලා තියෙන්නේ. 

අවුරු 22 ක් වයසැති චමෝදී ඇගේ සීයාට හා ආච්චිට සායනයෙන් බේත් ගැනීම සඳහා සෑම මාසයකම මෙම සායනයට පැමිනෙන්නීය. තමා මුහුන දෙන දුෂ්කරතා ඇය මෙසේ විස්තර කලා ය: “ආච්චියි සීයයි ඔත්පල වෙලා ඉන්නේ. වයසක අයට ඇතුලට ඒමට සහ පිටවීමට තිබෙන අපහසුව විශාල ප්‍රශ්නයක්. අනෙක් පහසුකමුත් ගොඩක් නෑ. හැමදාම රෝහල් ඩිස්පෙන්සරියේ බෙහෙත් වර්ග දෙක තුනක් නෑ. ඒවා අපි පෞද්ගලික ෆාමසිවලින් මිලදී ගන්න ඕනා. ඖෂධ මිල ගනන් අපිට දරා ගන්න බෑ”.  

රෝහල තුල වෛද්‍යවරුන් මුහුන දී තිබෙන දුෂ්කරතාවයන් හා වෛද්‍යවරුන්ගේ හිඟය සමස්ත රටේම රෝහල්වල පවතින තත්වයක් බව වෛද්‍යවරයෙක් ප්‍රකාශ කලේ ය. “විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් නැතත් සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ හිඟයක් රෝහල තුල තියෙනවා. විනාඩි දහයකට එක රෝගියා බැගින් පැය 4 ට රෝගීන් 25 ක් බැලීමට නිර්දේශිත වෙලා තිබුනත් වෛද්‍යවරු 4 ක් දවසකට රෝගීන් 700 ක් බලනවා. වාට්ටුවල සහ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ දිවා සහ රාත්‍රි කාලයන්හි වැඩ කල යුතු යි. මසක් තුල අපිට නොගෙවන පැය ගනන පැය 600 ක් විතර වෙනවා“. 

සමහර අවස්ථාවල අත්‍යවශ්‍යම බෙහෙත් පවා හිඟ වන බවත් දැඩි සත්කාර ඒකකයේ සීමා සහිත බව, වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දු පෙරනය සතියකට එකවතාවක් පමනක් ක්‍රියාත්මක කිරීම වැනි කරුනු හේතුවෙන් රෝගීන්ට නිසි ලෙස ප්‍රතිකාර කල නො හැකි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය. 

“ලෙඩුන්ගේ පැත්තෙන් බැලුවහම ඔවුන් මේ රෝහල් සේවාව පිලිබඳව කිසිම තෘප්තියක් ලබන්නේ නෑ.  මම මෝදර රෝහලේත් වැඩ කලා. මඩවතුර තමා ඒ රෝහලේ තියෙන්නේ. හැම රෝහලකම ප්‍රශ්න” යයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කලේ ය. 

අප්‍රේල් මාසයේ සෞඛ්‍ය ඇමතිනිය විසින් කැබිනට් මන්ඩලයට ඉදිරිපත්කල වාර්තාවකට අනුව ලංකාව පුරා වෛද්‍යවරුන් 4289 ක හිඟයක් ඇත. සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ සෘජුවම පවත්නා රෝහල් හා සෞඛ්‍ය මධ්‍යස්ථානවල වෛද්‍ය හිඟය 2 249 ක් වන අතර, පලාත් අමාත්‍යංශ යටතේ ඇති එම ආයතනයන්හි වෛද්‍ය හිඟය 2040 කි. හෙද සේවකයන් ඇතුලු අනෙකුත් අංශ වලද පවතින්නේ මේ හා සමාන හිඟයකි. හලාවත රෝහල ඍජුව සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පාලනය වන්නකි. 

18 වාට්ටුවේ සුලු සේවකයෙක් තමන් මුහුන දෙන ගැටලු පිලිබඳව වැඩිදුරටත් මෙසේ විස්තර කලේ ය: “අපේ රෝහලේ සුලු සේවකයො 350 ක් විතර ඉන්න ඕනා. නමුත් ඉන්නේ 200 ක් විතර සංඛ්‍යාවක්. පිරිමි සේවකයන්ගේ හිඟය තදින් දැනෙනවා. වාට්ටුවේ ඇඳන් 44 ක් තියනවා. ඇඳන් ඔක්කොම රෝගීන්ගෙන් පිරුනාම ට්‍රොලිවල දාලා ප්‍රතිකාර කරනවා. පාරේ වැටිලා ඉන්න රෝගීන් රෝහලට ගෙනත් දාලා ගියහම රැගෙන යන්න කව්රුත් එන්නේ නෑ. මේකත් හරිම ගැටලුවක්. මෙවැනි ගැටලු සමාජ සේවා දෙපාර්තමේන්තුව විසඳිය යුතුයි. නමුත් එහෙම කිසිම මැදිහත්වීමක් වෙන්නේ නෑ”.   

කුරුනෑගල, අනුරාධපුර වගේ ඈත පාලාත්වල සිට සේවක සේවිකාවන් රෝහලට පැමිනෙන නමුත් සේවක හිඟය නිසා නිවසට සමීප තැනකට ස්ථාන මාරුවක් ගැනීමට නොහැකිව ඔවුන් දැඩි දුෂ්කරතාවයකට මුහුන දී සිටින බව එම කම්කරුවා ප්‍රකාශ කලේ ය. “රෝහලේ සේවය කිරීම සඳහා යහපත් මානසික තත්වයක් අපට නෑ” යැයි තවත් සේවිකාවක් ප්‍රකාශ කලා ය. 

රෝහලේ ඖෂධවේදියෙකු ප්‍රකාශ කලේ, රෝගීන් 120 ට එක් ඖෂධවේදියෙක් නිර්දේශ වී ඇති නමුත්, හලාවත රෝහලේ එක් ඖෂධවේදියෙකුට රෝගීන් 1200 ට පමන ඖෂධ නිකුත් කිරීමට සිදුව තිබීම හේතුවෙන් ගුනාත්මක සේවයක් ලබා දිය නොහැකි වී තිබෙන බවයි.  ප්‍රමිතීන්ට අනුව ඖෂධ ගබඩා කර තබා ගැනීමට පහසුකම් නොමැති බවත් ඉදි‌ වෙමින් තිබෙන ගබඩාවද ප්‍රමිතියෙන් තොර බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ ය. එක් ගොඩනැගිල්ලක වැඩ නතර කොට තිබෙන්නේ බාල වර්ගයේ යකඩ යොදා ඉදි කිරීම හේතුවෙන් යයි ඔහු පැවසීය. 

රෝහලේ පැරනි ගොඩනැගිලිවල යන්ත්‍ර උපකරන ගරා වැටෙමින් තිබේ. ඉන් ප්‍රධාන ගැටලුවක් වන්නේ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතාගාර දැනට වසර දෙකක පමන කාලයක සිට අක්‍රියව පැවතීමයි. 

මෘත ශරීරාගාරයේ සේවකයෙක් මෙසේ පැවසීය: “ශීතාගාර අලුත්වැඩියා කලත් වරින් වර කැඩෙනවා. වසරකට මෘතදේහ දහසක් පමන පැමිනෙනවා. දැන් දවස් දෙකක් තියා ගත්තොත් මල සිරුර ගඳ ගහනවා. මරනයට පත්වූවන්ගේ ඥාතීන් දැඩි අපහසුතාවයකට ලක් වෙනවා. දුර බැහැර රෝගීන් කොරෝනා වසංගත තත්වය තියෙන නිසා මෘත ශරීරය හලාවතම ආදාහනය කරලා යනවා”. 

ලෝසවෙඅ වාර්තාකරුවෝ, නුවර, බලපිටිය රෝහල්වල සේවකයන්ට අතිකාල නොගෙවීමට එරෙහි පසුගිය දවස්වල පැනනැගුනු උද්ඝෝෂන පිලිබඳ හලාවත රෝහලේ හෙද හා කනිෂ්ඨ කාර්ය මන්ඩල සේවකයන් සමග සාකච්ඡා කලහ. “අපිට අතිකාල ගෙව්වා. නමුත් ඉදිරියේ දී කපන්න පුලුවන්. මේ පක්ෂ ඡන්දෙට කෝටි ගනන් වියදම් කලා නමුත් කම්කරුවන්ගේ වැටුප්, දීමනාවලට හා රෝහල් වගේ මහජන සේවාවන්ට තමයි සල්ලි නෑ කියන්නේ” යයි එක් සේවකයෙක් කීවේය. 

අනෙක් ක්ෂේත්‍රයන්හි මෙන්ම, සෞඛ්‍ය වෘත්තීය සමිති ද ක්‍රියාත්මක වන්නේ ඒ ඒ  අංශයන්හි වැටුප් අරගල හුදකලා කොට කම්කරු පන්තියේ සටන්කාමීත්වය දියකර හැරීමටයි. රෝගීන් හා සියලුම සෞඛ්‍යය කාර්ය මන්ඩල මුහුන දෙන මෙවැනි පොදු ගැටලු ඔවුන් දැනුවත්ව යටගසා තිබේ. 

දේශපාලන තත්වය සම්බන්ධ සාකච්ඡාවට එක් වූ හෙද සේවකයෙක් කියා සිටියේ බලයට පත් වූ සෑම ආන්ඩුවක්ම මහජනයාගේ ගැටලු විසඳන බවට පොරොන්දු ලබා දුන් නමුත් ඒ කිසිවක් ක්‍රියාත්මක කර නොමැති බවයි. කෙසේ නමුත්, මහජනයා ඉදිරියේ පාර්ලිමේන්තු ක්‍රමය පිලිබඳව වැඩෙන අතෘප්තිය මැද, හිටපු මිලිටරි නායකයෙකු ලෙස ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීම මගින් යම් “වෙනසක්” වෙතැයි ඔහුට මිත්‍යාවක් පැවතුනි. මෙම මිත්‍යාව රට මිලිටරීකරනය කිරිම සඳහා සමස්ත පාලක පන්තිය හා ධනපති ජනමාධ්‍යය ඇතුලු විවිධ කොටස් විසින් වගාදිගා කරමින් තිබේ.  

පෙර පාර්ලිමේන්තු නියෝජනය කර නොමැති වූවත් ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරන්නේ ද දෙස් විදෙස් මහ ධනපති පන්තියේ අවශ්‍යතාවන් ය. සාමාන්‍ය දෙමල ජනතාව ඇතුලු දහස් ගනනක් ඝාතනය කෙරුනු වර්ගවාදී යුද්ධයේ අවසන් කාලවකවානුවේ දී රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කලේ ය. 

ඉන් පසු ගත වූ වසර 5 තුල කම්කරු පන්තිය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (ජාමූඅ) රුදුරු කප්පාදු පැට වූ මහින්ද රාජපක්ෂ තන්ත්‍රය, කම්කරු පන්තියේ, තරුනයන්ගේ හා ගම්බද පීඩිත ජන කොටස්වල අරගල රුදුරුම ආකාරයෙන් තලාදැමූ අතර, එහි ප්‍රධාන කාර්ය භාරයක් ඉටුකිරීමේ අතීත වාර්තාව ගෝඨාභය රාජපක්ෂ සතු වෙයි. 

ඊට තෙල් මිල ඉහල දැමීමට එරෙහි ධීවර උද්ඝෝෂනවල දී හලාවත ධීවරයෙකු ඝාතනය, කටුනායක නිදහස් වෙලද කලාප කම්කරු රොෂේන් චානක ඝාතනය හා රතු පස්වල පිරිසිදු ජලය වෙනුවෙන් සටන් වැදි තරුනයන් ඝාතනය කිරීම් ඇතුලත් වේ.  

ලෝක ධනේශ්වර අර්බූදයේ බරින් මිරිකී ගැඹුරු වෙමින් පවතින ලංකාවේ ආර්ථික අර්බූදයේ පරිමාව කෙතෙක්ද යත්, එලඹෙන වසර හතරක් සඳහා ආන්ඩුවේ නය වාරික ගෙවීම් වසරකට ඩොලර් බිලියන 4 ක් ඉක්මවා තිබේ. ඒ තත්වය තුල ජාමූඅ හි රුදුරු කප්පාදු පිලිවෙත් වඩාත් තීව්‍ර කිරීම රාජපක්ෂ සතු එකම විකල්පයයි. 

මිලිටරිය මත පදනම් වූ ජනාධිපති ඒකාධිපතිත්වයක් දිශාවට ගමන් කරන රාජපක්ෂ, ව්‍යවස්ථා වෙනසක් මගින් ඒකාධිපති විධායක බලතල තම අතට ගැනීමට වලි කන්නේ  එම කප්පාදු වලට එරෙහිව පැන නැගීමට නියමිත කම්කරු පන්තියේ අරගල තලා දැමීමේ අරමුනෙනි.   

කියවන්න: රෝහල් කම්කරු අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලය සංවිධානය කරන්නේ කෙසේ ද?

Loading