ඉදිරිදර්ශන

නයිජීරියානු ආන්ඩුව පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහි විරෝධතාකරුවන්ට එරෙහි ව සංහාරයක් දියත් කරයි

සති දෙකකට ආසන්න කාලයක් රට සොලවා ඇති පොලිස් ම්ලේච්ඡත්වයට එරෙහි විරෝධතාවන් මතට නයිජීරියාවේ ආන්ඩුව මිනීමරු ප්‍රචන්ඩත්වයක් මුදා හැර ඇත. සාමකාමී විරෝධතාකරුවන් සංහාරයට ලක්කිරීමට සහ හිටපු ජනරාල් හා කුමන්ත්‍රන නායක ජනාධිපති මුහම්මදු බුහාරි ප්‍රධානත්වය දරන දූෂිත ධනපති රාජ්‍යයට වඩ වඩා ඍජු අභියෝගයක් එල්ල කර ඇති මහජන ව්‍යාපාරයක් මැඩපැවැත්වීමට, අඟහරුවාදා (ඔක්තෝබර් 20) රාත්‍රියේ ආන්ඩුව ජීව උන්ඩවලින් වෙඩි තබන සොල්දාදුවන් යැවී ය.

නයිජීරියාවේ අක්‍රමවත් වානිජ අගනගරයේ ලාගෝස් ප්‍රධාන භූමිය හා ලාගෝස් දිවයින සම්බන්ධ කරන අධිවේගී මාර්ගයක් අඩපන කරමින්, ලෙක්කි-ඉකෝයි පාලමේ ගේට්ටු අවහිර කර තිබුනු විශාල සෙනගකට මිලිටරිය එල්ල කල ප්‍රහාරයේ දී මරා දැමුනු හා තුවාල ලැබූ විරෝධතාකරුවන් සමාජ මාධ්‍ය පෝස්ටු තුල පෙන්නුම් කරනු ලැබිනි. සංහාරයේ පරිමානය ක්ෂනික ව පැහැදිලි නො වුනත්, එක් සාක්ෂිකරුවෙක් බීබීසී වෙත වාර්තා කලේ, අවම වසයෙන් මල සිරුරු 20ක් හා තුවාල ලැබූවන් 50ට අධික සංඛ්‍යාාවක් ඔහු දැක තිබුනු බව යි. භටයන් ඇතුලුවීමට පෙර, එම භටයෝ මහජන චතුරස්‍රයේ විදුලි පහන් හා සීසීටීවී කැමරා විසන්ධි කල හ.

හමුදාව පැමින මරා දමනු ඇතැයි බියෙන් තුවාල ලැබූවන් ඉවත් කර ගනිමින් තිබුනු බව ආසන්නයේ පිහිටි රෝහලකින් එක් වෛද්‍ය වෘත්තිකයෙක් වාර්තා කල අතර, මරන සංඛ්‍යාවේ ප්‍රමානය සැඟවීම පිනිස භටයෝ මල සිරුරු ඉවතට රැගෙන යමින් සිටි බවට වාර්තා පවතී.

“අපේ රාජ්‍යය තුල අරාජිකත්වය පැවතීම දෙස අපි බලා නො සිටිමු. අපි එයට ඉඩ නො දෙමු” යි ප්‍රකාශ කරමින්, මිලියන 20ක් ජීවත් වන නගරය පුරා පැය 24ක ඇඳිරි නීතියක් පැනවීම, ලාගෝස් බලධාරීහු අඟහරුවාදා නිවේදනය කල හ. ඊට පෙර, “විනාශකාරී අංශයන්ට හා කරදරකාරීන්ට” එරෙහි ව පියවර ගැනීමට තමන් සූදානම් වෙමින් සිටින බව, නයිජීරියානු හමුදාව අනතුරු ඇඟවී ය.

එහෙත්, ජනකාය අඛන්ඩ ව නගරයේ ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ ප්‍රවේශ මාර්ග ඇතුලු ප්‍රධාන මාර්ග අවහිර කලේ, ලාගෝස්හි ඔරිලේ ඉගන්මු දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට අඟහරුවාදා ගිනි තබනු ලැබූ බව සාක්ෂිකරුවන් වාර්තා කරද්දී ය. ඇඳිරි නීතිය සවස 4ට ආරම්භ වීමට නියමිත ව තිබුන ද රාත්‍රිය දක්වා අඛන්ඩ ව පැවතුනු මහජන විරෝධය හේතුවෙන් බලධාරීහු එම කාල සීමාව රාත්‍රී 9 දක්වා දික් කල හ.

විශේෂයෙන් ම රටේ තරුනයන් ඇතුලු නයිජීරියානු සිවිල් වැසියන් ඝාතනය කරනු ලැබීම, වධ බන්ධනයන්ට බඳුන් කිරීම හා බලෙන් පැහැරගෙන යාම පිලිබඳ ව කුප්‍රකට හා වෛරයට පාත්‍ර නයිජීරියානු පොලීසියේ ඉහල පෙලේ ඒකකයක් වන සාර්ස් (හොරකම මැඩලීමේ විශේෂ බලකාය) විසුරුවා හරින ලෙස ඉල්ලමින් ආරම්භ වුනු ව්‍යාපාරය අනවරත ව වර්ධනය වී තිබේ.

සාර්ස් විසුරුවා හල බව පසුගිය සතියේ කියා සිටි බුහාරි ආන්ඩුව, එක්සත් ජනපදය තුල ඉහල පෙලේ පොලිස් ඝාතක බලකායන්ට දෙනු ලබන නම වන විශේෂ ආයුධ හා යුද කලාව හෙවත් ස්වැට් නමැති නව ඒකකයකින් එය විස්ථාපනය කලේ ය. “පොලිස් ප්‍රතිසංස්කරනයට” තමන් කැප වී සිටින බව අවධාරනය කරන ජනාධිපතිවරයා, විරෝධතාවේ යෙදෙන තරුනයන් ව සලකන්නේ පියෙක් ලමුන්ට සලකන ආකාරයට බව සඳහන් කලේ ය. එහෙත්, වීදිවල දී ආන්ඩුව දක්වන දුෂ්ට ප්‍රතික්‍රියාව, ඊට සපුරා ම වෙනස් කතාවක් කියයි.

විරෝධතාවල දී පුද්ගලයින් දුසිම් ගනනකට ජීවිත අහිමි වී ඇත්තේ, බොහෝ දෙනා පොලීසිය විසින් රඳවා ගනු ලබද්දී ය. ඔවුන්ගෙන් එක් අයෙක් වන සයිෆුල්ලා යනුවෙන් හඳුනා ගන්නා ලද 17 හැවිරිදි ගැහැනු ලමයෙකුගේ ජීවිතය, උතුරු කානෝ ප්‍රාන්තයේ සිර කුටියක් තුල අවසන් වූ අතර, ඇයට මැරෙන තෙක් වධ දෙනු ලැබී යයි වාර්තා වේ.

බොහෝ දෙනාට බරපතල ලෙස තුවාල සිදු කරමින්, විරෝධතාකරුවන්ට එරෙහි ව පොලු මුගුරු හා පිහිවලින් සන්නද්ධ කුලී මැර කල්ලි ආන්ඩුව විසින් මුදා හරිනු ලැබ ඇත. පොලීසිය ද කඳුලු ගෑස්, ජල විදින හා ජීව උන්ඩ යොදා ගෙන විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කොට ඇත.

සාර්ස් ඒකකය “ප්‍රතිසංස්කරනය කර ඇත” යි ආන්ඩුව පුන පුනා කියා සිටින හා සම්පූර්න නිදහස සහිත ව භටයන් ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියාවල අඛන්ඩ ව නිරත වන තතු තුල, එම ඒකකයේ මෙහෙයුම් නවත්වන ලෙස ඉල්ලන විරෝධතා අවම වසයෙන් 2017 දක්වා වත් ආපස්සට දිවේ. “එල්ලා මැරීම, ව්‍යාජ චෝදනා මත මරා දැමීම, පහර දීම, මුෂ්ටි ප්‍රහාර දීම හා පයින් ගැසීම, සිගරැට්වලින් පිලිස්සීම, මුත්‍රා කිරීම, ප්ලාස්ටික් කවර යොදාගෙන හුස්ම අවහිර කිරීම, රැඳවියන්ට වෙහෙසකර ශරීර ඉරියවුවලින් සිටීමට බලකිරීම හා ලිංගික ප්‍රචන්ඩත්වය ඇතුලු වධ බන්ධන” සහ අධිකරනයට බාහිර මරා දැමීම්, පැහැරගෙන යාම් හා දූෂනය කිරීම්වල සාර්ස් පොලීසිය පුරුද්දක් ලෙස නිරත වන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ වාර්තාවක් සඳහන් කරයි.

මර්දනකාරී හා දූෂිත පොලීසිය කෙරෙහි පවතින ගැඹුරට ගිය වෛරයට අමතර ව, නයිජීරියාවේ මහජන විරෝධතාවන්ට ඉන්ධන සපයනු ලබන්නේ, පුද්ගලයන් මිලියන 206ක් ජීවත් වන අප්‍රිකාවෙහි විශාලතම රටේ පවතින මහා පරිමාන විරැකියාවේ, ආන්තික දුගී බවේ හා පෙර නුවූ විරූ සමාජ අසමානතාවේ කොන්දේසි කෙරෙහි පවතින මහජන කෝපය විසිනි. කොවිඩ්-19 වසංගතය සහ ආන්ඩුව එයට දක්වන විනාශකාරී බෙලහීන ප්‍රතිචාරය සමග සම්බන්ධිත කම්කරුවන්ගේ ජීවිත කෙරෙහි කුදුමහත් උදාසීනත්වයක් දක්වමින් ආර්ථිකය යලි විවෘත කිරීම මගින්, දීර්ඝ කාලයක් තිස්සේ පවතින මෙම කොන්දේසි තියුනු ලෙස වැඩි දියුනු කර ඇත.

ඔක්ස්ෆෑම් ආයතනයට අනුව, අප්‍රිකාවේ ධනවත් ම බිලියනපතියන් තිදෙනා - ඔවුන් අතරින් ධනවත් ම වන්නේ නයිජීරියාවේ අලිකෝ ඩැංගොටේ ය- සතුව, අප්‍රිකානු මහාද්වීපය පුරා ජීවත් වන මිලියන 650ක ජනගහනයෙන් පහල සියයට 50 සතු  වන ධනයට වැඩි ධනයක් තිබේ. මෙම ආධාර දෙන සංවිධානයට අනුව, ධනවත් ම නයිජීරියානුවන් පස් දෙනා සතුව ඩොලර් බිලියන 29.9ක ඒකාබද්ධ ධනයක් තිබෙන අතර, එය නයිජීරියානුවන් මිලියන 112ක් දුගී බවෙන් මුදා ගැනීමට ප්‍රමානවත් වේ.

නයිජීරියාවේ වත්මන් කැරැල්ලට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් අභ්‍යාස කරන ලද විජිතවාදී පීඩනය දක්වා දිවෙන ඓතිහාසික මූලයන් තිබේ. එලිසබත් රැජින නයිජීරියාවේ රැජින හා රාජ්‍ය ප්‍රධානිනිය ලෙස සිටින සැලැස්මක් යටතේ, එක්සත් රාජධානිය 1960 දී නයිජීරියාවට නිදහස දුන්නේ ය. පීඩිත මහජනයාගේ විමුක්තිය ගැන සඳහනක් නොවූ මෙම ගනුදෙනුව, මහාද්වීපයේ අනෙක් තැන්වල ඇටවූ ඒ හා සමාන සැලසුම් මෙන් ම, විජිතවාදීන්ගෙන් උරුම කර ගත් රාජ්‍ය යාන්ත්‍රනය හා මර්දන හමුදා ග්‍රහනයට ගැනීමට කෑදර වුනු හා තමන්ගේ ම ධනය හා බලය සුරක්ෂිත කිරීමට ඔවුන් නිර්මානය කල කෘතිම දේශසීමා ආරක්ෂා කිරීමට කැප වුනු, ඉහල නගින ජාතික ධනේශ්වරයක් පෙරටු කොට පැමිනියේ ය.

නිදහසින් පසු පලමු දශක හතර, අඛන්ඩ මිලිටරි කුමන්ත්‍රන හා කටුක සිවිල් යුද්ධ විසින් සලකුනු කරන ලද අතර, එම සිවිල් යුද්ධවලට, බොහෝ දෙනා කුසගින්නේ මිය ගිය ලමුන් වූ ජීවිත මිලියන 3.5ක් බිලිගත් බයියාෆ්‍රා ගැටුම ද අයත් විය.

නයිජීරියානු ජාතික ධනේශ්වරය ඇතුලත අද දින දක්වා ම අඛන්ඩ ව පවතින උනුන් මරා ගන්නා අරගල කේන්ද්‍රගත ව ඇත්තේ, විදේශ හුවමාරු ඉපයීම්වලින් සියයට 90කට හා ආන්ඩුවේ ආදායම්වලින් සියයට 80කට වග කියන සහ රෝයල් ඩච් ෂෙල්, ඒජිප්, එක්සොන්මොබිල්, ටෝටල් එස්. ඒ. හා චෙව්රෝන් ඇතුලු අන්තර්ජාතික බලශක්ති සංගත විසින් බොහෝ සෙයින් පාලනය කරනු ලබන රටෙහි තෙල් සම්පතට, ගැඹුරින් ම හොට දමා ගැනීමට සමත් වන්නේ කවුරුන් ද යන්න මත ය.

සමස්ත අප්‍රිකාව පුරා ද පැරනි විජිත ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල මෙන් ම නයිජීරියාවේ කටුක අත්දැකීම් ඍනාත්මක ලෙස සනාථ කරන්නේ, ශ්‍රේෂ්ඨ රුසියානු විප්ලවවාදී ලියොන් ට්‍රොට්ස්කි විසින් විදාරනය කරන ලද හා ඔහු 1938 දී ආරම්භ කල හතරවන ජාත්‍යන්තරය විසින් ආරක්ෂා කරන නොනවතින විප්ලව න්‍යායයයි. විජිත හා පීඩිත රටවල අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය ඉදිරියට ගෙන යමින් අව්‍යාජ ජාතික විමුක්තිය ද කම්කරුවන්ගේ හා පීඩිත ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජ අයිතීන් ද තහවුරු කල හැක්කේ කම්කරු පන්තිය බලය සඳහා කරන සටනකට පමනක් බව ඔහු විස්තර කලේ ය. බලය අල්ලා ගන්නා කම්කරු පන්තියට, ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන්ට සීමා නො වී, සමාජවාදී ස්වභාවයේ පියවරයන් ක්‍රියාවට දැමීමට බල කෙරෙනු ඇති ය යන අර්ථයෙන් මෙම විප්ලවය නො නවතින එකක් වේ. එම විප්ලවයට ජයග්‍රහනය කරා ලඟා විය හැක්කේ, ලෝක සමාජවාදී විප්ලවය සඳහා ජාත්‍යන්තර කම්කරු පන්තිය ගෙන යන ඒකාබද්ධ සටනක් දක්වා විස්තාරනය කරනු ලබන ප්‍රමානයට පමනකි යන දෙවන අර්ථයකින් ද මෙම විප්ලවය නොනවතින එකක් වේ.

ධනේශ්වර නිෂ්පාදනයේ පෙර නුවූ විරූ ගෝලීය ඒකාග්‍රකරනය හා ලොව පුරා කම්කරුවන් වඩ වඩා එක හා සමාන කොන්දේසිවලට මුහුන දීම තුල, ජාත්‍යන්තර ව ඒකාබද්ධ එවන් අරගලයක් සඳහා කොන්දේසි වෛෂයික ව රැඳී තිබේ.

නයිජීරියාව, එක්සත් ජනපදය, චිලී රාජ්‍යය, කොලොම්බියාව හා අනෙකුත් රටවල පොලිස් ඝාතනවලට හා ම්ලේච්ඡත්වයට එරෙහි මහජන විරෝධතා එකවර ඉස්මතු වීම මගින් පෙන්නුම් කරන්නේ මෙම අරගලවල තීරනාත්මක කාරනය වන්නේ, ඩිමොක්‍රටික් පක්ෂය හා එහි ව්‍යාජ-වාම අනුගාමිකයන් විසින් ධනවාදයට එරෙහි ව කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් මතු වීම අපසරනය කොට එහි හුස්ම හිර කිරීම සඳහා ප්‍රකාශ කරන පරිදි වර්ගය නො ව, පන්තිය බව යි. 

ජෝර්ජ් ෆ්ලොයිඩ්, බ්‍රියෝනා ටේලර් හා අනෙකුත් පුද්ගලයන් පොලීසිය විසින් මරා දැමීමෙන් ඉක්බිති ව, එක්සත් ජනපදය පුරා හමා ගිය මහජන, බහු-වාර්ගික විරෝධතාවලින් පැහැදිලි ව ම අනුප්‍රානය ලබා ගත් නයිජීරියානු විරෝධතාකරුවෝ, හුදෙක් නයිජීරියාවේ පමනක් නො ව, සමස්ත ග්‍රහලෝකය පුරා වැඩ කරන ජනයා හා තරුනයන් වෙනුවෙන් කතා කරමින් “අපේ ජීවිත වටී” යන සටන් පාඨය හඬ නැගූ හ.

නිෂ්පාදන මාධ්‍යයන්හි පුද්ගලික අයිතිය සහ මූල්‍ය හා සංගත කතිපයාධිකාරයත් ඉහල මධ්‍යම පන්තියේ වඩාත් ම වරප්‍රසාදිත ස්ථරයනුත් විසින් සමුච්ඡය කරගන්නා අශ්ලීල ධනයේ ආරක්ෂාකරුවන්ගෙන් පොලීසිය සමන්විත වේ. පාලක ප්‍රභූව, කම්කරුවන් හා පීඩිත මහජනයාගෙන් වෙන් කරන සමාජ අසමානතාවේ විවෘත අගාධය ආරක්ෂා කිරීමට ඔවුන් පෙනී සිටී.

වාර්ගික, ජනවාර්ගික හා ලිංගික රේඛා මෙන් ම ජාතික දේශසීමා ද කපාගෙන සමාජවාදය සඳහා පොදු අරගලයක් තුල කම්කරු පන්තිය එකමුතු කිරීම මගින් පමනක් සාර්ථක ව දියත් කල හැකි ධනවාදයට එරෙහි අරගලයක්, සෑම රටක ම පොලිස් ම්ලේච්ඡත්වය අවසන් කිරීම සඳහා අවශ්‍ය කරයි.

නයිජීරියාවේ පමනක් නො ව, අප්‍රිකාව පුරා ද සමස්ත ග්‍රහලෝකය පුරා ද කම්කරු පන්තියේ බලගතු විප්ලවවාදී ව්‍යාපාරයක් ඉස්මතු වෙමින් තිබේ. මෙම ව්‍යාපාරයට දේශපාලනික හා ක්‍රියා මාර්ගික දිශානතිය සම්පාදනය කිරීමේ යෝධ කර්තව්‍යය සඳහා, සෑම රටක් තුල ම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ශාඛා ගොඩ නැගීම අවශ්‍ය වේ.

[මෙම ලිපිය ඔක්තෝබර් 21 දින ඉංග්‍රීසි භාෂාවෙන් පලවින.]

Loading