අවුරුදු 50 කට පෙර: පලස්තීන ගරිල්ලන් ජෝර්දානය වෙත යන ගුවන් යානයක් පැහැරගනී

මෙම ලිපිය සැප්තැම්බර් 7 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.

පැහැරගත් ගුවන් යානයක 1970 ජූලි මාසයේදී ගත් ඡායාරූපයකි.

1970 සැප්තැම්බර් 9 වැනිදා පලස්තීන විමුක්තිය සඳහා මහජන පෙරමුනේ (පීඑෆ්එල්පී) සාමාජිකයින් පැහැරගත් ගුවන් යානා  හතරෙන් එක් යානයක්,  ජෝර්දානයේ සර්කා නගරයෙන් බොහෝ එපිටින් පිහිටි ගුවන් පථයක් වන ඩෝසන්ස් ෆීල්ඩ් (Dawson’s Field) වෙත රැගෙන යාමට අවසානයේ හැකි විය. තවත් යානයක් පැහැරගෙන යාමට උත්සාහ කල නමුත් එය අසාර්ථක විය. ඊස්රායලය විසින් රඳවාගෙන සිටි පලස්තීන සිරකරුවන් කිහිප දෙනෙකු නිදහස් කිරීම සඳහා කේවල් කිරීම වෙනුවෙන් එම යානාවල සිටි මගින් ප්‍රාන ඇපකරුවන් ලෙස යොදා ගැනීම පලස්තීන ගරිල්ලන්ගේ අදහස  විය.

පැහැරගෙන ගිය යානයේ සිටි මගීන්, එක්සත් ජනපදය,ඊස්රායලය, එක්සත් රාජධානිය සහ වෙනත් යුරෝපීය රටවලට අයත් පුරවැසියන් විය. සැප්තැම්බර් 13 වන විට ප්‍රාන ඇපකරුවන් 312 දෙනාගෙන් 257 දෙනෙකු නිදහස් කල අතර, ඉතිරි සියලු දෙනා ඊස්රායල පුරවැසියන් වූ අතර, සාකච්ඡා වලදී වඩා වටිනා යැයි සැලකූ බැවින් ඔවුන් දිගටම රඳවා ගනු ලැබින.

විවිධ අධිරාජ්‍යවාදී රටවල් පැහැරගැනීම් සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර දැක්වීය. ජෝර්දානයේ පීඑෆ්එල්පී කඳවුරු වලට බෝම්බ හෙලීමට නියෝග කිරීමට එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්  සලකා බලමින් සිටි අතර, එම ස්ථාන ආසන්නයේ සිටි හමුදාවන් සීරුවෙන් තැබීය. බ්‍රිතාන්‍ය අගමැති එඩ්වඩ් හීත් පීඑෆ්එල්පීය සමඟ සාකච්ඡා ආරම්භ කල අතර, අසාර්ථක වූ පැහැරගෙන යාමට සම්බන්ධ ලයිලා කාලීඩ් (Leila Khaled) එක්සත් රාජධානියේ ප්‍රාන ඇපකරුවන් වෙනුවට නිදහස් කිරීමට එකඟ විය. අවසානයේදී, අධිරාජ්‍යවාදීන්, ඔවුන් වෙනුවෙන් පලස්තීනුවන් තලා දැමීමේ කටයුත්ත අරාබි ධනේශ්වර තන්ත්‍රයන්ට භාර දෙනු ලැබීය.

ජාතික ස්වයං නිර්නය සඳහා වූ පලස්තීනුවන්ගේ අරගලය අඩපන කරමින්, එක්සත් ජනපදය හා ඊස්රායලය සමඟ සාම ගිවිසුමකට එලඹීම ජෝර්දානයේ හුසේන් බින් තලාල් (Hussein bin Talal) වැනි මැද පෙරදිග පාලක පන්තියේ දේශපාලන අභිලාෂය විය. මෙම ගුවන්යානා කොල්ලකෑම් එම අපේක්ෂාවන්ට එරෙහිව මතු වූ කෙටිකාලීන බාධාවක් පමනි. ඊස්රායලය විසින් පලස්තීන ජාතිකයන් බටහිර ඉවුරෙන් බලහත්කාරයෙන් පිටුවහල් කරනු ලැබීමෙන් පසු, සන්නද්ධ පලස්තීන ජාතිකවාදීන්ට තම භූමිය තුල පැවතීමට තවදුරටත් ඉඩ දිය නොහැකි බව හුසේන් තීරනය කලේය. පලස්තීන විමුක්ති සංවිධානය ක්‍රියාත්මක වන බවට ප්‍රචලිත පලස්තීන සරනාගත කඳවුරුවලට සහ නගරවලට පහර දීම ආරම්භ කරන ලෙස හුසේන් හමුදාවට නියෝග කලේය.

“කලු සැප්තැම්බරය” (“Black September”) ලෙස හැඳින්වෙන මෙම ගුවන් යානා කොල්ලකෑම් සහ හුසේන්ගේ මර්දනය, එක් පසකින් ජෝර්දානයත් අනෙක් පසින් පලස්තීන විමුක්ති සංවිධානය සහ සිරියාව අතරත් කෙටි යුද්ධයක් ඇවිලවීය. පලස්තීනුවන්ට ආධාර කිරීම සඳහා සිරියාව ජෝර්දානය ආක්‍රමනය කලේය. සැප්තැම්බර් අවසානය වන විට සිරියානු හමුදාව විශාල පරාජයකට මුහුන දී ජෝර්දානයේ භූමියෙන් පසුබැස ගිය අතර පීඑල්ඕ සමග පෙලගැසී සිටි හමුදා බහුතරයකට ලෙබනනයට පලා යාමට බල කෙරුනි.

සැප්තැම්බර් 27 වන දින සිරියානුවන්ගේ පසුබැසීමත් සමඟ බහුතරයක් සටන් අවසන් වුවද, පලස්තීන සටන්කරුවන්ගේ කුඩා කන්ඩායම්, ඔවුන්ට යම් ශක්තියක් තිබූ ජෝර්දාන නගර තව දුරටත් අල්ලා ගෙන සිටීමට උත්සාහ කලහ. 1971 ජූලි මාසයේදී, ඔවුන් සැඟව සිටීමට භාවිතා කල ස්ථාන ජෝර්දාන හමුදාව විසින් වට කොට අල්ලා ගැනීමෙන් සියල්ල අවසන් විය.  

* Popular Front for the Liberation of Palestine (PFLP): 1967 දී ඊස්රායලය විසින් බටහිර ඉවුර අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රතිරෝධී ව්‍යාපාරයක් ලෙස පලස්තීනයේ විමුක්තිය සඳහා වූ මහජන පෙරමුන (පීඑෆ්එල්පී) පිහිටුවන ලදී. එහි නිර්මාතෘ ජෝර්ජ් හබාෂ් ය. 1970 දශකය තුල, පලස්තීන විමුක්ති සංවිධානය (Palestine Liberation Organisation/PLO) තුල සිටි දෙවන විශාලතම කන්ඩායම, පීඑෆ්එල්පී සංවිධානයයි.

Loading