පුලුල් විරෝධය හේතුවෙන් ට්විටර් තමන් සසජාතශි ගිනුමට පැන වූ වාරනය හකුලා ගනී

ලෝක සමාජවාදී වෙබ් අඩවි පාඨකයන්, කම්කරුවන් සහ තරුනයන් ද ඉදිරි පෙල ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ගේ ආරක්ෂකයන් ද එල්ල කල ගෝලීය විරෝධතාව හේතුවෙන් එක්සත් ජනපදයේ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) ට්විටර් ගිනුම යලි සක්‍රීය කොට ඇත.

මෙය සිවිල් නිදහස ආරක්ෂා කිරීමේ සහ අන්තර්ජාල වාරනයට එරෙහි අරගලය ලැබූ වැදගත් ජයග්‍රහනයකි.

ඊයේ රාත්‍රිය විද්‍යුත් ලිපියකින් ට්විටර් අපට මෙසේ දැනුම් දුන්නේ ය: “අපි ඔබේ ගිනුමේ වාරනය ඉවත් කිරීමට තීරනය කලෙමු.” නොවැම්බර් 13 වැනි දා, ගිනුම වාරනය කලේ ඇයි ද යන්න ගැන හෝ දැන් වාරනය ඉවත් කරන්නේ ඇයි ද යන්න ගැන හෝ ඉන් එහා පැහැදිලි කිරීමක් එහි අන්තර්ගත වුනේ නැත.

වාරනය ඉවත් කරනු ලැබූ ට්විටර් ගිනුම

සතියකට පෙර, සසජාතශි ගිනුමේ පරිපාලකයන් ගිනුමට ප්‍රසිද්ධ ප්‍රවේශය ඉවත් කර, එහි ශිර්ෂ ඡායාරූපය ඉවත් කර ඇති බව වටහා ගත්හ. පෝස්ට් පල කෙරෙන ටයිම්ලයින් එකේ “ගිනුම අත්හිටුවා ඇත: ට්විටර් තම නීති උල්ලංඝනය කරන ගිනුම් අත්හිටුවයි” යනුවෙන් ට්විටර් විසින් පනිවිඩයක් තබා තිබුනි. එම පනිවිඩය එම රෙගුලාසින්ට සබැඳයකින් ද යුතු විය.

ගිනුම යලි සක්‍රීය කිරීම සම්බන්ධයෙන් සසජාතශි කල විමසීමක දි, “ඔබ ගිනුම් ගනනාවක් පවත්වා ගෙන යන බවක් පෙනී යන හෙයින් ඔබේ ගිනුම අත්හිටවනු ලැබුනි” යයි ට්විටර් ලිවී ය.

සසජාතශි යනු එක්සත් ජනපදය පුරා විශ්ව විද්‍යාල මන්ඩපවල ශාඛා මට්ටමින් ක්‍රියාත්මක වන සංවිධානයක් බවත්, ඒ ඒ ශාඛාවන්ට තමන්ගේ ගිනුම් පවතින බව සසජාතශි පෙන්වා දුන්නේ ය. මෙම ශාඛාවන් සටන් කරන්නේ එක ම ඉදිරි වෙනුවෙන් නිසා ඒවා ලෝසවෙඅ එක ම ලිපිය කීප වරක් පල කරති. එහෙත්, එක ම සංවිධානයක විවිධ ශාඛාවන් සමාන අන්තර්ගතයන් ඇති පෝස්ටු පල කිරීම ට්විටර් නීති මාලාව හරහා ම අවසර දී ඇති භාවිතාවකි.

සසජාතශි වහා ම ප්‍රසිද්ධ උද්ඝෝෂනයක් දියත් කලේ ය. මෙම වාරනය අන්තර්ජාල වාරන පැනවීමට බලධාරීන් සහ සමාජ මාධ්‍ය ආයතන ගෙන යන උත්සන්න කෙරමින් පවතින ප්‍රහාරයක කොටසක් බව ද ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එරෙහි ප්‍රහාරයක් බව ද ලෝසවෙඅ ලිපි පල කරමින් අනතුරු ඇඟවී ය.

තව ද මෙම ට්විටර් ගිනුම වාරනය එක්සත් ජනපද ජනාධිපතිවරනනේ පසු පැන නැංවුනු පෙර නුවූ විරූ දේශපාලන අර්බුදයට සමගාමී විය. සීඝ්‍රයෙන් වැඩෙන ධනපති විරෝධී මනෝගතිය මැද අව්‍යාජ සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් තරුනයන්ට ඉදිරිපත් කිරීමට සමාජවාදී සමානතා පක්ෂයේ තරුන අංශය වශයෙන් සසජාතශිට පවතින හැකියාව සීමා කිරීම මෙහි අරමුන විය.

සසජාතශි වාරනයට එරෙහි ව ට්විටර් සමාජ ජාලය තුල විරෝධය පල කරන්නැයි අප කල ඉල්ලීමට ලෝකය දසතින් බොහෝ දෙනා ප්‍රතිචාර දක්වන්නට වූහ.

ඉරිදා, ප්‍රසිද්ධ සංගීතඥයෙකු සහ පින්ක් ෆ්ලොයිඩ් සංගීත කන්ඩායමේ සම ආරම්කයෙකු වන රොජර් වෝටර්ස් තම විරෝධය පල කලේ ය: “ට්විටර් සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ වාරනය කර ඇත. ඔවුන් වාරනය කිරීමට දැරෙන මේ ප්‍රයත්නය ගැන මහජනතාව දැනුවත් කිරීම තීරනාත්මක ය.” වෝටර්ස්ගේ පෝස්ටුව දහස් වතාවකට වැඩි වාර ගනනක් ශෙයා කෙරුනු අතර තුන්දහසකට අධික පිරිසක් විසින් ලයික් කරනු ලැබුනි. ඔහු ෆේස්බුක් ගිනුමේ පල කල පෝස්ටුව ද සමාන ප්‍රතිචාරයක් දිනා ගත්තේ ය.

එ මෙන් ම සිය ගනනක් සහයෝගය පල කරමින් එම පෝස්ටුවේ කමෙන්ට් කලහ. වෝටර්ස් විකීලීක්ස් සමාරම්භක ජුලියන් අසාන්ජ්ගේ නිදහස වෙනුවෙන් සහ පලස්තීනුවන් මර්දනයට එරෙහි ව ද සටන් වැදුනු අයෙකි.

“ශිෂ්‍යයන් ස්වභාවයෙන් ම වෛෂයික සත්‍යයට නැඹුරු සහ අසාධාරනය නුරුස්සන්නෝ වෙති. මේ ගතිය නිසා ම නිල ප්‍රචාරනයන් ප්‍රශ්න කිරීමටත් යුද්ධයට එරෙහි ව කැරලි ගැසීමටත් ඔවුහු පෙලඹෙති. පාලක පන්තිය පන්ති විඥානිත සංවිධිත ශිෂ්‍ය ව්‍යාපාරයක් රුස්සන්නේ නැත.” යයි එක් අයෙක් ලීවේ ය.

තවත් අයෙක් “ට්විටර් ශිෂ්‍යයන්ට බය ඇයි? මේක නිවට අඩන්තේට්ටමක්. මොන නිදහසට කරුනු කීවත් භාෂනයේ නිදහසට එල්ල කෙරුනු ප්‍රහාරයක්. සමාජ මාධ්‍ය තියෙන්නෙ ඇමරිකානු වුවමනාවන් රකින්න ද[?] ගෝලීය ප්‍රජාව ඇමරිකානු තාක්ෂනික රඳා පැවතීම අවසන් කර දැමිය යුතු යි.” යැයි ප්‍රතිචාර දැක්වීය.

ජාත්‍යන්තර නිරූපිකාවක වන ආන්ද්රෙයා පේජික් තම ට්විටර් ගිනුමේ මෙ ලෙස සටහනක් තැබුවා ය: “ආදරනීය ට්විටර්, සසජාතශි ගිනුම නැවත පිහිටුවන්න. අන්තර්ජාල වාරනය නතර කරනු. ගෞවරවනීය වාම සංවිධාන, විශේෂයෙන් ම ෆැසිස්ට්වාදයේ බලගතු විරුද්ධවාදීන් සහ ප්‍රකාශන වාරනය නතර කරනු.”

මෙ වැනි පෝස්ටු කම්කරුවන් සහ තරුනයන්, මෙන් ම සසජාතශි සාමාජිකයන් සහ එක්සත් ජනපදයේ සහ ලෝකය පුරා සසජාතශි ශාඛාවලින් පලවන්නට විය.

නිදසුනක් වශයෙන් දක්වතොත්, මැක්සිකානු ට්විටර් පරිශීලකයෙකු මෙසේ සටහන් කලේ ය: “එජ සසජාතශි ගිනුමේ වාරනය තවම ඉවත් කර නැත. තරුන ජනයාගේ චින්තන රටාව වෙනස් කරන්නයි ට්විටර් සහ ෆේස්බුක් උත්සහ කරන්නෙ. යුද්ධය මරන වගේ ම ධනයත් උපයලා දෙනවා. ඔබ යුද්ධය ගැන වාර්තා කිරීමට සංවිධානය වුනොත් ඔබව වරනය කරනවා.”

සසජාතශි උද්ඝෝෂනයේ ගෝලීය ස්වභාවයට දෙස් දෙමින් විරෝධතා පනිවිඩ ජපන්, ජර්මන්, සිංහල, දෙමල, ප්‍රංශ සහ තවත් භාෂා ගනනාවකින් පල කෙරුනි.

වාරනය ඉවත් කිරීමට මෙම වැදගත් ජාත්‍යන්තර ප්‍රතිචාරය හේතු වූවාය යන්න ගැන සැකයක් නැත.

එ මෙන් ම, මෙම වාරනය අවලංගු කිරීම, ලෝකය පුරා ධනපති පාලක පන්තීන් ආඥාදායක පාලන රූපයන් කරා හැරී ගැනීමට එරෙහි පුලුල් අරගලයක කොටසක් වශයෙන් අන්තර්ජාල වාරනයට එරෙහි ව සහ එහි නිදහස සඳහා ගෝලීය උද්ඝෝෂනයක් දියත් කිරීමේ අවශ්‍යතාව ඉස්මතු කරයි.

[මෙම ලිපිය නොවැ 20 ඉංගිරිසි බසින් පල කෙරුනි.]

Loading