ඉදිරිදර්ශන

මිචිගන් කුමන්ත්‍රනයේ ට්‍රම්ප්ගේ භූමිකාව ඩිමොක්‍රටිකයින් සහ සංස්ථාපිත මාධ්‍ය වසන් කරයි

ආන්ඩුකාර ග්‍රෙට්චන් විට්මර් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රනය කල මිචිගන් ෆැසිස්ට්වාදීන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා ප්‍රකාශයට පත් කර පැය 24 ක් ඇතුලත, සංස්ථාපිත මාධ්‍ය විසින් එම පුවත මුල් පිටුවලින් ඉවතට තල්ලු කර තිබේ. මෙම කුමන්ත්‍රනයේ දුරදිග යන ඇඟවුම් සහ මැතිවරනය කුමන්ත්‍රනයක් බවට පරිවර්තනය කිරීමේ ට්‍රම්ප්ගේ උපාය මාර්ගයට එහි සම්බන්ධතා වසන් කෙරෙමින් තිබේ.

සිකුරාදා උදෑසන වන විට, මිචිගන් කුමන්ත්‍රනය ආවරනය කිරීම වොෂිංටන් පෝස්ට් සහ නිව් යෝර්ක් ටයිම්ස්හි ඔන්ලයින් සංස්කරනවලින් අතුරුදහන් විය. ඩිමොක්‍රටික් පක්ෂය සමඟ දේශපාලනිකව පෙලගැසී ඇති ප්‍රධාන පුවත්පත් වන ටයිම්ස් හෝ පෝස්ට් හෝ කුමන්ත්‍රනය පිලිබඳ කතුවැකියක් ප්‍රකාශයට පත් කර නැත. එය කේබල් සහ ජාල ගත පුවත් කවයේ සුලු කොටසක් ලෙස සලකනු ලැබීය.

ඩිමොක්‍රටික් අපේක්ෂකයින් වන ජෝ බිඩන් සහ කමලා හැරිස් කුමන්ත්‍රනය පිලිබඳව වැදගත් ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර බ්‍රහස්පතින්දා රාත්‍රියේ ඇරිසෝනාහි ෆීනික්ස් හි පැවති මැතිවරන ප්‍රචාරක රැලියයේ දී පවා එය සඳහන් කලේ නැත.

ට්‍රම්ප්ගේ ෆැසිස්ට් උපදේශකයින්ගේ ගුප්ත භූමිකාව ගැන හෝ කුමන්ත්‍රනකරුවන් ඔවුන්ගේ මෙහෙයුම් සැලසුම් කිරීමට සහ උපකරන මිලදී ගැනීමට මුදල් ලබාගත්තේ කොහෙන්ද යන්න පිලිබඳ ව, ඩිමොක්‍රටික් පක්ෂය සහ සංස්ථාපිත පුවත්පත් කිසිදු ප්‍රශ්නයක් මතු කර නැත. වෝටර්ගේට් මෙන් නොව, ට්‍රම්ප් ආන්ඩුව තුල සහ ඒ අවට සිටින කුමන්ත්‍රනකරුවන්ද ඉහල ක්‍රියාකාරීන්ද අතර ඇති සම්බන්ධතා පිලිබඳ ව කිසිදු පරීක්ෂනයක් හෝ කොන්ග්‍රස් නඩු විභාගයක් නොපැවැත්විය යුතු ය. රොජර් ස්ටෝන්, ස්ටීවන් මිලර්, ස්ටීවන් බැනන්, එරික් ප්‍රින්ස් හෝ ෆැසිස්ට් කන්ඩායම් සමඟ සබඳතා ඇති වෙනත් සහායකයින් සඳහා කිසිදු ඩිමොක්‍රටිකයෙකු කැඳවීම් නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා නැත. ඩිමොක්‍රටික් පක්ෂයේ ස්ථාවරය: “මෙහි පෙනෙන්නට කිසිඳු ප්‍රශ්නයක් නැත” යන්නයි.

දක්ෂිනාංශික විරෝධතාකරුවෙක් අප්‍රේල් 30 වන දින මිචිගන් හි ලැන්සිං හි පිහිටි රාජ්‍ය මහා මන්ත්‍රන සභාව අසල විට්මර්ට එරෙහි උද්ඝෝෂනයක දී සිය රයිෆලය රැගෙන යයි [ස්තූතිය: ඒපී ඡායාරූපය / පෝල් සැන්ෂියා]

දේශපාලන සංස්ථාපිතය මෙය වසංකිරීමේ වේගය, මිචිගන් සිදුවීම් රට පුරා සිදු වෙමින් පවතින්නේ කුමන්ත්‍රනයක එක් කොටසක් පමනක් බව පැහැදිලි කරන තොරතුරු ප්‍රමානය සමඟ ප්‍රතිලෝම ව සම්බන්ධ වී ඇත. ආඥාදායකත්වයේ පැහැදිලි හා වර්තමාන අන්තරාය ඇමරිකාව හමුවේ පවතී. ධවල මන්දිරය, රිපබ්ලිකන් පක්ෂය හා පාලක ප්‍රභූව තුල ඔවුන්ගේ බලගතු කලු සල්ලි වල ප්‍රභවයන් සමඟ කුමන්ත්‍රනකරුවන්ගේ සබඳතා පිලිබඳ ප්‍රශ්නවලට කම්කරුවන් පිලිතුරු ඉල්ලා සිටිය යුතුය.

කුමන්ත්‍රනයේ පුලුල් වපසරිය පිලිබඳ එකම වැදගත් ප්‍රකාශය පැමින ඇත්තේ මිචිගන් නිලධාරීන්ගෙනි. රජයේ නීතිපති ඩනා නෙසෙල් ඊයේ එම්එස්එන්බීසී හි කැටි ටර් හට මෙසේ පැවසී ය: “මම ඔබට මෙය කියමි: මෙය අයිස් කුට්ටියේ තුඩ විය හැකිය. අපේ කාර්යය හෝ ෆෙඩරල් බලධාරීන්ගේ කාර්යය අවසන් යැයි මට හැඟෙන්නේ නැත. මම හිතන්නේ තවමත් භයානක පුද්ගලයන් එහි සිටිනවා. ”

ඒබීසී හි “ගුඩ් මෝර්නින් ඇමරිකා” ගැන ඊයේ කතා කරමින් විට්මර් අනතුරු ඇඟවූයේ, “මම මේ සිදුවීමට මුහුන දෙන එක ම ආන්ඩුකාරයා නොවේ… එය මට සුවිශේෂී නො වේ.”

එක් මිචිගන් නිලධාරියෙකු හෝ ඔවුන් දන්නා දේ පිලිබඳ කිසිදු විස්තරයක් ලබා දුන්නේ නැත. කෙසේ වෙතත්, ආන්ඩුකාරවරුන් ඝාතනය කිරීම සහ කැරලි දියත් කිරීමේ තර්ජන, තරඟ වැදී සිටින ප්‍රාන්තයන්හි රිපබ්ලිකන් ව්‍යවස්ථාදායකයන් සහ ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන් සහිත මිචිගන්, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් වෙත යොමු වී ඇති බව පැහැදිලි ය. කුමන්ත්‍රනයක් සිදු කිරීමේ ට්‍රම්ප්ගේ උපාය මාර්ගයේ කඩ ඇනය මෙම ප්‍රාන්තයන් වීමයි.

● අගුලු දැමීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් උතුරු කැරොලිනා ආන්ඩුකාර රෝයි කූපර්ට තර්ජනය කල ප්‍රහාරක රයිෆල් වලින් සන්නද්ධ සංවිධානාත්මක මිලීෂියාවන් පිලිබඳව පොලිසිය පරීක්ෂන පවත්වන බව මැයි මාසයේ දී සැලෝන් වාර්තා කලේ ය. ලොක්ඩවුන් විරෝධී විරෝධතාකරුවන් බස් මගින් ප්‍රාන්ත අගනුවරට ගෙන යනු ලැබුවේ “රිපබ්ලිකන් ක්‍රියාකාරීන් සහ පරිත්‍යාගශීලීන්ගේ උද්‍යෝගිමත් ස්වේච්ඡා සහයෝගයෙනි. ඔවුන්ගෙන් එක් අයෙක් නගරයට පැමිනි බස් විරෝධතාකරුවන්ට මුදල් ගෙවීමට ඉදිරිපත් විය.”

● ඩිමොක්‍රටික් ආන්ඩුකාර ටොම් වුල්ෆ් ඝාතනය කිරීම සඳහා සන්නද්ධ කන්ඩායමක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් පෙන්සිල්වේනියාවේ දී 28 හැවිරිදි පුද්ගලයෙකුට මැයි 11 වන දින චෝදනා එල්ල විය. ඊලඟ දවසේ, මැයි 12 වන දින ට්‍රම්ප් ට්වීටර් පනිවුඩයක් මගින් මෙසේ පැවසී ය: “පෙන්සිල්වේනියාවේ ශ්‍රේෂ්ඨ මිනිසුන්ට දැන් ඔවුන්ගේ නිදහස අවශ්‍යයි. එයින් අදහස් කරන්නේ කුමක් ද යන්න ඔවුන් හොඳින් දනී.”

● විස්කොන්සින්හි දී, ෆැසිස්ට් තුවක්කුකරුවෙකු වූ කයිල් රිටන්හවුස්, අගෝස්තු 23 වන දින ජේකබ් බ්ලේක්ගේ පොලිස් ඝාතනයට එරෙහි ව කෙනෝෂාහි පැවති විරෝධතා අතරතුර විරෝධතාකරුවන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කලේ ය. රිටන්හවුස්, නගරයට බැසගත් ෆැසිස්ට් මිලීෂියා ජාලයක කොටසකි. ට්‍රම්ප්, රිටන්හවුස්ට ප්‍රශංසා කල අතර ඔහුගේ ක්‍රියාකලාපය ආරක්ෂා කරමින් අගෝස්තු මාසයේදී මෙසේ ලිවී ය: “ඔහු විශාල කරදරයක පැටලී සිටියේ ය. ඔහුව බොහෝදුරට ඝානතය කලා විය හැකි ය.”

වෙනත් ප්‍රාන්තවල ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන්ට ද එවැනිම තර්ජන එල්ල වී තිබේ.

● ඊයේ ලුසියානාහි ගුවන්විදුලි මධ්‍යස්ථානයක් (එම ප්‍රාන්තය තරඟ බිමක් ලෙස නොසැලකේ) වාර්තා කලේ, “පසුගිය සතියේ මිචිගන්හිදී අත්අඩංගුවට ගත් කන්ඩායම වැනි 'වෛරී කන්ඩායම්' හෝ රාජ්‍ය විරෝධී මිලීෂියාවන් ලෙස නම් කරන ලද කන්ඩායම් 30 කට වැඩි සංඛ්‍යාවක්” ඩිමොක්‍රටික් ආන්ඩුකාර ජෝන් බෙල් එඩ්වර්ඩ්ස් ගේ  ජීවිතය අනතුරේ හෙලා ඇති බවයි.

● ජනවාරියේ දී, රිච්මන්ඩ් හි වර්ජිනියා ප්‍රාන්ත අගනුවරට 10,000කට අධික මිලීෂියා භට පිරිසක් එක් රැස් වූ විට, ඩිමොක්‍රටික් ආන්ඩුකාර රැල්ෆ් නෝර්තම් කියා සිටියේ පෙලපාලිකරුවන් “ආයුධ සන්නද්ධ විය හැකි අතර ඔවුන්ගේ අරමුන සාමකාමී රැස් වීමක් නොව ප්‍රචන්ඩත්වය, කෝලාහල සහ කැරැලි ඇති විය හැකි” බවට “විශ්වාසනීය බුද්ධි තොරතුරු” ඇති බවය. ඇමරිකාවේ ඩිමොක්‍රටික් සෝශලිස්ට් සාමාජිකයෙකු සහ ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයෙකු වන ලී කාටර්,  ඔහුගේ ජීවිතයට එරෙහි තර්ජන හේතුවෙන්, මහා මන්ත්‍රනසභා ශාලාවේ සිට එක් ආරක්ෂිත නිවසකට පලා යාමට සිදුවිය.

සැප්තැම්බර් 17 වන දින, එෆ්බීඅයි හි අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් ව්රේ නියෝජිත මන්ත්‍රී මන්ඩලයට කියා සිටියේ ඒජන්සිය “මේ වසරේ දී [අන්ත දක්ෂිනාංශික ප්‍රචන්ඩත්වය පිලිබඳ පරීක්ෂන] දහසක්, උතුරු දෙසට වන්නට” පවත්වන බවයි. මෙය සාමාන්‍යයට වඩා “ඉහල” යැයි ද දක්ෂිනාංශික මිලීෂියාවන් විසින් එල්ල කරන තර්ජනය “අයිඑස්අයිඑස් (ISIS) හා සමාන” වන බව ද ඔහු කියා සිටියේ ය.

ඊලඟ දවසේ ට්‍රම්ප්, මෙම අදහස් දැක්වීම් වෙනුවෙන් ව්රේ දොට්ට දමන බවට තර්ජනය කරමින්, “මම ඔහුගේ ඊයේ පිලිතුරු වලට කැමති නැත” සහ “ඇන්ටිෆා (ෆැසිස්ට් විරෝධී ව්‍යාපාර) නරකයි, ඇත්තෙන් ම නරකයි” පැවසී ය.

ව්රේ ගේ සාක්ෂිය සහ අනෙකුත් සටන් වදින ප්‍රාන්තවල ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන්ට එරෙහි ව මෑතක දී එල්ල වූ තර්ජන බරපතල ප්‍රශ්න මතු කරයි. දැනට කරගෙන යනු ලබන දහසකට අධික පරීක්ෂන වලින් ඉතිරි ව ඇති ඒවා කුමක් පෙන්නුම් කරනු ඇති ද? මෙම නොවැම්බරයේ දී කැරැල්ල සිදු කිරීම සඳහා ෆැසිස්ට් කන්ඩායම් කීයක් බලමුලු ගන්වන්නේ ද? ඊලඟට සිටින්නේ කුමන ආන්ඩුකාරයන් ද? ඔවුන්ගේ “ඝාතන ලැයිස්තුවේ” සිටින අනෙක් පුද්ගලයින් කවු ද?

මෙම සියලු ප්‍රශ්න සම්බන්ධයෙන් ඩිමොක්‍රටිකයින් සහ ඔවුන්ගේ ප්‍රධාන මාධ්‍ය හොරනෑ නිහඬ ය. ඊට හාත්පසින් ම වෙනස් ව, ට්‍රම්ප්ට ගැති වෝල් ස්ට්‍රීට් ජර්නලය, මිචිගන් කුමන්ත්‍රනය පිලිබඳ කතුවැකියක් ප්‍රකාශයට පත් කරමින්, විට්මර්ගේ පාලන තන්ත්‍රය “වැඩි හපන්කම නිසා වැඩ වරද්දාගත් ප්‍රාන්ත රජයක්” ලෙස විස්තර කල අතර, එය “වසංගතය සම්බන්ධයෙන්, බොහෝ විට අහංකාර විලාසයෙන් ඇගේ නීතිමය බලය ඉක්මවා ගියේ ය” යි කී ය. එය ට්‍රම්ප්ට දොස් පැවරීම ගැන විට්මර්ව හෙලා දුටු අතර “ට්‍රම්ප්ගේ අධිකරන දෙපාර්තමේන්තුවට” ස්තූති කල යුතු ව තිබූ බවට ට්‍රම්ප් කල ප්‍රකාශය දෝංකාර දුන්නේ ය.

ඇමරිකානු ඉතිහාසයේ ව්‍යවස්ථාව පෙරලා දැමීමේ වඩාත් ම දුර දිග ගිය කුමන්ත්‍රනය කුමක් ද යන්න පිලිබඳ ව ඩිමොක්‍රටිකයන්ගේ සහ මාධ්‍යයේ නිහඬතාවය තේරුම් ගත හැක්කේ පන්තිමය අර්ථයෙන් පමනි. වෝල් වීදියේ පක්ෂයක් සහ මිලිටරි බුද්ධි අංශවල කන්ඩායමක් වන ඩිමොක්‍රටික් පක්ෂයේ මූලික අවධානය යොමු වන්නේ කම්කරු පන්තිය දැවැන්ත අන්තරායන් පිලිබඳව දැනුවත් වී ස්වාධීන ක්‍රියාමාර්ග ගනු ඇතිද යන්න පිලිබඳවයි.

බදාදා ලෝක සමාජවාදී වෙබ් අඩවිය පැහැදිලි කලේ, ට්‍රම්ප් වෝල්ටර් රීඩ් වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ඉවත්වීමෙන් පසු  ධවල මන්දිරයට ඉක්මනින් ආපසු යා යුතු බව ය. ඒ ඔහුගේ දේශපාලන කුමන්ත්‍රන රෝහල් ඇඳක සිට මෙහෙයවිය නොහැකි බැවිනි. ට්‍රම්ප් පරිපාලනයේ ආන්තික අර්බුදය ගැන සඳහන් කරමින් ලෝසවෙඅ මෙසේ ලිවී ය:

ට්‍රම්ප්ගේ වාසියට බලපාන එක් සාධකයක් තිබේ: එනම් ඩිමොක්‍රටික් පක්ෂයේ දෙබිඩිභාවය, නියාලු බව සහ මූලික වශයෙන් ප්‍රතිගාමී ස්වභාවයයි. ට්‍රම්ප් ආන්ඩුවේ අර්බුදය, ඩිමොක්‍රටිකයින්ට කිසිදු වාසිදායක තත්වයක් ඇති නොකරනු ඇත. ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන හෙලි කරනවා වෙනුවට, ඔවුන් ෆැසිස්ට් කුමන්ත්‍රනවලට එරෙහි මහජන විරෝධය මැඩපැවැත්වීමට සහ ආඥාදායකත්වයේ අන්තරාය වසන් කිරීමට හැකි සෑම දෙයක් ම කර තිබේ.

මිචිගන් හි කුමන්ත්‍රනයට ඩිමොක්‍රටිකයින්ගේ ප්‍රතිචාරය, ඔවුන්ගේ දේශපාලන භූමිකාව යලිත් වරක් හෙලි කරයි. පෙර නොවූ විරූ දේශපාලන අර්බුදය, මුලුමනින් ම පාලක පන්තිය සහ එහි රාජ්‍යය තුල පවතින ගැටුම්වලට පමනක් සීමා වී ඇති බව සහතික කිරීමට ඔවුන්ට අවශ්‍ය ය.

ඇමරිකාවට එරෙහි ට්‍රම්ප්ගේ කුමන්ත්‍රනයට විරුද්ධ වීම යනු, ජනගහනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහිව උපා යොදන හා කුමන්ත්‍රන කරන මූල්‍ය වංශාධිපතියන් පෙරලා දැමීමයි. සමාජයේ සියලු ධනය නිපදවන අතර මාරාන්තික තත්වන් යටතේ රැකියාවට හා පාසලට යාමට බල කෙරී තිබෙන කම්කරු පන්තියට මෙම කර්තව්‍යය  පැවරේ. ඒකාධිපතිත්වයක් පිහිටුවීමට ට්‍රම්ප් ගන්නා උත්සාහයට විරුද්ධ වීමට නායකත්වය දිය යුත්තේ මෙම ප්‍රබල සමාජ බලවේගයයි.

[මෙම ලිපිය ඔක්තෝබර් 10 වනදා ඉංග්‍රීසි බසින් පලවිය.]

Loading