ට්‍රම්ප් ඒකාධිපතියා (fuhrer) වීමට දඟලයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 අගෝස්තු 27 වන බ්‍රහස්පතින්දා වොෂිංටන්හි පැවති රිපබ්ලිකන් ජාතික සම්මේලනයේ සිව්වන දින, ධවල මන්දිරයේ දකුනු තන පිටියේ සිට කතා කරයි. (AP ඡායාරූපය / ඇලෙක්ස් බ්‍රැන්ඩන්)

සින්ක්ලෙයාර් ලුවිස්ගේ එය මෙහි සිදුවිය නොහැකිය යන රංඟනය වැනි දසුනක් මවමින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ධවල මන්දිර තන පිටියේ සිට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්,  ෆැසිස්ට් පන්නය ඝෝෂාවක් කල අතර, "උද්ඝෝෂකයින්" හා "සමාජවාදීන්ට” එරෙහි අවසන් බලකොටුව ලෙස සිය යලි පත්වීම සිතුවම් කලේය. 

පෙර නොවූ විරූ හා නීති විරෝධී පියවරක් ලෙස ට්‍රම්ප්, රිපබ්ලිකන් ජාතික සම්මේලනයේ (RNC) අවසන් කතාවට පසුබිමක් ලෙස ධවල මන්දිරය යොදා ගත්තේය. නැවත තේරී පත්වීම සඳහා ජනාධිපති කාර්යාලය ඔහුගේ පෞද්ගලික දේපලක් ලෙස සලකමින් ට්‍රම්ප් එක් අවස්ථාවක දී, ධවල මන්දිරය දෙසට හැරී, "මම මෙතන සිටිනවා... ඒත් ඔවුන්  නෑ” යයි සතුටු විය.

පොලිසිය විස්කොන්සින් හි කෙනෝෂාහිදී ජේකොබ් බ්ලේක් ඝාතනය කිරීමෙන් පසුව රට පුරා පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි උද්ඝෝෂන දිගටම පවතිද්දී, ට්‍රම්ප්ගේ ඝෝෂාව සිදු විය. ට්‍රම්ප් කතා කලේ, ආර්එන්සී හි ගිනි අවුලුවන කතා මගින් උසිගැන්වූ ෆැසිස්ට් උන්මාදයෙන් ද කෙනෝෂාහි පැවති විරෝධතාවකදී සිදුවූ වෙඩි තැබීමෙන් ද දින දෙකකට පසුව ය.

ධවල මන්දිරයෙන් පිටත සහ සියැටල්, පෝට්ලන්ඩ්, ඔස්ටින්, චිකාගෝ, ලොස් ඇන්ජලීස් සහ කෙනෝෂා ඇතුලු රට පුරා ප්‍රධාන නගරවල උද්ඝෝෂන පෙලපාලි පැවැත්වුනි. එන්බීඒ, ඩබ්ලිව්එන්බීඒ, එන්එච්එල්, එන්එෆ්එල් සහ එම්එල්බී ඇතුලු සියලුම ප්‍රධාන ක්‍රීඩා ලීගවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්,  ක්‍රීඩා කිරීම හෝ පුහුනුවීම ප්‍රතික්ෂේප කිරීම නිසා බ්‍රහස්පතින්දා ක්‍රීඩා හා පුහුනු කටයුතු අවලංගු විය.

 අලුත් වටයකින් පැනනැඟුන විරෝධතාවන්ට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප්, දැවැන්ත මර්දනයක් දියත් කර ඇත. ඇරිසෝනා, මිචිගන් සහ ඇලබාමා යන ප්‍රාන්ත තුනක හමුදා පොලිසිය විස්කොන්සින් වෙත පැමින සිටී. නැතහොත්, විරෝධතා කරුවන් වෙත කඩාවදිමින් සිටින දහස් ගනන් මිලිටරිකෘත පොලිසියට "ආධාර" වශයෙන් දැනටමත් එහි ලඟාවී ඇත .

ට්‍රම්ප් සිය කතාවේදී පොලීසිය, මිලිටරි සහ ෆෙඩරල් පැරාමිලිටරි බලකායන් වෙත සිය කේන්ද්‍රීය ආයාචනය කරමින් ප්‍රකාශ කලේ,  “නීතිය ක්‍රියාත්මක කිරීමේදී අපට, නීතිය ක්‍රියාත්මක කරන්නන්ට, අපේ පොලිසියට, ඔවුන්ගේ බලය ආපසු ලබා දීමට සිදුවේ." ඔහු තව දුරටත් කියා සිටියේ, " මාගේ පාලනය සෑම විටම නීතිය බලාත්මක කිරීමේ පුරුෂයන් හා ස්ත්‍රීන් සමඟ, පෙනී සිටිනු ඇත." කතාව ඇසීමට සහභාගී වූ දේශ සීමා මුර කරන සෙබලුන් වෙතට හැරී "නිර්භීත, නිර්භීත මිනිසුන්” යයි ඔහු පැවසීය.

ට්‍රම්ප් තවදුරටත් කියා සිටියේ, “අපි ඇමරිකානු සිහිනය සුරකිනවාද නැත්නම් අපගේ ආදරනීය ඉරනම කඩා දැමීමට සමාජවාදී න්‍යාය පත්‍රයකට ඉඩ දෙනවා ද යන්න මෙම මැතිවරනය විසින් තීරනය කරනු ඇත." "බිඩෙන් සමාජවාදයේ ට්‍රෝජන් අශ්වයා" ලෙසත් "බර්නි සෑන්ඩර්ස් වැනි අය වල් වැදුන මාක්ස්වාදීන්” ලෙසත් ඔහු හැඳින්වීය.

මෙම දක්ෂිනාංශික උන සිහිනය, යථාර්ථය ඔලුවෙන් සිටුවා ඇත. ඇත්ත වශයෙන්ම, බිඩෙන්ට මුලුමනින්ම දනගසා ඇත්තේ සැන්ඩර්ස් ය. ඒ වෙනුවෙන් ඔහුට ලැබුනු කිසිවක් හෝ නැත. 

ට්‍රම්ප් ඇත්තටම බිය වන මෙම " මාක්ස්වාදීන් " හා " සමාජවාදීන්" නම්, COVID-19 වසංගතය මැඬපැවැත්වීමට මාරක අසමත්කමක් දක්වන ඔහුගේ පරිපාලනය සමග කලකිරී ඇති, ඉහල නගින අසමානතාව හා රට පුරා කෙරෙන නිමක් නැති පොලිස් ඝාතන ගැන කෝපයට පත්ව සිටින, වැඩකරන ජන සමූහයාය.

ඔහුගේ කතාවේ දී ට්‍රම්ප්, සතියක් තුල 9/11 ප්‍රහාර දෙකකට සමාන පරිදි, සෑම දිනකම දහස් ගනන් ජනතාව මිය යන බව සරලවම නොතකා හරිමින්, කොවිඩ්-19 වසංගතයට ඔහුගේ ආන්ඩුවේ ප්‍රතිචාරය කුපාඩි ලෙස වර්නනා කලේය. එසේම ඔහු විකාර සහගතව කියා සිටියේ, එක්සත් ජනපදයේ ඒක පුද්ගල මරන අනුපාතය යුරෝපයට වඩා දෙගුනයකින් වැඩි මට්ටමක පැවතුනද “යුරෝපා ජාතීන් අතර අතිරික්ත මරන අනුපාතය,  එක්සත් ජනපදයට වඩා සියයට 30 කින් වැඩි” බව ය.

කතිපයාධාකාරයේ ධනය අහස උසට කඳුගැසෙද්දී, ෆෙඩරල් විරැකියා සහන කප්පාදු කිරීම සඳහා ධවල මන්දිරය හා කොන්ග්‍රසය එක්ව කටයුතු කිරීමෙන් පසුව, කුසගින්නෙන් පෙලෙන හා නිවාස වලින් දොට්ට දැමෙන මිලියන ගනනක් ජනතාව ගැන හෝ ආර්ථික අර්බුදයෙන් රැකියා විරහිතව සිටින මිලියන සංඛ්‍යාත ජනතාව ගැන හෝ  ට්‍රම්ප් එක වරක්වත් සඳහන් කලේ නැත.

ඇමරිකාව පාරාදීසයක් වන අතර, ජනතාව සෑහීමකට පත් නොවන්නේ නම්, ඒ ඔවුන් " උද්ඝෝෂකයින්”නිසා බව ට්‍රම්ප් පවසයි.

මෙම අද්භූත දර්ශනය නරඹන ඕනෑම අයෙකු, මෙම වාමනයා ධවල මන්දිරය අසලකටවත් පැමිනියේ කෙසේ ද? මිනිසුන් 170,000 ක් මරා දැමීමෙන් පසුව ඔහුට නැවත තේරී පත්වීමේ බලාපොරොත්තුවක් පවා ඇතිවුනේ කෙසේද?යනුවෙන් විමසනු ඇත. 

එහෙත්, මෙම තර්ජනය ඉතාමත් සැබෑවකි. හැමවිටම මෙන් ට්‍රම්ප්ගේ ලොකුම වාසිය, ඔහුගේ "විරුද්ධවාදී” ඩිමොක්‍රටිකයන්ගේ කොන්ද පනනැතිකම ය.

පසුගිය සතියේ පැවති ඩිමොක්‍රටික සමුලුවේ ඒකායන තේමාවක් තිබුනේ නම් ඒ,  ජනතාවගේ පුලුල් බහුතරයට, විශේෂයෙන්ම කම්කරු පන්තියට, කිසිදු ආයාචනයක් නොකිරීම ය. අසහනයට පත්ව සිටින රිපබ්ලිකානුවන් හා මිලිටරි ජෙනරාල්වරුන් ආරාධිත අමුත්තන් ලෙස සහභාගීව සිටි සමුලුව, ඩිමොක්‍රටික් පක්ෂය විසින් ධනවත් තදාසන්න ප්‍රදේශ සිය සහයෝගීතා පදනම ලෙස තෝරාගෙන ඇති බව පෙන්නුම් කරයි. 

ලින්කන්, ග්‍රාන්ට්, ජෙෆර්සන්, සහ වොෂින්ටන් වැනි පුද්ගලයන්ගේ ස්මාරක හා උරුමය මත ප්‍රහාර එල්ල කිරීම යුක්ති සහගත කිරීමට, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත දැරූ උත්සාහයන් ද ඩිමොක්රටිකයන්ගේ වාර්ගික හා අනන්යතා දේශපාලනය ද, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සෑම සම්ප්‍රදායකටම එල්ල කරන ප්‍රහාර නොතකා, ආරම්භක පියවරුන් සමඟ සිය අඛන්ඩතාවය පෙලගස්වා ගනිමින් විකාර සහගත ප්‍රකාශ කිරීමට ට්‍රම්ප්ට අවකාශ ලබාදුන්නේය. 

අවසාන විග්‍රහයේ දී ට්‍රම්ප්, ඩිමොක්‍රටිකයන් සමග සිය ගැටුම යුද්ධයක් ලෙස දැක්වීය. ඒ අතර ඩිමොක්‍රටිකයෝ, හිටපු ජනාධිපති බරක් ඔබාමාගේ වචන වලින් කිවහොත් "ගේ ඇතුලේ කල කෝලාහල" intramural scrimmage, ලෙස ඒවා හඳුන්වති.

එයට හේතුව, වෝල් වීදියේ සහ මහා ව්‍යාපාරිකයන්ගේ පක්ෂ දෙකෙන් එකක් ලෙස කථා කරන ඩිමොක්‍රටිකයින්,  ධනවාදයට එරෙහි මහජන විරෝධයේ වර්ධනයට ට්‍රම්ප් මෙන්ම බියවනවාක් මෙන්ම ඊට  සතුරු වීමය.

 සමාජවාදයේ නැඟී එන රැල්ල ගැන ට්‍රම්ප්ගේ අනාවැකි සහගත අනතුරු ඇඟවීම් වල සත්‍යයේ අංශුමායක් ඇත. කාරනය නම්, ට්‍රම්ප් සිය ධවල මන්දිර බංකරයේ සැඟවී සිටින අතර, ඔහු වටා නැඟෙන සමාජවාදී හැඟීම්වලින් සැබවින්ම වටලනු ලැබීමයි. වෙන කවරදාටත් වඩා පැහැදිලිවම ධනවාදයට ද ට්‍රම්ප් මෙහෙයවන යලි වැඩට දැක්කීමේ ව්‍යාපාරයට ද වඩ වඩාත් සතුරු, ආර්ථික අර්බුදයේ විනාශයට මුහුනපා සිටින ඇමරිකානු කම්කරු පන්තිය, දේශපාලන තලයට පැමිනෙමින් තිබේ.

ඇමරිකානු ෆැසිස්ට්වාදය නිර්මානය කිරීමට උත්සාහ දරන ට්‍රම්ප්ගේ සැබෑ විරුද්ධ පක්ෂය නම්, කොන්දක් නැති ඩිමොක්‍රටික් පක්ෂය හා ධනවත් හා වරප්‍රසාදිත ඉහල මම පන්තියේ කන්ඩායම් වෙනුවෙන් පෙනී සිටින වෝල් වීදිය නොව, මේ සමාජ බලවේගයයි. 

Loading