සේවකයන්ට කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම නිසා හොරන බොඩිලයින් ඇඟලුම් කම්හල වසා දැමෙයි

එහි සේවකයන්ට කොවිඩ් 19 වයිරසය ආසාදනයවීම නිසා එම්ඒඑස් (මාස්) හෝල්ඩින් සමාගට අයත් හොරන ගුරුගොඩ පිහිටි බොඩිලයින් ඇඟලුම් කම්හල ඔක්තෝබර් 31 වෙනි දා සිට වසා ඇත.

මේ වනවිට එහි සේවකයන් 34 දෙනෙකුට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. රෝගයට ගොදුරුවූ මෙම 34 දෙනා හඳුනාගෙන ඇත්තේ වයිරසය ආසාදනය වී ඇති බවට පලමුව වාර්තාවූ කම්කරු කාන්තාව සේවය කල නිෂ්පාදන අංශයේ කන්ඩායම් සාමාජිකයන් 200 න් 145 ක් සම්බන්ධයෙන් කරන ලද පීසීආර් පරීක්ෂන වලදීය. කම්කරුවන් 6,000 ක් පමන සේවය කරන මෙම කම්හලේ තවත් සේවකයන්ට සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් බොහෝ දෙනෙකුට වයිරසය ආසාදනය වී තිබිය හැකි බව ඉන් ඇඟවුම් කෙරෙයි.

කිලිනොච්චි මාස් සමාගමට අයත් වානවිල් කම්හලේ සේවකයන් වැඩෙහි නිරතවී සිටියදී (2018 වසරේ ගත් ඡායාරූපයකි)

මෙම කන්ඩායමේ මුලින් ම හඳුනා ගත් ආසාදිත කම්කරු කාන්තාව බ්‍රැන්ඩික්ස් ආයතනයට හෝ මාලු වෙලඳ සැලකට සම්බන්ධ නැති බව කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උදය රත්නායක මාධ්‍යයට පවසා තිබේ. ඔහුගේ ප්‍රකාශයෙන් යලිත් එලිදරව් වන්නේ වසංගතය සමාජගත වී ඇති බව වසන් කිරීම සඳහා ' බ්‍රැන්ඩික්ස් හා පෑලියගොඩ මාලු වෙලඳ සැල පොකුරුවලින්' වසංගතය ව්‍යාප්ත වූ බවට රාජපක්ෂ ආන්ඩුව සහ ධනපති මාධ්‍ය වපුරන්නේ පචයක් බවයි.

ආසාදිතයන් 34 ක් හඳුනා ගැනීමෙන් පසු වහාම කම්හල වසා දැමීමට පියවර ගත් බව සමාගම නිකුත් කල ප්‍රකාශයක සඳහන් වෙයි. සියලු සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේදයන් ක්‍රියාවට දමන බව ප්‍රකාශය තව දුරටත් සඳහන් කර ඇත. එහෙත් වාර්තාවන ආකාරයට කම්හල වැසීමට බල කෙරුනේ කම්කරුවන් වැඩට ඒම ප්‍රතික්ෂේප කරමින් බරපතල විරුද්ධත්වයක් ප්‍රකාශ කල තත්වය තුලයි.

කම්හලේ මර්දනකාරී පාලනය නිසා නම සඳහන් කිරීමට අකමැතිවූ කම්කරුවෙකු මෙසේ සඳහන් කලේ ය: 'මුඛ ආවරන අත්සේදීමේ පහසුකම් තියනවා. ආහාර ගැනීම සඳහා මීටරයක දුරින් මේස තැබීමත් සිදුවෙනවා. නමුත් වැඩට එද්දී වාහනවල එන්නේ 30-40 කන්ඩායම් වසයෙන්. කලිනුත් පීසීආර් පරීක්ෂන කලා. ඒවා හැම එකක් ම නෙගටිව් කියල කිව්වේ. කාට හරි උන හෙම්බිරිස්සාව වගේ අසනීපයක් තිබුනොත් ඒ අංශෙ දවසක් දෙකක් වහල තියලා ආපහු වැඩ පටන් ගන්නවා. ඒ නිසා කම්හලේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන එහෙමට විශ්වාසයක් අපට නැහැ.'

මාස් දකුනු ආසියාවේ විශාලතම නිමි ඇඳුම් සහ රෙදි නිෂ්පාදන සමාගම යි. රටවල් 15 ක නිෂ්පාදන කටයුතු පවත්වාගෙන යන එහි වර්තමාන ශ්‍රම බලකාය 99,000 කි. ඉන් සියයට 70 ක් පමන කාන්තාවෝ වෙති. සිය සේවකයන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් සියලු පහසුකම් සපයන බව මාස් සමගම ප්‍රකාශ කරන නමුත් අනෙකුත් සියලු සමාගම් මෙන් ම, එය ද රුදුරු සේවා කොන්දේසි යටතේ ලාබ උත්පාදනයේ යෙදී සිටින සමාගමකි.

ලෝක ධනවාදයේ ගැඹුරු වන අර්බුදය සහ වෙලඳපොල තරඟකාරීත්වය ඉහල යාම නිසා ලාභ ආරක්ෂා කර ගැනීම පිනිස ජාත්‍යන්තර සංගත හැරී සිටියේ ශ්‍රම සූක්ෂම සුරා කෑමේ ක්‍රමවේදයන් ක්‍රියාවට දැමීමට ය. මාස් ඇතුලු ලංකාවේ සමාගම් හා ආයෝජකයන් ද එම පිලිවෙතම අනුගමනය කරමින් වැඩ වේගවත් කිරීම, සේවා කාලය දීර්ඝ කිරීම, රැකියා සහ වැටුප් කප්පාදුව ක්‍රියාවට දැමීය.

කොවිඩ් 19 වසංගතය විසින් අර්බුදය වඩා තීව්‍ර කෙරුනු තතු තුල මෙම සැලසුම් වඩාත් පුලුල් කරනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ ඇඟලුම් නිෂ්පාදනය ඇතුලු පුද්ගලික අංශයේ කම්කරුවන් මිලියනකට පමන පසුගිය මාස කිහිපයේ රැකියා අහිමි කර තිබේ. ඇතැම් සමාගම්වල වැටුප් සියයට 50 දක්වා ද දීමනා සහ විශ්‍රාමික අරමුදල් ද කප්පාදුවක් ක්‍රියාවට දමා තිබේ.

මෙම ක්‍රියාදාමයේ කොටසක් ලෙස මාස් සමාගම පසුගිය වසර දෙක තුල ප්‍රතිව්‍යූහගත කිරීමක් ආරම්භ කලේ ය. කොවිඩ් 19 වසංගතය තුල එහි ආදායම සියයට 35 ත් 40 ත් අතර අගයකින් මෙම වසරේ පහත වැටීමට ප්‍රතිචාර වශයෙන් 'ස්ව කැමැත්තෙන්' සේවයෙන් ඉවත්වීමේ ව්‍යාපෘතියක් යටතේ එහි ශ්‍රම බලකායෙන් සියයට 4ක් ඉවත් කිරීමට සහ කාර්ය මන්ඩල වැටුප් බරපතල ලෙස කප්පාදු කිරීමට ද පියවර ගෙන ඇත.

බ්‍රැන්ඩික්ස් කම්හලේ කම්කරුවන් 1200 කට පමන වයිරසය ආසාදනය වීමෙන් පසු මේ වන විට කටුනායක, බියගම සහ කොග්ගල ඇතුළු නිදහස් වෙලඳ කලාප සහ ඉන් පිටත කර්මාන්තශාලා ශාලාවලින් ආසාදිතයන් හමු වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කයේ කම්හල් 40 ක ඔක්තොබර් 3 වෙනිදා සිට නොවැම්බර් 01 දක්වා කරන ලද අහඹු පීසීආර් පරීක්ෂන වලින් වයිරසය ආසාදනය වූ කම්කරුවන් 524 ක් හමු වී ඇත.

ඊට අමතරව පසුගිය කිහිපය තුල නවගමුව පුද්ගලික කම්හලක ඉන්දීය ජාතිකයන් 17 ක් ඇතුළු කම්කරුවන් 28 ක්, සෙල්ලම් බඩු නිපදවන වත්තල මාටගොඩ පැරඩයිස් කම්හලේ සේවිකාවක්, ගාල්ල මාගල්ලේ කොහු කර්මාන්ත ශාලාවක කම්කරුවන් 4 දෙ‌නෙක් සහ කොග්ගල බ්‍රැන්ඩික්ස් කම්හලේ එක් අයෙක් වයිරසයයෙන් ආසාදනය වී ඇති බවට වාර්තා වී තිබේ.

දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ලේම මේවන විට වසංගතය ව්‍යාප්ත වී ඇත. නොවැම්බර් 2 වෙනිදා දහවල් වන විට සමස්ත ආසාදිතයන් ගනන 11060 ක් සහ සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 6134 ක් වූ අතර 22 ක් මිය ගොස් තිබුනි.

කම්කරුවන් වසංගතයට ගොදුරු වීම රාජපක්ෂ ආන්ඩුව මහ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන්ගේ ලාභ පිපාසිත උවමනාවන් වෙනුවෙන් අනාරක්ෂිත ලෙස 'ආර්ථිකය යලි විවෘත කිරීම' තුලින් වසංගතය සමාජගතවීමේ ඍජු ප්‍රතිපලයක් වුව ද, ආන්ඩුව අනුගමනය කරන්නේ එහි වගකීම මහජනයාගේ ඇඟට කපා අත සෝදා ගැනීමේ නින්දිත පිලිවෙතකි.

මහජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීම නිසා මෙම තත්වය ඇති වී තිබෙන බව නොවැම්බර් 1 වෙනිදා පැවති කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ රැස්වීමකදී ජනාධිපති රාජපක්ෂ චෝදනා කලේ ය. එහෙත් ශ්‍රී ලංකාව වසංගතය සාර්ථකව මර්දනය කල බවට මහජනතාව නොමග යවන ලද්දේ ආන්ඩුව හා ධනපති මාධ්‍ය විසිනි.

වසංගතයේ ව්‍යාප්තිය නොතකා 'ආර්ථික ක්‍රියාකාරකම් අඛන්ඩව' පවත්වාගෙන යාමට කැබිනට් මන්ඩලය ඔක්තෝබර් 26 වෙනිදා තීන්දු කල බව මාධ්‍ය වාර්තා කලේ ය. මේ අතර 'ආර්ථිකය ශක්තිමත්ව' පවත්වාගෙන යාම සඳහා සියලුම කම්හල් වල නිෂ්පාදන කටයුතු දිගටම කරගෙන යන බව ලංකා ආයෝජන මන්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල නොවැම්බර් 2 වෙනිදා ඩේලි එෆ්ටි පත්‍රයට ප්‍රකාශ කර තිබුනි. නිදහස් වෙලඳ කලාප වලින් පිටත ආයෝජන මන්ඩලයේ අධීක්ෂනය සහිත කම්හල් 1615 ක කම්කරුවන් 580,000 ක් හා අපනයන කලාප තුල 133,000 සේවය කරන බව ද ඔහු එහි දී සඳහන් කර ඇත.

මෙම කම්හල් විසින් සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කර තිබෙන සෞඛ්‍යාරක්ෂක ක්‍රමවේද අකුරටම පිලිපදින බවට ද ඔහු සහතිකයක් දී තිබුනි. මොහොට්ටාල කම්හල් හිමියන්ට එම සහතිකය දෙන්නේ සීමිත පරීක්ෂන යටතේ වුව ද බ්‍රැන්ඩික්ස් සහ තවත් කම්හල් දුසිම් ගනනාවකින් කම්කරුවන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් දහස් ගනනක් වසංගතයට ගොදුරු වී සිටින තතු තුලය .

රාජපක්ෂ ආන්ඩුව, ආයෝජන මන්ඩලය සහ ව්‍යාපාරික කර්මාන්තකරුවන් අනුගමනය තරන්නේ ලෝක පරිමානව ධනපති පාලක පන්තීන් සහ හාම්පුතුන් විසින් ක්‍රියාවට දමනු ලබන 'රංචු ප්‍රතිශක්තිකරනය'හා 'නව සාමාන්‍යය ' යන ප්‍රතිගාමී පිලිවෙතයි. එහි මුලික එල්ලය වන්නේ කම්කරුවන්ගේ ජීවිත පරදුවට තබා සංගතවල ලාබය සඳහා නිෂ්පාදන ක්‍රියාවලිය පවත්වාගෙන යාමයි.

ධනපති පාලක පන්තීගේ සහ සංගත හිමියන්ගේ මෙම දුෂ්ට පිලිවෙතට එරෙහිව ශ්‍රී ලංකාවත් ඇතුළු ජාත්‍යන්තර කම්කරු පන්තියේ බරපතල ප්‍රතිරෝධයක් වර්ධනය වෙමින් ඇත.

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුන ඇතුලු සියලු පක්ෂත් රාජ්‍ය සහ පුද්ගලික අංශයේ වෘත්තීය සමිතිත් රාජපක්ෂ ආන්ඩුවේ මෙම දුෂ්ට පිලිවෙත සමග පෙලගැසී සිටිති. ආන්ඩුවේ ත්‍රෛපාර්ශවීය කාර්ය සාධක බලකායට ගාල් වී සිටින නිදහස් වෙලඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය, වානිජ, කර්මාන්ත සහ පොදු සේවක සංගමය, ජවිපෙ විසින් මෙහෙයවනු ලබන අන්තර් සමාගම් සේවක සංගමය පුද්ගලික අංශයේ රැකියා හා වැටුප් කප්පාදුවට සහය දෙයි. මෙම සමිති, සමාගම්වල ප්‍රහාරයට එරෙහිව කම්කරුවන්ගේ අරගලයක් සංවිධානය කිරීමට සතුරුව සිටියි.

රාජපක්ෂ ආන්ඩුවේ සහ හාම්පුතුන්ගේ ප්‍රහාරවලට හා වෘත්තීය සමිතිවල පාවාදීමට එරෙහිව කම්කරු ක්‍රියාකාරී කමිටු හරහා ඇඟලුම් කම්කරුවන් සංවිධානය කිරීමටත් සමාජවාදී වැඩපිලිවෙලට සටන් කිරීමටත් සමාජවාදී සමානතා පක්ෂය සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය මුලිකත්වය ගෙන ඇත. එම අරගලයට අප හා එක්වන්න.

Loading