කොරෝනා වසංගතයේ ව්‍යසනකාරී පුපුරායාම: රාජපක්ෂ ආන්ඩුවේ සහ ධනපති සමාගම්වල සාපරාධීභාවයේ නිර්මිතයක්

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කම්හලේ සේවකයන් දහසකට ආසන්න සංඛ්‍යාවක් කොවිඩ්-19 ආසාදිතයන් බව සහ ඔවුන් දිවයිනේ විවිධ පලාත්වලදී තවත් බොහෝ දෙනෙකු ඇසුරු කර ඇති බව අනාවරනයවීමත් සමග, දසදහස් සංඛ්‍යාත මහජනයා ගොදුරුකර ගනිමින් වසංගතය ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්තවීමේ බලගතු අන්තරායක් මතුකෙරී පවතී.    

අද උදෑසන වන විට එම කම්හලේ සේවකයන් අතරින් සොයා ගැනුනු කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 832 ක් විය. ඉන් 700 කට වැඩි ගනනක් සොයා ගැනුනු ඊයේ දිනය, මෙතෙක් ශ්‍රී ලංකාව තුල වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් සොයා ගැනුනු දිනය ලෙස වාර්තා වෙයි. පසුගිය පෙබරවාරියේ ලංකාව තුල මුල්ම කොරෝනා ආසාදිතයා හමුවීමෙන් අනතුරුව මේ දක්වා සොයා ගැනුනු රෝගීන් සංඛ්‍යාව 4000 ඉක්මවා ඇති අතර ඉන් 13 දෙනෙකු මරනයට පත්ව ඇත.

වසංගතය සමාජ ගතවී ඇති බව වසන් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව උත්සාහ කලද, එය තවදුරටත් වසන් කල නොහැකි කරුනක් බවට පත් වෙමින් ඇත. රජයේ වෛද්‍ය පර්යේෂන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජයරුවන් බන්ඩාර, මිනුවන්ගොඩ සිද්ධිය විශ්ලේෂනය කරමින් මාධ්‍යයට පැවසුවේ, සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුනාගත් “පොකුරු වලට පිටතින්” පසුගිය මාස ගනනාව තුල වෛරසය “සමාජගතව” ඇති බවයි. “මෙය අන්තරායකාරී තත්වයක්” බව ඔහු අවධාරනය කර ඇත. 

බන්ඩාර ගේ මෙම ප්‍රකාශයට ප්‍රතිචාරී වසයෙන්, ආන්ඩුව ඊයේ දිනයේ ඔහු තනතුරෙන් නෙරපා හැරියේය. වසංගතයේ ව්‍යසනකාරී තත්වය හෙලි කරන වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් නිහඬ කිරීමට ආන්ඩුව කෙතරම් රුදුරු පීඩනයක් යොදන්නේද යන්න පිලිබඳව එම සිද්ධියමත් සාක්ෂියකි.  

වසංගතය පාලනය කිරීමට, රෝග ව්‍යාප්තියේ පරිමාව සහ ස්වභාවය නිර්නය කර ගැනීම මූලික වසයෙන්ම අවශ්‍ය වෙයි. ඒ සඳහා ඇති ප්‍ර‍ශස්තම ක්‍රමවේදය පුලුල් වසයෙන් කෙරෙන පරීක්ෂන බව, ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම, ජාතික සහ ජාත්‍යන්තර වසංගත රෝග විශේෂඥයෝ දිගින් දිගටම අවධාරනය කලහ. සෞඛ්‍ය පිලිවෙත් සඳහා ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රවි රන්නන්එලිය අද ඩේලිමිරර් පුවත්පතට ලියා ඇති ලිපියක සඳහන් කරන්නේ ලංකාවේ ජනගහනයට සාපේක්ෂව ගත්කල දිනකට පරීක්ෂන 5000-8000 ක් අතර ප්‍රමානයක් කලයුතු බවයි. 

ආන්ඩුව මෙය මුල සිටම නොතකා හරින ලදී. රටතුල පලමු වරට කොරෝනා රෝගියෙකු වාර්තා වූ පෙබරවාරියේ සිට අද දක්වා සිදු කෙරි ඇති සමස්ත පරීක්ෂන සංඛ්‍යාව යන්තමින් තුන් ලක්ෂයට ආසන්නය. ඒ අනුව දිනක සාමාන්‍යය 1400 ක් පමන වන ඉතා පහත් අගයකි. එය කිසිසේත්ම රෝග ව්‍යාප්තිය පිලිබඳ සංයුක්ත අදහසක් ඇතිකර ගැනීමට ප්‍රමානවත් නොවේ. 

මිනුවන්ගොඩ කම්හලේ ආසාදිත පොකුර සොයාගත හැකි වූයේ, ඉන් එක් කම්කරු කාන්තාවක් තම රෝගී තත්වයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගම්පහ රෝහලට ගිය අවස්ථාවේ අහඹු ලෙස කෙරුනු පීසීආර් පරීක්ෂනයකදී ඇය ආසාදිත බව සොයා ගැනීමත් සමගය. ඉන් තහවුරු වන්නේ පරීක්ෂන සංඛ්‍යාව නිසි පරිදි පුලුල් කලහොත් සමාජය තුල කෙතරම් ආසාදිතයන් සංඛ්‍යාවක් සොයාගත හැකිද යන්නයි.

වසංගතය අතිශය බියකරු මට්ටමකට සේන්දු වී තිබියදී පවා, පිසීආර් පරීක්ෂන සංඛ්‍යාව ප්‍රමානවත් පරිදි ඉහල දැමීමට ආන්ඩුව සූදානම් නැත. ඔක්තෝබර් 04 වන දා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මාධ්‍යයට ප්‍රකාශ කලේ, රජයේ රෝහලකට දිනකට පැමිනෙන ශ්වසන ආබාධිත දස දෙනෙකු අවම වසයෙන් පීසීආර් පරීක්ෂන වලට ලක්කල යුතු බවට උපදෙස් දී ඇති බවයි. 

ප්‍රමානවත් පරිදි පිසීආර් පරීක්ෂන සිදු නොකිරීම පිටුපස කරුනු දෙකක් පවතී. පරීක්ෂන සීමා කිරීම මගින් රෝග ව්‍යාප්තියේ සැබෑ පරිමාව වසන් කොට සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් මවා පෙන්වා, ධනපතියන්ගේ ලාභ උත්පාදන සන්තතිය අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා කම්කරුවන් වැඩට දැක්කීම ඉන් පලමුවැන්න යි. දෙවැන්න ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කිරීමේ ලා ධනපති ආන්ඩුවට ඇති නොහැකියාවයි. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වඩාත් ගැඹුරු කෙරී ඇති ආන්ඩුවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නැවත නැවතත් ආන්ඩුවට බල කරනුයේ, සෞඛ්‍ය ඇතුලු සමාජ සුබසාධන ක්ෂේත්‍රයේ වියදම් දැවැන්ත පරිමාවෙන් කප්පාදු කරන ලෙසයි. 

කම්කරු-පීඩිත මහජනතාවගේ ජීවිත රැක ගැනීම වෙනුවෙන් මුදල් වෙන් නොකරන ආන්ඩුව, මෙම ගැඹුරු අර්බුදය මධ්‍යයේ පවා,  බැංකු සහ මහා සමාගම් වලට වසංගතයෙන් සිදුවන හානිය පූරනය කරනු වස් රුපියල් බිලියන ගනනක සහන පැකේජයක්, මුදා හලේය. කම්කරු-පීඩිත මහජනතාවන් මරනයට අත හරින අතරේ මහ ධනපතියන්ට සහන පිදීම, රාජපක්ෂගේ පමනක් නොව එක්සත් ජනපදයේ ට්‍ර‍ම්ප් පරිපාලනයේ සිට ලොවපුරා සෑම ආන්ඩුවකම පිලිවෙත බවට පත්ව ඇත.

වර්ධනය වන ව්‍යසනකාරී තත්වයට මුහුනදීමේ කවර හෝ හැකියාවක් ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට නොමැත. අනුප්‍රාප්තික ආන්ඩු විසින් දශක ගනනාවක් පුරා ගෙනයන කප්පාදු හේතුවෙන් රාජ්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍ර‍ය බලගතු පරිහානියකට ලක්ව පවතී.  උදාහරනයක් ලෙස සමස්ත රාජ්‍ය රෝහල් පද්ධතිය තුල ඇති දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව දහසකට අඩුය. මෙම තතු තුල අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව දහස ඉක්මවුවහොත්, ඔවුනට දැඩි සත්කාර නොලබා මිය යන්නට සිදුවනු ඇත. 

ජාත්‍යන්තර චින්තන පර්ෂදයක් වන "ඩීප් නොලේජ් ගෲප්" ආයතනයට අනුව, කෝවිඩ් 19 වසංගතයෙන් සුරක්ෂිතවීමේ හැකියාව අනුව ලෝකයේ රටවල් ශ්‍රේනිගත කිරීමේදී ලංකාවට හිමිව ඇත්තේ 92 වැනි පහලම ස්ථානයකි. අවම වසයෙන් රෝහල් කාර්ය මන්ඩලයන්ට අවශ්‍ය පුද්ගලික ආරක්ෂන උපකරන සැපයීමට පවා ආන්ඩුව පසුගිය කාලය තුල අසමත් වූ අතර, හෙද-හෙදියන් ඇතුලු රෝහල් සේවකයෝ එයට එරෙහිව විවිධ විරෝධතාවයන්හි යෙදී ගත්හ.  

එපමනක් නොව, රෝග ව්‍යාප්තිය අවම කිරීමේ අත්‍යවශ්‍ය ක්‍රමවේදයක් වන අගුලු දැමීම ද නොතකා හල ආන්ඩුව, පාර්ලිමේන්තු මැතිවරනය සඳහා නාම යෝජනා භාරගත් මාර්තු 20 වන දා වනතෙක් එය කල් දැමීය. මැතිවරනය හැකි ඉක්මනින් පවත්වා, පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතරයක් සහිත තමාගේම ආන්ඩුවක් පිහිටුවා ගනිමින්, ජනාධිපති ආඥාදායකත්වයකට අවශ්‍ය නීතිමය රාමුව සම්පාදනය කෙරෙන නව ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කර ගැනීම රාජපක්ෂගේ අභිප්‍රාය විය. ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන පන්ති අරගල රුදුරුම ආකාරයෙන් තලා දැමීම ඔහුගේ අරමුනයි.   

2019 නොවැම්බරයේ ජනාධිපති ධුරයට පැමිනි දා පටන්, රට මිලිටරිකරනය කිරීමේ වැඩපිලිවෙල රාජපක්ෂ ඉතා වේගයෙන්  ක්‍රියාවට නැංවීය. ආරක්ෂක ලේකම් තනතුරේ සිට රජයේ සියලු මර්මස්ථානයන්ට විශ්‍රාමික හෝ සේවයේ යෙදී සිටින ඉහල මිලිටරි නිලධාරීන් පත් කෙරුනු අතර, වසංගතයද මිලිටරීකරන ක්‍රියාවලිය තර කිරීමට යොදා ගැනුනි. කොවිඩ්-19 කාර්ය සාධක බලකාය පිහිටුවමින් එහි නායකත්වයට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කෙරුනු අතර වසංගත විශේෂඥයන් ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් ඔහුගේ අධිකාරිත්වයට යටත් කෙරුනි. එපමනක් නොව, සමස්ත නිරෝධායන ක්‍රියාවලියම මිලිටරිය යටතට ගැනුනි.

සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුනට අමතරව, දෙමල ජාතික සන්ධානය සහ මුස්ලිම් කොන්ග්‍රසය ඇතුලු සියලු ධනපති පක්ෂ රාජපක්ෂගේ වටමේස සාකච්ඡාවන්ට බඩගා, කොරෝනා මර්දනය ඉතා හොඳින් සිදුවන බවට ප්‍රශංසා කරමින් ඔහුගේ මිලිටරීකරන වැඩපිලිවෙලට පූර්න සහයෝගය ලබා දුන්හ. ව්‍යාජ-වාම පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලිපි දෙකක්ම ලියමින් ආන්ඩුවට තම සහාය පල කලේය. වසංගතය තවදුරටත් පැතිරෙද්දී, ජූනි 28 වන දා ආන්ඩුව රට අගුලු දැමීම අවසන් කලේ ඉහත සහයෝගයේ ගැම්මෙනි.

අද දින වසංගතය සමාජගතව ඇති බවට ප්‍රමානවත් සාක්ෂි තිබියදී සහ ඉන් මතුකෙරී ඇති බලගතු අන්තරාය වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් අවධාරනය කරද්දී දැන් ආන්ඩුව කියන්නේ යලි අගුලු දැමීමක් සිදු නොකරන බවයි. කොවිඩ්-19  කාර්ය සාධක බලකායේ සභාපති ශවේන්ද්‍ර සිල්වා එය සාධාරනීකරනය කලේ රටපුරා අගුලු දැමීමක් "පොදු මහජනතාවගෙන් බහුතරයකට පීඩාකාරී" වියහැකි බව පවසමිනි. 

සිල්වා කරන මෙම ප්‍රකාශය මුලුමනින්ම වංචනිකය. එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනයේ සිට, ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි තන්ත්‍රය දක්වා වන ලොවපුරා ආන්ඩුවල මෙන්ම, රාජපක්ෂ තන්ත්‍රයේ ද අභිප්‍රාය වනුයේ, ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්ගේ සහ පීඩිතයන්ගේ ජීවිත බිලිදී හෝ මහ ධනපතියන්ගේ ලාභෝත්පාදන ක්‍රියාවලිය නොනවත්වා පවත්වාගෙනයාම සඳහා සුවිසල් කම්හල් සහ සුපිරි වෙලඳසැල් ඇතුලු අනෙකුත් මහා ව්‍යාපාර අඛන්ඩ මෙහෙයුමක තබා ගැනීමයි. අගුලු දැමීමෙන් වැලකී සිටීම පිටුපස පවතින්නේ එම අරමුනයි. 

ට්‍රම්ප් ගේ සිට ලොවපුරා පාලකයන් සහ ඔවුනගේ මාධ්‍ය කේවට්ටයන් විසින්, “රංචු ප්‍රතිශක්තිකරනය”, එනම් මහජනයාගෙන් හැකිතරම් ප්‍රමානයකට වසංගතය ආසාදනය වීමට සලස්වා එමගින් ප්‍රතිශක්තිකරනය උත්පාදනය කිරීමේ මරනීය ක්‍රමවේදය, තොරොම්බල් කරනුයේ ද මෙම ධනපති අවශ්‍යතාවයට සරිලන පරිදි කම්කරුවන් වැඩට දක්කා ගැනීමටයි. ට්‍රම්ප් මෙන් ප්‍රසිද්ධියේ කියා නොසිටිය ද රාජපක්ෂ විසින් ක්‍රියාවට දමමින් සිටින්නේ එම ම්ලේච්ඡ පිලිවෙතමයි.  

අනෙක් අතට, අත්‍යවශ්‍ය ආහාරපාන, ඖෂධ සහ මුල්‍ය උපකාර සම්පාදනය නොකොට, පසුගියවර සිදුකල  ක්ෂනික අගුලු දැමීමෙන් පැන නැගි මහජන විරෝධය ගැනද ආන්ඩුව උත්සුක වෙයි. වේගයෙන් ඉහල යන ජීවන වියදම, දීමනා සහ වැටුප් කප්පාදු සහ රැකියා වලින් දොට්ට දැමීම් හමුවේ කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් තුල වැඩී ඇති සමාජ කෝපය එවන් තත්වයක් තුල පුපුරා යතැයි ආන්ඩුව ගනන් බලයි.

මෙම තතු තුල, සුපුරුදු පරිදි, වසංගතය පැතිර යාම සම්බන්ධයෙන් මහජනතාව වෙත වරද පැටවීමට ආන්ඩුව සහ එහි ඒජන්තයන්  ක්‍රියාත්මක වී තිබේ. ඊයේ හමුදාපති සිල්වා පැවසුවේ “පසුගිය  දින කිහිපයේ සෑම දිනකම අපි මාධ්‍ය මගින් දැනුම් දුන්න කොවිඩ් ගැන. නමුත් මහා ජනතාව හැසුරුනේ මේ රටේ කොවිඩ් තියෙනවද වත් කියල නොදන්නා ගානට” බවයි. 

මෙයද මුලුමනින්ම වංචනිකය. වසංගතය මුලුමනින්ම මැඩ පවත්වා ඇති බවට පම්පෝරි ගසන අතරේ නිරෝධායන නීති කඩ කරමින් දහස් ගනන් සහභාගි වන මැතිවරන රැස්වීම් සංවිධානය කල රාජපක්ෂ බෑයෝ ඒවාට තෙමේම සහභාගි වූහ. දිවයිනේ නන් දෙසින් පැමිනෙන ලක්ෂ සංඛ්‍යාත ජනයා සහභාගි වන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන පවා පැවැත්වීමට අවසර ලැබුනි. මේ සියල්ල සිදු කෙරුනේ රට යතා තත්වයට පැමින ඇති බව මවා පාමින් කම්කරුවන් යලි වැඩට දක්කා ගැනීමටයි. මහජනතාව වසංගතය නොතකමින් හැසිරුනේ නම් ඒ ආන්ඩුව විසින් එවන් පරිසරයක් නිර්මානය කල බැවිනි. 

කම්කරුවන්ගේ ජීවිත මුලුමනින්ම නොතකමින්, රට යලි විවෘත කරන ලෙස ඉල්ලා සිටි ව්‍යවසායකයන් අතරින් ඇඟලුම් ව්‍යාපාරික සමාගම් ඉදිරියෙන්ම සිටියහ. බ්‍රැන්ඩික්ස් සමූහය ඒ අතරින් ප්‍රමුඛම සමාගමක් වෙයි. රාජපක්ෂ ආන්ඩුවේ ආශීර්වාදයෙන් සහ වෘත්තීය සමිති වල පූර්න ආධාරයෙන් කම්කරුවන්ගේ වැටුප්, දීමනා සහ රැකියා කප්පාදු කොට ශ්‍රම සූරාකෑම වේගවත් කල බ්‍රැන්ඩික්ස් ඇතුලු සමාගම්, ක්‍රමයෙන් ආරක්ෂන ක්‍රමවේදයන් අත්හැර කම්කරුවන් වසංගතයට නිරාවරනය කලහ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්කරුවන් ලෝක සමාජවාදී වෙබ් අඩවියට පැවසුවේ සියයකට අධික සහෝදර කම්කරුවන් පිරිසක් ඔවුන් උන රෝගයෙන් පෙලෙන බව කලමනාකාරිත්වයට දැන්වුවද කවර හෝ පියවරක් නොගත් බවයි. රෝගී කම්කරුවන් නිවාඩු ඉල්ලූ විට කලමනාකාරිත්වය එයද ප්‍රතික්ෂේප කල බව ඔවුහු පැවසූහ.      

නිර්මානය කෙරී ඇති ව්‍යසනකාරී තත්වයට රාජපක්ෂ ආන්ඩුව සහ බ්‍රැන්ඩික්ස් ඇතුලු සමාගම් හිමි ධනපතියන් මුලුමනින්ම වගකිව යුතුය. ධනපති ආන්ඩු සහ ධනපති ක්‍රමය යටතේ මෙම ගෝලීය වසංගතය ජයගත නොහැකි බව පෙන්වා දෙමින් කම්කරු  පන්තියට තමාගේම ක්‍රියා මාර්ගයක් ඉදිරිපත් කරමින් මුල සිටම සටන් වැදුනේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) පමනි. 

2020 අප්‍රේල් 18 දින සසප, අනාරක්ෂිත සෞඛ්‍යාරක්ෂක කොන්දේසි යටතේ කම්කරුවන් වැඩට කැඳවීමට එරෙහිව ලෝසවෙඅ හි පලකල ප්‍රකාශයේ මෙසේ සටහන් කෙරුනි.

“රුපියල් බිලියන ගනන් වෙන් කල යුත්තේ, කොවිඩ්-19 තුරන් කිරීම සඳහා, සියලු උපකරන සහිත රෝහල් ඉදිකිරීම, මහා පරිමාන පරීක්ෂන වැඩසටහන් දියත් කිරීම සහ සෞඛ්‍ය කම්කරුවන්ට හා රෝගීන්ට අවශ්‍ය උපකරන සම්පාදනය කිරීම මගින් නිදහස් සෞඛ්‍ය සේවය වහා ම වර්ධනය කිරීම පිනිස මිස, බඩජාරි මහ ව්‍යාපාරිකයන් රැකීමට නො වේ.

මෙම ඉල්ලීම් සඳහා සටන් වැදීමට, කම්කරුවන් වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව කම්හල්වල හා වැඩපොලවල ක්‍රියාකාරී කමිටු සංවිධානය කල යුතු ය.

මෙම හදිසි කර්තව්‍යයන් අත්පත් කරගත හැක්කේ, ධනපති පන්තියෙන් නිෂ්පාදන බලවේග උදුරාගෙන, සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා ඒවා තාර්කික ව සංවිධානය කිරීමෙන් පමනි.

මෙම පියවරයන් ක්‍රියාවට දැමීම සඳහා නම්, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීම අවශ්‍ය වේ.”

Loading