ඉදිරිදර්ශන

එක්සත් ජනපද මැතිවරනය ලඟා වෙද්දී ට්‍රම්ප් ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය අවුස්සයි

මෙම ලිපිය සැප්තැම්බර්16 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

එක්සත් ජනපද ජනාධිපතිවරනය අවසන් සති හතට එලඹෙද්දී ට්‍රම්ප් පරිපාලනය, ප්‍රචන්ඩකාරී හා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් උසිගැන්වීම තීව්‍ර කරමින් සිටී.

සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ (එච්එච්එස්) මහජන කටයුතු පිලිබඳ ට්‍රම්ප්ගේ සහකාර ලේකම් මයිකල් කපූටෝ ඉරිදා ෆේස්බුක් හි වීඩියෝවක් පල කර,  ට්‍රම්ප්ගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සන්නද්ධ වන ලෙසය. පරිපාලනය කොරෝනා වයිරස් වසංගතයට ප්‍රතිචාර දැක්වීම විවේචනය කිරීම සම්බන්ධයෙන් රජයේ විද්‍යාඥයින් “රාජද්‍රෝහී” බවට ඔහු චෝදනා කලේ ය.

“ඔබ තුවක්කු රැගෙන යන්නේ නම්, පතොරම්, මිලදී ගන්න, නෝනාවරුනි, මහත්වරුනි, මන්ද එය ලබා ගැනීම දුෂ්කර වනු ඇත,” කපූටෝ ප්‍රකාශ කලේ ය. ඔහු තවදුරටත් කියා සිටියේ, නොවැම්බර් මාසයේ දී බිඩෙන් පරාජය පිලිගන්නේ නැත් නම්,  ට්‍රම්ප්ගේ ආධාරකරුවන් සන්නද්ධ ප්‍රචන්ඩත්වයට සූදානම් විය යුතු බව යි. “සමාරම්භක උත්සවයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් අස්වීම ප්‍රතික්ෂේප කල විට වෙඩි තැබීම ආරම්භ වනු ඇත. ඔබ දැක ඇති සරඹ කිසිවක් වැඩක් නැත” යයි ඔහු පැවසී ය.

ඩිමොක්‍රටිකයින් විසින් කපූටෝගේ තර්ජන අවතක්සේරු කර ඇත්තේ, ඒවා මානසික අස්ථායී පුද්ගලයකුගේ කෝපය ලෙස බැහැර කරමිනි. අඟහරුවාදා කපූටෝ නිවේදනය කලේ, තමා එච්එච්එස් වෙතින්  ඉවත් වීම ගැන සලකා බලමින් සිටින බව යි.

කෙසේ වෙතත් කපූටෝගේ වීඩියෝව,  ට්‍රම්ප්ගේ ප්‍රමුඛ ආධාරකරුවන්ගේ හා  ජනාධිපතිගේ ම  අදහස් වලට අනුකූල වේ. මෙම ගිම්හානයේ දී ට්‍රම්ප් සමාව දුන් නික්සන්ගේ නීච උපක්‍රමික මෙහෙයුම් වල ප්‍රවීනයෙකු වූ රොජර් ස්ටෝන්, සැප්තැම්බර් 10 වන දින ෆැසිස්ට් ඇලෙක්ස් ජෝන්ස්ට පැවසුවේ, ට්‍රම්ප් මැතිවරනය පරාජයට පත් වුවහොත් “හමුදා නීතිය” ප්‍රකාශයට පත් කල යුතු බවත්, ඡන්ද පෙට්ටි අල්ලාගෙන ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගත යුතු බවත් ය. ට්‍රම්ප් බලයේ රැඳී සිටීමට උත්සාහ කරන්නේ නම්, ඔහුට එරෙහි විරෝධතා පිලිබඳ කතාවක් ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ඩේලි බීස්ට් (වෙඩ් අඩවිය) කාර්ය මන්ඩලය “අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ කාර්යාල වසා දැමිය යුතුව” ඇතැ යි ඔහු ප්‍රකාශ කලේ ය. 

ට්‍රම්ප් සිය මැතිවරන ප්‍රචාරක රැලිවල දී, අන්ත දක්ෂිනාංශික සුපරීක්ෂකයින් උත්කර්ෂයට නංවා ඇති අතර, විරෝධතාකරුවන්ට එරෙහි ව නීති විරෝධී “පලිගැනීමක්” ඉල්ලා සිටි අතර, ඡන්ද පත්‍රිකා “වංචා” කෙරෙමින් තිබෙන බවට චෝදනා කර, තමාට එරෙහි ව යන මැතිවරනයක ප්‍රතිඵල තමා භාර නො ගන්නා බව විවෘතව ප්‍රකාශ කලේ ය.

සති අන්තයේ ෆොක්ස් නිව්ස් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ට්‍රම්ප්, යලිත් ජුනි මාසයේදී කල ආකාරයට, දේශීය විරුද්ධවාදීන්ට ඒරෙහිව මිලිටරිය යෙදවීමට හැකිවන පරිදි  කැරලි මර්දන පනත යොදා ගන්නා බවට තර්ජනය කලේ ය. මැතිවරන රාත්‍රියෙන් පසුව සිදුවන  විරෝධතාවලට ඔහු ප්‍රතිචාර දක්වන්නේ කෙසේ දැයි ඇසූ විට ඔහු පැවසුවේ, “ඔවුන් එසේ කලොත් අපි  ඉතා ඉක්මනින් ඔවුන් මර්දනය කරනවා” යනුවෙනි. “අපට එය කිරීමට අයිතියක් තියෙනවා, අපට අවශ්‍ය නම් එය කිරීමට බලය තිබෙනවා.”

මෙය සිවිල් යුද්ධයේ භාෂාව යි.

ට්‍රම්ප්ට තම පාලනය යටතේ විශාල ෆැසිස්ට් ව්‍යාපාරයක් නො මැත. කෙසේ වෙතත් ඔහු උත්සාහ කරමින් සිටින්නේ, නොවැම්බර් 3 වන දින කුමක් සිදු වුව ද, එවැනි ව්‍යාපාරයක් වර්ධනය කිරීම සඳහා මැතිවරනය භාවිතා කිරීමට ය.

එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තර ව පාලක පන්තිය තුල, එක්සත් ජනපද  දේශපාලන ආයතන බිඳ වැටෙමින් තිබෙන බවට පිලිගැනීමක් තිබේ. සතිපතා ද ඉකොනොමිස්ට් සඳහන් කරන්නේ, “නොවැම්බරය සටහන් කරනු ඇත්තේ, ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ සුමට ව්‍යායාමයක් නො ව ප්‍රචන්ඩකාරී  විසංවාදය හා ව්‍යවස්ථාමය අර්බුදයක්” බව යි.

ට්‍රම්ප් මැතිවරනයෙන් පරාජය වී එය පිලිගැනීම ප්‍රතික්ෂේප කරන්නේ නම්, “වොෂිංටනයේ බියකරු සිහිනයක්” පිලිබඳ ව සති අන්තයේ ෆිනෑන්ෂල් ටයිම්ස් ලිවී ය. "කරට කර ප්‍රතිපඵලයක දී නාටකාකාර තීරනාත්මක අවස්ථාවක් සඳහා  වේදිකාව සකසා ඇති විට, මෑත මාසවලදී එක්සත් ජනපද නගර කීපයක පැතිරුනාක් වැනි, වීදිවල ප්‍රචන්ඩකාරී නොසන්සුන්තාවයේ පසුබිමට එරෙහිව ව්‍යවස්ථාමය අර්බුදයක් ඇතිවිය හැකි ය." ට්‍රම්ප්ගේ පැත්තෙන් හෝ ඔහුට එරෙහි ව හෝ මිලිටරියේ සෘජු මැදිහත්වීම ඇතුළුව සිදුවිය හැකි අවස්ථා පිලිබඳ ව ඉහල හමුදා නිලධාරීන් රහසේ සාකච්ඡා කරමින් සිටින බව එය  සඳහන් කලේ ය.

අඟහරුවාදා වොෂිංටන් පෝස්ට් පුවත්පතේ ලියමින් ග්‍රේග් සාජන්ට්, තමා සහජයෙන්ම අසම්මත ජයග්‍රුහකයා යැයි ප්‍රකාශයට පත් නො කෙරෙන ඕනෑ ම අවස්ථාවක් චිත්‍රනය කිරීමට ට්‍රම්ප් කල්යල් බැලූ උත්සාහය පිලිබඳව අවධානය යොමු කලේ ය. “මෙය සිදු වන්නේ, එවැනි ප්‍රතිඵලයකට එරෙහි වීමට ද ඔවුන් සූදානම් විය යුතු යැයි ට්‍රම්ප් තම ආධාරකරුවන්ට සෑම ආකාරයකින්ම යෝජනා කර ඇති අවස්ථාවේ දී  ම ය ... ඔවුන් සිතිය යුතු යැයි ඔහු පවසන දේ සැබෑ ප්‍රතිඵලයට වැදගත් නො වනු ඇත. . එහෙත් එය නිසැකව ම දේශපාලන ප්‍රචන්ඩත්වය හෝ වෙනත් ගැඹුරු ප්‍රජා හානියක් සිදු කිරීමට බොහෝ ඉඩ ඇත” සාජන්ට් ලියයි.

වසංගතයට පාලක පන්තියේ ප්‍රතිචාරයෙන් සංකීර්න කෙරුනු, ඉතිහාස ගත වන මට්ටමේ සමාජ අසමානතාව, විභව විප්ලවීය ඇඟවුම් සහිත මහා සමාජ අතෘප්තියක් ජනනය කරමින් තිබෙතැ යි යන මූල්‍ය කතිපයාධිකාරයේ උත්සුකයන්ට ට්‍රම්ප් ගොරෝසු ප්‍රකාශනයක් ලබා දෙයි.

ධනේශ්වර ද්වි-පක්ෂ ක්‍රමයේ දෙවන පාර්ශ්වය වන ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන අරමුන, ට්‍රම්ප්ට එරෙහි මහජන විරෝධය අඩාල කිරීම යි. ඩිමොක්‍රටිකයින් උත්සාහ කරන්නේ, ඉහල මධ්‍යම පංතියේ පුළුල් කොටස් අනන්‍යතා දේශපාලනයේ, එනම් ජාතිය හා ස්ත්‍රී පුරුෂ භාවය පිලිබඳ ග්‍රස්තික  ඔල්මාදයේ  පදනම මත බලමුලු ගැන්වීමට ය. ඔවුහු ජනගහනයෙන් අතිමහත් බහුතරයකගේ සැබෑ අවශ්‍යතා සපුරාලන කිසිදු වැඩපිලිවෙලක් ඉදිරිපත් නො කරති.

ට්‍රම්ප් මැතිවරනය සිවිල් යුද්ධයක සිදුවීමක් ලෙස ගන්නා අතර  ඩිමොක්‍රටිකයෝ, හැමවිටම මෙන් ආරක්ෂාකාරී ව සිටිමින්, වම පිලිබඳ වඩාත් දරුනු හෙලා දැකීම් සමග, දකුන පිලිබඳ ඔ්නෑ ම මෘදු විවේචනයක් සමතුලිත කරති. 

ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන සමාජ පදනම වන්නේ, අනාගත බිඩෙන් පරිපාලනයක් තුල විදේශීය හා දේශීය ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාලක පන්තියේ වඩාත් ඵලදායී නියෝජිතයෙකු දකින, වෝල් වීදිය හා මිලිටරියේ කන්ඩායම් ය. ධනවත් පරිත්‍යාගශීලීන්ගෙන් ඩිමොක්‍රටික් පක්ෂයට මුදල් ගලා ඒමක කොටසක් ලෙස, ෆ්ලොරිඩාවේ බිඩෙන්ගේ උද්ඝෝෂනයට සහාය දැක්වීම සඳහා මේ සතියේ, කෝටිපති මයිකල් බ්ලූම්බර්ග් ඩොලර් මිලියන 100ක් වියදම් කිරීමට පොරොන්දු විය.

ඩිමොක්‍රටිකයන්ට “පනිවිඩයක්” ඇති තාක් දුරට, ඒ් ට්‍රම්ප් ඉවත් කිරීම සියල්ල “සාමාන්‍ය” තත්වයට පත් කරනු ඇත යන්න හා ට්‍රම්ප් යනු එසේ නො වුනා නම්,  සෞඛ්‍ය සම්පන්න සමාජයක අපගමනයකි. නමුත් මෙම අපගමනය සිදු වූයේ කෙසේ ද?

ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන ආයතන බිඳවැටීම වඩාත් මූලික හා අන්තර් සම්බන්ධිත හේතුවල: එනම් සමාජ අසමානතාවේ දැවැන්ත මට්ටම් නිර්මානය කර ඇති දශක ගනනාවක සමාජ ප්‍රතිවිප්ලවය; දැන් මහා බල ගැටුමක් බවට පරිවර්තනය වෙමින් පවතින වසර හතලිහක නො නවතින යුද්ධ; විදේශවල  අධිරාජ්‍යයවාදී ජයග්‍රරන හා ගෘහස්ථ මර්දනය යන දෙකටම යොමු වූ මිලිටරි-ඔත්තුසේවා-පොලිස් සංවිධානවල දැවැන්ත වර්ධනය; වධහිංසා පැමිනවීමේ සිට ගෘහස්ථ ඔත්තු බැලීම හා සංගත-මූල්‍ය හැසිරවීම් දක්වා වන පාලක පන්තියේ සාපරාධිත්වයේ ප්‍රතිලයකි.

2016 දී ට්‍රම්ප් බලයට පත්වීම දැනටමත් මෙම යටින් පවතින ක්‍රියාවලීන් සඳහා ප්‍රකාශනයක් ලබා දී ඇත. කෙසේ වෙතත්, වසංගතය අතිවිශාල ප්‍රේරකයක් ලෙස සේවය කර ඇත.

විශාල අන්තරාය වන්නේ, ට්‍රම්ප්ට එරෙහි සියලු විරුද්ධත්වය ඩිමොක්‍රටික් පක්ෂයට පිලිගත හැකි දේ මගින් සීමා කෙරෙනු ඇති බව යි, එයින් අදහස් වන්නේ මූල්‍ය වංශාධිපතිත්වයට හා හමුදාවට පිලිගත හැකි දේ ය. ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය, චිලී හා වෙනත් රටවල ෆැසිස්ට්වාදය බලයට පත්වූයේ කෙසේ ද යන්න පිලිබඳ බොහෝ ඉතිහාසගත පාඩම් තිබේ. සමාජ කෝපය පාලක පන්තියේ එක් හෝ තවත් කන්ඩායමක් පිටුපස පෙලගැස්වීම මඟින්, කම්කරුවන් දේශපාලනික ව නිරායුධ කිරීමේ ව්‍යසනකාරී ප්‍රතිවිපාක වලට ඔවුන් සියල්ලෝ ම වගකිවයුතු ය.

ඇමරිකානු හා ලෝක ධනවාදය සන්ධිස්ථානයකට පැමින තිබේ. කම්කරු පන්තිය පෙරලිකාරී වෙමින් පවතී. ධනේශ්වරය වඩ වඩාත් සෘජුව ම නීතිවිරෝධී, ව්‍යවස්ථා විරෝධී හා අතිශයින්ම ෆැසිස්ට් පාලන ක්‍රම කරා ගමන් කරයි. නොවැම්බර් 3දාට  පසු ධවල මන්දිරයේ සිටින්නේ කවුරුන්ද යන්න නො සලකා මෙය දිගට ම පවතිනු ඇත.

මැතිවරන මූලෝපායක පදනම මත මෙම මැතිවරනයේ දී මතු කෙරෙන ගැටළු විසඳිය නො හැක. ඒවා විසඳිය හැක්කේ, රාජ්‍ය බලය ලබා ගැනීමට හා සියලු සමාජ හා ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන කම්කරු පන්තියේ ස්වාධීන හා විප්ලවීය ව්‍යාපාරය හරහා පමනි.

Loading