ඉදිරිදර්ශන

එක්සත් ජනපද ජනාධිපතිවරනය පිලිබඳ ආරම්භක නිරීක්ෂන

බදාදා (04) අලුයම වන විට එක්සත් ජනපද ජනාධිපතිවරනයේ ප්‍රතිඵලය ට්‍රම්ප් ආන්ඩුවේ ෆැසිස්ට් පන්නයේ දේශපාලනයට එරෙහි කිසිදු ප්‍රගතිශීලී විකල්පයක් ඉදිරිපත් කිරීමට ඊට ඇති නොහැකියාව වෙත එල්ල කෙරෙන තදබල චෝදනාවකි.

මෙම ලිපිය ලියන අවස්ථාව වන විට, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ට හෝ රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මැතිවරන විද්‍යාලවලින් (electoral college) කරට කර ජයග්‍රහනයක් ලැබීමට නියමිත බව පෙනෙයි. කොරෝනා වෛරසයේ තර්ජනය හේතුවෙන් මැතිවරනයේ ප්‍රධාන අංගයක් බවට පත්වූ තැපැල් ඡන්ද ගනන් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් විස්කොන්සින්, මිචිගන් හා පෙන්සිල්වේනියා යන ප්‍රාන්තවල ප්‍රතිඵල සතියේ  අවසානය දක්වා දැන ගත නො හැකි වනු ඇත.

ට්‍රම්ප් ෆ්ලොරිඩා, ජෝර්ජියා, ටෙක්සාස් හා ඔහියෝ ප්‍රාන්ත ජය ගෙන ඇති අතර, ඔහු උතුරු කැරොලිනාවේ පටු බහුතරයක් දිනා ගත්තේ ය. මේ ප්‍රාන්ත සියල්ල ඔහු 2016 දී ජය ගත් ඒවාය. එහෙත් ඔහු 2016 දී ජයග්‍රනයේ සමීපයට පැමිනි තිබූ නිව් හැම්ප්ෂයර් හා මිනසෝටා ප්‍රාන්ත දිනා ගැනීමට දැරූ උත්සාහයන් අසාර්ථක වූ අතර නෙවාඩා ප්‍රාන්තයේ ද පසුබැසීමට ඉඩ ඇත. ට්‍රම්ප් මැතිවරන විද්‍යාලයේ ජයග්‍රහනයක් ලබා ගැනීමට සමත්වේ නම්, ඔහුගේ ආරම්භක ජයග්‍රහනයට වඩා සුලු පරතරයකින් නැවත තේරී පත්වන දෙවන එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට ඔහු පත්වනු ඇත. පලමුවැන්නා වූයේ බරක් ඔබාමා ය.

බයිඩන් යන්තම් ජයග්‍රහනයක් කලද, එම ජය ගෝලීය කෙරෝනා වසංගතයෙන් ඇමරිකානුවන් 235,000 ක් මරනයට පත්වීම, මහා අවපාතයෙන් පසු ඇති වූ දරුනුතම ආර්ථික අර්බුදය හා ෆැසිස්ට් බලවේග බලමුලු ගැන්වීමේ විවෘත උත්සාහයන් මෙන් ම වොෂිංටනයේ ඒකාධිපති පාලනයක් ඇති කිරීමට වග කිව යුතු, බලයේ සිටින ජනාධිපතිවරයෙකුට එරෙහිව තරඟ වැදීමේ දී අපේක්ෂා කෙරුනු තරම් අතිවිශාල බහුතරයකින් නොවනු ඇත.

බදාදා අලුයම, ආරම්භක ප්‍රතිඵල මත පදනම්ව  ට්‍රම්ප් ජයග්‍රහනය ප්‍රකාශයට පත් කල අතර සම්පූර්න ගනන් කිරීම අභියෝගයට ලක් කිරීමේ තම සැලසුම් පැහැදිලි කලේ ය. “අපි හිතන විදියට, අපි දැනටමත් දිනලා ඉන්නේ” යැයි ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවති කතාවක දී කියා සිටි අතර, “අපි ශ්‍රේෂ්ඨාධිකරනයට යනවා. අපට සියලු ඡන්ද නතර කරන්න ඕනෑ”යැයි තවදුරටත් පැවසුවේය.

මැතිවරනයට පෙර දිනවල ට්‍රම්ප් නැවත නැවතත් අවධාරනය කලේ මැතිවරන දිනය තුල මැතිවරන ප්‍රතිඵල තීරනය කල යුතු බවයි. මෙයට නීතියේ හෝ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු පදනමක් නොමැත. ජග්‍රහනය ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති ට්‍රම්ප්, තම දේශපාලන කුමන්ත්‍රන දිගටම ගෙන යමින් සිිටියි.

ට්‍රම්ප්ගේ කුමන්ත්‍රන හා මැතිවරන උද්ඝෝෂනය අතරතුර ඔහු ෆැසිස්ට් ප්‍රචන්ඩත්වය උසිගැන්වීමට එරෙහි මහජන විරෝධය මැඩපැවැත්වීම සඳහා ඩිමොක්‍රටිකයෝ  හැකි සෑම දෙයක්ම කලහ. ඔවුන් හිතාමතාම ට්‍රම්ප්ගේ ප්‍රචන්ඩ තර්ජන අවතක්සේරු කලේ, මිචිගන් ප්‍රාන්තයේ ග්රෙට්චන් විට්මර් සහ වර්ජිනියා ප්‍රාන්තයේ  රැල්ෆ් නෝර්තම් වැනි ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන්ට එරෙහිව පවා එම තර්ජන එල්ල කෙරුනු අවස්ථාවේදීය.

2016 දී ට්‍රම්ප්ට ඡන්දය දුන් ග්‍රාමීය හා කුඩා නගර කම්කරුවන්ගෙන් සැලකිය යුතු කොටසක් දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂයට නොහැකි වී තිබේ. ඔවුහු වර්ගය හා ස්ත්‍රීපුරුෂ පදනම මත ධනවත් ඉහල මධ්‍යම පන්තියට ආයාචනා කරමින්,  අනන්‍යතා දේශපාලනය මත පාදක උද්ඝෝෂනයක් ගෙන යාමට තෝරා ගත් අතර, වසංගතය විසින් ප්‍රේරනය කෙරුනු සමාජ අර්බුදය ජය ගැනීමට කිසිවිටකත් ආර්ථික වැඩසටනක් ඉදිරිපත් නො කලහ.

1932 දී ෆ්‍රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් යටතේ සිටි ඩිමොක්‍රටිකයින්ට ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදය මධ්‍යයේ, ඇමරිකානු වැඩකරන ජනතාවට “නව ගිවිසුමක්”(නිව් ඩීල් ප්‍රතිපත්තිය) ලබා දෙන බවට පොරොන්දු වීමෙන් විශාල ජයග්‍රහනයක් ලබා ගැනීමට හැකි විය.

කෙසේ වෙතත්,  බොහෝ කලකට පෙර ඩිමොක්‍රටිකයෝ, ජාතිය හා ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්ව, වරප්‍රසාද හුවමාරු කර ගැනීම සඳහා වන ආයාචනා යොදා ගනිමින්, මූල්‍ය වෙලඳපොලවල ක්‍රියාකාරිත්වයට සම්බන්ධ ඉහල මධ්‍යම පාන්තික සමාජ පදනමක් පෝෂනය කරනු පිනිස, සමාජ ප්‍රතිසංස්කරන ප්‍රතිපත්තියක් හෝ කම්කරුවන්ගේ පන්ති අවශ්‍යතා සඳහා වූ ආයාචනයක් ප්‍රතික්ෂේප කලහ.

ඔහුගේ පලමු ධුර කාලය පුරාවට ම ට්‍රම්ප්ට එරෙහි ඔවුන්ගේ විරුද්ධත්වය යොමු කෙරී ඇත්තේ විදේශ ප්‍රතිපත්තිය කෙරෙහි ය. එහිදී ඔවුහු රුසියාව කෙරෙහි වඩාත් ආක්‍රමනශීලී ප්‍රතිපත්තියක් ඉල්ලා සිටි අතර මිලිටරි - ඔත්තුසේවා තුල සහයෝගය ලබා ගැනීමට උත්සාහ කලහ. ට්‍රම්ප්ගේ දක්ෂිනාංශික ප්‍රතිපත්තිවලට එරෙහි පුලුල් සමාජ විරෝධය අවමංගත කිරීමට හා මර්දනය කිරීමට ඔවුන් හිතාමතා ම උත්සාහ කර ඇත.

දැන් 2020 දී, 2016 දී ක්ලින්ටන් සමග මෙන්, ඩිමොක්‍රටික් පක්ෂය රටේ විශාල ප්‍රදේශවල විශේෂයෙන් ම කාර්මිකහරනය විසින් පහර දෙන ලද ඇපලාචියා හා මිඩ්වෙස්ට් වැනි ආර්ථික වශයෙන් පිරිහුනු මහනගර හා නගරවල කම්කරු පන්තිය මුහුන දෙන සමාජ අර්බුදය විසඳීමට කිසිදු වැඩපිලිවෙලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව ඔප්පු වී තිබේ. 

නිදසුනක් වශයෙන්, පලමුව වානේ කර්මාන්තයෙන් කාබාසිනියා කර දැමූනු, 1970දී ධාන්‍ය මෝල් වසාදැමුනු සහ වඩා මෑත දී එක්සත් මෝටර් රථ කම්කරුවන්ගේ වෘත්තීය සමිතියේ සහයෝගයෙන්, තම ලෝඩ්ස්ටවුන් කම්හල වසා දැමූ ජෙනරල් මෝටර්ස් සමාගම විසින් විනාස කර දැමූනු ඔහියෝ ප්‍රාන්තයේ යන්ග්ස්ටවුන් සහ වොරන් නගර දෙක ඇතුලු ට්‍රම්බුල් සහ මැහොනිං කෝරල දෙක ජයගැනීමට ට්‍රම්ප්ට හැකිවිය. 

මිචිගන් ප්‍රාන්තයේ දී, මෙය ලියන මොහොතේ දරුනු ඊයම් විෂ අර්බුදයකට ගොදුරු වූ ජෙනීසි කෝරලය මෙන්ම සැගිනෝව් කෝරලය හා බේ කෝරලයේ ට්‍රම්ප් ඊට වඩා ඉදිරියෙන් සිටී. කලක් මෙම කෝරල තුනේ ම ආධිපත්‍යය ගනු ලැබුවේ ජෙනරල් මෝටර්ස් කම්හල් විසිනි.ඒ්වා බොහොමයක් දැන් වැසී ඇත. ට්‍රම්ප් ඩෙට්‍රොයිට් තදාසන්න ප්‍රදේශවල මෝටර්රථ නිෂ්පාදන මධ්‍යස්ථානයක් වූ මැකොම්බි කෝරලය  ඩැහැ ගත්තේ ය.

කොන්ග්‍රස් මැතිවරනවල ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිඵල ජනාධිපතිවරනයේ දී මෙන් ම අවිනිශ්චිත ය. සෙනෙට් සභාවේ බහුතරයක් ලබා ගැනීමට අවශ්‍ය ආසන තුන හතරක් ඩිමොක්‍රටිකයින් විසින් අල්ලා ගනු ඇත්ද යන්න පැහැදිලි නැත.

ඇලබාමා ප්‍රාන්තයේ දැනට සිටින ඩග් ජෝන්ස්ගේ ආසනය අහිමි වන අතර ඩිමොක්‍රටිකයින් කොලරාඩෝ හා ඇරිසෝනා ප්‍රාන්තවල රිපබ්ලිකන් පක්ෂයේ සෙනෙට් සභා ආසන අත්පත් කර ගත් නමුත් මේන්, උතුරු කැරොලිනා හා මොන්ටානා ප්‍රාන්ත සෙනෙට් සභා තරඟවල ප්‍රතිඵල අවිනිශ්චිත ව පවතී. දකුනු කැරොලිනා, ජෝර්ජියා, මිසිසිපි, කැන්සාස්,  අයෝවා, ටෙක්සා හා කෙන්ටකි යන ප්‍රාන්තවල යහතින් මුදල් යෙද වූ  ඩිමොක්‍රටික් තරඟකරුවන් පරාජය කරමින්  රිපබ්ලිකානුවෝ ආසනවලට තේරී පත්වූහ.

ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ තම බහුතරය රඳවා ගත් අතර, කියුබානු-ඇමරිකානු රිපබ්ලිකානුවන් විසින් දැඩි කොමියුනිස්ට් විරෝධී උද්ඝෝෂනයක් දියත් කරමින් පලමු වරට පත් වූ කොන්ග්‍රස් සභිකාවන් පරාජය කෙරෙුනු, දකුනු ෆ්ලොරිඩාවේ ආසන දෙකක් ද ඇතුලුව පරාජයන් ගනනාවකට මුහුන දුන්නේ ය. නැවත දිස්ත්‍රික් සීමා බෙදාහැරීමේ උසාවි නියෝගයකින් පසුව ඩිමොක්‍රටිකයෝ  උතුරු කැරොලිනාවේ ආසන දෙකක් ජය ගත්හ.

ඒ අනුව ට්‍රම්ප් ධවල මන්දිරයේද, මිච් මැක්කොනෙල් සෙනෙට් බහුතර නායකයා ලෙසද නැන්සි පෙලෝසි පාර්ලිමේන්තුවේ කතානායක ලෙසද සිටින වොෂිංටනයේ දේශපාලන වින්‍යාසය 2021 දක්වා අඛන්ඩව පැවතීමට මුලුමනින්ම ඉඩ ඇත්තේ, වසරක අඛන්ඩ සමාජ, ආර්ථික හා දේශපාලන කැලඹීම් නො තකමිනි. මෙය  ප්‍රදර්ශනය කරන්නේ එක්සත් ජනපදයේ දේශපාලන ව්‍යූහයන් මුලුමනින්ම මහජන පීඩාවන්ට අසංවේදී හා 1930 ගනන්වල මහා අවපාතයෙන් පසු ගැඹුරු ම සමාජ අර්බුදයට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් බව ය.

ජනාධිපතිවරනයේ නිගමනය අවිනිශ්චිතව පැවතුන ද, සමස්ත මැතිවරන ක්‍රියාදාමය  පෙන්නුම් කර ඇත්තේ, ඩිමොක්‍රටික් පක්ෂය හා බිඩෙන්ට කම්කරු පන්තිය යටත් කිරීමට ගත් සියලු උත්සාහයන් තමන්ගේ ම උද්ඝෝෂනයේ දී ප්‍රතික්ෂේප කල,  සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිදර්ශනයේ නිරවද්‍යතාව යි. 

කෙසේවෙතත්, ඉදිරි දිනවල දී තත්වය වර්ධනය වුව ද, පන්ති අරගලය වර්ධනය වනු ඇති අතර වර්ධනය විය යුතු ය. කම්කරු පන්තිය මෙම පක්ෂ දෙකට ම මෙන් ම  සමස්ත ධනේශ්වර පද්ධතියට විරුද්ධ ව සමාජවාදී ක්‍රියාමාර්ගයකින් සන්නද්ධ විය යුතු ය.

මෙම ලිපිය නොවැම්බර් 4දින  ඉංග්‍රීසියෙන් පලවින.

Loading