ඇමරිකාවේ උප ජනාධිපති ධූරයට කමලා හැරිස් තේරී පත්වීම උලුප්පමින් දිවයින පුවත්පත වර්ගවාදය අවුලුවයි

ඉන්දියානු සම්භවයක් ඇති කමලා හැරිස් ඇමරිකාවේ උප ජනාධිපති ධුරයට තේරී පත්වීම ප්‍රස්තූත කරගනිමින් පසුගිය අඟහරුවාදා (10) දිවයින පුවත්පත වර්ගවාදී කතුවැකියක් පලකලේය. “කමලාගේ දෙමල සම්භවයත් සමග ඇය යලිත් ලංකාව මානව හිමිකම් උගුලක සිරකරන්නට මාන බලනු” ඇති බව කතුවැකිය පවසයි.

කමලා හැරිස් සමග ඇමරිකාවේ ජනාධිපති ජෝ බිඩෙන් [Credit: AP Photo/Carolyn Kaster]

 

සත්‍යය කනපිට හරවමින්, දිවයින කතුවරයා පවසන්නේ මෙලෙස මානව හිමිකම් චෝදනා එල්ලවන්නේ “මානුෂික මෙහෙයුමක් දියත්කල වීරෝදාර හමුදාවකට” බවයි. මෙම “වීරෝදාර හමුදාවන්” ගේ “මානුෂික මෙහෙයුම්” වල පරිමාව කෙතෙක් ද යත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇස්තමේන්තු වලට අනුව, 2009 දී යුද්ධයේ අවසාන වකවානුවේ 40,000ක් නිරායුධ සිවිල් වැසියන් හා හමුදාවට භාරවූවන් ඝාතනය කෙරී ඇත. එකල ආරක්ෂක ලේකම් තනතුර දැරූ ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ සොහොයුරු, එවක ජනාධිපති හා වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ යටතේ සිදුවූ මෙම අපරාධ සම්බන්ධයෙන් ලංකාවේ හමුදාව යුද අපරාධ චෝදනා ලබයි.

එලෙස යුද අපරාධ චෝදනා ලැබූ හමුදා නිලධාරීන්ට මුක්තිය ලබාදීම, පසුගිය මැතිවරනයේදී රාජපක්ෂගේ ප්‍රධානතම පොරොන්දුවක් වූ අතර තවත් බොහෝ වේදිකාවලදී ඔහු එය සපථ කර ඇත. තම පොරොන්දු ඉටු කරමින්, 2000 වසරේදී කෲර ලෙස දෙමල සිවිල් වැසියන් කන්ඩායමක් ඝාතනය කිරීමට වරදකරුවෙකු වී සිරගතව සිටි සැරයන් සුනිල් රත්නායක රාජපක්ෂ විසින් නිදහස් කෙරුනි. මෙම ලේවැකි වාර්තාව යට ගසමින් රාජපක්ෂ මිලිටරිය උත්කර්ෂයට නංවන්නේ එය තමන් විසින් ගොඩනගමින් සිටින ආඥාදායක පාලනයේ කේන්ද්‍රයේ පවතින බැවිනි. 

තම ප්‍රහාරයන්ට එරෙහිව වැඩෙන පන්ති අරගල මැඩීම ඉලක්ක කර ගනිමින් රාජපක්ෂ ආන්ඩුව ගෙනයන මිලිටරීකරන වැඩපිලිවෙලට සමගාමීව, කම්කරු පන්තිය භේදකොට එහි ශක්තිය බිඳීම සඳහා වර්ගෝත්තමවාදී උද්ඝෝෂනය ද තීව්‍රකොට ඉස්මත්තට ගනිමින් පවතී. 

මිලිටරියට එරෙහිව පරීක්ෂන වලකාලීමට රාජපක්ෂ දරන උත්සාහය සමග දිවයින කතුවරයාගේ වචන හොඳින් ගැලපේ. ඔහු පවසන්නේ, “හමුදාවේ මැදිහත්වීම නිසා ප්‍රභාකරන්ගේ අනසකට යටත්ව සිටි දෙමල වැසියන් පවා ප්‍රජාතන්ත්‍රවාදී නිදහස භුක්ති විදිමින් සිටින” බවත්, එම තත්වය හමුවේ “ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදයේ අගය ගැන පාඩම් උගන්වන්නට කමලා හැරිස් හෝ රෝහිනී රවීන්ද්‍රන් අවශ්‍ය නැති” බවත්ය.‍ රවීන්ද්‍රන් යනු හැරිස්ගේ කාර්ය මන්ඩල ප්‍රධානියා වන අතර, ඇය ද දෙමල සම්භවයක් ඇති කාන්තාවකි.

දෙමල වැසියන් භුක්ති විදින "ප්‍රජාතන්ත්‍රවාදී නිදහස" මෙසේය: යුද්ධය හමාරවී දශකයක් ඉක්ම වුවද ඔවුන් මෙතෙකුදු සිටින්නේ මිලිටරි ග්‍රහනය යටතේය. එහි තාඩන පීඩන වලට ඔවුහු නිරතුරුව ගොදුරු වෙති. යුද සමයේ මිලිටරිය බලහත්කාරයෙන් පැහැරගත් අක්කර දසදහස් ගනනක් වූ දෙමල ජනයා සතු ඉඩම් මෙතෙකුදු භාර නොදී සිටින්නේ ඔවුන් සතු මූලික අයිතීන් ඝෘජුවම උල්ලංඝනය කරමිනි.  

හැරිස් සහ රවීන්ද්‍රන් ප්‍රධාන ධුරයන් හොබවන ඩිමොක්‍රටික් ආන්ඩුවක් ඉදිරියේදී බලයට පත්වුවහොත්, ලංකාවට එරෙහිව පීඩනයක් එල්ල කිරීමට යොමුවනු ඇති බව උලුප්පා දැක්වීම සඳහා කතුවරයා පවසන්නේ, “දෙමල ඩයස්පෝරාව ට්‍රම්ප් පරාජය වන තෙක් බලා සිටි” බවයි. තමන්ගේ තර්කය තහවුරු කිරීමේ උත්සාහයේදී, දිවයින කතුවරයා, ට්‍රම්ප්ගේ කුරිරු යුදවාදී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී චර්යාව වසන් කරමින් මෙවැනි බේගලයක් අතහරියි: “ට්‍රම්ප් හිතුවක්කාරී පුද්ගලයෙකු වුවද මානව හිමිකම් වෙනුවෙන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් රටවල් ආක්‍රමනය කරන්නට ගියේ නැත...ලංකා රාජ්‍යය මානව හිමිකම් උගුලක සිරකරන්නට උත්සාහ ගත්තේද නැත”.  

නමුත් සත්‍යය වන්නේ, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල ජනාධිපතිවරුන් යටතේ සියවස් කාලකටත් වැඩි කාලයක් ඇමරිකාව විසින් මැදපෙරදිග කලාපය ප්‍රමුඛව ඉලක්ක කරගෙන ගෙන ගිය ජනසංහාරක යුද වැඩපිලිවෙල ට්‍රම්ප් පරිපාලනය යටතේ තවත් ඉදිරියට ගිය බවයි. එහි ඉහලම ප්‍රකාශනයක් ලෙස මෙම වසර මුල ඉරාන ජෙනරාල් කාසිම් සුලෙයිමානි ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන්තුටුපලේදී ඩ්‍රෝන ප්‍රහාරයකින් ඝාතනය කෙරුනි.

ලංකාව තමන්ගේ භූ දේශපාලනික වැඩකටයුතු තුලට රුවා ගැනීමේ ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රයත්නයන් ජනාධිපතිවරනය ආසන්නේ පවා සක්‍රියව ක්‍රියාත්මක කෙරුනි. ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පසුගිය මාසයේ ලංකාවට පැමිනියේ එම්සීසී ගිවිසුම අත්සන් කිරීම ඇතුලු  ලංකාව තුල වොෂින්ටනයේ යුදවාදී පිලිවෙත් කඩිනම් කලයුතු බවට රාජපක්ෂට තදින් මතක්කරදීම සඳහාය. දිවයින කතුවරයා මෙම වර්ධනයන් වංචනිකව යටගසන්නේ සිය ලියවිල්ල තුල ගොඩනගන වර්ගවාදී තර්කය යුක්තියුක්ත කරගැනීමටයි. 

“ඩිමොක්‍රටික් පක්ෂය බලයේ සිටි සමයේ එනම් හිලරි ක්ලින්ටන් රාජ්‍ය ලේකම් සමයේ සැමවිටම ලංකාව මානව හිමිකම් උගුලේ සිරකිරීමට උත්සහ දැරුනු බව” කියන කතුවරයා නව ඩිමොක්‍රටික් ආන්ඩුවක මුදුනත දෙමල සම්භවයක් ඇති පුද්ගලයන් සිටීම නිසා එම වැඩ කටයුතු ඉහල තලයකට නැංවෙනු ඇතැයි අඟවයි. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිලිවෙත්, එහි නායකත්වය දරන්නන්ගේ වාර්ගිකත්වය මත වෙනස් වේයැයි කතුවරයා ගෙන එන තර්කය මුග්ධ එකකි. 

ඇමරිකාව, බෙදුම්වාදී එල්ටීටීඊයට විරුද්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ යුද්ධයට සහාය දැක්වූ අතර 2009 වසරේ එහි අවසන් මාස වන තෙක්ම මිලිටරියේ යුද අපරාධ නොදුටුවාක් මෙන් සිටියේය. බීජිනය සමග රාජපක්ෂ ආන්ඩුවේ සමීප බැඳීම් අවසන් කරන ලෙස බලකිරීමේ උපායක් ලෙස වොෂින්ටනය, කුහක ලෙස “මානව හිමිකම්” ප්‍රශ්නය මතු කිරීමට පටන් ගත්තේ ඉන් පසුවය. 

ඇමරිකාව 2015 වසරේදී ලංකාවේ පැවති ජනාධිපතිවරනයේදී, රාජපක්ෂ ආන්ඩුවට එලෙස පීඩන යෙදීමේ සිට මෛත්‍රීපාල සිරිසේන පෙරමුනට දමා රාජපක්ෂ ඉවත් කිරීමේ “තන්ත්‍ර මාරු” මෙහෙයුමක් කරාම සේන්දු විය. සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව  ඇමරිකාවේ භූ-දේශපාලනික අවශ්‍යතා සමග වඩා සමීපව පෙලගැසෙත්ම ජාත්‍යන්තර මානව හිමිකම් පරීක්ෂනයක් සඳහා කල ඉල්ලීම අතහැර දැමූ ඇමරිකාව, මෙරට ආන්ඩුවට, තමන්ගේම දේශීය පරීක්ෂනයක් කිරීමට ඉඩ සැලසෙන පරිදි නව යෝජනාවක් සම්මත කලේය. ට්‍රම්ප් පරිපාලනය යටතේ ම, නව රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව මානව හිමිකම් කඩකිරීමේ චෝදනා යලි මතුවීම මගින් දිවයින කතුවරයාගේ කුතර්කය කීතු කෙරේ.

පසුගිය සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45වන සැසිවාරයේ ආරම්භක සැසියේදී එහි මහ කොමසාරිස් මිචෙල් බැචලට්, “ශ්‍රී ලංකාව විසින් මානව හිමිකම් කවුන්සිලයට වෙත ඇති බැඳීම ප්‍රතික්ෂේප කරමින් සිටින” බවට චෝදනා කරමින්, “20 වන ව්‍යවස්ථා සංශෝධනය ජාතික මානව හිමිකම් කවුන්සිලය ඇතුලු ආයතන වල ස්වාධීනත්වයට අහිතකර ලෙස බලපානු ඇති බව” සඳහන් කලාය. රාජපක්ෂ තන්ත්‍රය චීනය දෙසට හැරීම මුලුමනින් නතර කිරීම සඳහා ඒ මත යොදන පීඩනය ලිහිල් නොකර තබාගැනීමේ ඇමරිකානු අධිරාජ්‍යවාදී අවශ්‍යතාවය එයින් ප්‍රදර්ශනය විය. 

අතොරක් නොමැතිව සත්‍යය විකෘති කිරීමෙන් අනතුරුව දිවයින කතුවරයා පවසන්නේ, ට්‍රම්ප් පරාජයවීම හරහා ලංකාවේ ආන්ඩුවට යම් අවාසියක් සිදුවනු ඇතැයි සමහර සිවිල් ක්‍රියාකාරීන් කල්පනා කරන බවයි. එසේ සිතීම පවා “කාලකන්නි සිතුවිල්ලක්” ලෙස ලෙස නම් කරන ඔහු මෙසේ කියයි: “එම සිවිල් ක‍්‍රියාකාරීහු කමලා හැරිස්ගේ ජය නිසා ප්‍රමෝදයට පත්ව සිටිති. ඔවුන් සියලු දෙනාම ලංකා හමුදාවට එරෙහිව ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට පෙත්සම් ඉදිරිපත් කල අයයි.”

කතුවැකියේ විරෝධය නාමික වසයෙන් එල්ල වනුයේ සිවිල් ක්‍රියාකාරීන්ට සහ දෙමල ඩයස්පෝරාවට වුව ද,  එය සමස්ත දෙමල මහජනතාවටම එරෙහි වූවකි. කතුවරයා අමෝරා ඇත්තේ, ලංකාවේ සිංහල-බෞද්ධ වර්ගෝත්තමවාදී ආන්ඩු කම්කරු පන්තිය භේදභින්න කිරීම සඳහා ඉතිහාසය පුරා යොදාගෙන ඇති සිංහල වර්ගවාදයේ අවියයි.

දිවයින කතුවැකිය අවසානයේදී සිය විශ්වාසය පලකරන්නේ “බටහිර බලවේග ප්‍රභාකරන් බේරාගැනීමට ක්‍රියාත්මක වෙද්දී ඒ සියල්ල කලමනාකරනය කරගනිමින් යුද්ධය ජයගත් දේශපාලන නායකත්වයකට [නව ඇමරිකානු ආන්ඩුවක් යටතේ] කුමන අභියෝග පැමිනියත් ඒවා ජයගත හැකිවනු ඇති” බවටයි. 

ආසන්නතම සිදුවීම් පවා දිවයින කතුවරයාගේ මෙම මිත්‍යාවන්ගේ පල්ල ගලවා දමයි. රාජපක්ෂ සහ පොම්පියෝ අතර පසුගිය මාසයේ සාකච්ඡාවලින් එලිමහනට පැමින ඇත්තේ තොරතුරු අල්පයක් වුවද, එහිදී චීනයට එරෙහි වොෂින්ටනයේ යුද ව්‍යායාමය සමග ඍජු ව පෙලගැසෙන ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් රාජපක්ෂට අවධාරනය කලේය. 

ඉදිරියේදී එලැඹෙන්නේ බයිඩන්ගේ නායකත්වය යටතේ ඩිමොක්‍රටික් පාලනයක්ද, ප්‍රජාත්නත්‍ර විරෝධී අයුරින් යලි බලය ඩැහැගන්නා ට්‍රම්ප් පරිපාලනයක්ද යන කරුන නොතකා ඇමරිකාව ලංකාව මත සිය අධිරාජ්‍යවාදී පීඩනය වැඩිදියුනු කරනු ඇති අතර, අවශ්‍ය වුවහොත් ඒ සඳහා "මානව හිමිකම් කඩකිරීම්" සහ "යුද අපරාධ" චෝදනා යලි ඉස්මත්තට ගනු ඇත.  

 

Loading