රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව කම්කරු අරගල වර්ධනය වෙයි

රැකියා ස්ථීර කරන ලෙස ඉල්ලා රාජ්‍ය ආයතන කිහිපයක කම්කරුවන් දෙදහසකට අධික පිරිසක් සැප්තැම්බර් 2 වෙනිදා කොලඹ නගරයේ උද්ඝෝෂන වල නිරත වුහ. 2019 වසරේ සේවයට බඳවා ගෙන මෙතෙක් ස්ථීර නොකල සංවර්ධන නිලධාරීන්ගේ  "නිහඬ" උද්ඝෝෂනයක් එදින කොටුව දුම්රියපොල ඉදිරිපිට ආරම්භ කෙරුන අතර පසුව ඔවුහු මුදල් අමාත්‍යංශය දක්වා පාගමනකින් ගොස් සේවය ස්ථීර කිරීම කඩිනම් කරන ලෙස ඉල්ලා එහි බලධාරීන්ට ලිපියක් භාර දුන්හ.  

සමුපකාර තොග වෙලඳ සංස්ථාවේ (සතොස), ජල සම්පාදන මන්ඩලයේ සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනියම් සේවකයන්ගේ උද්ඝෝෂන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට වෙන වෙන ම, පැවැත්වුනි. 

ඊට අමතරව, සේවයට පැමිනීම සහ පිටවීම වාර්තා කිරීම සඳහා සවිකර තිබෙන ඇඟිලි සලකුනු යන්ත්‍ර ඉවත්කරන ලෙස ඉල්ලා වවුනියාව මහ රෝහලේ සුලු සේවකයෝ එදිනම රෝහල ඉදිරිපිට පැය තුනක පිකට් උද්ඝෝෂනයක නිරත වූහ. ඇඟිලි සලකුනු යන්ත්‍ර හඳුන්වා දීම වැඩ වේගවත් කිරීමේ ආන්ඩුවේ සැලසුම්වල කොටසකි.

රාජ්‍ය ආයතනවල පුහුනුව සඳහා 2019  අගෝස්තු 01 සහ සැප්තැම්බර් 16 වෙනිදා අදියර 11 සහ 111 සඳහා  බඳවාගත් 14,450 ක් වන සංවර්ධන නිලධාරීන්ගේ වසරක පුහුනු කාලය අවසන් වී ඇති හෙයින් වහාම රැකියාව ස්ථීර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති. දින 42 ට කප්පාදු කර තිබෙන සංවර්ධන නිලධාරිනියන්ගේ  ප්‍රසුත නිවාඩුව  රජයේ අනෙකුත් සේවකයන්ට මෙන් දින 84  කිරීම ඔවුන්ගේ තවත් ඉල්ලීමකි. 

සංවර්ධන  නිලධාරීන් ලෙස බඳවා ගනු ලබන්නේ රැකියා විරහිත උපාධිධාරීන්ය. වසරක පුහුනු  කාලය තුල ඔවුන්ට ගෙවනු ලබන්නේ රුපියල් 20,000 ක සුළු මාසික දීමනාවකි. ඔවුන් හමුදාව යටතේ තවත් සති තුනක නායකත්ව පුනුවකට යොමුකර ඇති අතර, සේවය ස්ථීර කිරීම 2021 ජනවාරි 01 දක්වා කල් දමා ඇත. එහෙත් මෙම වසරේ ඔක්තෝබර් 01 දිනට තම සේවය ස්ථීර කරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

සතොස, ජලසම්පාදන මන්ඩලය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පමනක් දහසකට අධික ස්ථීර නොකල අනියම් කම්කරුවෝ සිටිති. රාජ්‍ය අංශයේ අනියම් හා කොන්ත්‍රාත් පදනමේ සියලු සේවකයන් රජයේ ඒකාබද්ධ සේවයට කඩිනමින් අනුයුක්ත කරන බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය මෙම වසරේ  පෙබරවාරි මාසයේ දී ප්‍රකාශ කල නමුත් මේ දක්වා  ඔවුන් ස්ථීර කර නැත. ඒ වෙනුවට සිදුවී ඇත්තේ  ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති මැතිවරනයෙන් ජයග්‍රහනය කිරීමෙන් පසු ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලි බල මන්ඩලය, නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන සැලකිය යුතු සංඛ්‍යාවක සේවයේ නියුක්තව සිටි 15,000 ක් පමන අනියම් සහ කොන්ත්‍රාත් සේවකයන්  දොට්ට දැමීමය. 

සංවර්ධන නිලධාරීන්ගේ සහ රාජ්‍ය අංශයේ අනියම් සහ කොන්ත්‍රාත් කම්කරුවන්ගේ රැකියා ස්ථීර නොකිරීම කම්කරු පන්තියේ සමාජ හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහිව රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති හාම්පුතුන් මුදාහැර ඇති පුලුල් ප්‍රහාරයක කොටසකි. කොරෝනා වසංගතය පිටුවහලක් කර ගනිමින් ධනපති හාම්පුතුන් විසින් පුද්ගලික අංශයේ මිලියනයකට අධික කම්කරුවන්ගේ  රැකියා අහෝසි කෙරුන අතර වැටුප්  හා දීමනා කප්පාදු කෙරුනි. 

රාජපක්ෂ ආන්ඩුවේ සහ ධනපති හාම්පුතුන්ගේ මෙම ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයක් සංවිධානය කිරීම වෘත්තීය සමිති මුලුමනින් ම පැහැර හැර ඇත. තම අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව කම්කරුවන්ගෙන් මතුවන කවර හෝ විරෝධයක් යටපත් කිරීමට වෘත්තීය සමිති සැමවිටම යත්න දරති. එසේ යටපත්කර ගැනීමට නොහැකි විට දී, කට්ටිවාදී නිස්සාර විරෝධතා උද්ඝෝෂන වලට කොටු කිරීම තුලින් හෝ ආන්ඩුව සමග සාකච්චා මගින් ගැටළු විසඳා ගත හැකිය යන මිත්‍යාව කම්කරුවන් මත පැටවිමෙන් හෝ ඔවුන්ගේ අරගල ගබ්සා කිරීම සමිතිවල භූමිකාවයි. . 

සැප්තැම්බර් 2 පැවති සංවර්ධන නිලධාරීන්ගේ උද්ඝෝෂනය කැඳවුම් කලේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් මෙහෙයවන ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන්ගේ සංගමය (ඒසනිස) විසිනි. ජනතා විමුක්ති පෙරමුනට සම්බන්ධ සංවර්ධන නිලධාරී සේවා සංගමය (සනිසේස) එයට සහභාගී නොවුනි. 

අගෝස්තු 31 වෙනිදා මුදල් අමාත්‍යංශ බලධාරීන් සමග සාකච්චාවක් කල සනිසේස නායකයෝ, ස්ථීර වශයෙන් ම මේ වසරේ ඔක්තෝබර් 01 ට රැකියා ස්ථීර කරන බවට අමාත්‍යංශ බලධාරීන් පොරොන්දු වූ බවත්, ඊට අදාල කැබිනට් පත්‍රිකා  සැප්තැම්බර් 2 බදාදා කැබිනට් රැස්වීමට යොමුකරන බවත් කීහ. ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා නොගන්නා  ලෙස එහි ලේකම් චන්දන සුරියආරච්චි  පවසා ඇත.  

එහෙත් සැප්තැම්බර් 2 එවන් පත්‍රිකාවක් කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කර නැති බව ඒසනිස ලේකම් ධම්මික මුනසිංහ පැවසීය. කෙසේ නමුත් මෙම සමිති සියල්ලම කරන්නේ එකිනෙකාට ඇඟිල්ල දිගු කරමින් තම සාමාජිකයන් කට්ටිවාදීව භේදකර ඔවුන්ගේ අයිතීන් සඳහා ඒකාබද්ධ අරගලයක් ඇතිවීම වැලැක්වීමය. 

සැප්තැම්බර් 2 දා පැවති ජලසම්පාදන මන්ඩලයේ, සතොස සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනියම් සේවකයන්ගේ උද්ඝෝෂන වලට, එම ආයතනයන්හි ස්ථීර සේවකයන්ගේ  සහයෝගය ගොනු කිරීමට වෘත්තීය සමිති විසින් කිසිදු පියවරක් ගෙන නොතිබුනි.‍

කොරෝනා වසංගතයට පෙරාතුව, ධනවාදයේ ප්‍රහාරවලට එරෙහිව ඇති වූ කම්කරු පන්තික අරගලයන්ගේ ගෝලීය පුනර්ජීවනයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය සහ පුද්ගලික අංශයේ පැන නැගුනු අරගල මාලාව වසංගතය මධ්‍යයේ තාවකාලිකව පසුපසට තල්ලු කෙරුනි. 

දැන් රැකියා ස්ථීර නොකිරීම ඇතුලු තම සමාජ අයිතීන් කප්පාදු කිරීමට එරෙහිව රාජපක්ෂ ආන්ඩුවට විරුද්ධව කම්කරු පන්තියේ විවිධ කොටස් වල අරගල මතුවීම, කොරෝනා වසංගතයෙන් වඩාත් ගැඹුරු වූ ලෝක ධනවාදයේ අර්බුදය ධනපති පාලක පන්තීන් විසින් කම්කරුවන් මත පැටවීමට එරෙහිව, නවමුව වර්ධනය වන කම්කරු පන්තියේ ගෝලීය අරගලයේ ප්‍රකාශනයකි.

රාජපක්ෂ ආන්ඩුව කම්කරු පන්තියෙන් මතුවන විරෝධය සහ අරගල ඉවසනු නැත. කම්කරු පන්තියේ අරගල තලා දැමීම සඳහා හමුදාව මත පදනම් වූ ජනාධිපති ආඥාදායක පාලනයක් සඳහා ආන්ඩුවේ ධාවනය විසිවන ව්යවස්ථා සංශෝධනය තුලින් වේගවත් කර ඇත. 

කම්කරු පන්තියට මෙම අන්තරාය පරාජය කරමින් තම අයිතීන් දිනා ගත හැක්කේ, වෘත්තීය සමිති වලින් ස්වාධීනව ගොඩ නගා ගන්නා කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පාදක වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් බලමුලු ගන්වා ගනිමින්, රාජපක්ෂ පාලන තන්ත්‍රය කම්කරු ගොවි ආන්ඩුවකින් විස්ථාපනය කිරීම සඳහා කරන අරගලයකින් පමනි.

Loading