2020 මැතිවරනය අද්දර ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉතිරිව ඇත්තේ මොනවාද?

සංවාදය සඳහා ඉදිරිපත් කෙරුනු සමාරම්භක අදහස්

ඔක්තෝබර් 28 වන බදාදා සැන් ඩියාගෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයනාංශය, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් සහ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යලයේ ගෞරවාන්විත විශ්‍රාමික මහාචාර්ය ඇඩොල්ෆ් රීඩ් සමඟ මාර්ගගත සාකච්ඡා කවයක් පැවැත්වීය. පහත දැක්වෙන්නේ ඩේවිඩ් නෝර්ත් එහිදි සිදු කල ආරම්භක පැහැදිලි කිරීමයි.  

***

සැන් ඩියාගෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ (එස්ඩීඑස්යූ) දේශපාලන විද්‍යා අධ්‍යයනාංශයට සහ මෙම සාකච්ඡාව සංවිධානය කිරීමටත් ඊට සහභාගී වීමට මට ආරාධනා කිරීම පිලිබඳවත් ජොනතන් ගෘබාර්ට්, බ්‍රියානා විලේ, එමානුවෙල් සැකරෙලි සහ ලතා වර්ධරාජන් වෙත මගේ කෘතඥතාව පල කිරීමට අවසර. කම්කරු පන්තිය වෙනුවෙන් කැපවී කටයුතු කරන, කීර්තිමත් හා බුද්ධිමය වශයෙන් ප්‍රතිපත්තිගරුක, දේශපාලනික වශයෙන් සටන්කාමී සහ කම්කරු පන්තිය කෙරෙහි කැපවුන මහාචාර්යවරයෙකු වන ඇඩොල්ෆ් රීඩ් සමඟ වේදිකාව බෙදා ගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන බව ද මම කියන්නට කැමැත්තෙමි.

2020 මැතිවරනය අද්දර ඇමරිකානු ප්රජාතන්ත්රවාදයේ ඉතිරිව ඇත්තේ මොනවාද? ඩේවිඩ් නෝර්ත් සහ ඇඩොල්ෆ් රීඩ්

පසුගිය වසර කිහිපය තුල සැන් ඩියාගෝ විශ්වවිද්‍යාලයෙහි දේශන ගනනාවක් පැවැත්වීමට මට වාසනාව ලැබී ඇත. නමුත් ඒවා සැමවිටම පැවත්වුනේ, දෘශ්‍යමාන ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ කායිකවය. විශේෂයෙන්ම රැස්වීම්වල ප්‍රශ්න හා පිලිතුරු වටය සෑම විටම සජීවී හා අභියෝගාත්මක විය. හැකිතාක් ප්‍රශ්න හා අදහස් හුවමාරු කර ගැනීම සඳහා මගේ ආරම්භක අදහස් තරමක් කෙටි කිරීමට මම අදහස් කරමි.

අප මෙලෙස මුනගැසෙන මොහොතේ පවතින සුවිශේෂී තත්වයන් පෙන්වා දෙමින් ලතා, මෙම සාකච්ඡාව ඉතා හොඳින් ආරම්භ කරනු ලැබීයයි මම සිතමි. ලෝසවෙඅ වසංගතය හැඳින්වූයේ “ප්රේරක සිදුවීමක්” ලෙස ය. යම් අර්ථයකින් එය, පලමු ලෝක යුද්ධය පුපුරායාම තරම්  වැදගත් ඓතිහාසික සිදුවීමකි.

එස්ඩීඑස්යූ හි සිසුන්ට මට කෙලින්ම කථා කල හැකි නම් මෙය, ඔබේ ජීවිත ගැඹුරින් වෙනස් කරන, අනාගතයට ප්‍රබල ලෙස බලපානු ඇති සිදුවීමක් බව කිව යුතුය. එය විද්‍යාවෙන් පමනක් විසඳිය හැක්කක් නොවන්නා සේම නම් අතිමූලිකව විද්‍යාව හා වෛද්‍යවේදය හරහා නොව, දේශපාලන ක්‍රියාකාරිත්වය තුලින් විසඳනු ලබන සිදුවීමකි. දිනෙන් දින ඉහල යන ආසාදිත සංඛ්‍යාව, මරනය, කාලකන්නි භාවය හා ඛේදවාචකයන් වැනි පසුගිය වසරේ අත්දැකීම් ගැන යමක් පැවසිය හැකි නම් ඒවා, දේශපාලන, සමාජීය, ආර්ථික හා මවිසින් යම්තාක් දුරට සදාචාරාත්මක වශයෙන් යැයිද කිවයුතු ධනේශ්වර පද්ධතියේ බංකොලොත්කම, මුලුමනින්ම හා ආපසු හැරවිය නොහැකි ලෙස නිරාවරනය කර ඇත.

1917 වන තෙක්, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජාතිකත්වය, ජනවාර්ගිකත්වය, වාර්ගික හා ආගමික පසුබිම නොසලකා, ධනවාදය අපරාජිත යයි පෙනීගිය යුගයක මිථ්‍යාවන් සහ ආත්ම විශ්වාසය පලමුවන ලෝක සංග්‍රාමය විසින් බිඳ දැමුවාක් මෙන් ම, මෙම වසංගතයේ බලපෑම ලෝකයේ සෑම අස්සක් මුල්ලකම පැතිර ඇත. ලතා දැනටමත් ඇමරිකාවේ මරන සංඛ්‍යාව 227,000 ට වඩා වැඩිවිය හැකි බව සඳහන් කර ඇත. ලොව පුරා මිලියනයකට අධික පිරිසක් මියගොස් තිබේ. බ්‍රසීලයේ මරන සංඛ්‍යාාව 157,000 ක්, ඉන්දියාවේ 120,000 ක්, ඉතාලියේ 57,000 ක්, බ්‍රිතාන්‍යයේ 46,000 කි. අද, ජර්මනිය යලි වතාවක් නිවේදනය කර ඇත්තේ එය අගුලු දැමීමට යන බවයි.

මෙම වෛරසය පාලනය කිරීමට ගන්නා සෑම උත්සාහයක්ම අසාර්ථක වී ඇත්තේ එය, නිසි ප්‍රතිචාරයක් නිසි ලෙස සංවිධානය කිරීමට සමාජයට ඇති හැකියාව ඉක්මවා ගිය නිසා නොව, මෙම වෛරසය පාලනය කිරීම සඳහා ගත් සියලු ක්‍රියාමාර්ග ධනේශ්වර පද්ධතියේ අවශ්‍යතා හා ඕනෑකම් නිසා ව්‍යර්ථව ඇති බැවිනි. එක්සත් ජනපදයට වඩා වෙනත් කිසිම තැනක මෙම සත්‍යය පැහැදිලි ලෙස ප්‍රකාශ වී නොමැත. ලෝකයේ වඩාත්ම දියුනු ධනවාදී රට යයි කියනු ලබන ඇමරිකාව, සියලු සමාජයන් අතුරින්, වඩාත්ම දුගී, සංස්කෘතික වශයෙන් බංකොලොත් රට බව හෙලිවී ඇත.

එක්සත් ජනපදයේ වර්තමාන තත්ත්වය පිලිබඳව අප සාකච්ඡා කිරීමට යන්නේ මෙම සන්දර්භය තුල ය. වසංගතය, “ප්‍රේරක සිදුවීමක්”යැයි යලිත් කෙරෙන සඳහන සහිතව එවිසින් ස්වකීය ආරම්භයට පෙර සිටම පැවති සියලු ප්‍රතිවිරෝධතා උත්සන්න කරමින් සහ වේගවත් කරමින් තිබේ. ට්‍රම්ප් නිරයෙන් ඉස්මතු වූයේ නැත. ඔහු මේ රටේ ඉතාමත් වැඩි දියුනු දේශපාලන ව්‍යාධියක වඩාත් දෘශ්‍යමාන හා කුනු වූ ප්‍රකාශනය පමනි.

මගේ ආරම්භක ප්‍රකාශය ඉතා කෙටියෙන් කිරීමට මට අවශ්‍ය නම්, මෙම රැස්වීමේ මාතෘකාව වන “2020 මැතිවරනය අද්දර ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඉතිරිව ඇත්තේ මොනවාද? යන ප්‍රශ්නයට පිලිතුර “එතරම් දෙයක් නැත” යනුවෙන් වචන තුනකින් පැවසිය හැකිය. එහෙත් පැහැදිලිවම, එය ප්‍රමානවත් පිලිතුරක් නොවේ.

වඩාත් පුලුල් පැහැදිලි කිරීමක් අවශ්‍ය වුවද වචන තුනේ පිලිතුර ද නිවැරදි ය. අප හමුවන්නේ ජනාධිපතිවරනයට සතියකටත් අඩු කාලයකට පෙරය. මිලියන සංඛ්‍යාත ජනතාවගේ මනසෙහි ඇති ප්‍රධානතම ප්‍රශ්නය, ලබන අඟහරුවාදා දිනන්නේ කවුරුන්ද යන්න නොව මැතිවරන දිනය, ලබන ජනවාරි 20 දා ධවල මන්දිරය අරක් ගන්නේ කවුරුන්ද යන්න පවා තීරනය කරන්නේද යන්නයි.

මිලියන ගනන් ජනයා අසන හෝ සිතන ප්‍රශ්න මොනවාද?

ලබන අඟහරුවාදා ඡන්දය දීමේ ක්‍රියාවලිය ප්‍රචන්ඩ එකක් වේද? තුවක්කු ගත් ෆැසිස්ට්වාදීන් ට්‍රම්ප්ට විරුද්ධ ඡන්දදායකයින් බිය ගන්වයි ද? ට්‍රම්ප්ට එරෙහිව, විශේෂයෙන් තැපෑලෙන් එවන ලද ඡන්ද ගනන් කරනු ලැබේ ද? බහුතරයක් දැන් දරුනු ප්‍රතිගාමීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරනය, “පොරපිටි වන්” තීරනාත්මක ප්‍රාන්තවල ට්‍රම්ප්ට එරෙහිව දුන් ලක්ෂ ගනනකගේ ඡන්ද එක් හෝ තවත් වංචනික හේතුවක් නිසා ගනන් නොකරයි ද හෝ අවලංගු ඡන්ද ලෙස සලකයි ද? රිපබ්ලිකානුවන් විසින් පාලනය කරනු ලබන ප්‍රාන්තවල ව්‍යවස්ථාදායකයන්, බිඩෙන්ට බහුතර ඡන්දයක් ලැබී ඇත් නම්, ඡන්ද ප්‍රතිපල නොසලකා හරිනු ඇත්ද? ශ්‍රේෂ්ඨාධිකරනය තමන්ට හැකි යයි පෙන්වා දී ඇති පරිදි, දෙසැම්බර් අග දී මැතිවරන විද්‍යාලය රැස්වන විට ට්‍රම්ප්ට ඡන්දය දෙන තේරුම්කරුවන් පිරිසක් පත්විය හැකි ද?

ඡන්ද විමසීමේදී තමා පරාජයට පත්ව ඇති බවට පැහැදිලි තීන්දුවක් තිබියදීත්, මැතිවරනයේ ප්රතිපල ට්රම්ප් පිලිගනී ද? වර්තමානයේ පවතින සියලු ඇඟවීම් අනුව, ඔහු එසේ නොකරනු ඇත. මාධ්ය විසින් වාර්තා කරන ලද ඡන්ද සංඛ්‍යා “ව්‍යාජ ප්‍රවෘත්ති” බවත්, මැතිවරනය සොරකම් කර ඇති බවත්, ඔහු ජනාධිපති ධුරයේ රැඳී සිටින බවත් ට්‍රම්ප් ප්‍රකාශ කරනු ඇත.

ධවල මන්දිරය අතහැර දැමිය යුතු යැයි ඔහු නිගමනය කලත්, ට්‍රම්ප් සැලකිය යුතු දේශපාලන බලවේගයක් ලෙස පවතිනු ඇති අතර, රට පුරා පොලිස් බලකායන් සහ දක්ෂිනාංශික අර්ධ මිලිටරි කන්ඩායම් තුල සිටින ඔහුගේ ආධාරකරුවන්ට ආයාචනා කරමින් හා තමාගේ “පිටුපසට පිහියෙන් ඇන” ඇති බව ප්‍රකාශ කරමින්, ව්‍යවස්ථා විරෝධී හා පැරාමිලිටරි බලකායක් ගොඩනඟා ගැනීම සඳහා ඔහු සහ ඔහුගේ පිරිවර, තවදුරටත් බලය නැවත ලබා ගැනීම සඳහා, ප්‍රචන්ඩත්වය හා භීෂනය  භාවිතා කරනු ඇත.

මා විසින් පෙන්වා දී ඇති දේශපාලන වාතාවරනය තුල අතිශයෝක්තියේ අංශුමාත්‍රයක්වත් නොමැත. ඇත්ත වශයෙන්ම, ඒවා හුදෙක් සිදුවිය හැකි දේ පිලිබඳ අනාවැකි නොවේ. මැතිවරන ව්‍යාපාරය තුල දැනටමත් ප්‍රචන්ඩ කුමන්ත්‍රන ආධිපත්‍යය දරයි. යන්තම් සති දෙකකට පෙර, මිචිගන් ආන්ඩුකාරයා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ දුරදිග යන කුමන්ත්‍රනයක් එෆ්බීඅයි විසින් හෙලි කරන ලදී. වර්ජිනියාවේ ද එවැනිම කුමන්ත්‍රනයක් හෙලිදරව් වී තිබේ. කුමන්ත්‍රනකරුවන් දක්ෂිනාංශික ත්‍රස්තවාදීන්ගේ ජාතික ජාලයක කොටසක් බව පැහැදිලිය.

කුමන්ත්‍රනයට වඩා බරපතල වන්නේ ට්‍රම්ප්ගේ, මාධ්‍යවල සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රතිචාරයයි. කිසිවෙකු පුදුමයට පත් නොවිය යුතු ආකාරයෙන් ට්‍රම්ප්, ඝාතකයින් සමඟ තම දේශපාලන හා සදාචාරාත්මක සහයෝගීතාව පැහැදිලි කර ඇති අතර, විවෘතව ප්‍රකාශ කර ඇත්තේ, ඔවුන්ගේ ඊලඟ උත්සාහයේදී ඔවුන්ට සුබ පතන බවයි. ඔහු දිගින් දිගටම මිචිගන් ආන්ඩුකාර විට්මර්ව හෙලා දැක ඇති අතර අනෙකුත් ඩිමොක්‍රටික් ආන්ඩුකාරවරුන්ට සහ තේරී පත් වූ නිලධාරීන්ට එරෙහිව ශාරීරික හිංසනය පිලිබඳ පැහැදිලි තර්ජන එල්ල කර තිබේ.

මැතිවරන ව්‍යාපාරයේ වඩාත්ම ඇඟ සීතල කරන මෙම සිදුවීම මාධ්‍ය විසින් වල දමා ඇත. දැඩි ප්‍රසිද්ධියක් අවශ්‍ය කෙරුනු, මිචිගන් ආන්ඩුකාරයා ඝාතනය කර ප්‍රාන්ත ආන්ඩුව පෙරලා දැමීමේ කුමන්ත්‍රනය සුලු සිදුවීමක් ලෙස සලකනු ලැබුනි. දින දෙකක් තුල ජාතික පුවත්පත්වල මුල් පිටුවලින් කතාව අතුරුදහන් වුන අතර සතියකටත් අඩු කාලයකදී සම්පූර්නයෙන්ම ප්‍රවෘත්ති වාර්තා වලින් එය අතුරුදහන් විය.

ඩිමොක්‍රටිකයින් සම්බන්ධයෙන් ගත් කල, ඔවුන්ගේ පක්ෂයේ ප්‍රමුඛ සාමාජිකයෙකු ඝාතනය කිරීමේ කුමන්ත්‍රනයට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය, පූර්න උදාසීනත්වය යි. ආන්ඩුකාර විට්මර් සමඟ ඔවුන් දේශපාලන සහයෝගීතාව ප්‍රකාශ කිරීම නිෂ්පල ක්‍රියාවකි. විට්මර්ට සහ ප්‍රාන්ත ආන්ඩුවට එරෙහි ත්‍රස්තවාදී කුමන්ත්‍රනයක් සම්බන්ධයෙන් පූර්න පරිමානයේ පරීක්ෂනයක් සඳහා බිඩෙන්, සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් පක්ෂ නායක චාල්ස් ෂුමර් හෝ ඩිමොක්‍රටික් කථානායක නැන්සි පෙලෝසි කිසිදු කැඳවීමක් කර නැත. බිඩෙන් සහ ට්‍රම්ප් අතර අවසන් විවාදයේදී පවා කාරනය මතු කලේ නැත.

ඩිමොක්‍රටිකයන්ගේ අසාමාන්‍ය ලෙස නිශ්ශබ්ද ප්‍රතිචාරයට හේතු කවරේ ද? මැතිවරන ප්‍රතිපල නොසලකා හැරීමේ ට්‍රම්ප්ගේ ෆැසිස්ට් කුමන්ත්‍රනය ඔවුන් කේන්ද්‍රීය ප්‍රශ්නයක් බවට පත්කර නොගත්තේ ඇයි? ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම අනතුරේ පවතින බවට ඔවුන් අනතුරු ඇඟවීමක් නොකරන්නේ ඇයි?

මෙම ප්‍රශ්නයට පිලිතුරු සැපයීම යනු, මෙම රැස්වීම මගින් අසන ලද ප්‍රශ්නයේ හරි මැදට පිවිසීමයි. මෙම මැතිවරන ව්‍යාපාරය, රූපකයකින් පැහැදිලි කරතොත් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මද වේගයෙන් එන දුම්රියක ගැටී පොඩිපට්ටම් වීම හා සමානය. ට්‍රම්ප් සහ ඔහු වටා සිටින බලවේග පැහැදිලිවම, ෆැසිස්ට් වර්ගයේ දේශපාලන ආඥාදායකත්වයක් සඳහා අඩිතාලම දැමීමට උත්සාහ කරති. ඔහුගේ ක්‍රියාව අර්ථ නිරූපනය කල හැකි වෙනත් ක්‍රමයක් නැත.

ට්‍රම්ප් කතා කරන්නේ ව්‍යාපාරික-මූල්‍ය කතිපයාධිකාරයේ වඩාත් කුරිරු කොටස් සඳහා වන අතර, සංයුක්තව එහි දේශපාලන වැඩපිලිවෙල කම්කරු පන්තිය සූරාකෑම සඳහා වන සියලු සීමා ඉවත් කිරීමයි. මිනිස් ජීවිත අහිමිවීම පිලිබඳ ඔහුගේ නොතැකීම ඔහු එතරම් විවෘතව හා කුරිරු ලෙස ප්‍රකාශ කරන්නේ එබැවිනි. ආර්ථිකය විවෘත කිරීම කිසිවකින් නතර නොවිය යුතුය. කම්කරුවන් කර්මාන්තශාලාවලට, සිසුන් පාසල්වලට, ගුරුවරුන් අනාරක්ෂිත පන්ති කාමරවලට ගෙන ඒම කිසිවකින් නතර නොවිය යුතුය. සියල්ලේ අරමුන මූල්‍ය වංශාධිපතිත්වයේ සේප්පු සඳහා අනවරතයෙන් ලාභ ගලායාම සහතික කිරීමයි.

ඩිමොක්‍රටික් පක්ෂය සම්බන්ධයෙන් ගත් කල, යමෙකුට ඔවුන්ව “බොරු මවාපෑම් කරන පක්ෂය” ලෙස හැඳින්විය හැකිය. විපක්ෂයේ සිටින බව පෙන්වන, ජනප්‍රිය පක්ෂයක් ලෙස පෙනී සිටින ඔවුන්, ඇත්ත වශයෙන්ම පාලක කතිපයාධිකාරයට රිපබ්ලිකානුවන්ට වඩා නොඅඩු ලෙස ගැටගැසුන පක්ෂයකි. ඇමරිකානු දේශපාලනය සමන්විත වන වැඩබෙදාගැනීම තුල ඔවුන්ගේ සුවිශේෂී කාර්යය වන්නේ, මේ රට පාලනය කරන අයගේ අත්‍යවශ්‍ය මූල්‍ය අවශ්‍යතාවන්ට තර්ජනයක් වන ඕනෑම මහජන විරෝධතා ව්‍යාපාරයක් වර්ධනය වීම වැලැක්වීම සඳහා ඔවුන් සතු සියලු ශක්තීන් පාවිච්චි කිරීමයි.

සියල්ලටත් වඩා ඔවුන්ගේ උත්සුකය, ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි තර්ජනයක් නොවේ, ආඥාදායකත්වය පිලිබඳ අන්තරායක් නොවේ යයි පෙන්වීමය. ඔවුන්ගේ උත්සුකය, ට්‍රම්ප්ගේ එවැනි උත්සාහයන්ට එරෙහිවීම, ඇමරිකානු ධනවාදයේ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූල්‍ය  හා ගෝලීය මිලිටරි අවශ්‍යතාවන්ට තර්ජනයක් වන ස්වභාවයේ මහජන ව්‍යාපාරයක් පැන නැඟිය හැකිය යන්නයි.

සාරය වශයෙන්, මේ මොහොතේ ස්වභාවය එයයි. එහි පිටුපස ඇත්තේ කුමක්ද? සමාජ අසමානතාවයේ දැවැන්ත මට්ටම් කෙරෙහි අවධානය යොමු නොකරන්නේ නම් ඇමරිකාවේ දේශපාලන යථාර්ථය පිලිබඳ කිසිදු සාකච්ඡාවක් වටින්නේ නැත. මාක්ස් නිවැරදිය. මානව වර්ගයාගේ ඉතිහාසය පන්ති අරගලයේ ඉතිහාසයයි. නූතන යුගයේ එය, ධනේශ්වර පන්තිය සහ කම්කරු පන්තිය අතර අරගලයේ ඉතිහාසයයි.

දැන්, එක්සත් ජනපදයේ වර්තමාන තත්වයට සැසඳිය හැකි කිසියම් මැතිවරනයක් තිබේ නම්, එය 1860 මැතිවරනයයි. එය, රටේ සැලකිය යුතු කොටසක් වහල් හිමියන් විසින් ආධිපත්‍යය දරන, වහල්භාවයට විරුද්ධ ජනාධිපතිවරයකු ධවල මන්දිරයට ගෙන ආ හැකි මැතිවරනයක ප්‍රතිඵල භාර නොගන්නා මැතිවරනයක් විය. එම මැතිවරනය ඔවුන්ගේ අවශ්‍යතාවන්ට පටහැනි වූ විට ඔවුන් කැරලි ගැසූ අතර, සිවිල් යුද්ධය පැමිනියේය. ආපසු හැරවිය නොහැකි ගැටුම අවසානයේ විවෘත යුද්ධයක් බවට පත්විය.

මැතිවරනයට පෙර ලින්කන් ප්‍රසිද්ධියේ කියා සිටියේ, එක්සත් ජනපදයට අඩ වහල් තත්වයක හා අඩ නිදහසේ සිටිය නොහැකි බවයි. මේ වනවිට, සියලුම ධනය මත ජනගහනයෙන් සියයට 0.1 ක් හෝ සියයට පහක් අධිකාරය දරන හා සියයට දහයක් සාපේක්ෂ වරප්‍රසාද භුක්ති විඳිද්දී, ඉතිරි සියයට 90 විවිධ ආර්ථික පීඩාවන්ගේ හා දුප්පත්කමේ ගිලී සිටින රටක ප්‍රජාතන්ත්‍රවාදය පැවතිය නොහැකිය. 

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට හා ඇත්ත වශයෙන්ම ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදයට වල කපන තත්වය මෙයයි. සෑම රටක්ම පාලනය කරන්නේ කතිපයාධිකාරීන් විසින්ය. ඇමරිකාවේ එය වඩාත්ම රුදුරු හා නග්න වනවා පමනක් නමුත්, ලොව පුරා පවතින්නේ ඒ හා සමාන තත්වයකි.

අර්බුදයට යටින් පවතින ප්‍රශ්නය මෙය වන අතර, සමාජවාදයේ පදනම මත, ජනගහනයෙන් අතිමහත් බහුතරය වන කම්කරු පන්තියට බලය මාරු කිරීමේ පදනම මත, සම්පූර්නයෙන්ම වෙනස් පදනමක් මත එය ප්‍රතිනිර්මානය කලහොත් මිස, අර්බුදයෙන් මිදීමට මාර්ගයක් නොමැති, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කල හැකි ක්‍රමයක් නැත්තේ මේ නිසාය. මෙය හුදෙක් ඇමරිකානු ප්‍රශ්නයක් නොවේ, එය ගෝලීය ප්‍රශ්නයකි. සැබෑ ප්‍රශ්න වලින් විශාල ලෙස අපසරනය කරන, ජාතියක් ගැන සැලකිලිමත් වන ප්‍රශ්නයක් නොවේ, එය වැඩ කරන ජනතාවගෙන්, කම්කරු පන්තියෙන් සමන්විත, ලෝකයේ අතිමහත් බහුතරයකගේ ඉරනම ගැන සැලකිලිමත් වීම පිලිබඳ ප්‍රශ්නයකි.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ගැන හෝ ලෝකයේ ඕනෑම තැනක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වල ඉරනම ගැන කතා කරන විට, අපි තේරුම් ගත යුත්තේ අප ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගත යුතු නම් එය කල හැක්කේ, සමාජ සමානාත්මතාවේ පදනම මත, ධනවාදය අවසන් කිරීමේ පදනම මත පමනක්ය යන්න, අති මූලික ප්‍රශ්නය වන කාල පරිච්ඡේදයකට අප පැමින ඇති බවයි. 

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ප්‍රධාන කතෘ ලෙස හා එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ලෙස කතා කරමින් මා බලාපොරොත්තු වන්නේ, සවන් දෙන ඔබ ශිෂ්‍යයන්, තරුනයින් හා කම්කරුවන් වශයෙන් මුහුනපා සිටින තත්වය ගැන ඉතා හොඳින් සිතා බලනු ඇතැයි යනුවෙනි. එසේම, කම්කරු පන්තියේ සියලු කොටස් එක්සත් කරන, සමාජයේ මූලික හා ගැඹුරු වෙනසක්  අවශ්‍ය කෙරෙන්නේය යන නිගමනය කරා පැමිනෙනු ඇති බවයි. 

Loading