ප්‍රසිද්ධ අන්තර්ජාල රැස්වීම: "ඇමරිකානු ජනාධිපතිවරනයේ දේශපාලන ඇඟවුම්"

ලෝකයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලය වන ඇමරිකා එක්සත් ජනපදයේ දේශපාලන වර්ධනයන් සෑම විටම ජාත්‍යන්තර වැදගත්කමක් අත්පත් කර ගනී. එරට 2020 ජනාධිපතිවරනය ඇමරිකාවේත් ජාත්‍යන්තර පරිමානවත් කම්කරු පන්තියට හා තරුන ජනයාට දේශපාලන අභියෝග රැසක් ඉස්මතු කර තිබෙන තත්වයේ දී සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) තරුන හා ශිෂ්‍ය අංශය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ව්‍යාපාරය “ඇමරිකානු ජනාධිපතිවරනයේ දේශපාලන ඇඟවුම්“ යන මැයින් එලඹෙන 12 වැනි දා රාත්‍රී 7.00 ට ඔන්ලයින් සාකච්ඡාවක් සංවිධානය කර ඇත.

ජනාධිපතිවරනය තුල වර්ධනය වන දේශපාලන අර්බූදය තවම නිම වී නැත. කම්කරු පන්තියේ බලගතු සටන් වුලාවා ඇති කොන්දේසි යටතේ, සුදු ඇමරිකානුවන්ගේ ෆැසිස්ට් ව්‍යාපාරයක් වර්ධනය කිරීමට උත්සාහ දරමින් සිටින රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරන ප්‍රතිඵල ප්‍රතික්ෂේප කර ඇත. මැතිවරනය ජයග්‍රහනය කර තිබෙන ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න්, කම්කරු පන්තිය මත ප්‍රහාර තවත් දිගේලි කිරීම සඳහා, ප්‍රධාන ධනපති පක්ෂ දෙකේ “එකමුතුවක්“ සඳහා කැඳවුම් කර තිබේ.

ඩිමොක්‍රටික් පක්ෂය හා ඊට ගැලතී සිටින ඩිමොක්‍රටික් සෝෂලිස්ට් අලයින් (ඩීඑස්ඒ) වැනි ව්‍යාජ-වාම කන්ඩායම් තීව්‍ර වන පන්ති ආතතීන් යටගැසීම සඳහා සුදු-කලු වර්ගභේදවාදය, ලිංගිකත්වය වැනි කරුනු මත පදනම්ව ගොඩනැගූ අනන්‍යතා දේශපාලන ආඛ්‍යාන මැතිවරන ප්‍රතිඵල මගින් කීතු කර තිබේ.

කම්කරු පන්තිය හා තරුන ජනයා පොදුවේ මුහුන දී සිටින්නේ මහ ධනපතියන්ගේ ලාභ සුරක්ෂිත කිරීම වෙනුවෙන් වසංගතයට ගොදුරු කිරීම මෙන්ම, වර්ධනය වන දැවැන්ත විරැකියාවට, සමාජ අසමානතාවයට හා පොලිස් ඝාතන ඇතුලු ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහි ප්‍රහාරවලටයි.

නමුත් ධනේශ්වර සංස්ථාපිතයේ කවර කොටසකින් හෝ මෙම සමාජ-ආර්ථික උත්සුකයන්ට ප්‍රකාශනයක් අත්පත් කර ගත නො හැක. ජනවාරියේ කවරෙක් ධවල මන්දීරයට රිංගා ගත්තත් කම්කරුවන් හා තරුනයන් තීව්‍ර කෙරෙන මෙම ප්‍රහාරවලට එරෙහිව සටන් වැඳීමට පෙරට එනු ඇත.

රට තුල පන්ති යුද්ධය තීව්‍ර කිරීමට සමගාමීව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විදේශ පිලිවෙත මගින් මානව වර්ගයා තුන්වන ලෝක යුද්ධයක් දිශාවට ගෙන යෑම තවත් වේගවත් කෙරෙනු ඇත. ඇමරිකාවේ ආසියාවට හැරීමේ පිලිවෙතට ගැටගැසී සිටින, ඉන්දියාව සහ ලංකාව ඇතුලු දකුනු ආසියාව පුරා රටවල පාලක පන්තීන් කම්කරුවන් හා තරුන ජනයා මෙම විනාශයට ගොදුරු කිරීමට සම්මාදම් වී සිටී.

තීරනාත්මක හදිසිභාවයකින් මතු කෙරී ඇත්තේ ජාත්‍යන්තර සමාජවාදයේ ඉදිරිදර්ශනය යටතේ, කම්කරු පන්තියේ හා තරුනයන්ගේ ස්වාධීන හා ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීමයි. මේ පිලිබඳව සාකච්ඡාවක් වර්ධනය කිරීම සඳහා මෙම ඔන්ලයින් රැස්වීමට සහභාගී වන්නැයි සසජාතශි කම්කරුවන්ට, තරුනයන්ට, ශිෂ්‍යයන්ට හා බුද්ධිමතුන්ට කැඳවුම් කර සිටී.

රැස්වීම සඳහා සූම් හරහා ලියාපදිංචි වීමට ලින්කුව මෙ තැනින්.

රැස්වීම නොවැම්බර් 12 සවස 7.00 සිට facebook.com/iyssesl හරහා සජීවී ව විකාශය කෙරේ.

Loading