චීනයට එරෙහි ව ශ්‍රී ලංකාව පෙලගැසිය යුතු බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා අවධාරනය කරයි

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ඔක්තෝබර් 27-28 දෙදින ශ්‍රී ලංකාවට කල සංචාරය, චීනයට එරෙහි වොෂින්ටනයේ යුද ව්‍යායාමය සමග ඍජු ව පෙලගැසෙන ලෙස, කොලඹ ආන්ඩුවට කල අනතුරු ඇඟවීමක් විය. ඔහුගේ සංචාරයේ දී, පොම්පියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා විදේශ ඇමති දිනේශ් ගුනවර්ධන හමු විය.

චීනයට එරෙහි ආක්‍රමනය ඉලක්ක කරගත් මිලිටරි-මූලෝපායික හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීම සඳහා, පොම්පියෝ හා එක්සත් ජනපද ආරක්ෂක ලේකම් මාක් එස්පර්, ඉන්දියාවේ ඔවුන්ට සමරූපී තනතුරු දරන දෙදෙනා සමග සාකච්ඡාවක් සඳහා, ඔක්තෝබර් 26දා, ඉන්දියාවට පැමින තිබුනි. ශ්‍රී ලංකාවට පැමිනීමෙන් පසුව, ඔවුහු මාල දිවයින හා ඉන්දුනීසියාව බලා පිටත් ව ගිය හ. සංචාරයේ ප්‍රධාන අරමුන වූයේ, ඉන්දු-පැසිෆික් කලාපය තුල එක්සත් ජනපදයේ මිලිටරි හා මූලෝපායික සබඳතා වැඩි දුර ශක්තිමත් කර ගැනීම යි.

2020 ඔක්තෝබර් 28දා කොලඹ දී රාජ්‍ය ලේකම් මයිකල් ආර්.පොම්පියෝ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වෙයි. (ස්තුතිය: එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව/ රොන් ප්‍රසිසුචා)

ජනාධිපති රාජපක්ෂ හා ගුනවර්ධන සමග සාකච්ඡා කිරීමෙන් පසු, ගුනවර්ධන සමග මාධ්‍ය හමුවක් ඇමතූ පොම්පියෝ, කොලඹ පාලන තන්ත්‍රයෙන් වොෂින්ටනයට අවශ්‍ය කුමක් දැයි ඉඟි කලේ ය. “ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක්, ලෝක තලයේ දී එක්සත් ජනපදයට බලගතු හා මූලෝපායික සහකරුවෙක් වෙනවා. එයට, නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා, මුරපොලක් විය හැකි” යැයි ඔහු කීවේ ය.

“නරක ගනුදෙනු, ගොඩබිම හා මුහුද මත ඔවුන් කරන ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම් හා අවනීතික හැසිරීම හේතුවෙන් අපි චීන කොමියුනිස්ට් පක්ෂය කොල්ලකරුවෙකු දැක ගන්නවා” යි කියමින් චීනය ශ්‍රී ලංකාව සමග පවත්වන සබඳතා පොම්පියෝ විසින් හෙලා දැක්කේ, මැරවර අදහස් වගුරුවමිනි. එක්සත් ජනපදය, ඊට වෙනස් ආකාරයකින්, “මිත්‍රයෙකු හා හවුල්කාරයෙකු” ලෙස පැමිනි බව ඔහු ඉන් පසු කියා සිටියේ ය.

පොම්පියෝ කොලඹට දුන් පනිවුඩය වූයේ මෙයයි: බෙයිජිනය සමග “ගනුදෙනු එපා”, “එක්සත් ජනපදයේ මූලෝපායික අවශ්‍යතාවන්ට සේවය කරනු”. වොෂින්ටනය අතීතයේ කොලඹට කර ඇති දේශපාලන මැදිහත් වීම් ගත් කල, ශක්තිමත් හා ස්වෛරී ශ්‍රී ලංකාවක් පිලිබඳ ව ඔහු කියන දෑ මුලුමනින් ම කුහක ය. තව ද, “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක” ධජය යටතේ, එක්සත් ජනපදයේ චීන-විරෝධී යුද ධාවනය සමග පෙල ගැසෙන ලෙස, එය කලාපය පුරා රටවල් රවටමින් හා බිය වද්දමින් සිටී.

අප්‍රිකාවෙන් හා මැද පෙරදිගින් බල ශක්තිය හා අමු ද්‍රව්‍ය ආනයනයට මෙන්ම, ලෝකයට කෙරෙන අපනයනයට, චීනය විසින් යොදා ගනු ලබන ඉන්දියන් සාගරයේ ප්‍රධාන නැව් මාර්ගයන්ට ඉතා යාබදව ශ්‍රී ලංකාව පිහිටා තිබේ.

පොම්පියෝ කොලඹ දී මෙලෙස අදහස් දැක්වූයේ, එක්සත් ජනපදය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව හා ජපානය ඇතුලත් චීන-විරෝධී චතුර්-පාර්ශ්වික (ක්වොඩ්) කන්ඩායම, මේ මස මුල දී ටෝකියෝවේ පැවත්වූ ආරක්ෂක සංවාදයේ දී ඔහු කල බිරුසම්වලින් අනතුරුවයි.  ඉන්දු-චීන දේශසීමාව ඔස්සේ සොල්දාදුවන් 60,000ක් දිගේලි කිරීම පිලිබඳ ව ටෝකියෝ රැස්වීමේ දී චීනය හෙලා දුටු ඔහු, කලාපය තුල එක්සත් ජනපදයේ මිලිටරිය දිගේලි කිරීම්, “අපි ඔවුන්ට අභිමුඛ වී ඔවුන් මත පිරිවැය පටවන” බවට චීනයට සංඥාවක් නිකුත් කරනු ඇතැයි පැවසීය.

“ලෝකයේ ඉතා වැදගත් මුහුදු මාර්ගවලින් කිහිපයක් විවෘත ව තැබීමට උදව් වන ආරක්ෂක සහයෝගිතාව” පිලිබඳ ව තමන් ශ්‍රී ලංකාවේ නායකයන් සමග පැවැත්වූ සාකච්ඡාවල දී අවධානය යොමු කල බව කොලඹ මාධ්‍ය හමුවේ දී පොම්පියෝ ප්‍රකාශ කලේ ය. එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආරක්ෂක බලකායන් පුහුනු කිරීමේ කටයුතුවල නිරතව සිටින බවත්, වෙරලාරක්ෂක යාත්‍රා දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ විදෙස් පිලිවෙත මධ්‍යස්ථ, නො බැඳි හා මිත්‍රශිලී ව පවතිනු ඇතැයි කියමින් ගුනවර්ධන ප්‍රතිචාර දැක්වී ය. නමුත්, ශ්‍රී ලංකාව “එහි මූලෝපායික පිහිටීම හේතුවෙන් උදාවන අවස්ථාවන් හා වගකීම් පිලිබඳ ව දැනුවත් අපි, අපේ මුහුදුවල හා ගුවන් කලාපවල ගමනාගමනයේ නිදහස පවත්වාගෙන යාමේ වැදගත් කම දැක ගන්නවා” යි කියමින් එක්සත් ජනපදය සතුටු කිරීමට ද ඔහු උත්සාහ දැරී ය.

රාජපක්ෂ සමග පොම්පියෝ පැවැත්වූ සාකච්ඡාවලින් එලිමහනට පැමින ඇත්තේ තොරතුරු අල්පයකි. “නිදහස, ස්වෛරීත්වය හා භෞමික අඛන්ඩතාවට” කැප වුනු රාජපක්ෂගේ විදෙස් පිලිවෙත ඔහු යලි අවධාරනය කල බවත්, ශ්‍රී ලංකාව වැනි රටවල් සමග චීනය පවත්වන සබඳතා ගැන වොෂින්ටනය යලි යලිත් කරන විවේචනවල දී කරන සැඳහුමක් වන “නය උගුලකට”, චීනය සමග පවත්වන සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකාව හසු වී ඇතැයි යන්න ප්‍රතික්ෂේප කරමින්, එරට සමග වන ආර්ථික සබඳතාව ආරක්ෂා කල බවත්, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කලේ ය.

“ශ්‍රී ලංකාව හා එක්සත් ජනපදය අතර දැනට මත් ස්ථාපිත කරගෙන ඇති ආරක්ෂක සහයෝගිතාව වැඩි දුර ශක්තිමත් කර ගැනීමට පාර්ශව දෙක විශේෂයෙන් ම එකඟ” වුනු බව ප්‍රකාශය සඳහන් කෙල් ය. රාජපක්ෂ වඩා වැඩි එක්සත් ජනපද ආයෝජන ද ඉල්ලා සිටියේ ය.

පොම්පියෝ කොලඹ මාධ්‍ය අමතමින්, “වගවීම, සාධාරනත්වය හා සංහිඳියාව දිරිමත් කිරීම සඳහා අර්ථාන්විත හා සංයුක්ත පියවර ගන්නා බවට ශ්‍රී ලංකාව දී ඇති පොරොන්දු ඉටු කරනු ඇතැයි එක්සත් ජනපදය අපේක්ෂා කරන” බවට වක්‍ර තර්ජනයක් ද කලේය.  මෙය වනාහි, දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි කොලඹ ආන්ඩුවේ යුද්ධය අවසන් වීමෙන් පසුව, යුද අපරාධ විමර්ශනය කිරීම හා දෙමල ප‍්‍රභූව සමග බලය බෙදා ගැනීමේ එකඟතාවකට පැමිනෙන ලෙස, එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට කරන ඇනවීම් පිලිබඳ සැඳහුමකි.

පොම්පියෝ කල සැඳහුම්වලට ශ්‍රී ලංකාවේ “මානව හිමිකම්” රැකීම සමග කවර හෝ සම්බන්ධයක් නැත. 2009 වසරේ යුද්ධයේ අවසන් මාස කිහිපයේ දී දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් අත්තනෝමතික ලෙස ඝාතනය කරමින්, වර්තමාන ජනාධිපතිගේ සහෝදරයා වන එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් දියත් කරන ලද ම්ලේච්ඡ යුද්ධයට වොෂින්ටනය පිටුබලය දුන්නේ ය. බෙයිජිනයෙන් ඈත් වන ලෙස ඔහු මත පීඩනය යෙදීම සඳහා පමනක් මානව හිමිකම් ප්‍රශ්නය ඉස්මතු කිරීම ඇරඹූ ඔබාමා පරිපාලනය, එය අසාර්ථක වූ තැන 2015 දී ඔහු ඉවත් කිරීම සඳහා තන්ත්‍ර මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමී ය. 

පොම්පියෝගේ සංචාරය පිලිබඳ ව වාර්තා කල වෝල් ස්ට්රීට් ජර්නලය, “නව නය සහ ඩොලර් බිලියන ගනනින් වැයවන ඉදිකිරීම් ආරම්භකත්වයන් ට අමතරව, හවුල්කාරීත්වය ශක්තිමත් කර ගැනීමේ නව නෛතික මාර්ගෝපදේශනයන් පවා ගනිමින්”, රාජපක්ෂ ආන්ඩුව “චීනය සමග එහි සබඳතා වැඩි දියුනු කර ගනිමින්” සිටින බව සඳහන් කරමින්, ශ්‍රී ලංකාව බෙයිජිනයෙන් තව තවත් මූල්‍යාධාර අපේක්ෂා කරන බවට වන එක්සත් ජනපද උත්සුකතාවන්ට අවධානය යොමු කලේ ය.

පොම්පියෝ කොලඹ දී දැක්වූ අදහස්, චීනය සමග සබඳතා ලුහු බැඳීම හේතුවෙන් “ශ්‍රී ලංකාවට මුහුන දීමට සිදු වන භව්‍ය දඬුවම් සම්බන්ධ අනතුරු ඇඟවීමක්” ලෙස ලිපිය ගුනාංගීකරනය කලේ ය.

එක්සත් ජනපද ඩොලර් මිලියන 480ක ප්‍රදානයන් අඩංගු වන එක්සත් ජනපද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්සීසී) ගිවිසුමට අත්සන් තැබීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආන්ඩුව තවමත් අවසන් තීන්දුවක් ගෙන නැත. වොෂින්ටනය එම්සීසීය යොදා ගනිමින් සිටින්නේ තමන් සමග පෙල ගැසෙන ලෙස ශ්‍රී ලංකාව වැනි රටවල් මත පීඩනය යෙදීමේ ක්‍රමයක් ලෙස ය. ගිවිසුම ප්‍රතික්ෂේප නො කරන රාජපක්ෂ ආන්ඩුව, එහි කොන්දේසි “සීමා කිරීමට” උත්සාහ දරයි.

එක්සත් ජනපද මිලිටරි භටයන්ට ශ්‍රී ලංකා භූමිය තුල බාධාවකින් තොර ව සැරිසැරීමට අවසර දෙන හමුදා තත්ත්ව ගිවිසුම (සෝෆා) අලුත් කරන ලෙස ද පසුගිය වසරේ මැද භාගයේ පටන් ඒකසත් ජනපදය බලපෑම් යොදමින් සිටී.

එක්සත් ජනපද මිලිටරි වටලෑම පිලිබඳ ව තමන්ගේ පැත්තෙන් උත්සුක වන බෙයිජිනය, කලාපයේ රටවල දී එයට ප්‍රතිප්‍රහාර දීමට උත්සාහ දරමින් සිටී.

චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකාරයෙක්” ලෙස ගුනාංගීකරනය කරමින් පොම්පියෝ දැක්වූ අදහස්වලට, කොලඹ චීන තානාපති කාර්යාලය පහර දුන්නේ, “කොල්ලකරුවාට එරෙහි ව පරදේශිකයා” යන වීඩියෝ ක්‍රීඩාවේ ඡායාරූපයක් සහිත ට්විටර් පනිවුඩයක් පල කරමිනි. එහි එන ඡායාරූප විස්තරයෙන් මෙසේ කියැවෙයි: “කනගාටුයි ලේකම් පොම්පියෝ මහත්මයා, චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය හා සහයෝගිතාව කඩිනමින් දිරිමත් කරමින් සිටින අපට ඔබගේ කොල්ලකරුවාට එරෙහි පරදේශිකයා යන ක්‍රීඩා ඇරවුම ගැන උනන්දුවක් නැහැ.”

ගෝලීය කොවිඩ්-19 වසංගතයේ බලපෑම විසින් ගැඹුරු කරන ලද යෝධ නය අර්බුදයකට මුහුන දී සිටින කොලඹ ආන්ඩුව, බෙයිජිනයෙන් වැඩි දුර මූල්‍යාධාර අපේක්ෂා කරයි. මාර්තු මාසයේ දී ලබා දුන් තවත් ඩොලර් මිලියන 500ක් ද සමග ශ්‍රී ලංකාවට ලබා දී ඇති චීන ආධාර ප්‍රමානය දැනට මත් ඩොලර් බිලියන 5ක් වේ. ඩොලර් මිලියන 700ක නයක් ගැන දැන් බෙයිජිනය සලකා බලමින් සිටින්නේ, ඩොලර් බිලියන 1.5ක හුවමාරු පහසුකමක් ද සමගිනි. මේ මස මුල දී ශ්‍රී ලංකාවට සංචාරය කල චීනයේ ඉහල පෙලේ විදෙස් පිලිවෙත් නිලධාරියා වන යැං ජියේචිගේ ආරාධනාවකට අනුව, දෙසැම්බරයේ දී රාජපක්ෂ බෙයිජිනයට සංචාරය කිරීමට නියමිත ය.

ඉන්දියන් සාගරයේ මුහුදු මාර්ග අසල මූලෝපායික ව පිහිටා ඇති කුඩා දිවයින් රාජ්‍යයක් වන මාල දිවයින බලා පොම්පියෝ ශ්‍රී ලංකාවේ සිට ඔක්තෝබර් 28දා පිටත් විය. නව දිල්ලියේ ද සහයෝගය සහිත ව 2018 දී වොෂින්ටනය, මාල දිවයිනේ චීන-ගැති ජනාධිපති අබ්දුල්ලා යමීන් ඉවත් කොට, ජනාධිපතිවරනය ජයගත්, එක්සත් ජනපද-ගැති ඊබ්‍රාහිම් මොහොමඩ් සලේ බලයේ පිහිටුවීමට අනුග්‍රහය දැක්වී ය. එක්සත් ජනපදය, පසුගිය මාසයේ මාල දිවයින සමග දුර දිග යන ආරක්ෂක ගිවිසුමකට අත්සන් කල අතර, තම සංචාරයේ දී එරටේ එක්සත් ජනපද තානාපති කාර්යාලයක් පිහිටුවන බව පොම්පියෝ නිවේදනය කලේ ය.

[මෙම ලිපිය ඔක්තෝබර් 31 දින ඉංග්‍රීසි භාෂාවෙන් පල විය.]

Loading