ලංකාවේ ආන්ඩුව හා විරුද්ධ පක්ෂ එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත් වූ බයිඩන්ට සුභ පැතුම් පිරිනමති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා ඔහුගේ සහෝදර, අගමැති මහින්ද රාජපක්ෂ, එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනාධිපති වන ජෝ බයිඩන්ට, මේ සතියේ ශ්‍රී ලංකාවෙන් සුභ පැතුම් පිරිනැමීමේ දී පෙරමුන ගත් හ. තමන්ගේ ම සුභ පැතුම් පිරිනමමින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා දෙමල ජාතික සන්ධානය (දෙජාස) ඊට අත්වැල් ඇල්ලූ හ.

බ්‍රිතාන්‍ය විජිත පාලනයෙන් නිදහස ලැබීමේ සංවත්සර උත්සවයකට සහභාගි වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ (ස්තුතිය: ඒපී ඡායාරූප/ එරංග ජයවර්ධන)

 ට්විටර් පනිවුඩයක් නිකුත් කල ජනාධිපති රාජපක්ෂ, බයිඩන්ගේ “ඓතිහාසික ජයග්‍රහනයට” සුභ පතමින්, “අප අතර පවතින ද්වි-පාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමේ දී සමීප ව” ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බව පැවසී ය. බයිඩන් හා තේරී පත් වූ උප ජනාධිපතිනි කමලා හැරිස්ගේ පාලනය යටතේ, “වඩා තිරසර හා අන්‍යොන්‍ය වසයෙන් ඵලදායී හවුල්කාරීත්වයක්” සඳහා ද රාජපක්ෂ බලාපොරොත්තු පල කලේ ය.

රටවල් දෙක අතර වසර 72ක් තිස්සේ පවතින රාජ්‍ය-තාන්ත්‍රික සබඳතා සිහිපත් කල අගමැති රාජපක්ෂ සඳහන් කලේ, බයිඩන් හා හැරිස් යටතේ “ශ්‍රී ලංකා-එක්සත් ජනපද සබඳතා තව දුර වැඩි දියුනු කර ගැනීම” පිනිස ක්‍රියා කිරීමට අපේක්ෂා කරන බවයි.

මෙම ප්‍රධාන අධිරාජ්‍යවාදී බලය සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමට උත්සාහ කරන පාලක ප්‍රභූවේ සාමාජිකයෝ, වොෂින්ටනයේ දේශපාලන වෙනස් කම් ඔවුන්ට කෙසේ බලපා හැකි ද යන්න පිලිබඳ ව විශේෂයෙන්ම උත්සුක ව සිටිති. එක්සත් ජනපදය හා ඉන්දියාව, චීනයට එරෙහිව ගැටුමක් සූදානම් කිරීම නිසා, ආසියා-පැසිෆික් කලාපයේ භූ-දේශපාලන ආතතීන් ඉහල ගොස් ඇති පසුගිය දශකය තුල, මෙම කනස්සල්ල බරපතල ලෙස උත්සන්න වී තිබේ.

ඉන්දියන් සාගරයේ වැදගත් මුහුදු මාර්ගවලට මුහුන ලා මූලෝපායික තැනක ලංකාව පිහිටා ඇති නිසා කොලඹ ආන්ඩුවලට, වොෂින්ටනය, නව දිල්ලිය සහ බෙයිජිනය අතර ගැටුමෙන් ඉමහත් පීඩනයක් එල්ලවී තිබේ. චීනයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායික හා මිලිටරි සූදානම සමග ශ්‍රී ලංකාව පෙලගැසීම වොෂින්ටනයට අවශ්‍ය ය.

එක්සත් ජනපද ජනාධිපතිවරනයට යන්තම් සතියකට පෙර, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමින, ජනාධිපති රාජපක්ෂ හා විදේශ ඇමති දිනේශ් ගුනවර්ධන මුන ගැසුනේ ය. පොම්පියෝගේ පැමිනීම, චීනයට එරෙහි ව කලාපය තුල එක්සත් ජනපදයේ තත්ත්වය ශක්තිමත් කර ගැනීමට කල සංචාරයක කොටසක් විය.

ශ්‍රී ලංකාව, චීනයට එරෙහි ව එක්සත් ජනපදයට ඍජු ව සහයෝගය දිය යුතු බවට, පොම්පියෝ කොලඹ දී විධානය කලේ ය. “(ශ)ක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් එක්සත් ජනපදයට බලගතු හා මූලෝපායික හවුල්කරුවෙක් වෙනවා” යි ඔහු කීවේ ය. ශ්‍රී ලංකාව “නිදහස් හා විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සඳහා මුරපොලක්” විය හැක.

ගෝලීය වසංගතය විසින් ප්‍රේරනය කරන ලද ආර්ථික බිඳ වැටීම මධ්‍යයේ, මුදල් හිඟයෙන් පෙලෙන කොලඹ පාලන තන්ත්‍රය, මූල්‍යමය සහයෝගය පතා චීනය වෙතට වඩ වඩා නැඹුරු වීම කෙරෙහි එක්සත් ජනපද ආන්ඩු සතුරු වෙති. “කැත ගනුදෙනුවල යෙදීම, ස්වෛරීත්වය උල්ලංඝනය කිරීම සහ ගොඩ බිමේ හා මුහුදේ නීතිවලට ගරු නො කිරීම” ගැන, පොම්පියෝ මැරවර විලාසයෙන් චීනයට චෝදනා කලේ ය. එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පැමින තිබෙන්නේ “මිත්‍රයෙක් හා හවුල්කරුවෙක්” කියූ ඔහු, චීන කොමියුනිස්ට් පක්ෂය “කොල්ලකරුවෙකු” යි හෙලා දුටුවේ ය.

බයිඩන් උප ජනාධිපති ධූරය දැරූ කලින් පැවති ඔබාමා පරිපාලනය, චීනය රාජ්‍ය-තාන්ත්‍රික ව හුදකලා කිරීම හා මිලිටරිමය ලෙස වට කිරීම ඉලක්ක කර ගත්, “ආසියාවට හැරීමේ” පිලිවෙතක් අනුගමනය කලේ ය. මූල්‍යමය ආධාර පතා බෙයිජිනය සමග සබඳතා පවත්වාගෙන ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට එය විරුද්ධ විය. 2009 මැයි මාසයේ දී අවසන් වූ හා ගැටුමේ අවසන් සති කිහිපයේ දී දෙමල සිවිල් වැසියන් දසදහස් ගනනක් ඝාතනය කරන ලද, රාජපක්ෂ පාලන තන්ත්‍රය බෙදුම්වාදී දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහි ව ගෙන ගිය යුද්ධයට එක්සත් ජනපදය සහයෝගය දුන්නේ ය.

බෙයිජිනයෙන් ඈත් වන ලෙස මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව මත පීඩනය යෙදීම පිනිස, වොෂින්ටනය ඉන්පසු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් කුහක ලෙස යොදා ගත්තේ ය. අවසානයේ, 2015 ජනාධිපතිවරනයේ දී, රාජපක්ෂ ඉවත් කොට ඔහුගේ තැනට මෛත්‍රීපාල සිරිසේන පත් කිරීම පිනිස, ඔබාමාගේ ධවල මන්දිරය නව දිල්ලියේ ද සහයෝගය සහිත ව තන්ත්‍ර-මාරු මෙහෙයුමක් ක්‍රියාවට දැමී ය.

2015න් පසු සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ විසින් එක්සත් ජනපදය සමග ගොඩනගා ගත් මිලිටරි සබඳතා, පසුගිය නොවැම්බරයේ බලයට පැමිනි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අඛන්ඩ ව පවත්වාගෙන ගොස් ඇත.

වොෂින්ටනය සමග මෙම සබඳතා ශක්තිමත් කර ගැනීමේ ගිවිසුමකට රාජපක්ෂ එලඹී යයි සන්ඩේ ටයිම්ස් වාර්තා කර ඇත. බයිඩන්ට සුභ පැතුම් පිරිනැමීම මගින් රාජපක්ෂ ප්‍රදර්ශනය කරමින් සිටින්නේ, එක්සත් ජනපදය කෙරෙහි ඔහුගේ පක්ෂපාතීත්වය යි.

“ඔබගේ වේදිකාව, ප්‍රගතිශීලී ප්‍රජාතන්ත්‍රවාදයේ, බහුවිධ දේශප්‍රේමීත්වයේ හා සමාජ සාධාරනත්වයේ ආදර්ශයක් ලෝකයට සම්පාදනය කලා” යයි කියමින් විපක්ෂ නායක ප්‍රේමදාස, “ප්‍රජාතන්ත්‍රවාදයේ හා යුක්තියේ අගයන් ආරක්ෂා කිරීමේ දී ඇමරිකානු ජනතාව සමග” එකට සිටීම ගැන, ඔහු යැවු සුභ පැතුම් පනිවුඩය තුල බයිඩන් උත්කර්ෂයට නැංවී ය. තමන්ගේ පක්ෂය වන සමගි ජන බලවේගය, මෙම පරමාදර්ශයන් ආරක්ෂා කල බව ප්‍රේමදාස කියා සිටියේ ය.

යතාර්ථයේ දී, 2015 වසරේ එක්සත් ජනපද ආන්ඩුව කොලඹ සිදු කල තන්ත්‍ර-මාරුවට, ප්‍රේමදාස පිටු බලය දුන්නේ ය. මෑතක් වනතුරු ම ඔහු, මර්දනීය පාලනය හා එල්ටීටීඊයට එරෙහි ව දශක තුනක් පැවති ලේවැකි යුද්ධය බලාත්මක කල, එක්සත් ජනපද-ගැති එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුවේ නායකයෙකු විය.

බයිඩන් ජනාධිපති තනතුරට පත්වන්නේ නම් හා එසේ පත් වූ විට, මෙම නො මසුරු උපහාර නො තකා, ඔහු එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා අනුකම්පා විරහිත ව ලුහුබැඳ යන එහි ප්‍රතිගාමී නියෝජිතයෙක් ලෙස ක්‍රියා කරනු ඇත.

වොෂින්ටනයට ගැති තවත් පක්ෂයක් වන දෙජාසහි නායක ආර්. සම්බන්දන්, බයිඩන් හා හැරිස් උත්කර්ෂයට නැංවීමේ දී ඒ හා සමාන ව උද්‍යෝගිමත් ය. “යුක්තිය, සමානතාව, මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් හා ප්‍රගතිශීලී (උත්සුකයන්) ඇතුලු කාරනා ගනනාවක් ම ගැන බයිඩන් උත්සුක යයි පෙනෙන්නට තිබෙනවා” යි නොවැම්බර් 9දා වීරකේසරී පුවත්පතට ඔහු කීවේ ය. හැරිස්ගේ ඉන්දියානු සම්භවය ගැන සඳහන් කරමින් සම්බන්ධන් මෙසේ කීවේ ය: “ඇය වනාහි සාධාරනත්වය හා හඬක් නැති ජනයා වෙනුවෙන් සටන් කරන්නියක්.” “අනාගතයේ දී ඔවුන් මුන ගැසීමට” මම අපේක්ෂා කරනවා.

දෙජාස නායකත්වය මේ වර්ගයේ උත්කර්ෂයන් නිකුත් කරන්නේ, එහි ම අවශ්‍යතා පෙරට දැමීමේ අපේක්ෂාවෙනි. සිවිල් යුද්ධයෙන් පසු එක්සත් ජනපද මානව හිමිකම් උද්ඝෝෂනයට සහයෝගය දුන් එය, වොෂින්ටනය 2015 දී ශ්‍රී ලංකාවට කල මැදිහත් වීම සමග සම්පූර්නයෙන් පෙලගැසුනි. එක්සත් ජනපදයේ මූලෝපායික අවශ්‍යතා සමග පෙලගැසීමෙන් එය අපේක්ෂා කරමින් සිටින්නේ, ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර බලය බෙදා ගැනීමේ සැලසුමක් සඳහා සිය ආයාචනයට සහයෝගය ලබා ගැනීම යි.

ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 දී ජනාධිපති ලෙස තේරී පත්වීමෙන් අනතුරු ව, එක්සත් ජනපදය හා එහි රාජ්‍ය-තාන්ත්‍රිකයන් සමග සමීප සබඳතා පවත්වා ගත් දෙජාස නායකත්වය, එක්සත් ජනපද මිලිටරිය සමග වඩා සමීප ව ඒකාග්‍ර වීම පිනිස සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව ගත් පියවරයන්ට සහයෝගය දුන්නේ ය.

එහෙත්, වොෂින්ටනය තුල සිදු වන දේශපාලන වෙනස්කම් තුල ශ්‍රී ලංකාවට මැදිහත් වීමේ උපක්‍රමයක් ලෙස, එක්සත් ජනපදය විසින් යලි වතාවක් යුද අපරාධ යොදා ගනු ඇතැයි කොලඹ පාලක ප්‍රභූවේ කොටස් අතර පවතින සමහර කැලඹීම් ගැන, නොවැම්බර් 9දා ඩේලි මිරර් කතුවැකිය ඉඟි කලේය..

ශ්‍රී ලංකාවේ යුද්ධය සමයේ “රටට ආයුධ විකිනීම එක්සත් ජනපදයෙන් අනුමත කල” නමුත්, “ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය මගින් ත්‍රස්තවාදී සංවිධානය සාර්ථක ලෙස පරාජය කිරීමට සමත් වූ විට, එක්සත් ජනපදය බලගතු ශ්‍රී ලංකා-විරෝධී පිලිවෙතක් අනුමනය කල” බව හා “යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ” ඉස්මතු කිරීම ඇරඹූ බව කතුවැකිය සඳහන් කලේ ය.

එක්සත් ජනපදය සමහර ආයුධ වෙලඳාම් සීමා කල ද වොෂින්ටනය හා නව දිල්ලිය සැපයූ යුද සැලසුම් හා අනෙකුත් පහසුකම්වලින් තොර ව, එල්ටීටීඊයට එරෙහි යුද්ධය ජයග්‍රහනය කල නො හැකි වනු ඇතැයි මහින්ද හා ගෝඨාභය රාජපක්ෂ දෙදෙනා යලි යලිත් ප්‍රකාශ කල බව වාර්තාගත ය.

“ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක්” නො වූ ලේවැකි ගැටුම, කම්කරු පන්තිය දෙමල-විරෝධී වාර්ගික රේඛා ඔස්සේ බෙදමින් හා කොලඹ පාලනය දශක ගනනාවක් තිස්සේ අනුගමනය කර ඇති විෂකුරු ප්‍රජාගනවාදී පිලිවෙත් තීව්‍ර කරමින්, කම්කරු පන්තිය මැඩීමේ යුද්ධයක් විය. ශ්‍රී ලංකාවේ ආන්ඩුව චීනයට එරෙහි වොෂින්ටනයේ මූලෝපායික උපාමාරුවලට සහයෝගය දිය යුතු බවට විධානය කිරීම පිනිස, ජාත්‍යන්තර ව ලේඛන ගත යුද අපරාධ එක්සත් ජනපදය විසින් ගසා කා ඇත.

ශ්‍රී ලංකාවේ පාලක පන්තියට හා මිලිටරියට, ඔවුන් කල අපරාධවලින් මුක්තිය අවශ්‍ය වන අතර ම, “බයිඩන්ගේ ජනාධිපතිත්වයක් යටතේ, ශ්‍රී ලංකාව කෙරෙහි එක්සත් ජනපද ආකල්පයේ කිසිදු වෙනසක් දැක ගැනීම අසීරු වේ” යැයි මිරර් අනතුරු අඟවයි.

මෙම කැලඹිලි සහගත ගනන් බැලීම් මධ්‍යයේ, පොම්පියෝට දුන් පොරොන්දුවලට අනුව වොෂින්ටනය සමග සමීප සබඳතා පවත්වාගෙන යාමට රාජපක්ෂ පාලන තන්ත්‍රය ප්‍රතිඥා දී සිටියි.

[මෙම ලිපිය අද දින ඉංග්‍රීසියෙන් පලවින.]

Loading