ශ්‍රී ලංකාව: අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ ආපසු වැඩට යාමට විරුද්ධ වනු! රැකියා විනාශය එපා!

2020 අප්‍රේල් 18 දින සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව), අනාරක්ෂිත සෞඛ්‍යාරක්ෂක කොන්දේසි යටතේ කම්කරුවන් වැඩට කැඳවීමට එරෙහිව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් පල කල ප්‍රකාශය අපි යලි ඉදිරිපත් කරමු. ආන්ඩුවේ අනුදැන්ම ඇතිව කම්කරුවන් යලි වැඩට කැඳවීමට මූලිකත්වය ගත් සමාගම්කරුවන් අතර ඇඟලුම් කර්මාන්තශාලා හිමියන් ප්‍රමුඛ විය.

***

ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ආන්ඩුව හා මහ ව්‍යාපාරිකයන්, කොවිඞ්-19 අගුලුදැමීම අවසන් කරමින්, අපනයන කර්මාන්ත හා ගොඩනැගිලි කර්මාන්ත ඇතුලු ප්‍රධාන ව්‍යාපාරික වැඩ යලි අරඹන ලෙස ඉල්ලා සිටියි.

මාරාන්තික කොරෝනා වෛරසය ලොව පුරා ඉහල යද්දී, ලක්ෂ ගනන් කම්කරුවන් පෙරලා අනාරක්ෂිත කම්හල් හා වැඩපොලවලට දැක්කීම මෙහි අර්ථය යි. විශාලතම වතු සමාගම්වලට නිෂ්පාදනය යලි ඇරඹීම සඳහා ආන්ඩුව දැනට මත් අවසර දී ඇත.

මේ වන විට වසංගතයේ ගෝලීය මරන ගනන 150,000 ඉක්මවන අතර, මිලියන දෙකකට වැඩි පිරිසකට එය ආසාදනය වී තිබේ. ව්‍යසනය පාලනය කෙරෙන බවට සලකුනක් වත් නැත. ශ්‍රී ලංකාවේ නිල මරන ගනන හතක් හා ආසාදිතයන් ගනන 240ක් වෙතත්, මෙම පහල සංඛ්‍යාලේඛනවලට ප්‍රධාන හේතුව අතිශයින් ම අප්‍රමානවත් පරීක්ෂන යි. රෝහල් මේ දක්වා සිදුකර ඇත්තේ පරීක්ෂන 5,000ක් පමනි.

“ආර්ථිකය යලි විවෘත කිරීම” පිනිස “නික්මීමේ මූලෝපායක්” ක්‍රියාවට දැමීම සඳහා තත්ත්වය ප්‍රමානවත් යයි කියාපෑමට මෙම පහල සංඛ්‍යාලේඛන කොලඹ ආන්ඩුව විසින් යොදාගනිමින් සිටී. මැයි මස මුල දී පාසල් හා විශ්ව විද්‍යාල විවෘත කිරීම ඇරඹීමට එය තීරනය කර තිබේ. මෙම තීරනය ගුරුවරුන්ගේ විරෝධයට ලක්ව ඇත.

අප්‍රේල් 15දා පැවති, යුද හමුදාපති ඇතුලු ප්‍රධාන නිලධරයන් කැඳවාගෙන පැවත්වූ ඉහල පෙලේ රැස්වීමක දී, රාජපක්ෂ ප්‍රකාශ කලේ රාජ්‍ය හා පුද්ගලික අංශයන් “සිය ව්‍යාපාරික වැඩකටයුතු යලි ඇරඹීමට” අවශ්‍ය බවයි. “මහජනයා ආරක්ෂක රෙගුලාසි පිලිපදින බවට තහවුරු කිරීමේ වගකීම” අමාත්‍යාංශ ලේකම්වරුන් විසින් භාරගත යුතු බව ඔහු ප්‍රකාශ කලේ ය. මේ වනාහි, කොරෝනා වෛරසයේ පැතිරීම පිලිබඳව “මහජනයාට”, එනම් වැඩකරන ජනයා හා දුගීන් ට දොස් පැවරීම ඉලක්ක කරගෙන කල ප්‍රකාශයකි.  

රාජපක්ෂගේ රැස්වීමට දවස් කිහිපයකට පෙර ම, අපනයන සංවර්ධන මන්ඩලයේ සභාපති ප්‍රභාෂ් සුබසිංහ, රටපුරා ඇඳිරි නීතිය නො තකා වහා ම තම වැඩකටයුතු යලි අරඹන ලෙස අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. “අපනයන කටයුතු සිදුකර විදේශ ආදායම මෙරටට ගෙන ඒම හා මෙම කොවිඞ්-19 අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදාගැනීම ජාතික ප්‍රමුඛතාවක් බව අපනයන කර්මාන්තය විසින් අවබෝධ කරගැනීම වැදගත්” යයි සුබසිංහ කීවේ ය.

හැකිලෙමින් පවතින ලෝක වෙලඳපොලේ දී, තමන්ගේ ජාත්‍යන්තර තරඟකරුවන් විසින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදකයන් කොන් කෙරනු ඇතැයි, ඇඟලුම් කර්මාන්තකරුවන්ගේ කන්ඩායමක් වන ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය අනතුරු ඇඟවී ය. “කම්හල් යලි විවෘත නො කල හොත්, වියට්නාමය හා කාම්බෝජය වැනි අපේ තරඟකාරයන්ගේ රටවල්වලට... වාසිවන ලෙස වෙලඳාමේ  බරපතල මාරුවක් සිදුවීමේ අවස්ථාව පවතී. වියට්නාමය ක්‍රියාශීලී ලෙස සබඳතා සොයමින් සිටී” යි එය ප්‍රකාශ කලේ ය.

මෙය වනාහි, වසංගත අර්බුදය විසින් දැනට මත් පහර වැදී ඇති තත්වයෙන් ලාබ ගොඩගැනීමට කරන මංමුලා සහගත කැඳවුමකි. විදේශ නය ගෙවීම පැහැර හැරීමේ අද්දර සිටින ආන්ඩුව, විදේශ සංචිත වැඩිකර ගැනීමට ඒ හා සමාන ව ම මංමුලා සහගත ය.

රාජපක්ෂ ප්‍රතිරාවය කරන්නේ ජාත්‍යන්තර ව පාලක පන්තීන් ගෙනයන ඝෝෂාව ම ය. “මහා පිපුරුමක විලාසයෙන් ආර්ථිකය විවෘත කිරීමේ” පියවර ගන්නා ලෙස, එක්සත් ජනපද මූල්‍ය ප්‍රභූව හා මහා සංගතයන් වෙනුවෙන්, ඩොනල්ඞ් ට්‍රම්ප් සාපරාධී  කැඳවීමක් කලේ ය. යුරෝපීය ආන්ඩු ද ඒ හා සමාන ප්‍රකාශ නිකුත් කර ඇත.

එක්සත් ජනපදයේ අපගේ සහෝදර සමාජවාදී සමානතා පක්ෂය (සසප) විස්තර කල පරිදි: “එලඹෙන නිශ්චිත කාලයක් තුල විශාල ජන සංඛ්‍යාවක් මිය යනු ඇතයි යන්නට මහජනයා අනුගතකිරීම කිරීම හෙවත් වසංගතය ‘සාමාන්‍යකරනය’ කිරීම ට්‍රම්ප් පාලනයේ හා සමස්තයක් ලෙස ඇමරිකානු පාලක පන්තියේ ඉලක්කය යි. මරන සංඛ්‍යාව ප්‍රවෘත්ති තුල වඩ වඩා අඩු අවධානයකට ලක්වන නමුත්, කම්කරුවෝ එය නො වැලැක්විය හැකි යයි පිලිගැනීමට විරුද්ධ වෙති.

“මෙම ඉල්ලීම තුල දුෂ්ට පන්ති තර්කනයක් ක්‍රියාත්මක වේ. කම්කරුවන් සලකනු ලැබෙන්නේ වැයකල හැකියවුන් ලෙස ය. ඔවුන් මිය යන්නේ නම්, එය හුදෙක් ව්‍යාපාර කිරීමේ පිරිවැයක් පමනකි. එයට ගොදුරු වන අයගේ තැන අනෙක් අයගෙන් පිරවීමට නියමිත වේ.”

ආපසු වැඩට යන ලෙස කරන, තරයේ ම වගකීම් විරහිත එවැනි කැඳවීම්වලට එරෙහි ව ලෝක සෞඛ්‍ය සංවිධානය හා වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවා ඇත. මෙම වෛරසය “2009 උන වසංගතයට වඩා 10 ගුනයක් මාරාන්තික” යයි ඩබ්ලිව්එච්ඕ අධ්‍යක්ෂ-ජනරාල් වෛද්‍ය ටෙඞ්රෝස් අදානොම් ගෙබ්‍රෙසෙයුස් අප්‍රේල් 13දා ප්‍රකාශ කලේ ය. “ඉතා වේගයෙන් ත්වරනය වන ආසාදනය, මන්දනය වන්නේ ඉතා සෙමිනි...එහි අර්ථය, පාලන පියවරයන් සෙමින් හා පාලනයක් සහිත ව ඉවත් කල යුතු බව යි. එය එක්වර ම සිදුවීමට නො හැකි යි” යි ඔහු තවදුරටත් කීවේ ය.

රාජපක්ෂ ආන්ඩුවේ හා මහ ව්‍යාපාරිකයන්ගේ සාපරාධී ක්‍රියා, මාරාන්තික වෛරසයේ පැතිරීම වේගවත් කරමින් තව තවත් කම්කරුවන්ගේ ජීවිත අහිමි කිරීමට තුඩු දෙනු ඇත. ආන්ඩුවේ පියවරට වෛද්‍ය විශේෂඥයන් කිසිවෙකු සහයෝගය දී නැත.

සාමාන්‍ය ජනයාගේ යහපත ගැන මෙම ආන්ඩුවට කිසිදු තැකීමක් නැත. ගෝලීය වසංගතයක් පිලිබඳ අනතුරු ඇඟවීම්, එය ගැඹුරින් සැලකිල්ලට ගත්තේ නැත. ජනවාරියේ ශ්‍රී ලංකාවේ දී පලමුව කොරෝනා වෛරසය ආසාදනය වූ චීන සංචාරක කාන්තාව හඳුනාගත් විට, ඇයගේ සුවපත් වීම ගැන ආන්ඩුව උදම් ඇනී ය.

“අනෙක් රටවලට හොඳ ම සෞඛ්‍ය පහසුකම් තිබෙන්නට පුලුවන්, ඒත් අපි අපේ ම උත්සාහයෙන් ආසාදිත ජනයා සුවපත් කිරීමට සමත් වුනා” යි කියාපාමින්, සති ගනනකට පසුව ද සම්පූර්න අගුලු දැමීමක් සිදුකිරීම රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කලේ ය.

ආහාර, ඖෂධ හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම ගැන සුදුසු සැලසුමක් සකස් නොකරම දවස් කිහිපයකට පසුව සම්පූර්න වසාදැමීමක් ප්‍රකාශයට පත්කරනු ලැබී ය. මෙය දසදහස් ගනනක් කම්කරුවන් ගම්පලාත්වලට තල්ලු කරන ලද අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මාසික වැටුප වත් නො ලැබුනි. තවත් දහස් ගනනක් නිදහස් වෙලඳ කලාප තුල හිර වුනි. ඔවුන්ගේ විරෝධතා පුපුරා යාමට ආසන්න වෙද්දී, ආන්ඩුව වහාම ඉතිරි පිරිස නිවාසවලට යැවී ය.

කම්කරුවන් ආපසු වැඩට එන විට ඔවුන්ට සිදුවනු ඇත්තේ කුමක් ද?

ඇඟලුම් ක්ෂේත්‍රයේ පමනක්, 400,000කට අධික කම්කරුවෝ අඩු වැටුපට වැඩ කරති. රැකියා අතුගා දැමීමට හා වැටුප් කප්පාදු කිරීමට සමාගම් සූදානම් වෙමින් සිටිති.

2008-09 ගෝලීය මූල්‍ය අර්බුදය සමයේ, හිටපු මහින්ද රාජපක්ෂගේ තන්ත්‍රය යටතේ ඇඟලුම් හා අනෙකුත් කම්හල් 500ක් පමන වසා දමන ලද්දේ, කම්කරුවන් ලක්ෂ ගනනක් දොට්ට දමමිනි. වර්තමාන අර්බුදය ඊටත් වඩා ගැඹුරු ය.

කම්කරුවන්ගේ විශ්‍රාම අරමුදල් වන, සේවක අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් ගෙවීම මාස හයකට නැවැත්වීමටත්, කම්කරුවන්ගේ සේවය “තාවකාලික ව” මාස තුනකට නතර කිරීමටත්, ඇඟලුම් සමාගම් අයදුම් කර ඇත. සමාගම් ඒ සඳහා වියට්නාමය විසින් සියලු කම්කරුවන්ට සමාජ ආරක්ෂනය නැවැත්වීම ගෙනහැර දැක්වී ය.

කම්කරුවන් 47,000ක් සේවයේ යොදවන ඇඟලුම් සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගම, සියයට 5 සිට 30 දක්වා වැටුප් කප්පාදු කොට, සුභසාධන අරමුදල් ද කපා තාවකාලික කම්කරුවන් නෙරපා ඇත. 

විවිධ කර්මාන්තවල නිරත තවත් මහා සමාගම් දෙකක් වන සොෆ්ට්ලොජික් හා ජෝන් කීල්ස් යන සමාගම් ඒ හා සමාන වැටුප් හා ප්‍රතිලාභ කප්පාදු නිවේදනය කර තිබේ.

කම්කරුවන් මුහුන දෙනු ඇත්තේ අනාරක්ෂිත වැඩපොල කොන්දේසිවලට ය. ඔවුන්ට අවශ්‍ය ආරක්ෂක උපකරන සම්පාදනය කිරීමට හාම්පුතුන්ට බලකෙරෙන රෙගුලාසි නැත. මගීන්ගෙන් තදබද වූ ප්‍රවාහන සේවාවන්හි ගමනා ගමනයේ දී මෙන්ම කර්මාන්ත ශාලා වල  වැඩකිරීමේදී සෞඛ්‍යාරක්ෂිතව දුරස්ථ වී සිටීමට නොහැකිවනු ඇත. 

ලංකාවේ ගරාවැටුනු සෞඛ්‍ය සේවය, වසංගතය පාලනය කිරීමේ දී දැනට මත් දුෂ්කරතාවන්ට මුහුන දෙයි. එම තත්වය තුල ආසාදනවල නව වටයකට විනාශකාරී තත්ත්වයක් නිර්මානය කල හැක. මෙම අන්තරාය මධ්‍යයේ පවා, දැනට දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.2ක් වන වාර්ෂික සෞඛ්‍ය අරමුදලට අතිරේක අරමුදල් වෙන් කිරීම රාජපක්ෂ තන්ත්‍රය විසින් නිවේදනය කර නැත.

ඊට ප්‍රතිකුලව, ජනාධිපතිවරයාගේ නියෝග යටතේ මහ ව්‍යාපාරවලට රුපියල් බිලියන ගනන් මහ බැංකුව විසින් පොම්ප කර, බැංකු පොලී අනුපාත පහත දමා ඇත.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සමාගම් අපනයන සැපයුම් කරන එක්සත් ජනපදයේ හා යුරෝපයේ යෝධ සංගත දැනට මත් බොහෝ ඇනවුම් අවලංගු කර ඇත. එලෙසින් ම, ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භාන්ඩය වන තේ වෙලඳාමේ ලෝක වෙලඳපොලේ ආධිපත්‍යය දරන්නේ යුනිලීවර් සමාගම යි.

ඇඟලුම් අපනයන ආදායම් මත රැඳී සිටින බංග්ලාදේශයේ ද මහ ව්‍යාපාරිකයන් හා ආන්ඩුව, පසුගිය සතියේ කම්කරුවන් මිලියන 4.5ක් ආපසු වැඩට කැඳවූ හ. එහෙත් දසදහස් ගනනක් ක්ෂනික ව නෙරපා දමන ලද අතර, ලක්ෂ ගනනකට ඔවුන්ගේ රැකියා අහිමි වනු ඇත. මෙම දොට්ට දැමීම්වලට විරුද්ධ ව, පසුගිය සතියේ පටන් කම්කරුවන්ගේ විරෝධතා දිගට ම මතුවෙමින් තිබේ.

අනෙක් තන්ත්‍රයන් මෙන් කොලඹ ආන්ඩුව ද 1930 ගනන්වල මහා අවපාතයෙන් මෙපිට ගැඹුරුතම ගෝලීය අර්බුදයේ බර කම්කරුවන් හා දුගීන් මත පටවනු ඇත. ලෝක බැංකුව පවසන ආකාරයට, සමස්තයක් ලෙස දකුනු ආසියාව මේ වසරේ සියයට 1.8 සිට 2.8 දක්වා වන පහල ආර්ථික වර්ධනයක් අත්විඳිනු ඇති අතර ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3 කින් හැකිලෙනු ඇත.

කම්කරුවන්ගේ විරෝධය මර්දනයට සූදානම් වෙමින්, රාජපක්ෂ ඔහුගේ පාලනය මිලිටරීකරනය කිරීම තීව්‍ර කර තිබේ.

ආන්ඩුවේ පියවරයන් පැටවීමට වෘත්තීය සමිති මුලු වැර යොදා වැඩකරමින් සිටිති. නිදහස් වෙලඳ කලාප පොදු සේවා සංගමය හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කරන අන්තර් සමාගම් සේවක සංගමය, සමාගම් හා ආන්ඩුව සමග ත්‍රෛපාර්ශවික සන්ධානයක් තනාගෙන ඇත.

“එකඟතාවකට එලඹීම” සඳහා, එනම් රැකියා හා වැටුප් කප්පාදු කිරීම සඳහා සමාගම්, වෘත්තීය සමිති හා රාජ්‍යයේ සන්ධානයක් වන ජාතික කම්කරු කවුන්සිලය කැඳවන ලෙස ජවිපෙ සමිති නායක ලාල් කාන්ත ආන්ඩුවෙන් ඉල්ලා තිබේ.

“ආර්ථිකය යලි විවෘත කිරීමේ” ආන්ඩුවේ පියවරට සියලු ධනපති පක්ෂ සහයෝගය ප්‍රකාශයට පත්කර ඇත.

මෙම ප්‍රහාර පරාජය කිරීම සඳහා කම්කරුවන් දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු විය යුතු ය.

* විද්‍යාත්මක ඇගයීමකින් සහතික කරන ලද ආරක්ෂක පූර්වෝපායයන්ගේ තොර ව කම්හල් හෝ වැඩපොලවල් කරා කිසිදු ආකාරයකින් ආපසු යාමට විරුද්ධ වන ලෙස සමාජවාදී සමානතා පක්ෂය (සසප) කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

* රැකියා, වැටුප් හා විශ්‍රාම වැටුප් කප්පාදුව එපා! කම්කරුවන්ට සම්පූර්න වැටුප්, දීමනා සහ රැකියා අහිමිවීම් සඳහා වන්දි ලැබිය යුතු ය.

රුපියල් බිලියන ගනන් වෙන් කල යුත්තේ, කොවිඞ්-19 තුරන් කිරීම සඳහා, සියලු උපකරන සහිත රෝහල් ඉදිකිරීම, මහා පරිමාන පරීක්ෂන වැඩසටහන් දියත් කිරීම සහ සෞඛ්‍ය කම්කරුවන්ට හා රෝගීන්ට අවශ්‍ය උපකරන සම්පාදනය කිරීම මගින් නිදහස් සෞඛ්‍ය සේවය වහා ම වර්ධනය කිරීම පිනිස මිස, බඩජාරි මහ ව්‍යාපාරිකයන් රැකීමට නො වේ.

මෙම ඉල්ලීම් සඳහා සටන් වැදීමට, කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්හල්වල හා වැඩපොලවල ක්‍රියාකාරී කමිටු සංවිධානය කල යුතු ය.

මෙම හදිසි කර්තව්‍යයන් අත්පත් කරගත හැක්කේ, ධනපති පන්තියෙන් නිෂ්පාදන බලවේග උදුරාගෙන, සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා ඒවා තාර්කික ව සංවිධානය කිරීමෙන් පමනි.

මෙම පියවරයන් ක්‍රියාවට දැමීම සඳහා නම්, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීම අවශ්‍ය වේ.

මෙම සමාජවාදී ක්‍රියාමාර්ගයට සටන් වදින්නේ කෙසේදැයි පැහැදිලි කර ගැනීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය සමග ප්‍රමාද නො වී සාකච්ඡා අරඹන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලමු.