ශ්‍රී ලංකාව: වැටුප් කප්පාදුවට හා රුදුරු සේවා කොන්දේසිවලට එරෙහි වතු කම්කරුවන්ගේ අරගලය සඳහා ඉදිරි මාවත

වෘත්තීය සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු! සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් වදිනු!

මෑත දින කිහිපයේ දී නුවර එලිය දිස්ත්‍රික්කයේ තේ වතු කිහිපයක කම්කරුවන් සිය ගනනක් විසින් දියත් කරන ලද විරෝධතා මාලාව, ප්‍රාදේශීය වතු සමාගම් (ආර්පීසී) විසින් වැටුප් කප්පාදු කිරීමට හා වැඩ ප්‍රමානය ඉහල දැමීමට එරෙහි ව වතුකරය තුල ඉස්මතු වන නව අරගල රැල්ලක ආරම්භය සලකුනු කරයි. මෙම අරගල ගෝලීය ව පුනර්ජීවනය වන පන්ති අරගලයේ කොටසකි.

  • කැලනි වැලි වතු සමාගම විසින් පාලනය කරන නානුඔය උඩ රදැල්ල වත්තේ කම්කරුවන් 300ක් පමන සැප්තැම්බර් 10 සිට දින 18ක් වර්ජනයේ යෙදුනි. වත්තේ ලමා සුභ සාධන මධ්‍යස්ථානයේ වැඩ නැවැත්වූ ස්ථීර කම්කරුවන් දෙදෙනෙකු වහා යලි සේවයේ පිහිටුවීම ඇතුලු තවත් ඉල්ලීම් කිහිපයක් ද ඔවුහු ඉදිරියට දැමූ හ. එහෙත්, කිසිදු ඉල්ලීමක් ජයග්‍රහනය නො කර, වැඩ වර්ජනය සැප්තැම්බර් 29දා නතර කිරීමට කම්කරුවන්ට බල කෙරුනි. 
  • හැටන් වතු සමාගම මගින් පාලනය වන, මස්කෙලියේ අප්කොට්හි ස්ට්‍රැත්ස්පේ වත්තේ අග්‍රාවත්ත කොටසේ කම්කරුවන් 175ක් සැප්තැම්බර් 9දා සිට දෙදින වර්ජනයක් දියත් කල හ. 
  • හැටන් වතු සමාගම විසින් ම පාලනය කරන හැටන්හි ස්ට්‍රැත්ඩන් වත්තේ සෙම්පහවත්ත කොටසේ කම්කරුවන් 150ක් පමන සැප්තැම්බර් 10දා තුන් දින වර්ජනයක් දියත් කල හ.
  • හොරන වතු සමාගමට අයත් මස්කෙලියේ අප්කොට්හි ගවරවිල වත්තේ තුන් වන කොටසේ කම්කරුවන් 100ට ආසන්න සංඛ්‍යාවක් සැප්තැම්බර් 11දා සිට දෙදින වර්ජනයක නිරත වූ හ.

අර්ථභාරීව මෙම සියලු විරෝධතා උද්ඝෝෂන, වතු වෘත්තීය සමිතිවලින් ස්වාධීන ව පුපුරා ගියේ ය. එහෙත්, මෙම අරගල අනෙකුත් වතු ප්‍රදේශවලට ද පැතිර යතැයි බිය වූ වෘත්තීය සමිති නායකයෝ, සමාගම් කලමනාකාරීත්වයන් හා ආන්ඩුවේ කම්කරු නිලධාරීන් සමග එක්ව ඒවා නතර කිරීමට සහයෝගී ව ක්‍රියා කල හ. සෑම වත්තක ම කම්කරුවෝ, වැටුප් කප්පාදු, ඉහල යන වැඩ බර හා මූලික පහසුකම් නොමැති වීම වැනි එක ම වර්ගයේ ගැටලුවලට මුහුන දෙති.

උඩ රදැල්ල වත්තේ කලමනාකාරීත්වය හා හැටන් සහකාර කම්කරු කොමසාරිස් සමග සාකච්ඡා කල ලංකා කම්කරු කොංග්‍රසය (සීඩබ්ලිව්සී), ජාතික කම්කරු සමිතිය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්), ලංකා ජාතික වතු කම්කරු සමිතිය (එල්ජේඊඩබ්ලිව්යූ) සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසය (ඩීඩබ්ලිව්සී) යන සමිති, සැප්තැම්බර් 29දා වර්ජනය නැවැත්වීමට එකඟ වූ හ. සාකච්ඡාවෙන් අනතුරු ව මාධ්‍ය වෙත අදහස් දැක්වූ යූපීඑෆ් සමිති නායක එම්. කනගරාජ්, කම්කරුවන්ගේ ඉල්ලීම් ලබා දීමට වතු කලමනාකාරීත්වය එකඟ වුනු බව කීවේ ය.

එහෙත් කම්කරුවෝ එය පිලි නොගත්හ. තමන්ගේ ඉල්ලීම් ඉටු කිරීම වතු කලමනාකාරීත්වය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි ඔවුහු පැවසූ හ. නමුත් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ආපසු වැඩට යාමට ඔවුන්ට සිදු විය. අනෙකුත්  විරෝධතාවන්ට මැදිහත් වුනු වෘත්තීය සමිති, ව්‍යාජ පොරොන්දු දී ඒවා නතර කල හ.

සීඩබ්ලිව්සීය, වර්තමාන ශ්‍රී ලංකා පොදුජන පෙරමුනු (ශ්‍රී ලපොපෙ) ආන්ඩුවේ පාර්ශවකරුවෙක් වන අතර, එහි නායක ජීවන් තොන්ඩමන් වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය ඇමතිවරයා ය. අනෙකුත් වෘත්තීය සමිති, පෙර පැවති සමගි ආන්ඩුවේ පාර්ශවකරුවෝ වූ හ.

ඉහල දමන වැඩ කන්දරාව හා ඒ හරහා කෙරෙන තම දෛනික වැටුප් කප්පාදුව කෙරෙහි වතු කම්කරුවන් අතර විරෝධය වැඩෙමින් තිබේ. දිනකට දලු කිලෝ 16-18ක් කැඩීමට කම්කරුවෙකුට සිදු වේ. අවම වසයෙන් දලු කිලෝ 12ක් වත් කැඩීමට කම්කරුවෙකු අසමත් වුව හොත්, ඔහුට හෝ ඇයට ගෙවනු ලබන්නේ මූලික දෛනික වැටුප වන රුපියල් 700න් අඩක් පමනි.

2018 වසරේ දී, වතු කම්කරුවන් ලක්ෂ ගනනක්, දෙසැම්බරයේ දී නිරත වූ අඛන්ඩ වැඩ වර්ජනයක් ඇතුලු විරෝධතා ව්‍යාපාරයක් දියත් කල අතර, සීඩබ්ලිව්සීය ඇතුලු වෘත්තීය සමිති විසින් එය නතර කරනු ලැබී ය. කම්කරුවන් ඉල්ලා සිටියේ රුපියල් 500ක් වූ ඔවුන්ගේ දෛනික වැටුප, රුපියල් 1000 දක්වා, එනම් සියයට 100කින් ඉහල දමන ලෙස යි. අරගලය පාවා දුන් වෘත්තීය සමිති, ඉන්පසුව ආන්ඩුවේ ද පිටුබලය සහිත ව හාම්පුතුන් සමග අත යට ගනුදෙනුවක් කරමින් රුපියල් 700ක දෛනික වැටුපක් හා රුපියල් 50ක මිල කොටස් දීමනාවක් පැටවූ හ. පැමිනීමට හා ඵලදායීත්වයට පූර්වයෙන් ගෙවූ දීමනා ඉවත් කල ප්‍රාදේශීය වතු සමාගම් රුපියල් 200ක් කපා දැමූ බැවින් සැබෑ ලෙස වැඩි වූයේ රුපියල් 20ක් පමනි.

2019 ජනවාරියේ ශ්‍රී ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය හා වෘත්තීය සමිති අතර අත්සන් කෙරුනු සාමූහික ගිවිසුමට, නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීම සහ විශ්‍රාම වැටුප් ඇතුලු අනෙකුත් පහසුකම් අහෝසි කරන, ආදායම් බෙදා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීමේ විධි විධානයන් ඇතුලත් විය. ආදායම් බෙදා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ, තනි කම්කරුවෙකුට හෝ කම්කරු පවුලට තේ පඳුරු 1000-1500 පමන තිබෙන කුඩා බිම් කොටසක් ලැබේ. එය නඩත්තු කිරීමේ හා අස්වනු නෙලීමේ වගකීම කම්කරුවන්ට පැවරේ. අස්වැන්නේ ආදායමෙන් පිරිවැය හා ලාබය කපා ගැනීමේ කොන්දේසිය මත සමාගම් විසින් පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය සපයනු ලැබේ. ආදායම ලෙස කම්කරුවාට ලැබෙන්නේ ඉතිරි වන සොච්චමයි.  

කම්කරුවන්ගේ අනවරත විරෝධය නො තකා, වෘත්තීය සමිතිවල ද උදවුව සහිත ව සමාගම් ආදායම් බෙදා ගැනීමේ ක්‍රමය ක්‍රමානුකූල ව ක්‍රියාවට දමමින් සිටිති. දැනට පවතින වැටුප් ව්‍යුහය අහෝසි කරන බව, ධූරයෙන් ඉවත් ව යන ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද ගිය මාසයේ යලි කියා සිටියේ ය. “මෙම වැටුප් ව්‍යුහය මුලුමනින් ම යල් පැන ඇති බව අපේ අදහසයි, ඒ නිසා මිල ක්‍රමයට සම්බන්ධ ඵලදායිතාව මත පදනම් වන වැටුප් ක්‍රමයකට ඉක්මනින් ම යා යුතුයි.” 

ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් ද ඇතුලු ගෝලීය වතු කම්කරුවන් වනාහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ අතිශයින් ම දුගී කොටසකි. සෞඛ්‍යය, අධ්‍යාපනය හා ප්‍රවාහන යනාදී මූලික පහසුකම්වලින් තොර ව ඔවුහු කුඩා ලයින් කාමරවල ජීවත් වෙති.

ගෝලීය ජීවන වැටුප් සන්ධානයේ (ජීඑල්ඩබ්ලිව්සී) 2019 වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ තක්සේරු ගත මාසික ජීවන වැටුප වන රුපියල් 23,785ට වඩා වතු කම්කරුවන්ගේ මාසික ආදායම අඩු ය. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවන්ට අනුව, වතු කම්කරුවන් ද අයත් වන විධිමත් පුද්ගලික අංශයේ මූර්ත වැටුප පිලිවෙලින් 2017, 2018 හා 2019 වසරවල දී සියයට 5.9 කින්, 3.5 කින් හා 1.3 කින් පහල ගොස් ඇත.

රාජපක්ෂ ආන්ඩුවේ හා වෘත්තීය සමිතිවල සහයෝගය ලත් ප්‍රාදේශීය වතු සමාගම්, වසංගතය පැතිරීම නැවැත් වීම සඳහා ආන්ඩුව අගුලු දැමීම නිවේදනය කිරීමෙන් යන්තම් දින හතරකට පසු, ආරක්ෂක පහසුකම්වලින් තොර ව කම්කරුවන්ට ආපසු වැඩට යාමට බල කල හ. රාජපක්ෂ ආන්ඩුව උත්සුක වූයේ සමාගම්වල ලාබ හා එහි හිස් පෙට්ටගම්වලට විදේශීය හුවමාරු වටිනාකම් අද්දවා ගැනීම පිලිබඳ ව පමනි.

පසුගිය වසර කිහිපය තිස්සේ දිගට ම පැවතුනු තේ කර්මාන්තයේ අර්බුදය, කොරෝනා වසංගතය විසින් ගැඹුරු කර ඇත. ශ්‍රී ලංකාවේ තේවලින් බහුතර ප්‍රමානයක් අපනයනය කරනු ලබන්නේ මැද පෙරදිග රටවලට හා රුසියාවට යි. කොරෝනා වසංගතය, ආර්ථික අර්බුදය හා ඉහල නගින භූ-දේශපාලනික ආතතීන් හේතුවෙන් ඉල්ලුම අඩු වී ඇත. ශ්‍රී ලංකාව කෙන්යාව, ඉන්දියාව හා චීනය වැනි අනෙකුත් තේ නිපදවන රටවල් අතර ලෝක වෙලඳපොලේ පවතින තරඟය උග්‍ර වී තිබේ. තීව්‍ර වන අර්බුදයේ බර කම්කරුවන්ගේ උර මතට පැටවෙනු ඇත. 

කම්කරුවන්ගේ විරෝධය වැඩෙද්දී, සැප්තැම්බර් 28දා, කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා, වතු සමාගම් හා වෘත්තීය සමිති නියෝජිතයන්ගේ සාකච්ඡාවක් කැඳවී ය. කම්කරුවන්ට රුපියල් 1000 ක දෛනික වැටුප ගෙවිය හැකිදැයි සති දෙකක් තුල ප්‍රාදේශීය වතු සමාගම් විසින් දැන්විය යුතු බවත්, වතු ලාබ ලබන්නේ නැති නම් ආන්ඩුවට ඒවා ලබාගෙන සුදුසු පරිදි පවත්වාගෙන යා හැකි බවත්, ව්‍යාජ තර්ජනයක් කරමින් ඔහු පැවසී ය.

යතාර්ථයේ දී සිල්වාගේ පම්පෝරි ප්‍රකාශය නො තකා රාජපක්ෂ ආන්ඩුව සූදානම් වන්නේ, වතු ක්ෂේත්‍රය විසුරුවා හැර වතු කම්කරුවන්ගේ රැකියා දහස් ගනනක් හා ඔවුනගේ අනෙකුත් සමාජ අයිතීන් විනාශ කිරීමට යි.

පසුගිය මාසයේ පැවති ආර්ථික පුනර්ජීවනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමක දී, වතු සමාගම් 20න් 10ක් ම පාඩු ලබමින් දුවන බවත්, ඒ නිසා ඒවා කුඩා වතු හිමියන්ට ලබා දිය යුතු බවත් ජනාධිපති රාජපක්ෂ නිවේදනය තලේ ය. එහි අර්ථය වන්නේ කම්කරුවන් දහස් ගනනක් ඉවත් විය යුතු බව යි.

වතු කම්කරුවන් මත එල්ල කරන ප්‍රහාරය, කම්කරුවන් හා දුගීන්ගේ ජීවන කොන්දේසි හා සමාජ අයිතීන් මත එල්ල කරන පලල් ප්‍රහාරයක කොටසකි. බදු මුදල් හා අත්‍යවශ්‍ය භාන්ඩවල මිල ඉහල දමමින් ද, රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කරමින් හා පුද්ගලීකරනය කරමින් ද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විධානය කරන කප්පාදු පිලිවෙත් ක්‍රියාත්මක කිරීමේ වැඩපිලිවෙල රාජපක්ෂ ආන්ඩුව විසින් තීව්‍ර කර ඇත. 

ඒ අතර ම මෙම ප්‍රහාරයන්ට විරුද්ධ කම්කරු-පන්තික විරෝධය තලා දැමිම පිනිස රාජපක්ෂ ආන්ඩුව ආඥාදායක පාලන තන්ත්‍රයක් සූදානම් කරමින් සිටී. 20වන ව්‍යවස්ථා සංශෝධනය ඒ සඳහා වන ප්‍රධාන පියවරකි.

කොරෝනා වසංගතය විසින් ගැඹුරු කරන ලද ලෝක ධනවාදයේ අර්බුදයෙහි සන්දර්භය තුල, සෑම රටක ම කම්කරුවෝ, තම වැටුප්, රැකියා, ජීවන කොන්දේසි සහ මූලික ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් මත එල්ල කෙරෙන මේ හා සමාන ප්‍රහාරයන්ට මුහුන දෙති.

ශිෂ්ට සම්පන්න ජීවිතයක් සඳහා,  ජීවන වියදමට සරිලන සුරක්ෂිත මාසික වැටුපක්, නිසියාකාර නිවාස, සෞඛ්‍ය රැකවරනය හා අධ්‍යාපනය වතු කම්කරුවන්ට අවශ්‍ය ය. වරප්‍රසාදයක් වෙනුවට සෑම මිනිසකුගේ ම මූලික සමාජ අයිතියක් වන රැකියා තරුනයන්ට අවශ්‍ය ය. කොඳු කැඩෙන වැඩ ක්‍රමය අහෝසි කරනු ලැබිය යුතු ය. 

කම්කරුවන්ගේ ජීවන කොන්දේසි මත ද, සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මත ද තීව්‍ර කරන ප්‍රහාරය මගින් පෙන්නුම් කරන්නේ, කම්කරුවන්ගේ ජීවිතවලට වඩා ලාබයට ප්‍රමුඛත්වය දෙන පද්ධතිය යටතේ මෙම සාධාරන ඉල්ලීම් ඉටු කර ගත නො හැකි බව යි. කම්කරුවන්ගේ ප්‍රතිලාභය පිනිස නිෂ්පාදනය ප්‍රතිසංවිධානය කිරීමෙහි කොටසක් ලෙස, කම්කරුවන්ගේ පාලනය යටතේ වතු ජනසතු කල යුතු ය. මෙය සමාජවාදී ආර්ථික සැලැස්මක් සඳහා වන පලල් අරගලයක කොටසකි.

සමාගම් හා රාජ්‍යය වෙනුවෙන් කාර්මික පොලීසියක් ලෙස ක්‍රියා කරන වෘත්තීය සමිති යටතේ කම්කරුවන්ට මෙම ඉදිරි දර්ශනය සඳහා සටන් වැදිය නො හැක. ඒ අතර ම, වෘත්තීය සමිති පිලිබඳ උදාසීන හතුරුකම හා විවේචන ද ප්‍රමානවත් නො වේ. වෘත්තීය සමිතිවලින් බිඳෙමින් කම්කරුවන් අරගලය තම අතට ගත යුතු ය. ඔවුහු සමිතිවලින් ස්වාධීන වූ ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගත යුතු ය. මෙම ක්‍රියාකාරී කමිටුවල කර්තව්‍යයන් වන්නේ, ධනපති ආන්ඩුවට හා හාම්පුතුන්ට පීඩනය යෙදීම නොව, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයක් මත පාදක වූ කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීම සහ කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සඳහා සටන් වැදීමයි.

Loading